මහිංසා දුවේ | Page 2 | සිළුමිණ

මහිංසා දුවේ

කෙටිකතාව

ත්‍රස්තවාදයේ ගිනිදැල් බුර බුරා නැගෙද්දී බොහෝ දෙනකු පැතුවේ ඉක්මනින් යුද්ධයේ නිමාවක් දැකීම ය. උදෑසන නිවසින් පිටවන අයකු ගේ නැවත පැමිණීම විශ්වාස කළ නොහැකි තරමට ම ව්‍යාකූල වූ සමාජයක, කලෙක “ආමිකාරයා”, “රණවිරුවා” වී තිබුණි. ඒ කෙතරම් ද යත් බස්රථයකට ගොඩවූවිට නැගිට අසුන පිරිනැමීමට තරම් ගෞරවයක් ජන හදවත්තුලට කා වැදී තිබුණි. සාමාන්‍ය සෙබළකුට ලැබෙන ගරුත්වය දෙගුණ තෙගුණ වී අප වෙත ළඟා විය. උරහිස මත දිලෙන “තරු” සමාජය තුළ විශේෂ ගරුත්වයක් අප වෙත ළඟා කර දී තිබුණි.

යුද්ධය දරුණු ලෙස ම ඇදී යද්දී බොහෝදෙනකු ක්‍රියාන්විත රාජකාරි සඳහා යොමු වූයේ ස්වේච්ඡාවෙනි. ඔවුන් හට තම දරුපවුල්වලටත් වඩා යුද්ධයේ අවසන් කිරීම පිළිබඳ හැඟීමක් තිබුණි. බොහෝදෙනකු එලෙස උතුරේ රාජකාරි සඳහා පිටත් ව යාම නිසා ස්ථාන මාරුවක් ලැබීමට නියමිත ව සිටියත් මා හට කොළඹ රැඳී සිටීමට හැකි විය. එය මාගේ රාජකාරි වලට අමතර ව සිදුකළ අනෙකුත් ව්‍යාපාර කටයුතු පාලනය කර ගැනීමට මහත් රුකුලක් විය. ඒ පිළිබඳ ව මම හිත යටින් සතුටු වුණෙමි. තනතුරෙන් මා ලැබූ වැටුපට වඩා “තරුවල දිලිසීම” මාගේ ව්‍යාපාර කටයුතු වලට මහත් ආශිර්වාදයක් විය. බොහෝ අය ඉතා අසීරුවෙන් ළඟා කරගන්නා ඉලක්ක මම තරුවල පිහිටෙන් ඉතා පහසුවෙන් ළඟාකර ගතිමි.

“මචං අකුරැස්ස පැත්තෙ තේ ෆැක්ට්‍රියක් විකුණන්න තියෙනවා. අයිතිකාරයා ලොකු සල්ලි හදිසියකට දෙන්නෙ. පුළුවන් නම් ට්‍රයි කරලා බලපන්. වැඩේ හරි ගියොත් ගොඩ. තුන හමාරක් විතර තමයි කියන්නෙ කතා කරලා තව මොනව හරි කරන්න පුළුවන් ”

බොහෝ කලක සිට තේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකු වීමේ සිහිනය දකිමින් සිටි මා හට මාගේ මිතුරකු හදිසියේ මතක් කළේ ය. එතැන් සිට මගේ සිතේ වැඩ කළේ තේ කර්මාන්ත ශාලාව මිලදී ගන්නා අයුරු ය. කෙසේ හෝ තේ කර්මාන්ත ශාලාව මිලදී ගැනීමට සිතුවත් මා හට සොයාගත හැකි වූයේ කෝටි දෙකක මුදලක් පමණි. තවත් කෝටියක මුදලක් මා සොයා ගතයුතුව තිබිණි. එය සොයා ගන්නා අයුරු මම දස අතේ කල්පනා කලෙමි.

“කොච්චර යාළුවො හිටියත් හදිසියකට ලක්ෂ 50 ක් 60 ක් ඉල්ල ගන්න පුළුවන් එකෙක් නෑ නේ”

මගේ කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ විශ්වාසවන්තම සෙබළා හා මම පැවසුවෙමි. මට ඇතිවන සමහර ගැටලු ඔහුට පැවසීම මගේ පුරුද්දක් විය. මා ලබා දුන් එක් දුරකතන ඇමතුමකින් කිසියම් වරදක් කර අත් අඩංගුවට පත් ඔහුගේ සොයුරකු නිදහස් කරලීමට මට හැකි විය. එතැන් පටන් ඔහු මට ඉතා ළෙන්ගතු ව සිටියේ ය. එමෙන්ම මා හට අවශ්‍ය ඕනෑ ම කාර්යක් ඔහු ලවා ඉටු කරවා ගැනීමට හැකිවීම නිසා මමද ඔහුට විශේෂයෙන් සැලකීමට අමතක නොකළෙමි.

“ සර් සර්ගෙ වැඩේ කරගන්න නම් ක්‍රමයක් තියෙනවා ඒත් ......” හදිසියේ මා සොයා ආ ඔහු පැවසුවේ ය.

