තෙත් කලාපය වියළි කලාපයක් වෙන්න ළගයි | Page 12 | සිළුමිණ

තෙත් කලාපය වියළි කලාපයක් වෙන්න ළගයි


අපේ රටේ පළාත් හයක දිස්ත්‍රික්ක 16ක ලක්ෂ 9 කට අධික පිරිසක් නියඟය නිසා ජලය නොමැතිව මේ දිනවල බලවත් දුෂ්කරතාවකට ලක්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවක දැක්විණ.

දකුණ, නැඟෙනහිර, බස්නාහිර පළාත් වලටත් රට මැද ස්ථාන කිහිපයකටත් වැස්ස ලැබුණත් විශේෂයෙන් ගම්පහ, කළුතර, මොනරාගල, අනුරාධපුරය, පුත්තලම, වවුනියාව, මන්නාරම, යාපනය, මුලතිව් යන දිස්ත්‍රික්කවල මේ දිනවල බලවත් ජල හිඟයක් ඇතැයි අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ ද පවසති.

වැස්ස අඩුවීම මේ නියඟයට ප්‍රධාන හේතුව වන අතර ජලය හිඟකමට නම් ප්‍රධාන හේතුව වී ඇත්තේ අපගේ ඉඩම් පරිහරණයේ නොසැලකිල්ල හා ජල පෝෂිත කළමනාකරණය නො කිරීමයි.

අද අපේ රටේ ජල පෝෂක පිළිබඳව ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ පරිසරවේදී ඩී.පී. මුණවීර මහතා පවසන පරිදි මෙරට ජල පෝෂක ප්‍රදේශ, උල්පත් හා ඉහළ ජලාධාර සුරැකීමට කිසිම බලය ලත් අධිකාරිය ලත් ආයතනයක් අපේ ර‍ෙට් නොමැත. අදාළ ප්‍රාදේශීය හා ජල සම්පත් මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ‍හෝ පරිසර අමාත්‍යාංශයකින් මේ සුවිශේෂ පාරිසරික පද්ධති සුරැකීමට කිසිම ක්‍රමවත් බලවත් ක්‍රම විධි නීති රීති සකස් කර නොමැත.

“අහසින් ලැබෙන එක ජල බිඳුවක් හෝ වැඩක් නොගෙන මුහුදට යැවීම නොකළ යුතුය” යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා පැවැසූ වදන අද අපේ ප්‍රාදේශීය බලධාරීන්ට නිලධාරීන්ට අමතක වී ඇත.

අපට ලැබෙන වැස්සේ ජලය ටික කාලයක් පසේ තිබීමට නම් කළ යුතු වැදගත්ම කටයුත්ත වන්නේ ග්‍රාමීය මට්ටමේ ජල පෝෂිත කළමනාකරණ කටයුතු විධිමත් කිරීමය. ජලපෝෂිතයක් යනු පහත් බිම්වල ඇති ගංගා වැව් ජලාශ මෝයකට ආදියට ජලය ගලා එන ලෙස ස්වාභාවිකව සැකසී ඇති වැසි ජලය පතිත වන හා එකතු වන පරිසර පද්ධතියකි.

මෙම ජල පෝෂිත කළමනාකරණය සඳහා ප්‍රධාන ලෙස ඒ ප්‍රදේශවල පදිංචි ජනතාවට කටයුතු කළ යුතුය. තම ප්‍රදේශයේ තම වත්තේ ජල පෝෂිත ප්‍රදේශය විනාශ කර එය එළි කර වගා කිරීමෙන් පසු ප්‍රදේශයට ජලය නැති බව කීම විහිළුවකි. ප්‍රදේශවාසී ජනතාව මුලින් ම ඒ ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශ හඳුනාගත යුතුය. පසුව ඒවා සංරක්ෂණය කිරීමට සැවොම එක්වී පොදු පියවර ගත යුතු ය. එපමණක් නොව, එයට ජලය ගලා එන මාර්ග සුරැකිය යුතු ය.

ජනතාව එම කටයුත්ත සිදු කරන අතර මේ ජල පෝෂක කළමනාකරණය හා සුරැකීම සඳහා නීති රීති අණ පනත් ද සකස් කර ක්‍රියාවට නැංවීමට රජය හා පරිසර අමාත්‍යාංශය පියවර ගත යුතුව ඇත.

