
ඇය රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ පළමු වැනි කිවිඳියයි. කවිය, ගේය පදය, නවකතාව සහ කෙටිකතාව එකසේ ස්පර්ශ කළ ඇය යමුනා මාලිනි පෙරේරා ය. ඇය මෙවර සඳ සමඟ සක්මන නමින් ඇගේ දහතුන්වැනි කාව්‍ය නිර්මාණ එකතුව පාඨක සහෘදයා වෙත පිරිනමයි.
1993 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ 'තිත්ත මකරන්දය' ඇගේ කාව්‍ය කෘතියකි. 1990 සහ 1991 වර්ෂවල විශිෂ්ට කෘති සඳහා නිර්දේශිත 'ණයට ගත් සාජ්ජය' හා 'කුලී මාලිගා' ඇගේ නිර්මාණයන්ය. පාඨක ඉල්ලීම අනුව ඇගේ ලිපි එකතුවක් ද 'සංකල්පාන්තය' නමින් පසුගිය දිනක ජනගත විය.
ඇගේ ජීවිතයේ ඈ ලද අත්දැකීම් 'සඳ සමඟ සක්මනක' කාව්‍ය සංග්‍රහයෙන් ඉදිරිපත් කරන්නේ ඇගේ නිසඟ කවිකම මතු කරමිනි.
මේ ඇයගේ නවතම නිර්මාණ එකතුව පිළිබඳ කරන ලද සංලාපයකි.
• ඔබේ 13 වැනි කාව්‍ය සංග්‍රහය වන 'සඳ සමඟ සක්මනක' කාව්‍ය සංග්‍රහයට පාදක වූ අත්දැකීම් පිළිබඳව සඳහන් කළොත් ?
මට ලැබෙන අත්දැකීම් විවිධයි. අත්දැකීම්වලට සුදුසු මාධ්‍ය තෝරා ගන්න මා නිතරම උත්සාහ කරනවා. කවියකින්, කෙටිකතාවකින්, නවකතාවකින් හෝ ගීතයකින් මගේ අත්දැකීම් මා නිර්මාණයක් බවට පත් කරනවා.
• කාව්‍ය සංග්‍රහයකට මුලින් ම රාජ්‍ය සම්මාන හිමි වූ කිවිඳිය ඔබ කීවොත් නිවැරදි...
මගේ 'කුලී මාලිගා' නම් කෘතිය රාජ්‍ය සම්මානයට නිර්දේශ වුණා. 1990දි ණයට ගත් සාජ්ජය ලියා පළ කළා. ඉන් අනතුරුව රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී එය විශිෂ්ට කාව්‍ය නිර්මාණයක් ලෙස නිර්දේශ වුණා. ඉන් අනතුරුව 1991 වසරේදී 'කුලී මාලිගා' කාව්‍ය සංග්‍රහයත් විශිෂ්ට සාහිත්‍ය කෘති සඳහා නිර්දේශ වුණා. 1993 'තිත්ත මකරන්දය' නම් කාව්‍ය කෘතිය සඳහා රාජ්‍ය සම්මාන හිමි වුණා. 'සඳ සමඟ සක්මනක' මගේ 13 වැනි කාව්‍ය එකතුවයි.
• ඔබ කවිය, ගේය පදය, යොවුන් නවකතාව සහ කෙටිකතාව යන සිව්කොන ම ස්පර්ශ කරන කලාකාරිණියක් ලෙස මෙයින් වඩා ප්‍රිය කරන්නේ කුමන මාධ්‍යය ද ?
මා මුලින් ම ලියුවේ කවිය. ඒ කවිකමට මා හැමදාම ආදරෙයි. ගීතය, නවකතාව, කෙටිකතාව ආදී කුමන මාධ්‍යයකින් මා නිර්මාණ බිහි කළත් එදා මෙදා තුර මගේ ප්‍රථම ප්‍රේමය කවිය කීවොත් නිවැරදියි. හෘදයංගම ප්‍රකාශනයකට තමන්ගේ හිතේ ඇතිවන හැඟීමක් තමන්ගේ ම හැඟීමක් බවට පත්කරගෙන තමන්ගේ පරිකල්පන ශක්තියෙන් මා බිහි කරන මගේ කාව්‍ය නිර්මාණ, නිර්මාණාත්මක ප්‍රකාශයක් බවට පත් කිරීමට මා උත්සාහ කරනවා. ඒ හැඟිම් මා වඩා සාර්ථක ව පාඨකයාට දැනෙන හැඟෙන ආකාරයට ලියන්න උත්සාහ කරනවා.
