
කවියා, කලාකරුවා, ලේඛකයා උපදිනු මිස තනනු බැරි යැයි කියති. (A Poet is born and not made) ත්‍රිපිටකාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියන් මීට හැටපස් වසරකට පමණ පෙර සිය ‘සාහිත්‍යය හා සමාජය’ කෘතියෙන් කියා තිබුණේ ‘මඳ දැනුමක්, පෑනක්, කොළගොඩක් තිබූ පමණින් ලේඛකයකු වීමට සිතීම නපුරුය’ කියා ය. අප මේ ජීවත් වන්නේ මේ නපුරුකම කරළියට නැගුණු යුගයක දැයි ඇතැම් විට සිතෙයි. ඒ, නීරස පත-පොත හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් ඇති නිසා ය.
ලද යම් කෙනෙක් සරසවි
බැලුමසක් නිසී
කෙතරම් වුවත් මුළුලොව
කෙරෙති අත වැසී
(ගිරා සංදේශය)
සරසවි වරම් ලද එවැන්නන් සිටින්නේ නිල සාහිත්‍යකරුවන් අතරේ පමණක් ද යන ප්‍රශ්නය පිළිබඳ විධිමත් විමර්ශනයක්, පර්යේෂණයක් මෙතෙක් සිදුවී ඇද්දැයි නොදනිමි. සැබැවින් ම නෛසර්ගික විදග්ධතාවෙන් යුතු එවැන්නන් සිටින්නේ ප්‍රකට නිර්මාණකරුවන් අතරේ පමණක් නොවේ.
නෛසර්ගික විදග්ධතාව යන පදය අද වරදවා යොදනු ලැබේ. එය වාණිජ ක්ෂේත්‍රයේ හෝ දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂකමක් පෑ පුද්ගලයන් හැඳින්වීමට යෙදෙන බව පෙනේ. එහෙත් සැබෑ නෛසර්ගික විදග්ධයෝ ඒ පටු සීමා අතික්‍රමණය කෙරෙති. ඔවුහු අප තුළ පුදුමය ද භක්තිය ද දනවති. නෛසර්ගික විදග්ධතාව යනු ඉහළ IQ අගයක් හෝ විශ්ව කෝෂමය දැනුමක් හෝ ඇති බව නොවේ; ශූර වූ වාණිජමය හෝ දේශපාලනමය හෝ ක්‍රියාදාමයක් සැලසීමේ හැකියාව නොවේ. නෛසර්ගික විදග්ධයෝ අනුන් දක්නා දේ ම නිරික්ෂණය කරමින් එහි අමුත්තක් ද හඳුනා ගනිති. අනුනට නොහැකි වූ පිම්මක් පැන අලුත් දෙයක් හඳුනා ගනිති.
නෛසර්ගික විදග්ධතාව (Genius) යනු කුමක් දැයි ඉතා පැහැදිලි ලෙස හඳුන්වා දෙන මෙය, අප විසින් උපුටා ගනු ලැබුවේ එක් පාදක සටහනකිනි. එය සඳහන් ව තිබුණේ පසුගිය දිනෙක ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘සුනිල් සාන්ත අනුස්මරණ දේශන (2016)’ පිටපතෙහි ය. මේ පැහැදිලි නිර්වචනය ඕස්ටේ‍්‍රලියානු ජාතික ආචාර්ය ටෝනි ඩොනල්ඩ්සන්ගේ ය. සුනිල් සාන්ත සමරු දෙසුම සිංහලට පරිවර්තනය කළ විශිෂ්ට පරිවර්තකයා අපට හමුවන්නේ එහි දී ය. ඔහු සාහිත්‍ය ලෝකයේ දී මෙතෙක් අප දැන හඳුනා සිටි ප්‍රකට පරිවර්තකයකු නම් නොවේ. ඒ නම ඇසූ පමණින් අපගේ මතකයට නැඟෙන්නේ ප්‍රසිද්ධ හෘදය රෝග විශේෂඥයෙකි.
රස හඳුනන, ව්‍යක්ත ලෙස බස හසුරුවන, සාහිත්‍ය ලෝකයට මනා සම්ප්‍රදානයන් සිදු කළ හැකි විවිධ වෘත්තිකයන් සිටින බව අපට යළිත් වරක් මතක් කරදුන් තැනැත්තා ඔහු ය. ඒ, ඔහු නම් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක ය.
යට දැක්වෙන්නේ ඔහු විසින් සිංහල බසට පෙරළන ලද සුනිල් සාන්ත සමරු දේශන පිටපතේ 12 වන පිටුවේ එන සඳහනකි.
