හිත් සනසා සුවපත් කරන වස-විස නැති ගොවිතැන | සිළුමිණ

හිත් සනසා සුවපත් කරන වස-විස නැති ගොවිතැන

 කාර්මික විප්ලවය මානව වර්ගයාගේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. මේ කාලවකවානුවේ නව නිර්මාණ සොයාගැනීම උදෙසා මානවයා ඇපකැප වූයේය. එමෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වෙහෙස වූයේය. මෙය එකිනෙක මිනිසා ජීවත් වන පසුබිම අනුව වෙනස් විය. ධනවාදී රටවල් පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල් පවා ආර්ථික වියවුලකට පත් විය. සමාජීය ආර්ථික ප්‍රශ්න පමණක් නොව පරිසර ප්‍රශ්න ද ඇති වූයේ ඛේදනීය ඉරණමක් ඇති කර දෙමිනි. සුඛනම්‍ය දිවි පෙවෙතක් වෙනුවට කලහකාරී දිවිපෙවෙතක් ඇති විය. ඇත්තෙන්ම ආර්ථික සංග්‍රාමයක් ඇති වූ පමණින්ම මිනිසාට සාර්ථක විය හැකි ද? යන්න විමසීමට මිනිසාට සිදුවිය.

කුමක් ද මේ සාර්ථකත්වය? එය මුදල් වටිනාකම මත පදනම් වන දෙයක් ද? නැති නම් සමාජීය තත්ත්වය මත පමණක් රඳා පවතින්නක්ද? දේශපාලන වාතාවරණයක් මත සාර්ථකත්වයක් අත්විඳිය හැකිද? මේ සියල්ල නිෂ්ඵල බව වටහා ගැනීමෙන් පසු සාර්ථකත්වය අරභයා කුමක් කළ යුතු ද? යන්න සෙවීමට මිනිසා උත්සාහ කළේය. මෙහිදී වටහාගත් පළමුවැනි මතය වනුයේ ආධ්‍යාත්මික සංවර්ධනයයි. ආධ්‍යාත්මික සංවර්ධනය නොමැති නම් බාහිර සංවර්ධනය කොතෙක් වුවත් පලක් නැත. මේ නිසා මිනිසා තුළ ගැඹුරු චින්තන විප්ලවයක් ඇති කළ යුතුය. කුමක් ද මේ චින්තන විප්ලවය? මේ සඳහා මං පෙත් විවර කරගන්නේ කෙසේද?

මෙතෙක් කලක් අර්බුදයක සිටි මිනිසාට තමා ළඟා විය යුතු ඉසව්ව පිළිබඳව මෑතකදී මඟ පෙන්වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. මෙයට හේතුව වූයේ 2015 වර්ෂයේ දී තිරසර සංවර්ධන ප්‍රකාශයට පත් කිරීමයි. මෙතෙක් කලක් ලෝකයේ බලවත් රටවල්වල නායකයන් වටහාගෙන තිබුණ තිරසර සංවර්ධනය ප්‍රායෝගිකරණය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික පියවර තැබුවේය. තාක්ෂණය, ඩිජිටල්කරණය, මේ කුමන දේ තිබුණත් මිනිස් අධ්‍යාත්මය සුවපත් වී නොමැති නම් කරුණාවෙන් මෛත්‍රියෙන් පිරී නොමැති නම් අකුරු ඉලක්කම්වලින් මිනිසා ඉදිරියට ගොස් පලක් නැත. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළ තිරසර සංවර්ධනය මිනිස් සිත සනසන දිව ඔසුවක් බඳු විය. තිරසාර ඉලක්ක 17කි. එනම් දුප්පත්කම ගොවිතැන, සෞඛ්‍යය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලැකීම, වතුර බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපරියාස, සාගර ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙළ සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට මේ තිරසර ඉලක්ක හඳුන්වා දී තිබේ. මේ ඉලක්ක මඟින් ආර්ථික සමාජීය විසඳුම් මෙන්ම අාධ්‍යාත්මික විසඳුම් ද සෙවීමට හැකි වනු ඇත.

