සංස්කෘතික නිර්මාණ ශිල්පියා වාණිජ මෙවලමක් නොවේ | Page 3 | සිළුමිණ

සංස්කෘතික නිර්මාණ ශිල්පියා වාණිජ මෙවලමක් නොවේ

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ වාර්ෂික සම්මේලනයේදී විශේෂ අමුත්තකු වශයෙන් සහභාගී වූ අන්තර්ජාතික කීර්තියට පත් වාස්තු විද්‍යාඥ මෝෂේ ශෆ්ඩි (Moshe Safdie) මහතා විසින් පැවැත්වූ දේශනය ඇසුරෙන් මේ ලිපිය සැකැසිණි.

නගර නිර්මාණකරුවන් සහ ජනාවාස නිර්මාණකරුවන් රටක සංස්කෘතිය සහ ජීවන රටාවට ගැළපෙන සේ තම නිර්මාණ කළ යුතු බව මෝෂේ ශෆ්ඩි සඳහන් කළේ ය. එය වටිනා කියමනකි. උතුරු නැගෙනහිර විශේෂයෙන් උතුරු පළාතේ ප්‍රතිස්ථාපන සහ නව නිර්මාණ ඇති කිරීමෙහි දී එම ප්‍රදේශවලට ආවේණික ජීවන රටාවට ගැළපෙන අයුරින් ඉදිකිරීම් කළ යුතු බව එමඟින් සනාථ වේ. අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්, ප්‍රසම්පාදන කටයුතුවල නියාමකයන් මෙහෙයවන්නන් සහ නිර්මාණකරුවන් එම කාරණය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් ය.

තම ප්‍රදේශවල තමන්ට ආවේණික ජීවන රටාව සහ සංස්කෘතියට පටහැනි නගර නිර්මාණ සහ වාස්තු නිර්මාණ නොකළ යුතු බවට යුද්ධයෙන් පසු පණ ගැහෙන යාපනයේ ජන ජීවිතය සලකා එහි වෙළෙඳ සහ ප්‍රජා සංගමයක් විසින් ද ඒ බව මෑතක දී බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මොෂේ ශෆ්ඩි මහතාට ශ්‍රී ලංකාවේ තම වාර්ෂික සම්මේලනයට ආරාධනා කිරීම ගැන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයට දැඩි විරෝධයක් මාධ්‍ය මඟින් පළ කෙරුණි. මොෂේ ශෆ්ඩි මහතා ඊශ්‍රායල් ජාතිකයකු වන බවත් ඔහු පලස්තීනයේ ජනාවාස සඳහා තම නිර්මාණ සැලසීම පිළිබඳ උරණව මෙරට ඊට ප්‍රතිවිරුද්ධ වාර්ගික නම යොදාගත් සංවිධාන, දේශපාලන බලවේග විසින් එම විරෝධතාවයන් දිගින් දිගට ම පළ කෙරිණි.

අන්තර්ජාතික කීර්තියට පත් මෝෂේ ශෆ්ඩි මහතා ශ්‍රී ලංකාවේ කොළඹ බේරේ ජලාශයේ ඉදිරිපිට දැනට නිම වෙමින් පවතින ඇල ආකාරයට නිර්මිත ඇල්ටෙයාර් කුලුනු (Altair Tower) ගොඩනැගිල්ලේ සුවිශේෂී වාස්තු විදු නිර්මාණකරුය. ඔහුගේ තවත් විස්මිත නිර්මාණයක් වන්නෙ මැරිනා බේ සෑන්ඩ් Maryna Bay Sands ගොඩනැගිල්ලයි. එය සිංගප්පූරුවට යන ශ්‍රී ලාංකියන් මෙන් ම අන්තර්ජාතික ප්‍රජාව මවිතයට පත්වන නිර්මාණයකි. එහි ස්තම්භය මත පෙරට නෙරාගිය පිහිනුම් තටාකය මිනිසුන් මවිතයට පත් කරන්නකි. ඔහු අතින් නිර්මාණය වී ඇති අන්තර්ජාතික කීර්තිය ලත් නිර්මාණ රැසකි.

මෙවැනි නිර්මාණකරුවෙකු ශ්‍රී ලංකාවට පැමිණීමත් ඔහුට ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සංගමය ආරාධනා කිරීමත් අගය කළ යුතුය. ඔහුගේ ජාතිය ඊට අදාළ නැත. ඔහු දැන් සිංගප්පූරුවේ වැසියෙකි.

