‘බටහිරට බර’ කතාව බොරු කළ රුසියානු ජනපතිගේ නිල ආරාධනය | සිළුමිණ

‘බටහිරට බර’ කතාව බොරු කළ රුසියානු ජනපතිගේ නිල ආරාධනය

බටහිර විසින් පෙරදිගින් කොල්ල කන ලද උරුමයන් මිලක් ගෙවා හෝ නැවත රැගෙන දීමට රුසියාව කල්පනා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයට හෘදයංගම බවද මුසු කරමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ මොස්කව් අගනුවර, ක්‍රෙම්ලිනයේ පිහිටි ජනාධිපති මන්දිරයේ දී ඉකුත් මාර්තු 23දා රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා මුණගැසුණ අවස්ථාවේ දී මෙම කස්තානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. සංස්කෘතික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද එය වැදගත් සංකේතයකි.

ලෝකය ජනාවාස වීම රුසියානු ස්ටේප් තණ බිම් වෙතින් සිදුවන ආර්ය සංක්‍රමණය සමඟ බැඳී තිබේ. ලංකාව ජනාවාස කරන්නේ ද මේ ආර්ය සංක්‍රමණයයි. රුසියානු භූමියේ සිට ගමන් අරඹන ආර්ය ජනයා පර්සියාවට හෙවත් වර්තමාන ඉරානය ප්‍රදේශයටත්, ඉන්දියානු භූමියටත්, අනතුරුව පර්සියාවේ සිට සෘජුවම හා ඉන්දියාව හරහාද ලංකාවටත් සම්ප්‍රාප්ත විණි. රුසියාව ආර්ය ජනයාගේ මුල් බිමයි.

ලොව දේශපාලන ගමන මුළුමනින්ම වෙනස් කළ සන්ධීස්ථානයක් වන, දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ පරාජය ආරම්භ කෙරුණේ ද මේ රුසියානු බිම මතිනි. නාසි හමුදාව රුසියාවේ ශිතලට ගොදුරු කරවීමෙන් රතු හමුදාව එම ජයග්‍රහණයට මඟ පෑදීය. ලෝක දේශපාලන සිතියමේ තීරණාත්මක තැනක් වූ මේ රුසියානු බිම මත පා තබන්නට අපට ඉකුත් සතියේ අවස්ථාව ලැබුණි. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ නිල ආරාධනාව අනුව එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටි දූත මණ්ඩල සාමාජිකයකු ලෙසිනි. මේ වන විට ශීත සමය නිම වෙමින් ඇති, හිම පතනයේ නටබුන් සහිත රුසියානු බිම අපට එතරම් ආගන්තුක වූ බවක් නොදැනු‍ෙණ් ආර්ය සංක්‍රමණය සමඟ බැඳෙන ඓතිහාසික නෑදෑකම නිසා ද විය යුතුය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා අතර හමුව රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික සිදුවීමකි. ඒ හැරුණු විට දුර ඈත දවසක මඟඇරුණු නෑදෑකමක සේයාවක් ද මේ හමුවීමෙන් දිස්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති ව්ලැදිමීර් පුටීන් මහතා පරිත්‍යාග කළ කස්තානය ඒ බව පසක් කරයි. එය එක අතකට දෙරට අතර සංස්කෘතික නෑදෑකම තව දුරටත් තහවුරු කිරීමක් විණි.

විශේෂඥ මතයට අනුව මෙම කස්තානය 19වැනි සියවසේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූවකි. එකල මෙවැනි කස්ථානයක් පලඳින්නේ රජ මාලිගාවට සම්බන්ධ ප්‍රභූ පැළැන්තියට අයත් අය වෙති. මෙම කස්ථානය 2006 දෙසැම්බර් 19 වැනිදා ලන්ඩනයේ සොත්බි වෙන්දේසි නි‍ෙවසේ දී රාජකීය හා ප්‍රභූ භාණ්ඩ අංශයේ වෙන්දෙසී කිරීමට ප්‍රදර්ශනය කෙරුණු අතර රුසියානු සමූහාණ්ඩුව විසින් මෙය එහිදී මිල දී ගන්නා ලදි.