‘හුස්ම ගන්නා කවරක් වුව සජීවි ය. එය ඉෂ්ට සිද්ධ වන ආකාරය අභිරහසකි’.
අපට පහසුවෙන් තෝරා-බේරා හඳුනා ගත නොහැකි එවැනි චින්තනමය ශක්‍යතාවන් ද අභිරහස් වැනි ය. භගවාන් ශ්‍රී රාජ්නිෂ් (ඕෂෝ) කියන්නේ මිනිසාට සතුට, අපේක්ෂාව රඳවා ගත හැකි වන්නේ අභිරහස් ඉතුරු කරගත් විට යැයි කියා ය.
ලෝකයේ සියලු අභිරහස් හෙළි කරගත් දාට මිනිසාට හැඟෙනු-දැනෙනු ඇත්තේ නීරස, ඇල්මරුණ ස්වභාවයකි යි ඔහු කියයි.
බටහිර වෛද්‍යවරයකු වන රුවන් ඒකනායක බටහිර වෛද්‍ය විද්‍යාවේ සීමා-මායිම් ද අතික්‍රමණය කෙරූවෙකි.
ඔහු කායික විද්‍යා පාඩම් පොතේ නොවූ උගැන්වීම් ද දූරදර්ශි ව අත්හදා බැලූවෙකි. විශේෂයෙන් ම ඒ සංගීත චිකිත්සාව ඔස්සේ ය.
”බටහිර විද්‍යාව හුඟාක් දුරට කටයුතු කරන්නේ තාක්ෂණය මත නේ? එක්කෝ ශල්‍යකර්මයක් කරයි. නැතිනම් දඟරයක් දමයි, නැතිනම් බැලූනයක් ශරීරයට ඇතුළු කරල බලයි. ඔක්කෝම කරන්නේ අසනීපයක් වුණාට පස්සෙ නේ. ඊට කලින් තත්ත්වය මොකක් ද? අපි හිතමු කාගේ හරි හෘදයේ ධමනියක අවහිරයක් එක තැනක තිබිලා ඒකට ප්‍රතිකාර කළා කියලා.
එම අවහිරය තවත් තැනකින් මතු වන්නේ නැහැ කියලා අපට ස්ථිර ව ම කියන්න බැහැ නේ? ඇත්තට ම අප කළ යුත්තේ ව්‍යාධි මූලයට සහ එහි පසුබිමට ප්‍රතිකාර කිරීම නේ ද? හෘදය රෝග, ඇදුම, හෝ කායික රෝග... ඇතැම් විට දියවැඩියාව ඒ වගේම අමාශ්‍යගත තුවාල වලටත් එහෙමයි.
ඉතින් මනෝකායික රෝගයකට මානසික ලහුතාව (Mental Relaxation) ඇති කිරීම, මේ රෝග නිවාරණය සඳහා ඉතා වැදගත්.
යෝග ව්‍යායාම, ඒ වගේ ම භාවනාව මගින් සිදු කෙරෙන්නේත්, මේ මානසික ලහුතාව ඇති කිරීම යි. එරමිණිය ගොතා ගත් පමණින් ම භාවනා සිදුවන්නේ නහැ.
හැබැයි සංගීතය ඔස්සේ, ආයාසයකින් තොරව සම්පූර්ණ මානසික ලහුතාව සාරවත්ව ලබාගත හැකි ක්‍රමයක් තමයි සංගීත චිකිත්සාව (Music Theraphy) වෛද්‍ය රුවන් ඒකනායකයන්ගේ මේ අවධාරණය අප උපුටාගත්තේ විජිත් කුමාර් සේනාරත්න විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‘සඳ මිඳුලේ රන් මී විත’ නම් වූ කෘතියෙනි. මින් ප්‍රකට වන්නේ ඔහු හුදෙක් වෛද්‍ය උපාධිධරයකු පමණක් නොවන බව ය. පිමි පනින්නන් ලෙස අප හඳුනාගන්නේ එවැන්නන් ය. රුවන් ඒකනායකයන්ගේ භාෂා භාවිතයේ අසිරිය ගෙනහැර දැක්වීම සඳහා සුනිල් සාන්ත සමරු දේශන පිටපතේ සඳහන් එක් කුඩා ඡේදයක් පමණක් මෙහිලා දක්වමි.