මේ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ සංවර්ධන ක්‍රමවේද යල්පැන ගිය ඒවා බව හඳුනාගෙන ඇත. මේ නිසා හඳුන්වා දුන් තිරසර සංවර්ධන ඉලක්ක වඩාත් පලදායී ඒවා බව පිළිගන්නට සිදු විය. මේ දේවල් ලෝකය සොයාගෙන දැන හඳුනාගත්ත ද ආසියාතික රටවලට නම් මේ කිසිවක් නවක නොවීය. එයට හේතුව බොහෝ ආසියාතික රටවල් බෞද්ධ රටවල් වීමය. බෞද්ධ දැක්මට අනුව ජන ජීවිතය සකස් කර ගැනීමයි. ඔවුහු අනුගමනය කළ මැදුම් පිළිවෙතේ මේ සියල්ල තිබිණි. ක්‍රමානුකූලව ඒ මඟ අපට මඟ හැරුණි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තිරසර යුගයකට ගෙන ඒම රජයේ මූලික අරමුණ වී තිබේ. මේ අරමුණ උදෙසා අප සතුව නිධාන හතරක් ඇත. එනම් ජෛව විවිධත්ව, පුනර්ජනනීය බලශක්තිය, මානව සම්පත හා බෞද්ධ දර්ශනය. මේ අතරින් බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවට හුරුපුරුදුය. කවදත් මැදුම් පිළිවෙත හුරු පුරුදු කළ ජනතාවට තිරසර යුගයකට යෑම අපහසු නොවනු ඇත. ආධ්‍ය­ාත්මික සුවය ළඟා කර ගැනීමට ලක්වැසියන්ට වඩාත් පහසු වන්නේ එබැවිනි.

ආධ්‍යාත්මික සුවය මෙන්ම කායික සුවය ලැබීමට නම් වසවිසෙන් තොර ආහාර අනුභව කළ යුතුය. මේ සඳහා කාබනික පොහොරවලට හුරු විය යුතු අතර එය ඉක්මනින් කළ යුතු ද යන්න ගැටලුවකි. එය ඉක්මනින් කළ යුතු නොවූවත් ක්‍රමයෙන් රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරු විය යුතු කාලය දැන් එළඹ ඇත. මේ උදෙසා කාබනික පොහොර යොදා වගා කරන ගොවියන් මෙන්ම කාබනික පොහොර නිෂ්පාදකයන් ද දැන් බිහි වෙමින් ඇත.

තිරසර යුගයක් සැදීමට නම් වසවිසෙන් තොර ආහාර පරිභෝජනය මෙන්ම කරුණා මෛත්‍රියෙන් යුතු සිත් ගොඩනැඟීම ද අවශ්‍ය වේ. මේ සඳහා ජනතාව අතර බෞද්ධ දර්ශනය ප්‍රායෝගිකකරණය කිරීම වැදගත් වේ. වස විසෙන් තොර ආහාර ගත සුවපත් කරන අතර කරුණාව මෛත්‍රිය සිත සුවපත් කරයි. මේ සඳහා ජනතාව අවබෝධය ලැබිය යුතු කාලය දැන් එළඹ ඇත.

නිරෝගී දිවිපෙවෙත උදෙසා වසවිසෙන් වගාව හා ආහාර ගැන දැනුම බෙදන ජාතික පොළ ‘තිරසර ලංකා‘ නමින් මෙවරත් මාර්තු 31 වෙනිදා සිට අප්‍රේල් 4 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වෙයි. මෙමඟින් නිරෝගී ගතක් හිමි කරගන්නේ කෙසේ ද යන්න ජනතාවට අවබෝධ කර දීමට ප්‍රමුඛත්වය ගනී. මේ සඳහා නොයෙක් සංවිධාන සහ ආයතන මූලිකත්වය ගෙන ඇති අතර ගත සුවපත් කිරීමෙන් සිත නිරායාසයෙන් සුවපත් වන බව අබෝධ කරදීමට එහිදී උත්සාහ කරයි. තිරසර යුගයක් බිහි වනුයේ ශාරීරික මෙන්ම ආධ්‍යාත්මික සුවය ලැබූ ජනතාවක් සිටින විටය. මෙය කිසිවිටකත් පුද්ගල කොටසකට අත්පත් කරගත නොහැකි අතර සියලු දෙනාම ඒ සඳහා සාමූහික සහයෝගීත්වය දැක්විය යුතුය.

රජයේ සම්මුතිය ද සැබෑ වනුයේ එවිටය. කිසිවිටකත් තනි අතින් අතපුඩි ගැසිය නොහැකි අතර රජය ගන්නා පිළිවෙත් රැකීමට ජනතා සහයෝගය ද අවශ්‍යය. දැන ගියොත් කතරගම ද නොදැන ගියොත් අතරමඟ ද වන්නේ ඒ නිසාය. මේ නිසා මඟ හොඳට තිබේ නම් දෑසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුළා වූවන් සේ. ?

(සාකච්ඡාවක් ඇසුරෙනි)
රූපාන්ති බුලත්සිංහල

Comments