ඒ අනුව මේ මිල දී ගැනීම සිදුවන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත රුසියාවට නිල සංචාරයක් සඳහා ආරාධනා කරන්නට පෙරාතුවයි. ශ්‍රී ලංකාවට අයිති මේ ‍ෙකෟතුක වස්තුව අන්තර්ජාතික වෙන්දේසියකට අයත් වූයේ කෙසේද කියන කාරණය මත, රුසියාව මෙය මිල දී ගැනීමේ සිද්ධීය සාමාන්‍ය සරල කතාවක් නොවන බව පැහැදිළි වෙයි. එමෙන්ම ජනාධිපතිවරුන් දෙනොගේ නිල හමුවේදී රුසියානු ජනාධීපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත මෙකී කස්තානය පරිත්‍යාග කිරීම ද සාමාන්‍ය තෑගි හුවමාරුවක් ම නොවේ.

මෙම කස්තානය ඉතා දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් පමණක් නොව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් සහිත බවද නිර්දේශ වී ඇත. වානේ හා රත්රන්වලින් නිපදවන ලද මෙම ආයුදයේ මිට මැණීක් එබ්බවූ කැටයම් සහිත කොටසකි.

කොට්ටේ හා මහනුවර යුගවලදී මෙරටට ආ යුරෝපීය ආක්‍රමණිකයෝ මෙහි තිබූ වටිනා කියන බොහෝ දේ තම තමන්ගේ රටවලට රැගෙන ගියහ. මෙවැනි භෞතික සම්පත් එයින් ප්‍රධාන වෙයි. ඇත්තම කතාව නම්, යුරෝපීය ආක්‍රමණිකයන් මෙරට පුරා වස්තු ගොඩ දැම්මේ තම රටවලට ගෙන යෑම පිණිස මිස මෙරට ‍ෙකෟතුකාගාරයක ප්‍රදර්ශනය කරන්නට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්නට ම නොවේ. රන්, රිදී, මුතු, මැණික්, ඇත් දළ, ඔටුනු පමණක් නොව සඳකඩ පහ‍ෙණ් සිට කඩු, කස්තාන වැනි ආයුද, විශේෂයෙන්ම කලාත්මක කැටයම් සහිත නිර්මාණ එසේ රැගෙන ගිය සම්පත් අතර වෙයි. බටහිර විසින් මෙරටින් මංකොල්ල කන ලද මේ කෞතුක වස්තු අතර රුසියානු සමූහාණ්ඩුව විසින් මිල දී ගන්නා ලද මෙම රාජකීය කස්තානයද තිබෙන්නට ඇත.

භූ දේශපාලනය අතින් යුරෝපයට මෙන්ම ආසියාවටත් සබඳකම් සහිත රුසියාව මේ මිල දී ගැනීම සිදු කරනු ලබන්නේ අහම්බයක් ලෙස විය නොහැකිය. බටහිර විසින් පෙරදිගින් කොල්ල කන ලද උරුමයන් මිලක් ගෙවා හෝ නැවත රැගෙන දීමට රුසියාව කල්පනා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයට හෘදයංගම බවද මුසු කරමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ මොස්කව් අගනුවර, ක්‍රෙම්ලිනයේ පිහිටි ජනාධිපති මන්දිරයේ දී ඉකුත් මාර්තු 23දා රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා මුණගැසුණ අවස්ථාවේ දී මෙම කස්තානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. සංස්කෘතික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද එය වැදගත් සංකේතයකි.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර හැටක් සපිරෙන්නේ මේ වසරටයි. එමෙන්ම රුසියාවේ ඔක්තෝබර් විප්ලවය සිදුවී වසර සියය සපිරෙන්නේ ද මේ වසරටයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට අදාළ මේ ඓතිහාසික සබඳතා පුටින් ජනාධිපතිවරයා කස්තානය පිරිනැමීම මඟින් ඉහළට ගත් බවක් ගම්‍ය විණි.

කස්ථානය මිල දී ගත් දා සිට සලකන විට එය ශ්‍රී ලංකාවට පිරිනැමීමට කාලයක් ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත්වීම ගැන සතුට පළ කරමින් පුටින් ජනාධීපතිවරයා කියා සිටියේ දෙරට අතර පැවතුණු හැටවසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් තර කරමින් ඉදිරියට ගෙන යන බවයි.

