පණු කරඳ කතාවේ ඇත්ත නැත්ත | සිළුමිණ

පණු කරඳ කතාවේ ඇත්ත නැත්ත

ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති පණු කරඳ ශාකය

ල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු සැණින් හාවා ලෝකය පෙරළුණා යැයි කියමින් දිව ගිය පුවතක් අප පුංචි කාලයේ අසා තිබේ. එයින් අපට වැඩිහිටියන් ලබා දුන් උපදේශය වූයේ කලබල නොවී සොයා විමසා බලා කටයුතු කළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේ විසින් කාලාම සූත්‍රයේ දක්වා ඇත්තේ ද පෙර අසා ඇති නිසාවත් කවුරුන් හෝ පවසා ඇතැයි කියා හෝ පිළිනොගෙන තම මනසින් නිසි පරිදි විමසා බලා කරුණු සොයා බලා කටයුතු කරන ලෙසයි.

අප මේ කියන්නට යන්නේද එලෙසින් කරුණු සොයා නොබලා සිදු කළ තවත් එවන් එක් කතාන්දරයක අයහපත් ප්‍රතිඵල ගැනය. මෙහි ආරම්භය සිදුවන්නේ වසර 2019 දීය. ඒ මධ්‍යම අධිවේගය ඉදිකිරීමේදීය.

කඩවත මීරිගම මාර්ග කොටසේ ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයට නුදුරින් එම මාර්ගය ඉදි කරන ප්‍රදේශයේ ලෝකයෙන් වඳවී ගොස් ඇතැයි සිතා සිටි කෲඩියා සෙලනිකා නම් විද්‍යාත්මක නමින් හඳුන්වන ලද පණු කරඳ ශාකයක් එම මාර්ගයේ තිබී හමු විය. 

එය මෙරටට ඒකදේශික ආවේණික ශාකයක් බව පවසමින් එම වෘක්ෂය පැවිදි කරන්නට භික්ෂූන් පිරිසක් කටයුතු කළහ. තවත් පිරිසක් එම ගස මාර්ගය ඉදි කිරීම්දී කිසිසේත්ම ඉවත් නොකළ යුතු බවට සමාජ මතයක් ගොඩ නැඟූහ.

කෙසේ හෝ ලොවින් තුරන්ව ගොස් ඇතැයි සිතූ ශාකයක් හමුවීම අපට මහත් සේ අගනා බව නම් කිව යුතුය. එවැන්නක් කෙසේ හෝ රැක ගැනීම ද අප කළ යුතුය. එම ශාකය සත්‍ය වශයෙන්ම කෲඩියා සෙලනිකා නම් විද්‍යාත්මක නමින් හඳුන්වන ලද පණු කරඳ දැයි සොයා බැලීමට උද්භිද විශේෂඥයන් පිරිසක් විසින් කටයුතු කරද්දී අප පෙර කී ලෙස හාවා ලෝකය පෙරළා ගෙන ගියා සේ මහ හඬ නඟන්නට වූයේ කිසිවක් නොදැනය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම මාර්ග කොටසේ වැඩ අතරමඟ නැවතීමය.

එම මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන එම්සීසී සමාගම ඒ වෙනුවෙන් ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියට දන්වන ලදී.

ඒ අතර කෲඩියා සෙලනිකා නම් විද්‍යාත්මක නමින් හඳුන්වන ලද පණු කරඳ ශාකය ගැන විමර්ශනය කළ උද්භිද විද්‍යාඥයෝ ශාකයේ මල් ඇසුරින් දාරළුවේ හමු වූ ශාකය පණු කරඳ බවත් තවත් එවැනි ශාක ඇති බවත් සොයා ගෙන ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කළහ.

එහෙත් මේ ගැන කිසිත් නොදත්තෝ ඒ ගැන පාරක් පාරක් ගානේ කෑගසමින් විරෝධය පළ කළහ.

කෙසේ හෝ අවසානයේ දාරළුවෙන් හමු වු පණු කරඳ ශාකය කැබිනට් අනුමැතියෙන් ඉවත් කර තිබුණි. එසේ එම ශාකය ඉවත් කිරීමට පෙර අදාළ විශේඥ නිර්දේශ සහිතව ශාකය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට තීරණය කර තිබුණි.

එවන් ශාක තවත් තිබෙන නිසා අධිවේගී මාර්ගය අත්‍යවශ්‍යම සංවර්ධන කටයුත්තක් නිසා ශාකය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට තීරණය කෙරිණි. ශාකය ඉවත් කිරීමට එරෙහිව ඇතැමුන් අධිකරණය දක්වා ගොස් ඇත. මෙවැනි විශේෂිත ශාකයක් මෙරට තිබීම ඉතාම වැදගත් වන්නේය. තවත් ශාක තිබුණු පමණින් එය ඉවත් කිරීම සුදුසු යැයි අපි නොකියමු. එහෙත් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුත්තක් හෙයින් පණු කරඳ ගහ එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට උද්භිද විශේෂඥයන්ගේ අනුමැතියෙන් නිර්දේශ කර තිබුණි. එහිදී තවත් ශාක රෝපණයට විශේෂිත වැඩපිළිවෙළක්ද අරඹා තිබුණි.