1960 දශකයේ දී මිනට් ද සිල්වා මිය සහ ජෙෆ්රි බාවා විසින් ශක්තිමත් කළ ගුරුකුලයට පරිබාහිරව යුරෝපීය දේශගුණික රටාවට නමුත් ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රචලිත වූ වාස්තු විද්‍යා ගුරුකුලයක නියමුවා වූ ලියෝන් මොන්ක් මහතා ඊශ්‍රායල් ජාතිකයෙක් විය. ඔහුට සම්මානනීය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ලබා දී ඔහුගේ සුවිශේෂ නිර්මාණ සඳහා කළ උපහාරයක් වශයෙනි. ජීවිතයේ සැඳෑ කල ද අවසන් වන තෙක් මෙරට ජීවත් වී, සුවිශේෂ නිර්මාණ මගින් ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණ හැඩතල නූතනත්වයට එක්කිරීම සැලකිය යුතුය. එකල ඔහුගේ නිර්මාණ ගුරුකුලය කෙතරම් ජනප්‍රිය වීද යත් පා‍ෙර් පෙට්ටිකඩ, සාමාන්‍ය නිවෙස් ද ගත් එම රටාව “ඇමෙරිකන් ස්ටයිල්” නමින් මිනිසුන් විසින් හඳුන්වනු ලැබීය. කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවෙස් ද වාණිජ ගොඩනැගිලි ද එම රටාවට අයිතිය. ඔහුගේ ගුරුකුලයෙන් ඇරඹූ වාස්තු විදු සුරත් වික්‍රමසිංහ සූරීන් විසින් නිර්මාණය කෙරුණු විශිෂ්ට නිර්මාණ රැසකි.

මොෂෝ ශාෆ්ඩි තම දේශනයෙහි දී ඉතා වැදගත් කාරණයක් ගෙනහැර දැක්වීය. ගෝලීයකරණය තුළ වාණිජ පැවැත්මෙහි අද්‍යතන වාස්තු විදුසරුවන් කාර්මික සහ වාණිජ මෙවලමක් වශයෙන් පත්වීම ඔහු විසින් විවේචනයට ලක් කරන ලදී. එය ඉතා වැදගත් කියමනකි. “නිර්මාණය සහ ඉදිකිරීම” (Design and Built) යන වාණිජ ක්‍රියා ක්‍රමවේදය මතින් වාස්තු විද්‍යාඥ නිර්මාණ ශිල්පියාව වාණිජකරණයෙහි මෙවලමක් බවට පත් කෙරෙන රටාවක් පැවතෙන බවත් එය වාස්තු විද්‍යාඥයන්ගේ ස්වාධීන නිර්මාණ කෞශල්‍යය බැහැර කරන බවත් නව වාණිජත්වයට හසු කෙරෙන ක්‍රියාදාමයක් බවත් පෙන්වා දෙන ලදී.

Design and Built පමණක් නොව කාර්මික විප්ලවවලින් පසු සහ නව ලිබරල් අර්ථ ක්‍රමය එකතු වීමෙන් පසු මෙරට ද දියත් වන ඉදිකිරීම් නිර්මාණ සහ වාස්තු නිර්මාණ ක්‍රියාවලියෙහි දී, වාස්තු විද්‍යාඥයා දැනටමත් වාණිජ වටිනාකම් වාණිජ ඇස්තමේනත්තු සහ ගෙවීම් සියල්ල තීරණය කරන සහතික කරන මිල බලධාරියා සහ නිල නොලත් තීරකයා වේ. ඔහු නිර්මාණ සහ සෑදීම Design and Built ක්‍රමේදය පමණක් නොව දැනටමත් එම වාණිජ ක්‍රියාවලියෙහි නියුතු වීම සාමාන්‍යය වී තිබේ.

මේ හේතුව නිසාමයි මාලිගා නිර්මාණය කර දේපළ මිලදී ගැනීම් වැනි වෙනත් දූෂණවලට කොමිස්වලට පමණක් නොව මහා පරිමාණ ව්‍යපාරවලට සම්බන්්ධ වී චෝදනාවලට සහ අපකීර්තියට පත්වීමට සහ නැවතත් හොරෙන් හෝ එම කටයුතුවල නිරතවීමට මුදලට ගිජු පෘථග්ජන වාස්තු විදු කාට කාටත් සිදුවී ඇත්තේ.