දෙරට අතර සබඳතා ඇරඹෙන්නේ රටේ නායකයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද නායකයා වූ එස්. ඩබ්ලිව්. ආර් ඩී. බණ්ඩාරනායක මහතාගේ කාලයේ දීය. ඒ බව සිහිපත් කළ ශ්‍රී ලංකා ජනාධීපතිවරයා එම පක්ෂයේ නායකයා ලෙසත් රටේ නායකයා ලෙසත් රුසියාවේ පිළිගැනීම ගැන සතුට පළ කළේය.

විප්ලවයට පසුව වුව ද රුසියාව සිය සම්ප්‍රදාය අත්හැර නැති බව මොස්කව් නගරය පුරා උසට නැඟුණු සාර් යුගයේ ඉදි කෙරුණු දැවන්ත ගොඩනැඟිලි, ගෘහ නිර්මාණ, කිසිදු වෙනසකට ලක්නොකොට පවත්වා ගැනීමෙන් ම කියා පායි.

ගොර්බචොව් ජනාධිපතිවරයාගේ කාලයේ සිදු කෙරුණු ‘පෙරස්ත්‍රොයිකා‘ ප්‍රතිසංකරණවලින් පසුව ගෝලීයකරණයට එකවර මුහුණ දී ගත නොහැකිව විශේෂයෙන් ම ආර්ථිකව ඇද වැටුණු රුසියාව, තමන්ට උරුම සම්ප්‍රදාය අත නෑරම යළි නැගිටිමින් සිටින බවද පැහැදිලියි.

එපමණක් නොව එම නැඟිටීමට සමාන්තරව තම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද තව තව පුළුල් කර ගන්නා බවත් සාම්ප්‍රදායික හා සංස්කෘතික මාර්ග ඔස්සේ රුසියාව ඒ පියවර තබන බවත් දක්නට ලැබේ. වසර 43ක පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වෙත රුසියාවේ නිල ආරාධනයක් ලැබීම ගැන සලකා බැලිය යුතු වන්නේ එම පසුබිමට අනුවයි. මෙවැනි නිල ආරාධනයක් ලබන ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා වූයේ ද ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙම නිල ආරාධනය කරනු ලැබුවේ පෞද්ගලිකවයි. ඒ පසුගිය වසරේදී ඉන්දියාවේ ගෝවේ හිදි ජනාධිපතිවරුන් දෙදෙනා මුණගැසුණු අවස්ථාවක දීය.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව නියෝජනය කරන ‘BRICS‘ නමැති ආර්ථික සංසදයේ සමුළුවක් ගෝවේ දී පැවති අතර ඊට සමගාමීව ‘BIMSTEC‘ නමැති තාක්ෂණික ආර්ථික සහයෝගිතා සංවිධානයේ සමුළුවක් ද පැවතිවිණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලා දේශය, මියන්මාරය හා තායිලන්තය යන රටවල් මෙම සංවිධානය නියෝජනය කරයි. එහිදී ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුවීමෙන් තවත් දින දෙකක් ඇතුළත නිල වශයෙන් වූ ආරාධනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දීම ද විශේෂ සිද්ධියකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වූවාට පසුව ඉන්දියාව, චීනය, එංගලන්තය, ඇමෙරිකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කළ නිල සංචාරවලදී හිමිවුණු ඉහළ පිළිගැනීම රුසියානු සංචාරයත් සමඟ එහි ඉහළම තලයට පැමිණිණි. ක්‍රෙම්ලිනයේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත, රතු චතුරශ්‍රෙය් පිහිටි ‘නාඳුනන සෙබළාගේ ස්මාරකය‘ වෙත, තවත් එවැනි නිල උත්සව හා අවස්ථා සඳහා ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයට මොස්කව් නගරයේ බලධාරීන් ඉඩ සලසා දුන් ගරු ගාම්භීර ස්වරූපය පමණක් වුවද රුසියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිතන පතන ආකාරය අඟවයි.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරුණු සාකච්ඡාව පැයක් ඉක්මවීය. මෑතක දී රුසියාවේ නිල සංචාරයක යෙදුණු කිසිදු රාජ්‍ය නායකයකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් මෙවැනි කාලයක් වෙන් කර දී නැත. ජනාධිපතිවරුන් දෙනොම තම මවු බසින් අදහස් හුවමාරු කර ගත් අතර දෙපැත්තේ භාෂා පරිවර්තකයන් දෙදෙනකු පමණක් එම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් සිදුකෙරෙන අවස්ථාවලදී මෙරටට උදව් කිරීමට හා රටේ ආරක්ෂක අංශ දියුණු කිරීමට සහයෝගය දීමට පුටින් ජනාධිපතිවරයා එකඟ වීම සංචාරය නිමිත්තෙන් ලැබීමට නියමිත ආධාර හා සහයෝගය අතර විශේෂ වෙයි. දෙරට අතර සංචාරක කර්මාන්තයේ දියුණුවට සෘජු ගුවන් ගමන් ඇරඹීම, දැනට ශ්‍රී ලංකාවට ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ දැමීම, ඇඟලුම් අංශයේ මිල දී ගැනීම් හා තේ මිල දී ගැනීම් ඉහළ දැමීම, ධීවර ක්ෂේත්‍රයට හා බලශක්ති අංශය වැඩිදියුණුව සඳහා ද රුසියානු රජයේ සහයෝගය ලබා දීම මෙහිදී එකඟ වූ කාරණා අතර වෙයි. ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙව් මහතා මුණ ගැසී කළ නිල සාකච්ඡාවේ දී මෙම ආර්ථික සහයෝගීතා වැඩසටහන ඉදිරියට ගෙන යන ආකාරය අවධාරණය කෙරිණි.