ඒ ගැන අප කියනවාට වඩා මේ සම්බන්ධ විද්වතුන්ගෙන් විමසා බලා දැන ගන්නේ නම් වඩාත් අගනේය. අපි මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම කරුණු හෙළි කර ගත්තේ පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ජාතික ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුභානි රණසිංහ විසින් පවත්වන ලද සාකච්ඡාවකදීය.

ඔවුන් පවසන්නේ ගම්පහ බෙම්මුල්ල, මගලෙගොඩ ප්‍රදේශවල පණු කරඳ ශාක ගහනයක් ඇති බවයි. ඊට අමතරව හැන්ඩිමහර, දොරණාගොඩ බියගම කදිරාන‍ හා මල්වාන ප්‍රදේශවල මෙවන් විශාල ප්‍රමාණයේ ශාක හඳුනා ගෙන ඇති බවත් ඊට අමතරව ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේද එවන් දැවැන්ත ශාකයක් තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

ඊට අමතරව කුඩා ප්‍රමාණයේ ශාක ද තිබෙන බව ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ. එසේම ඔවුන් පවසන්නේ මේ බහුතර ශාක පිහිටා ඇත්තේ සංරක්ෂිත ප්‍රදේශවල නොවන බවයි.

එමෙන්ම මේ වන විට පණු කරඳ ශාක බෝ කිරීමේ හා සිටුවීමේ ව්‍යාපෘතියක්ද සිදු කරගෙන යන බවත් මාර්ග සංවර්ධන අධිකාරියටද බීජ මගින් ප්‍රරෝහණය කරන ලද පැළ 55ක් , රෝපණය සඳහා ලබා දී ඇත.

1861 වසරේදී කළුතරින් හඳුනා ගත් පණු කරඳ ශාකය පසුව කැලණි ගඟට නුදුරු ප්‍රදේශවලින් හඳුනාගත් බවත් තවදුරටත් ගවේෂණය කළහොත් තවත් පණු කරඳ ගහනයක් සොයා ගත හැකි බව ආචාර්ය අචලා රත්නායක විසින් පෙන්වා දී තිබේ.

දාරළුවේ ශාකය ඉවත් කළ පමණින් ශාක වඳ නාවන බවත් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ද පැළ රෝපණයක් සිදු කරන හෙයින් වඳ වීමේ තර්ජනයක් නොමැති බවද ඔවුහු පවසති.

අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කරුණු විමසන්නට උද්භිද විද්‍යාඥයකු වන මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ උද්භිද විද්‍යාඥයකු උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් කරුණු විමසුවෙමු. ‘‘ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙක් කළ පර්යේෂණයකදී තමයි දාරළුවේ පණු කරඳ ගහ හමු වුණේ. ඒ වන විට ලෝකයේම මතය වුණේ මේ ශාකය වඳවෙලා කියලා. රතු දත්ත පොතෙත් ඒ බව දැක්වුණා. මේ ශාකය හමුවුණායින් පස්සෙ ඒ ගැන දිගින් දිගටම පර්යේෂණ කළා. එවිට ගම්පහ උද්භිද උද්‍යානයේ තිබී තවත් විශාල ප්‍රමාණයේ ගස් දෙකක් හමු වුණා. ඇළක් අයිනේ තිබිලා, ඒ ලෙසින් සොයා විමසා බලද්දි දාරළුවේ ශාකයට අමතරව තවත් විශාල ප්‍රමාණයේ ගස් 7ක් පමණ තිබෙන බව අනාවරණය වුණා.

අපි සාමාන්‍යයෙන් කරන්නේ ශාකයක් අනතුරකට ලක්වන බවක් තියෙනවා නම් ඒ ශාක ගහනය ප්‍රතිෂ්ඨාපනය කිරීම කරන එකයි.

දාරළුවේ ශාකය ගැන කතිකාවක් මතුවුණාම කළේ ඒ වෙනුවෙන් විශේෂඥ කමිටු අදහස් විමසීමයි.