“කවුද මිනිහෝ මේ හදිසියෙ මෙව්වර ගානක් දෙන්න ඉන්නෙ”

ඔහුගේ වදන් කෙරෙහි කිසිදු විශ්වාසයක් මා තුළ නොවීය.

“සර් මම දන්න මිනිහෙක් ඉන්නවා. මිනිහට පොඩි දෙයක් ඕන කරලා තියෙන්නෙ. මිනිහා කැමතියි මේ ගානට වැඩේ කරන්න”

“මොනවද ඕයි මිනිහට ඔච්චර ම වටින දේ”

“සර් මිනිහට ඕන කරලා තියෙන්නෙ ලබන සතියෙ ප්ලෑන් එක. සේරම ඕනෙත් නෑ, සඳුදා ටික විතරයි ඕන.”

ඔහු කටේ තොලේ නොගෑවී කියාගෙන ගියේ ය.

“ තමුසෙට පිස්සුද ඕයි, තමුසෙ හදන්නෙ මාවත් ගස් යවන්නද? ”

එක්වරම සිතට ආ ආවේගය පාලනය කර ගැනීම මට අපහසු විය.

“නෑ සර් ඉතින් මම කිව්වෙ ....... ”

ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් සකස් කිරිම මාගේ ප්‍රධාන රාජකාරියක් විය. සඳුදා දින ආරක්ෂක අමාත්‍යවරයාගේ ගමනක් යෙදී තිබුණි. තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමේ සියුම් හැකියාවක් ත්‍රස්තවාදීන් සතු විය. ඔවුන් මා හට ළං විය හැකි නිවැරදි ම පුද්ගලයා අල්ලාගෙන තිබුණි. මාගේ අවශ්‍යතාව ඔහු දැන සිටි නිසා මා පොළඹවා ගැනීමට අසීරු නොවන බව ඔහුටද වැටහෙන්නට ඇත. ඒ ගනුදෙනුවෙන් ඔහුටද සැලකිය යුතු ප්‍රතිලාභයක්ද තිබෙන්නට ඇත.

ගනුදෙනුව සාර්ථක වීම පිළිබඳ මම ඉමහත් සතුටට පත් වුණෙමි. පොරොන්දු පරිදි ම මුදල බාධාවකින් තොරව ලබා ගැනීමට හැකි වූයෙන් පසුදා ම තේ කර්මාන්ත ශාලාව මිල දී ගතිමි. රාජකාරිය පාවාදීම පිළිබඳ අඹ මල් රේණුවක තරම් වත් කනස්සල්ලක් මා තුළ නොවීය. මගේ සිහිනය සැබෑවීම පිළිබඳ ව මම මහත් ප්‍රීතියෙන් පසු වුණෙමි.

“නුගේගොඩ “බ්ලාස්ට්” එකක් වෙලාලු හේතුව මොකක්ද කියලා හිතාගන්න අමාරුයිලු. සෑහෙන හානි කියලා තමයි ආරංචිය.”

එසේ සිදුවන බව දැන සිටි මට එය තවදුරටත් අලුත් ආරංචියක් නොවීය. ඒ ප්‍රහාරයෙන් ආරක්ෂක අමාත්‍යවරයා බේරී තිබුණි. ඔහුගේ ගමන හදිසියේ වෙනස් වීමෙන් ඔහු ඒ මාර්ගය එදින භාවිතා නොකළේ ය. තම සැලසුම අසාර්ථක වු ත්‍රස්තවාදියා තමන්ට උපරිම හානියක් කළ හැකි ලෙසට පිපිරීම සිදුකරන්නට ඇත.

දෛවයේ සරදමට මෙන් ඒ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ වගකීමද පැවරුණේ මා වෙත ය. මම පසුදා උදෑසන ම නුගේගොඩ බලා පිටත් වුණෙමි. තේ කර්මාන්ත ශාලාව මිලදී ගැනීමට හැකිවීමේ ප්‍රීතියෙන් මම පිනා යමින් සිටි මාගේ නිල ඇඳුමේ තේජස ප්‍රීතියට ආඩම්බරයක් එක් කළේ ය.

අහම්බෙන් දුටු මගේ දියණියගේ රූපයට සමාන රුවක් සහිත පින්තූරයක් වූ එක් පෝස්ටරයක් අබියස මගේ දෑස් නතරවිය.

සුන්දර සිනහවකින් මුව සරසාගත් කොළ පැහැති ටයි පටියකින් සැරසුණු හුරතල් පාසල් දැරියකගේ රුවක් එහි විය. මගේ දියණියගේ මෙන් ගෙතූ දිගු කොන්ඩා කරල් දෙක ඇගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කළේ ය. පෑනක් අතින්ගෙන පොතක යමක් ලිවිමට සූදානම් වන ඉරියව්ව ඇගේ ඡායාරූපයට එක් කළේ ආදරණීය බවකි. ඈත් මගේ දියණියත් අතර කිසිඳු වෙනසක් නොවීය. මම රථයෙන් බැස පෝස්ටරය අසලට ගියෙමි.