සම්මුතිවාදී ආණ්ඩුව බටහිරට නැඹුරු වී ඇතැයි යනුවෙන් නැඟෙන චෝදනා පදනමක් නැති බව රුසියාවේ මේ පිළිගැනීම හා ප්‍රතිචාර මඟින් සනාථ වෙයි. මානවනහිමිකම් කතාව මතු කරමින් බටහිර කඳවුර විසින් ශ්‍රී ලංකාවට එල්ල කරනු ලබන බලපෑම වෙනුවෙන් රුසියාව පෙනී සිටින බව පැවසීම එක අතකට රාජ්‍යතාන්ත්‍රික සමබරතාවකට ඉඩ පෑදීමකි. අනෙක් අතට මෙය රාජ්‍යතාන්ත්‍රික සම්මුතිවාදය තහවුරු වීමකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත විවිධ බල කඳුවුරු වෙතින් ලැබෙන මේ නිල ආරාධනා හා පිළිගැනීම් මඟින් එකී රාජ්‍ය තාන්ත්‍රික සම්මුතිවාදය දෙසට නව මාවතක් විවර වී ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ද හුරු මැද පිලිවෙත නිසා මේ රාජ්‍යතාන්ත්‍රික සමබරතාව රටේ අභිවෘද්ධියට යොදා ගැනීම ඉතා සුදුසු වනු ඇත.

පැරණි සෝවියට් දේශය හා ඇමෙරිකාව අතර සීතල යුද්ධය පැවති අවදියේ නොබැඳි රටවල් ලෙස කඳවුරු බැඳීම අදට වලංගු නැතත් නොබැඳි පිළිවෙත හෙටටත් වලංගු වනු ඇත.

දේශිය වශයෙන් ඇති දේශපාලන බෙදීම් අවමකර ගන්නට හැකි සම්මුතිවාදයට නායකත්වය දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අන්තර්ජාතික බෙදීම්වල බලපෑම අවම කර ගන්නට හැකි රාජ්‍යතාන්ත්‍රික සම්මුතිවාදයකට අවස්ථාව පාදා ගෙන ඇත. රටේ ඉදිරි යහපත වෙනුවෙන් හැම දෙනාගෙන්ම අවශ්‍ය දේ ලබා ගන්නා ක්‍රමෝපාය අන්තර්ජාතිකවත් වලංගු වේ. ශ්‍රී ලංකාවේ ජනාධීපතිවරයා වෙත රුසියානු ජනාධිපතිවරයා කළ නිල අරාධනාව එවැනි අවස්ථා තව තවත් පාදා ගත හැකි බව සනාථ කරයි.

ලමන් පියසේන

Comments