ජනගහනය වැඩිවීම අලුත් පරම්පරාව බිහිවීම ආදිය නිසා ගම්වල තිබූ ගස් ගොම්මන කැලෑව හා කුරුලු පාළුව වැනි ජල පෝෂිත අද නැත‍. ඒවා ද අද කෘෂිකාර්මික කටයුතු සඳහ භාවිත කර තිබේ. මේ තත්ත්ව වැළැක්වීමට බලය ලත් ආයතනයක් බිහිවීම ඉක්මනින් කළ යුතු බව මිහිතල මිතුරෝ පරිසර සංවිධානය හා හරිත මිතුරෝ පරිසර සංවර්ධනය වැනි පරිසර සංවිධාන පෙන්වා දෙති.

පවතින වන ආවරණය සංරක්ෂණය කිරීම, ගෙවතු ඇතුළත වෘක්ෂලතා ගහනය වැඩි කර ගැනීම, වනාන්තර එලෙසම පවත්වාගැනීම, නැවත වන වගාව, කෘෂි වනාන්තර ඇති කිරීම සඳහා ජනතාව උනන්දු කිරීම ඉඩම් පරිහරණ දැනුම වැඩි දියුණු කිරීම අපේ ජලපෝෂිත හා ජලාධාර සං‍රක්ෂණයට ඉවහල් වන බව මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති කරුණාදාස මූණගම මහතා පෙන්වා දෙයි.

එමෙන් ම මෙරට ජල සම්පත්, ඉහළ ජලාධාර හා ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණයට හා කළමනාකරණයට මීට වසර 8 - 10 කට පෙර මෙරට ක්‍රියාත්මක ව‍ූ ඉහළ ජලාධාර සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති රටට අද අත්‍යවශ්‍ය බව හරිත මිතු‍රෝ පරිසර සංවිධානයේ සභාපති ප්‍රියදර්ශන සමන් කුමාර මහතා ද පෙන්වා දෙයි.

මේ සියලු පරිසර සංවිධාන අවධාරණය කරන්නේ ‘ජලය නැහැ. නියඟය වැඩියි” කිය කියා දෙස් දෙවොල් දෙන්නේ නැතිව ජල හිඟයක් ඇති නොවීම සඳහා සුදුසු කෙටිකාලීන මධ්‍යකාලීන හා දිර්ඝකාලීන පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවේ නැංවීමට දුෂ්කරතාවට පත්වූ සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා ගම් මට්ටමින් ම යෝජනා වගකිවයුත්තන්ට ඉදිරිපත් කළ හැකි ය.

මේ අතර මේ ජල හිඟයට හේතු ගැන කාලගුණ විද්‍යාත්මක දත්ත අපට පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හා හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ. ආර්. අභයසිංහ මහතා පැවසුවේ මේ දිනවල පවතින වැස්සේ තීව්‍රතාව ඉතා වැඩි නිසා වැස්සේ ලැබෙන ජලය කෙළින් ම ඇළ මාර්ග හා ජලාශ වෙත ගමන් කරන බවයි. ඒ නිසා ඒ වැස්ස පසට උරා ගැනීම දුර්වල වී ඇති බව ද අභයසිංහ මහතා අවධාරණය කරයි. ඊට අමතරව මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා වැස්සෙන් ලැබෙන ජල ස්කන්ධය ඉක්මනින් වාෂ්පීකරණය මඟින් ක්ෂය වීම සිදුවෙන බවත් අභයසිංහ මහතා තම පර්යේෂණ ප්‍රතිඵල අනුව අවධාරණය කරයි.

පොළොවට වැස්සෙන් ලැබෙන ජල ප්‍රවාහය කෙළින් ම පසට උරා ගන්නේ නැති බවත් එය එම ජල ප්‍රවාහය, ගලාගෙන යන ජලය, වාෂ්පීකරණය වන ජලය හා පසට උරාගත හැකි ජලය ලෙස කොටස් තුනකට බෙදෙන බවත් ඒ මහතා කියයි. අද ඇති වී ඇති මෙම ලොකුම කාලගුණ හා දේශගුණ ගැටලු නිසා අපේ රටේ තෙත් කලාපය වියළි කලාපයක් බවට පත්වෙමින් පවතින බව ද තම පර්යේෂණ අනුව පැහැදිලි කළ හැකි බව ද අභයසිංහ මහතා අනතුරු අඟවයි.