සංගීත නිර්මාණය යනු කුමක් ද? එහි ඉංගිරීසි පදය වන Composition යන්නේ අර්ථය ‘එකට එකතු කිරීම’ ‘සංස්ලේෂණය’ යනු ය. එබැවින් සංගීත නිර්මාණය එහි සංඝටක සාධක දක්වා ම විහිදී යයි. ශබ්දය, රිද්මය, ශ්‍රැතිය, සන්දර්භ උපස්ථිතිය, වර්ණය, නිනාදය, අභිනය යන මේවා ඒකාබද්ධ සංගීත භාෂණයකට ගළපා ලිය යුතුය. දැන් ඉදිරියට මා කරන්නේ සංගීත සංලේෂණය නොව එහි විරුද්ධ ක්‍රියාව වන සංගීත විශ්ලේෂණය යි.
මම සංගීතය එහි අත්‍යවශ්‍ය ඒ ඒ අංග දක්වා පතුරු ගසා, එහි සම්භව බීජය සොයා ගන්නට බලමි. මේ තමා සංගීතය පිළිබඳ විද්‍යාව.
(සුනිල් සාන්ත දේශන - 27 පිටුව)
මෙහි දී ‘සම්භව බීජය’ යන්න යොදා ඇත්තේ DNA යන්නට ය. සුප්‍රකට කෝෂ ග්‍රන්ථයක එය නම් කර ඇත්තේ ඩීඑන්ඒ අම්ලය ලෙසිනි. ‘සම්භව බීජය’ යන්න වැඩිදුරටත් පැහැදිලි කරමින් රුවන් ඒකනායකයෝ මෙසේ ලියති.
DNA යනු ජෛවී සෛලවල න්‍යෂ්ටියේ ඇති ජානයන්හි ප්‍රධාන සංඝටකයයි. යම් කලා කෘතියක් බිහි කිරීමේ දී උපයෝගී වන කලාකරුවාගේ මනසෙහි රෝපණය වී ඇති සංස්කෘතික පාරිසරික, ආගමික, අධ්‍යාපනික ජීවිතයේ අත්දැකීම් ආදී සාධකවල සංකලනයයි.
(සුනිල් සාන්ත දේශන - 64 පිටුව)
Objective යන්නට ‘විෂය නිඃශ්‍රිත’ යැයි යොදමින් ඔහු එය පැහැදිලි කරන්නේ ‘තමාගේ මනසෙහි ඇති පූර්ව විනිශ්චයන් මත නොපිහිටා යම්කිසි සිද්ධියක්, කෘතියක් දෙස අපක්ෂපාතීව සලකා බැලීම’ යනුවෙනි.
ක්‍ෂණාන්ත ලෙස වෛද්‍ය රුවන් ඒකනායකයන් සිංහලට නගන Staccato යන්නට එක් කෝෂ ග්‍රන්ථයක් අර්ථ දක්වා ඇත්තේ (සංගීත) එක් එක් ස්වරය අතරින් වෙන් වූ ලෙස ය.
තවත් කෝෂ ග්‍රන්ථයක් ‘වෙන් වූ ස්වර/වෙන් වූ අසල්ලිත ස්වරයෙන්, ස්වර එකිනෙකින් වෙන් වූ සංගීත ඛණ්ඩය’ වශයෙන් ඊට අර්ථ සපයයි. විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකයන් Staccato යන්නට අරුත් දක්වන්නේ මෙසේ ය.
එක් අක්‍ෂරයක් ක්‍ෂණිකව ගයා / වයා ශබ්දය නැවතීම. එවිට ඒ හඬ පිනුම් ගසනා සැටියක් හැඟේ.
(සුනිල් සාන්ත දේශන - 64 පිටුව)
සිංහල භාෂාවේ මිහිරි හා උචිත පද වහා මතකයට නැඟෙන්නේ භාෂාවේ පාරප්ප්‍රාප්ත වූ නිර්මාණකරුවකුට ය.
වෛද්‍ය වෘත්තිකයකුට මේ අහඹු ශක්‍යතාව හිමි වූයේ නම් අප ඔහු දකින්නේ පිමි පනින්නකු ලෙස ය. අනෙක් අතට පිමි පනින්නන් යැයි කියන විට ඊට වැරදි අරුතක් සම්පාදනය වේදෝ යි අප බිය ගන්නේ දෙවියන් නැති දෙවොලේ යකුන් පිනුම් ගසන අවස්ථා ද විරල නොවන නිසා ය. ඒ අනුව අප විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකයන් හඳුනාගන්නේ නවෝත්පාදකයකු ලෙස ය.
කැත්ලීන් ජයවර්ධන