වාස්තු විදුවරුන් තම නිර්මාණ සහ ඉදිකිරීම්වලදී වාණිජත්වයෙන් බැහැර වන ක්‍රමවේදයන් සොයාගත යුතුය. නිර්මාණය කරගත යුතුය. මේ සඳහා වර්තමානයට උපහැරණයක් එකල එඩ්වඩ්ස් රීඩ්ස් සහ බෙග් සමාගම (Edwards Reid and Beg) මෙහෙයවූ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අග්‍රගණ්‍ය වාස්තු විද්‍යාඥයකු වූ ජෙෆ්රි බාවා මහතා හඳුන්වා දුන්නේය. ඔහු තම නිර්මාණ වානිජත්වය මූලික කරගෙන පරිපාලනයට මැදිහත් නොවීය. ඔහු කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් සහ පාලනය කිරීමට හෝ ව්‍යාපෘතියේ මිල සමාලෝචනය කිරීමට හෝ අයිතිකරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර මිල කේවල් කිරීමෙහි නියැළුණේ නැත. ඔහු තමන්ගේ නිර්මාණ කෞශල්‍ය ලෝකයෙහි නියැළෙමින් අතිවිශිෂ්ට නිර්මාණ ගුරුකුලයක් බිහි කළ තැනැත්තා විය. ඔහුගේ වාස්තු නිර්මාණ පවතින වෙ‍ෙළඳ ක්‍රමවේදය තුළ ප්‍රායෝගිකව ඉතා දක්ෂ අන්දමින් වාණිජත්වය සමඟ ගනුදෙනු සැලසූයේ අති ශූර සහ විශිෂ්ට බුද්ධිමත් පාලකයකු වූ ආචාර්ය පූලෝග සුන්දරම් මහතාය. පූලෝග සුන්දරම් මහතා තම පංගුකරු බාවා මහතාගේ නිර්මාණවලට ඇඟිලි ගැසුවේ නැත. බාවා මහතා ද පූලෝග සුන්දරම් මහතාගේ වාණිජ වෙ‍ෙළඳ පිළිවෙත්වලට ඇඟිලි ගැසුවේ නැත. එම දෙදෙනාගේ සුසංයෝගයෙන් පැවතුණ වින්‍යාසය Scenario අධ්‍යයනය කර අද සමාජයට අපේ රටට ගැළපෙන පරිදි ගෙන ආ යුතුය. වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ කුසලතාව කර්කෂක වාණිජත්වයට සහ ආයෝජකයන්ගේ, ධනවතුන්ගේ බැළමෙහෙවරකමට යොදා නොගත යුතුය.

2017 පෙබරවාරි 23 දින පාර්ලිමේන්තුවෙහි දී ඉංජිනේරු කවුන්සිලයක් ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතක් සාකච්ඡාවට ගැනීමේ දී පැවසුණු අදහස් ද මේ සඳහා වැදගත් ය. ඉංජිනෙරුවන් තම නිර්මාණ සහ විද්‍යා දැනුම භාවිතයට අමතරව මුදල් පාලනයට වටිනාකම් පරිපාලනයට, මැදිහත් වීමේ භූමිකාවෙහි නියැළීම පවතින ලෝක පරිපාටියයි. එම ප්‍රජාව තම විද්‍යා දැනුම සහ නිර්මාණයෙහි නියැළීමෙන් බැහැරව එම වාණිජකරණයෙහි නියැළීමෙන් ඈත්වීමේ ව්‍යාපාරික ප්‍රවණතා ද විකල්ප වාණිජ ක්‍රමවේදයන් ද දැන් බිහි වෙමින් පවතී. මේ ගැන හදාරා අපට ගැළපෙන වාණිජ ක්‍රමවේදයන් නිර්මාණය කර ගැනීමෙන් ස්වාධින නිර්මාණකරුවන් වාණිජත්වයට ඇතුළුවීමෙන් වැළකී තම ක්ෂේත්‍රය නිර්මාණයට විදු දැනුමට සහ භාවිතයට සීමා කරගෙන කටයුතු කෙරෙන වාස්තු විද්‍යා සේවාවන් නිර්මාණය කරගත හැකිය. විස්මිත සීගිරිය, ලෝවාමහාපාය, කලා වැව, යෝධ ඇළ නිර්මාණය කර ඇත්තේ අද පවතින වාණිජ ක්‍රමවේදය මඟින් නොවන බව මෙම කාරණය අලළා කෙටියෙන් මෙනෙහි කරගැනීම වැදගත් ය.

ජයසිරි සමරතුංග
Jayasiri.sd@gmail.com 

Comments