මේ අතර පසුගිය සිකුරාදා වනවිට මෙසේ පළාත් හයක දිසත්‍රික්ක 16 ක පුද්ගලයන් ලක්ෂ 9 කට ආසන්න පිරිසක් නියඟය හා ජල හිඟය නිසා පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කළේ ය.

ඉන් වැඩිම පීඩාවට පත්වී ඇත්තේ පානීය ජලය නොලැබුණු පිරිස ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව 105000 ක් ජල හිඟයෙන් පීඩා විඳිති. බස්නාහිර පළාතේ පීඩාවට පත් වූ පිරිස ලක්ෂ 3 ට වැඩි ය. පානීය ජලය නැතිව හා වගා පාළු වී, ඒ අය නියඟයෙන් දරුණු ලෙස පීඩා විඳිති. පිරිසිදු ජලය නැතිව අපවිත්‍ර ජලය පවා පානය කරති. සබරගමුව පළාතේ පුද්ගලයන් 125475 ක් ද උතුරු පළාතේ පුද්ගලයන් 225526 ක් ද නැ‍ඟෙනහිර පළාතේ පුද්ගලයන් 94033 ක් ද මෙලෙස පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. ඌව, උතුරු මැද, වයඹ පළාත්වල ද දරුණු ‍නියඟ තත්ත්වය පවතී. වයඹේ අසරණවූ ජනතාව 67000 කි. යාපන‍ෙය් 76240 කි.

දැනට පවතින නියඟය දරුණු ලෙසම බලපා ඇති තෙත් කලාපයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවන්නේ දිවුලපිටිය, මීරිගම, මිනුවන්ගොඩ හා බේරුවල ය. ඊට අමතරව අත්තනගල්ල, මුලතිව්, යාපනය කටාන, මුසලි, වවුනියාව වැනි ප්‍රදේශවල ද නියඟය දරුණු වී ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

මේ පිළිබඳව අප කළ විමසුමකදී කරුණු දැක්වූ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නියඟයේදී වගා හානි වී තිබුණ ඉඩම් අක්කරයක් වෙනුවෙන් රුපියල් 10000 ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සිදු කරමින් සිටින බවයි.

“අපි නියඟය දරුණු දිස්ත්‍රික්කවලට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ අනුව ඒ සියලු දිස්ත්‍රික්ක සඳහා ලීටර් 1000 ජල ටැංකි 2350 ක් දැනටම ලබාදී තිබෙනවා. ඒ සමඟම ගම්පහ, කුරුණෑගල, වවුනියාව වගේ දිස්ත්‍රික්කවලට අවශ්‍ය ජලය ප්‍රවාහනය කිරීමට වතුර බවුසර් අවශ්‍ය දිසාපතිවරු ඉල්ලන පරිදි ලබාදුන්නා. තවත් ට්‍රැක්ටර් බවුසර් 100 ක් ඉදිරියේ දී මිලදී ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඉල්ලන පරිදි සියලු නියං සහන ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගන්නා බව ද චමින්ද පතිරාජ මහතා පවසයි‍.

මේ පිළිබඳව අපි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතාගේ විමසුමට පැවසුවේ ජලය හිඟ සියලු ප්‍රදේශවලට ජලය දෙන බවයි. මිනුවන්ගොඩ, අත්තනගල්ල, කටාන, මීරිගම, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අවශ්‍ය තරම් ජලය ලබාදෙන බව ද අජිත් නිශාන්ත මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් අනුව ජලය ලබාදෙන බව ද අජිත් නිශාන්ත මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසන්නේ කළුතර කෙත්හේන ප්‍රදේශයේ ජලය බෙදා හැරීමේදී ජලයට ලුණු මිශ්‍ර වීම නිසා ඇතිවී ඇති ගැටලුවට විසඳුම් දී ඇති බවයි. ඒ අනුව දැනටමත් ලීටර් 1000 ටැංකි 400ක් බේරුවල, කළුතර ප්‍රදේශවල ජනතාවට ලබාදී ඇති බව ඔහු කීය.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ද ක්‍රමයෙන් දැන් අඩුවෙමින් පවතී. මේ නිසා ජල විදුලිය නිපදවීම සිදු වන්නේ මෙරට මුළු විදුලි බල නිපයුමෙන් සියයට 8 කටත් වඩා අඩුවෙන් බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා පවසයි. මේ පිළිබඳව කරුණු දැක්වූ විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ අප්‍රේල් වන තෙක් හරි වැස්සක් නොලැබුණොත් ජල විදුලිය නිපදවීම බින්දුවට බසිනු ඇති බවයි.