ඒ අනුව උද්භිද උද්‍යානය, මහාමාර්ග අමාත්‍යාංශය, වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජෛව විවිධත්ව අංශවලින් සැදුම්ලත් කමිටුවක් මඟින් මේ සම්බන්ධව විමර්ශනයක් කළා. ඒ කමිටුවේ මමත් හිටියා. එහිදී තීරණය කළ කරුණක් වුණේ මේ ශාකය වෙනත් තැනක රෝපණය කළ හැකි අයෙක් වෙත්නම් ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබා දිය හැකි බවට. ඒ වෙනුවෙන් එක් අයෙක් ඉදිරිපත් වෙලත් හිටියා. මීටර් 100ක් දුරින් ශාකය රෝපණය කරන්න. තාක්ෂණික කමිටුවක් හරහා ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙන්නත් තීරණය කර තිබුණා. නමුත් අවසානයේ ගස කපා ඉවත් කර තිබෙනවා. ගස ඉවත් කිරීමෙන් එහි වඳ වීමක් වන්නේ නැහැ. තවත් ශාක තිබෙන නිසා. එයින් අදහස් වන්නේ නැහැ එය ඉවත් කිරීම සුදුසුමයි කියා. මේ වන විට පණු කරඳ ශාක රෝපණය කිරීම අරඹා තිබෙනවා. එයත් වැදගත් කටයුත්තක්‘‘

මේ වන විට පණු කරඳ ශාක රෝපණය අරඹා තිබේ. ඒවා උද්භිද උද්‍යාන හරහා මෙන්ම තවත් විශේෂිත කාර්යයන් හරහා ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ මඟ පෙන්වීම යටතේ පණු කරඳ ශාක සිටුවීම කතරගම දේවාල භූමියෙන් ආරම්භ කිරීම පසුගිය 16 වෙනිදා සිදු කෙරිණි. ඒ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙනි. බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසන්නේ කතරගම පූජා භූමියේ රෝපිත පණු කරඳ ශාක 20ම සම්බන්දයෙන් පසු විපරම් කර ඒවාට සාත්තු කරමින් බලා ගන්නා බවයි.

එමෙන්ම උතුරු දුම්රිය මඟ නවීකරණය කර ආරම්භ කිරීමෙන් පසුව අනුරාධපුරය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ද පණු කරඳ රෝපණය කිරීම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් පවසන්නේ ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වන විටත් පණු කරඳ රෝපණයට පියවර ගෙන ඇති බවයි.

‘‘ මධ්‍යම අධිවේගයට මහත් බාධාවක් වුණු දාරළුවේ පණු කරඳ ශාකය ඉවත් කිරීම ගැන කලක සිට කතා වුණා. මාර්ග භූමියට අයත් පරිශ්‍රයේ ඉවත් කිරීම් අවශ්‍ය නොවන පණු කරඳ ශාක 15ක් පමණ අප හඳුනා ගත්තා. ඒවා සියල්ල අවුරුදු 40ට වැඩි ශාකයි. එයින් විශාල ප්‍රමාණයේ 7ක් හා සාමාන්‍ය ප්‍රමාණයේ 8ක් හඳුනා ගත්තා. වට අඩි 10ත් 15ත් අතර ගස් 25ක් පමණ හඳුනාගෙන තියෙනවා. ඒ සියල්ල සංරක්ෂණය වෙනවා. ඒ වගේම වසර 5ක් තුළ පණු කරඳ ශාක 200ක් වැවීමේ ව්‍යාපෘතියක් මහා මාර්ග හා සම්බන්ධිතව අපි ආරම්භ කර තිබෙනවා

රතු දත්ත පොතෙනුත් මේ වන විට පණු කරඳ ශාකය ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.

ඇත්තටම අපිට දාරළුවෙන් එහාට මාර්ගය තැනීමට නොහැකි වීමෙන් විශාල ගැටලුවකට මුහුණපාන්නට වුණා. පාලම් හදලා බෝක්කු හදලා එහෙමම වැඩ නතර වුණා. මේ ශාකයට හානි නොවෙන ලෙසින් ඉහළින් මාර්ගය ගෙනියන්නත් අපි සැලසුම් කළා. පසුව මාර්ගය වෙනස් කරන්නත් සැලසුම් කළා. නමුත් ඒ සියල්ල අධික වියදම් යන තත්ත්වයක් බව පෙනුණා. ඇත්තෙන්ම බිලියන 15ක පමණ මුදලක් වැය කරන්න සිදුවන බව අපට පෙනුණා.

අවසානයේ තවත් ශාක තිබීම හා උද්භිද විශේෂඥ අනුමැතියෙන් එය ඉවත් කළා. මේ වන විටත් අදාළ චීන සමාගම අපෙන් රුපියල් බිලියන 5ක ප්‍රමාද වන්දියක් ඉල්ලන්නට සැරසෙන බවක් දැන ගන්නට තියෙනවා. ශ්‍රී ලංකාව වැනි රටකට එය ඔරොත්තු දෙන්නක් නෙමෙයි. අපි මේ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ‘‘

මේ කතාබහ අනුව අපට පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ කුමක්ද? තවදුරටත් පණු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා වඳ වී ගිය ශාකයක් නොවන බවයි. එයින් අදහස් කෙරෙන්නේ ගස් කපා දමා ඉවක් බවක් නැතිව සංවර්ධනය කළ යුතු බව නොවේ. එහෙත් සංවර්ධනය කරන අතර වන රෝපණයද කරන්නේ නම් එයින් අපට යහපත් ප්‍රතිඵල අත්කරගත හැකිවනු ඇත.

Comments