• ඔබේ ම හැගීම් සමුදායක් ද 'සඳ සමඟ සක්මනක' නැමැති කාව්‍ය සංග්‍රහයෙන් ජනගත කරන්න උත්සාහ කරන්නේ?
සැබැවින්ම. මා මගේ අත්දැකිම් සමාජානුභූති අත්දැකිමක් බවට පත්කිරීමේ දි විශේෂයෙන් අදාළ අත්දැකීමට සුදුසු බසක් භාවිත කිරීමට උත්සාහ කරනවා.
• ඔබ කාව්‍ය නිර්මාණය කිරිමේ දී කාෙව්‍යා්ක්තීන් මතු කිරිමෙහිලා භාවිත කරන ශිල්පීය උපක්‍රම මොනවාද?
මනුෂ්‍යයාට සතා සිව්සිවුපාවාට මෙන්ම සංවේදි පොදු ධර්මතා වන ප්‍රේමය, විරහව, ආදරය ස්වභාවධර්මයේ අපූර්වත්වය ආදිය ඇතැම් ප්‍රස්තුත තෝරා ගැනීමේ දී මා පාඨකයාට දැනෙන හැඟෙන සියුම් සංවේග ජනක ආකාරයට ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. මා එය මගේ නවතම ලිපි එකතුව වන සංකල්පාන්තයේදීත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළා.
• මේ කාව්‍ය සංග්‍රහයේ ඇතැම් කවි දෙස බැලූ විට කාව්‍ය සංවාදාත්මක දිර්ඝ නිර්මාණ බව පෙනෙනවා?
මා ඇතැම් කාව්‍ය නිර්මාණයන්ගෙන් මගේ ම සිතත් සමඟ යෙදෙන සංවාද ලෙස ඉදිරිපත් කරන අවස්ථා තිබෙනවා. මේ මඟින් ජිවිතයේ යථා ස්වභාවය අනිත්‍යතාවය විරහව වැනි මාතෘකා සම්බන්ධයෙන් මා තෝරා ගන්නවා. මා සිතන්නේ කවර දෘෂ්ටියකින් ආකෘතියකින් කවර සන්දර්භයකට වුව ද කාව්‍යයෝචිත බස් වහර තෝරා ගැනීමෙන් සාර්ථක කවියක් නිර්මාණය කළ හැකි යි. ඒ නිසා වඩා සංක්ෂිප්ත ව කෙටි වැකියකින් කියන්න අවශ්‍ය තැන එසේ කීමටත්, දීර්ඝ වැකියකින් කිවයුතු තැන් හි දිර්ඝ ආකාරයට කීමටත් මා උත්සාහ කරනවා.
• මේ කාව්‍ය සංග්‍රහයේ ඇතැම් පද්‍ය පන්ති තුළින් ගීතවත් භාවයක් මතුවන අවස්ථා දැකිය හැකියි?
"ඉවුරක කතාව" වැනි පද්‍ය පන්ති ගීතයකට උචිත බව බොහෝ දෙනෙක් මට පවසා තිබෙනවා. මගේ කවිය තුළින් නිසඟයෙන් ම ගීතවත් භාවයක් මතු විය හැකියි. යම් කවියක් හෝ ගීතයක් නිර්මාණය කිරීමේ දී මගේ හිතේ යම් රිද්මයක් තියෙනවා. ඒ රිද්මය ඇතුළත ගීතවත්බවක් තිබිය හැකියි. ඒ නිසා මගේ ඇතැම් කවි ගීතයකට වඩා උචිත විය හැකියි.
• ඔබ කවි ලිවීමට ආරම්භ කළ අවධිය සිහිපත් කළොත්්?
මම මුලින් ම කවියක් ලියන්න පටන්ගත්තේ පාසල් යන අවධියේදී. ඒ වන විට මා පාසලේ පහේ පන්තියේ විතර. එතකොට බොහෝම ආයාසයකින් තමයි මගේ පියාව එකඟ කරගෙන 'හඳ මාමා' වැඩසටහනට කවියක් තැපැල් කළේ. 'හඳ මාමා' වැඩසටහනට කවිය යොමු කරපු පළමු සතියේ ම මගේ කවිය 'හඳ මාමා' වැඩ සටහනේ ප්‍රචාරය වුණා. එදා මගේ සතුට ඉහ වහා ගියා. තාත්තා එදා කිව්වා මීට පස්සේ කවි ලියන්න එපා කියා. පාසල් අවදියේ සිටි මට එතරම් පිටිවහලක් ගෙදරින් එදා ලැබුණෙ නැහැ. අධ්‍යාපන කටයුතු අතපසු වෙයි, අධ්‍යාපන වැඩ අවසන් කරලා කවි ලියන්න කියලයි මගේ පියා කිව්වේ. මට ඒ වෙලාවේ හිතට ටිකක් දුක හිතුණා. ඒත් මගේ හිතේ තිබුණ කවිය පිළිබඳ හැඟිම නැතිවී ගියේ නැහැ. ඉන් පසු මගේ හිතට එන කාව්‍ය සංකල්පනා මා පුංචි පොතක සටහන් කළා. ඉන් පසු උසස් පෙළින් අනතුරුව යළිත් මා ගුවන් විදුලියට කවි ලියන්න පටන් ගත්තා. ගුවන් විදුලියට ලියූ කවි සියල්ල ම වගේ ප්‍රචාරය වුණා. ඒ කවි රස විඳින රසික පරපුරකුත් ගොඩනැඟුණා. රසිකයන්ගෙන් පමණක් නොවෙයි, විද්වතුන්ගෙන් පවා මට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා.