විදුලිබල ඉංජිනේරුවරුන් පවසන්නේ සුළං සූර්ය බලය වැනි විකල්ප බල ශක්ති කරා යා යුතු බවයි. පසුගිය බ්‍රහස්පතින්දා මහවැලි අධිකාරිය නිකුත් කළ දත්ත අනුව රන්දෙණිගල ජලාශයේ තිබුණේ තිබිය යුතු පූර්ණ ධාරිතාවෙන් සියයට 37 ක් පමණි. වික්ටෝරියා සියයට 34 කි. සමනළ වැව ධාරිතාව සියයට 16 දක්වා පහත බැස තිබූ අතර රන්ටැඹේ ධාරිතාව ඉතාම අඩු වී තිබිණි. මීට අමතරව අනුරාධපුර නුවරවැව ධාරිතාව සියයට 18 දක්වා ද කන්තලේ වැවේ ධාරිතාව සියයට 29 ක් දක්වා ද පහළ බැස ඇත. මීට අමතරව හුරුළුවැවේ ජල ධාරිතාව පසුගිය බ්‍රහස්පතින්දා වනවිට සියයට 17 දක්වා ද සමනළ වැව ධාරිතාව මුළු ධාරිතාවෙන් සියයට 16 දක්වා ද පහළ බැස තිබිණි‍.

මීට අමතරව ප්‍රධාන ගංගාවල ජල මට්ටම ද දැන් විශාල ලෙස අඩුවෙමින් පවතී. ඒ අනුව මහවැලි කළු කැලණි වලවේ ගංගාවල ජල මට්ටම ඉතා අඩුවී තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ බලවත් ජල ගැටලුවක් පවතී. ඒ නිසා ග්‍රාම නිලධාරි වසම් 56 ක 10500 ක් පමණ දෙනා පීඩාවට පත්වී සිටිති. මේ අයට පානීය ජලය ලබාදීමට දිනකට පිරිසුදු ජලය ලීටර් 28000 ක් ලබාදෙන බව මීරිගම ප්‍රාදේශීය ලේකම් වයි.අයි. එම්. ද සිල්වා මහතා සඳහන් කරයි.

කෙසේ වුවත් මීරිගම පදිංචි ජනතාව සඳහන් කරන්නේ එක් පුද්ගලයකුට දවස් හතරකට දෙන්නේ පානීය ජලය ලීටර් හයක් පමණක් බවයි. “මේ ජලය ගෑවෙන්නවත් මදි. මෙහෙම ජල හිඟයක් කවදාවත් වෙලා නැහැ. පස් කපන එකයි පරිසර විනාශයයි තමයි මේකට මුල. ඉස්සර බුබුළේ වතුර තිබුණා. දැන් ඒකත් අඩුවෙලා. දැන් අපේ ළිං සේරම හිදිලා.” වත්මන් ජල ගැටලුව පිළිබඳව මිදෙල්ලකොටුවේ එම්. මාටින් මහතා මේ බව පැවසීය.

“පසුගිය වකවානුවේ ජාඇළ ප්‍රදේශයේ මුතුරාජවෙලට යෑම ද අක්කර 23 ක වගුරු බිමක් අනවසරයෙන් ගොඩ කළා. ඒ සමඟම දිවුලපිටියේ අකරගම ප්‍රදේශයේ අක්කර ගණනක අනවසර පස් කැපීම් සිදු වුණා. මේ සිදුවන්නේ ඒ පරිසර විනාශයේ ආපසු ඒ ප්‍රදේශවල ජනතාවට භූමරංගයක් ලෙස කැරකී ගලා ඒමයි.” යම් තැනෙක පරිසරය විනාශ කළොත් ඒ ප්‍රදේශවල අයට තමයි එහි ආදිනව මුලින් ම විද ගන්න වෙන්නේ ගම්පහට. දැන් වෙලා තියෙන්නේ ඒ වගේ එකක්.” වනජීවී සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර අප සමඟ පැවසුවේ පරිසර පද්ධතියක සමතුලිතතාවේ වැදගත්කම ද පෙන්වා දෙමිනි.