“මහිංසා දුවේ !
ඔබේ රුධිරයෙන්
තෙත්වූ මව්බිම
අපේ රණවිරුවන්
මීනී මරු ප්‍රභාකරන්ගෙන්
බේරා ගන්නා දිනය
වැඩි ඈතක නොවේ”

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය එය අලවා තිබූ පෝස්ටරයේ ඡායාරූපයට යටින් එසේ සඳහන් කර තිබුණි.

“ඊයේ දින සිදුවූ ප්‍රහාරයෙන් මිය ගියේ මේ අහිංසක දැරියද? ”

මට මගේ දියණිය සිහි විය. ඇගේ සිනහවත් මහිංසාගේ සිනහවත් අතර කිසිදු වෙනසක් නොවීය.

“ මේ අහිංසක දැරියගේ මිනී මරුවා මම ද?. මම සල්ලි හොයා ගත්තෙ මේ කෙල්ල ව මරා දාලාද?.”

මගේ සිතට ක්ෂණික ව ම පීඩාකාරී සිතුවිලි රාශීයක් කඩා පැන්නේ ය. මගේ දියණියගේ සිනාහඬ මගේ දෙසවන් අබියස රැව් පිළිරැව් දෙන්නට විය. මගේ දියණිය මා විසින් මරා දැමුවාක් මෙන් හැඟීමකින් මගේ හදවත තද වෙනවාක් මෙන් දැනුණි. අවට ලෝකය කරකැවෙනවාක් මෙන් මට දැණුනි. ප්‍රහාරයට ගොදුරු වූ දරුවකුගේ පොත් බෑගය හා වතුර බෝතලය කිසිවකු විසින් ආරක්ෂක වැටක එල්ලා තිබුණි. එය දුටු මගේ හදවත ශෝකයෙන් පිරී යන්නට විය. පොත් බෑගය දෙවුරේ රඳවාගත් මගේ පුංචි දියණිය එක් අතකින් වතුර බෝතලයත් අනෙක් අතින් මගේ සුළැඟිල්ලත් අල්ලා ගෙන පාසල් ගිය හැටි මගේ සිහියට නැඟුණි.

පාසල් ඇරී නිවසට ආ දියණිය මා එනතුරු මග බලා සිටිනවා ඇත. මා මිලදී ගත් තේ කර්මාන්ත ශාලාව බැලීමට ඈ පෙරමං බලා සිටී. මා එය ලබා ගත්තේ ඇය වැනි ම වු තවත් දියණියක මරා දමා බව ඈ දැනගතහොත්... මගේ හදවත පුපුරා යාමට ආසන්න යැයි දැණුනි. මහිංසා අහිමි වීමෙන් ඇගේ පියා අඬා වැලපෙන අයුරු මට මැවි මැවී පෙනෙන්නට විය. මගේ දියණිය අසනීප වී රෝහල් ගත කළ දිනක මට දැනුණු වේදනාව මට සිහි විය. මගේ බලය හමුවේ නීතිය අසරණ වුව ද මගේ හදවත මට උරුම දඬුවම ලබා දෙමින් තිබිණි.

මා හට කිසිම ආකාරයක සැනසීමක් නොවීය. කනිටු නිලධාරියා වෙත රාජකාරිය පැවරූ මම යළි නිවස බලා පැමිණියෙමි. මුහුණ සේදීමට ගත් වතුර බේසමෙන් “මහිංසා” මා දෙස බලා සිටින අයුරු පෙනන්නට විය. මුහුණ සෝදා මෙතෙක් ඇඟලා සිටි බර ඇඳුම ඉවත් කර සැහැල්ලු ඇඳුමක් ඇඟලා ගත්තද හදවතට කිසිදු සැහැල්ලුවක් නොවීය. මගේ ගෙලවටා අත දමාගත් දියණියගේත් මගේත් ඡායාරූපයක් සාලයේ තබා තිබුණි. එහි මගේ දියණිගෙන් මට “මහිංසා” මැවී පෙනේනට විය. මට මා ගැන ම පිළිකුලක් ඇති විය. හදවතේ ඇතිවූ වේදනාවත් සමඟින් මොටර් රථයට නැඟුණු මම ඉබාගාතයේ එය පදවාගෙන ගියෙමි. අතර මගදි මහ වැස්සක් ඇද හැලුණ හෙයින් වර්ෂාව නතරවන තුරුම මම ගමන් කළෙමි. මම බොහෝ දුර එන්නට ඇත.

මා කළ වරදට මට උපරිම දඬුවම ලැබෙමින් තිබිණි. එය කිසිසේත් නිවැරදි කළ නොහැකි විය. ඒ වෙනුවෙන් මම උපරිම දඬුවම විඳිය යුතුය. මට තවදුරටත් කිසිවක් පිළිබඳ ආශාවක් නොවීය. මම දුම්රිය මාර්ගය මැදට වී දෑස් පියා ගතිමි. වේගයෙන් දිව එන රුහුණු කුමාරිගේ මූසල හූ හඬ මට ළං ළං ව ඇසුණි.

Comments