මට ඒ ලිපි අතර එක් ලිපියක් තාම මතකයි; එක්තරා විද්වතෙක් මට ලිපියක් එවා තිබුණා, එහි තිබුණා අනාගතයේ හොඳ කිවිඳියක් වීමේ පෙරනිමිති මගේ කවියෙන් දකින්නට හැකි බව. එවකට මා කවි ලිව්වේ ගාල්ලේ ද බ්‍රවුන්ස් පාරේ යමුනා මාලනී ද සිල්වා කියන නමිනුයි. ඒ ලිපිනයටයි ලිපි එන්නේ. ඉන් අනතුරුව ධර්මසිරි ගමගේ මහත්තයා යොවුන් ජනතා පුවත්පත ආරම්භ කළා. ඒ පුවත්පතට මා හුඟාක් දුරට ලියන්න පටන් ගත්තා. "යොවුන් පහන් වැට" නවකයන් වෙනුවෙන් වෙන්වෙලායි තිබුණේ. මා ඒ පුවත්පතට කවි හා කෙටිකතා ලීවිම ආරම්භ කළා. "යොවුන් පහන් වැට" නිර්මාණකරණයේ යෙදෙන නවකයන්ට තෝතැන්නක් වුණා. මම වගේම දහස් ගණනක් කවියෝ, ගීත රචකයෝ ඒ වගේම නවකතා සහ කෙටිකතාකරුවෝ බොහොමයක් බිහිවුණේ මේ ඔස්සේ කිව්වොත් නිවැරැදියි. බණ්ඩාර ඇහැළියගොඩ, බන්දුල නානායක්කාරවසම් ඇතුළු ගීතරචකයන් රැසක් ඒ අතර ඉන්නවා. නව නිර්මාණකරුවන්ට අත දෙන ධර්මසිරි ගමගේ මහත්තයා වගේ අය අද නැහැ. ඒ වගේ මඟ පෙන්වන්නෙක් ආයේ බිහිවෙයිදැයි මට සැකයක් මතුවෙනවා. නිර්මාණගීලිත්වය අතින් ඉහළට ගිය අයගේ යුතුකමක් තියෙනවා, නවකයන්ට මඟ පෙන්වන්න.
• ඔබ කිවිඳියක්. ඔබේ කවිය පසුකාලින ව ගීතය බවට පත්වන්නේ කොහොමද?
එය අහම්බයකින් වූ සිදුවීමක්. මගේ ස්වාමිපුරුෂයා, සුනිල් එදිරිසිංහ මහතා සමඟ සේවය කළේ මහවැලියේ. ඒ කාලේ කවි ලියන යමුනා මාලීනි, සේනකගේ බිරිය බව සුනිල් අයියා දැනගෙන හිටියේ නැහැ. දැනගත් වහාම සුනිල් අයියා කියලා තිබුණා ගීතයක් ලියලා දෙන්න කියලා. මා විසින් ලියන ලද කවියක් තමයි ඒ ඉල්ලීමට අනුව සුනිල් අයියා ගීතයක් බවට පත් කර දුන්නේ. ඒ මගේ පළමු ගීතයයි; ඒ 'අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්...' ඒ ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලැබුණා. අදටත් එය ජනප්‍රියයි.
ඉන් අනතුරුව මා විසින් කරුණාරත්න දිවුල්ගනේ ට සහ චන්දන ලියනආරච්චි ට ලියන ලද බොහෝ ගීත ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. මා මේ වන විට ගීත පන්සියයකට අධික ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. මේ ගීත සියල්ල ම පාහේ ඉතා ජනප්‍රියයි.
සේයාරුව - සුසන්ත විජේගුණසේකර