මේ කරුණු අනුව පැවසිය හැක්කේ රටේ ම ජල හිඟයට පරිසර විනාශය මෙන් ම ජල සංරක්ෂණයට ජනතාව දක්වන නොසැලකිල්ල ද හේතුවී ඇති බවයි. එය හොඳ පරිසර පාඩමක් ලෙස සලකා ඉදිරි කටයුතු කිරීම සැමට යහපතක් වනු ඇත.

--------------

වගා හානි වූ අයට අක්කරයකට රුපියල් 10,000ක්

ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

නියඟයෙන් සිය වගා හානි වූ ගොවි ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මාස 4ක් වන්දි ගෙවන බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ අනුව වගා හානිවූ ඉඩම් අක්කරයකට රුපියල් 10,000 ක් මාර්තු මස සිට මාස 4ක් ලබාදෙන බවත් පානීය ජල ගැටලුව විසඳීමට රුපියල් කෝටි 9කට ආසන්න මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති බැවත් ඇමැතිවරයා කියයි.

පුංචි වැසි ඇති වුවත් තවමත් දිස්ත්‍රික්ක 16ක නියඟයක් පවතින බව පෙන්වා දෙන ඇමැතිවරයා නියඟයෙන් පීඩා විඳින අයට පානීය ජලය නොඅඩුව ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දිගටම කටයුතු කරන බවද කීය.

වගා හානි පිළිබඳව ප්‍ර‍ාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැන් අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර ගොවිජන සේවා කාර්යාලවල සහායද ඇතිව වන්දි වැඩපිළවෙළ ක්‍රියාවට නැංවේ. මේ කටයුතු සඳහා සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රක් ලේකම්වරු හා ආපදා කළමනාකරණ ඒකක මඟින් පූර්ණ සහාය දක්වන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

----------

ජල පෝෂක රැක ගත්තොත් ජල හිඟයක් නැහැ

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක ආචාර්ය පී.බී. ධර්මසේන

අද රටේ පවතින ජල හිඟයට ප්‍රධාන හේතුව අපේ රටට ලැබෙන වැස්සේ ජල ප්‍රමාණය නිසි ලෙස පස ඇතුළත ගබඩා නොවීමයි. පසට ලැබෙන වැස්ස නිසි පරිදි ගබඩා වීමට නම් පස සවිවර වීම අත්‍යවශ්‍යවේ.

පස සවිවර කර ගැනීමට වන වගා කාබනික ද්‍රව්‍ය හා ඓන්ද්‍රීය ද්‍රව්‍ය බහුලව පසේ තිබිය යුතුයි. අවට පරිසරය සුරැකිය යුතුයි. පස හොඳින් ආවරණය වී තිබිය යුතුයි. ඒ අනුව අප කළ යුත්තේ ජල පෝෂිත ප්‍රදේශවල ගස් වැල් වැනි ශාකමය පරිසර පද්ධති වගා කිරීමයි. ඒ සමඟම ජලධාර සංරක්ෂණය අවට ජලපෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කළ යුතුයි. තිබෙන වන වගා කැලෑ ආදිය ඉවත් නොකළ යුතුයි.

ජල පෝෂිත ප්‍රදේශයක් ප්‍රධාන ‍කොටස් තුනයි. ඉන් පළමුවැන්න ජලය ගලායන වන ප්‍රදේශයයි. මැද ප්‍රදේශය ජලය ගබඩා කරන ප්‍රදේශයයි. තුන්වැන්න ජලය ප්‍රයෝජනයට ගන්නා ප්‍රදේශයයි. ඒ අනුව ජල පෝෂිත ප්‍රදේශ සුරැකීමට මේ ස්ථාන තුනම සුරැකිය යුතුයි. ජල ගබඩාවේ ජලය සුරැකීමට අපි පියවර ගත යුතුයි. එය කළවිට නියඟයක් ආවත් අපිට ලොකු ජල හිඟයක් ඇති‍ වෙන්නේ නැහැ.

අපේ රටේ ප්‍රධාන ගංගාවලින් ජලය මුහුදට ගලායෑම අඩුකිරීමට නම් ගංගා ඉහළ එම ජලය ගබඩා කිරීමට ජලාශ ඉදිකළ යුතුය. ඒ අනුව දැදුරු ඔයට වැස්සෙන් ලැබෙන ජලයෙන් සියයට 34ක්ම නිකම්ම මහ මුහුදට ගලා යනවා. ඒවා වැළැක්වීමට පියවර ගත යුතුයි.

සේයාරූ - කොටදෙණියාව සමූහ එම්.පී. කුමාර

  

Comments

පිටු