
අපේ පාරම්පරික උඩරට නැටුම් කලාව සිංහල සංස්කෘතියේ ශ්‍රේෂ්ඨ උරුමයක්. බොහෝ විදේශිකයන් නුවර පෙරහර බලන්න එන්නේ හුදෙක්ම මේ උඩරට නැටුම් නිසයි.
ඒත් කනගාටුවට කාරණය මේ උඩරට නැට්ටුවන්ගේ ජීවන තත්ත්වය අද වන විට කොතෙක් දියුණු වෙලා තියෙනව ද? එසේ නැත්නම් ඔවුන් තවමත් වැඩවසම් යුගයේ යම් යම් බැඳීම්වලට හිරකරුවන් බවට පත් වෙලා ඉන්නව ද යන්නයි. “විසිවැනි සියවසේ ශ්‍රී ලාංකික නර්තනයේ ඉතිහාසය හා දේශපාලනය” යන මැයෙන් මීට අවුරුදු හත අටකට ඉහත මහාචාර්ය තිස්ස කාරියවසම් කළ දෙසුමකදී දේශීය නර්තනයට බලපාන ප්‍රධාන සාධකය කුල දේශපාලනය බව කියා සිටියා. එදා මෙදාතුර මෙරට බිහිවූ විශිෂ්ටතම උඩරට නැට්ටුවකු වූ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ රත්වත්ත පවුලේ කුඹුරුවල අඳ ගොවියෙක්.
උඩරට නැටුම්වල ප්‍රභවය ගැන නොයෙක් මත ප්‍රකාශ කෙරෙනවා. ලංකාවට ආපු විශිෂ්ට ඉන්දීය නර්තන ශිල්පි උදය ශංකර් උඩරට නැටුම් දැක එහි උත්කර්ෂවත් බව වර්ණනා කළ අවස්ථාවේදී එය නොඉවසූ ඩබ්ලිව්. බාලේන්ද්‍ර නමැති වෛද්‍යවරයෙක් කියා සිටියේ උඩරට නැටුම් මලබාරයෙන් ණයට ගත්තක් බවයි. එසේම ජාතික කෞතුකාගාරයේ මානව විද්‍යාඥවරයකු ව සිටි ආචාර්ය එම්. ඩී. රාඝවන් උඩරට නැටුම් කේරළයේ කථකලී නැටුම් හා සම්බන්ධ බව කියා තිබෙනවා. මේ ඉතිහාස තොරතුරු ගැන කියන්න මට දැනුමක් නැහැ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. ලංකාවට ආපු රවින්ද්‍රනාත් තාගෝර්, උදය ශංකර්, රාම් ගෝපාල් වගේ ඉන්දියානුවන් නම් කවදාක්වත් එහෙම ප්‍රකාශ කරලා නැහැ.
තාගෝර් 1934 දී ලංකාවට ආපුවම කෑගල්ලේ ජේම්ස් දම්මන්නාගොඩ ගේ උඩරට නැටුම් දැකලා උද්දාමයට පත්ව තිබෙනවා. ඒ විතරක් නෙමේ. උඩරට නැටුම් පවතින මේ රටේ තරුණයන් භාරතයට නොපැමිණ තමන්ගේ රටේදීම උඩරට නැටුම් ප්‍රගුණ කළ යුතු බව ද කියා තිබෙනවා.
ඊට අවුරුද්දකට පසුව තමයි උදය ශංකර් ආවේ. ඇවිල්ලා උඩරට නැටුම් අගය කළේ. රාම් ගෝපාල් උඩරට නැටුම් ඉගෙන ගත්තේ ගුණයා ගුරුන්නාන්සේගෙන්. ඔහු ගුණයාට කිව්වේ ‘භරත නාට්‍යම්’ ඉගෙන නොගන්නා ලෙසයි.
ඇමෙරිකාවේ රාගිනි දේවි නම්වූ නර්තන ශිල්පිනිය ද ගුණයා ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම් ඉගෙන ගෙන තිබෙනවා:
රාම් ගෝපාල් උඩරට නැටුම් ගැන මෙසේ කියා තිබෙනවා.
“මා දුටු නර්තන ක්‍රම අතර ලංකාවේ උඩරට නර්තනය අතිශය අලංකාර කලාවකි. එවැනි ශ්‍රේෂ්ඨ නාට්‍ය ක්‍රමයක් ලංකාවේ තිබියදි ඉන්දීය ශාස්ත්‍රීය නර්තන ක්‍රම හදාරන්ට ලාංකික තරුණයන් ඉන්දියාවට යන්නේ ඇයිදැයි මට නොවැටහේ. උඩරට නර්තනය ප්‍රාණවත් ශාස්ත්‍රීය නර්තනයකි.”
බෙරිල් ද සූටේ නම්වූ නර්තන විශේෂඥවරිය ලංකාවට ආපු වෙලාවේ උඩරට නැටුම් ගැන කිසියම් හැදෑරීමක් කළා. ඇගේත් ඉහළම ප්‍රශංසාව මෙකී නැටුම්වලට ලැබී තිබෙනවා.
1954 දී නුවර පෙරහර වර්ජනය කරන්ට උඩරට නැට්ටුවක් තීරණය කළා. ඊට හේතු වුණේ තමන්ට හිමි විය යුතු තැන නීතියෙන් අන් අයට පැවරීමයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නැටුම් පරීක්ෂක ධුරයට චිත්‍රසේන ඩයස් පත් කෙරුණා. ඔහු මුද්‍රා නාට්‍ය ශිල්පියෙක්. උඩරට නැටුම් පරීක්ෂාවට චිත්‍රසේන හැරුණුකොට තවත් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලයනල් එදිරිසිංහ. ඔහු නැට්ටුවෙක් නෙමෙයි. සංගීතඥයෙක්. අනිත් කෙනා ඊ. ඒ. දෙල්ගොඩ. ඔහු දැන සිටියේ සබරගමු නැටුම්. මේ වගේ අක්‍රමිකතා ඉතිහාසය පුරාම උඩරට නැට්ටුවන්ට සිදුව තිබෙනවා.
ගුණයා ගුරුන්නාන්සේ උඩරට නැට්ටුවන්ගේ ඛේදවාචකයේ සංකේතයක්. ඔහු විශිෂ්ටතම උඩරට නැට්ටුවෙක්. එහෙත් කිසිම රජයක් ඔහු ගැන සොයා බැලුවෙ නැහැ. වරක් එක් ආණ්ඩුවක් ඔහුට සාමදාන විනිශ්චයකාර ධුරයක් දෙන්න යෝජනා කළා. ඒක විහිළුවක්. එවැනි තනතුරකින් ඔහුට ඇති වැඩේ මොකද්ද? ගුණයා ගුරුන්නාන්සේ ඉල්ලුවේ එකම එක දෙයයි. ඒ නැටුම් මඩුවක් හදාගන්න ඉඩම් කැබැල්ලක්. ආණ්ඩුවට අයිති ඉඩම් කොච්චර තියෙනව ද? ඒත් ගුණයා ගුරුන්නාන්සේ මිය යන කල් ඔහුගේ ඉල්ලීම ඉටු කර දුන්නේ නැහැ. ඔහු මිය ගියෙත් අන්ත අසරණයකු විදියට. මේසය මත තිබුණු කුප්පි ලාම්පුව ඇඟට පෙරළි ඉන් ඇතිවූ ගින්නෙන් මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා ජීවිතක්ෂයට පත් වුණා.
සුනිල් මිහිඳුකුල