
අයිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 800 තරඟයට සහභාගි වී සිටි අවසන් තරගකරුවන් අට දෙනා අතරින් රන් පදක්කමට වඩාත් ආසන්නයේ සිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩීකාවන් දෙදෙනෙකු සහ එම ඉසව්වේ ජාතික ශූරිය වූ ඉන්දීය ක්‍රීඩිකාව ය. තරඟ ආරම්භක සංඥාව ලැබීමත් සමඟ අදාළ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියූ ගයන්තිකා අබේරත්න පෙරමුණ ගත්තාය. ඇයට පසුපසින් ඉන්දීය ක්‍රීඩිකාව ගමන් ගනිත් දී තෙවැන්නා ලෙස තරුෂි කරුණාරත්න ගමන් ගත්තාය.
දහඅට හැවිරිදි පාසල් සිසුවියක වූ තරුෂි තරගය ආරම්භයේ සිට අවසන් මීටර් 100 දක්වාම ගමන් ගත්තේ තෙවැන්නා ලෙස ය. ඉන්දීය ක්‍රීඩිකාව ඉලක්ක කර ඇය සමඟින්ම ගමන් ගන්නා ලෙස පුහුණුකරු දුන් උපදෙස් නිසි ලෙස පිළිපදිමින් තරුෂි තරගයේ නිරත වූවාය. අවසන් මීටර් 150 ට ආසන්න වෙත්ම ඉන්දීය ක්‍රීඩිකාව වේගය වැඩි කරමින් ගයන්තිකා පසුකර ගියාය. තරුෂි ද එසැණින් ම ගයන්තිකා පසුකර ඉන්දීය ක්‍රීඩිකාව ආසන්නයටම පැමිණියාය. තරගයේ අවසන් මීටර් 60 මුළුමනින්ම තම අණසකට යටත් කළ තරුෂි ඉන්දීය ක්‍රීඩිකාවට තරු පෙන්වමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමින් තරගය නිමා කළේ විනාඩි 2.00.66 කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා වාර්තාවක් පමණක් නොව තරගාවලි වාර්තාවක් ද විය. තරුෂි විසින් එලෙස බිඳ දමා තිබුණේ ඇය ඉපදෙන්නටත් හය වසරකට පෙර එනම් 1998 දී චීන ක්‍රීඩිකාවක් වූ ෂැං ජියන් තබා තිබූ වාර්තාවකි. චීන ක්‍රීඩිකාව වාර්තාව පිහිටුවා තිබුණේ විනාඩි 2.01.16 ක කාලයක් වාර්තා කරමිනි.
තරගාවලියට යන්න කලින් පුහුණුවීම්වලදී මම මීටර් 800 විනාඩි 02 ක දී දිව්වා. ඒ නිසා ඇත්තටම මම රන් පදක්කමක් එක්ක නව තරග වාර්තාවක් පිහිටුවනවා කියන විශ්වාසයෙන් තමයි තරඟයට සහභාගි වුණේ. තරගයේදී අභියෝගයක් එල්ල වෙනවා නම් ඒ ඉන්දීය ක්‍රීඩිකාව ගෙන් කියලා සුසන්ත සර් කිව්වා. එයා ඉන්දීය ජාතික ශූරතාවයේ දී මීටර් 800 තරගය ජයග්‍රහණය කරන වීඩියෝව බලලා සර් මට කිව්වා තරඟය පටන් ගත්තම ඉන්දීය ක්‍රීඩිකාව එක්කම යන්න කියලා. ගයන්තිකා අක්කා මුලින් යත් දී මම ඉන්දීය ක්‍රීඩිකාව එක්කම අල්ලගෙන ගියා. අන්තිම මීටර් 60 වෙනකල් ලොකු ගැප් එකක් නැතුව ඉන්දීය ක්‍රීඩිකාව එක්ක ගියොත් තරගය පහසුවෙන් දිනන්න පුළුවන් කියලා සර් කිව්වා. අන්තිම මීටර් 60 ට ආවම මම දැන් ඉදිරියට යන්න ඕන කියලා තීරණය කළා. ඒ ගත්ත වේගය අඩු නොකර අවසානය තෙක්ම ගියා. ගුරු උපදේශය ටක්කෙටම පිළිපදිමින් තමන්ගේ ජයග්‍රහණය සටහන් කළ මොහොත ගැන තරුෂි එසේ අප හා පැවසුවේ මහනුවර දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ පුහුණු කටයුතුවල නියැළෙමින් සිටියදී ය.
තරුෂිට පෙර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියා තිබුණේ මෙම තරගයේදී තෙවැන්නා වෙමින් ලෝකඩ පදක්කමක් දිනූ ගයන්තිකා අබේරත්නය. ඇය 2022 වසරේදී එක්සත් රාජධානියේ පැවැති පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙළේදී මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2.01.20 කදී නිමකර තිබුණාය. තරුෂි ගේ මෙම සුවිශේෂ ජයග්‍රහණය මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තා පොත් රැසක් අලුත් කරන්නට සමත් විය. ශ්‍රී ලංකික පාසල් ක්‍රීඩිකාවක් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියකදී රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙයි. ඇයට පෙර දමයන්ති දර්ශා පාසල් සිසුවියකව සිටියදී රිදී පදක්කමක් දිනා ගනු ලැබුවේ 1993 දී ය. මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තරුෂි 4x400 කාන්තා සහය දිවීමේ තරගයේ රිදී පදක්කම හා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගත්තාය. පසුගිය මාසයේ දකුණු කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 රන් පදක්කමත් මීටර් 400 රිදී පදක්කමත් මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වූ තරුෂි සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා හා විදූෂා ලක්ෂානිට පසුව ආසියානු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශූරතාවලි ද්විත්වයකදී පදක්කම් දිනාගත් සිවුවැන්නිය බවට පත් වූවාය. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වාර්තාවලට හිමිකම් කියන සුගත් තිලකරත්න හා දමයන්ති දර්ශා අතරට එක් වීමට ද මෙම සුවිශේෂි ජයග්‍රහණය ඔස්සේ තරුෂිට ඉඩ සැලසිණි.
ක්‍රීඩා කටයුතු සඳහා පවුලෙන් ලැබෙන සහය සහ අනාගත ඉලක්ක සම්බන්ධව විමසූ අවස්ථාවේ තරුෂි පැවසුවේ මෙවන් අදහසකි. අම්මයි තාත්තයි මට කවදාවත් අඩුපාඩුවක් දැනෙන්න ඇරලා නැහැ. මට ඕන දේවල් කොහොම හරි අරන් දෙනවා. කොළඹ තියෙන ජාතික තරඟ බලන්න අම්මා, තාත්තා, අයියා, නංගී හැමෝම එනවා. අපේ පවුලේ තියෙන බැඳීම තමයි මගේ ලොකුම ශක්තිය. මලල ක්‍රීඩාවේදී මගේ අයියව තමයි මං ආදර්ශයට ගන්නේ. එයත් ජත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයෙක්. නංගීත් දැන් ක්‍රීඩාවට යොමු වෙලා. අයියා එයාගේ පුහුණුවීම පවා නතර කරලා මට ටයිමින් හදාගන්න මාත් එක්ක දුවලා මට උදව් කරනවා. මම මුලින් පාසල් ගියේ උඩුදුම්බර චූලාභය ද්විතීක පාසලට. එහේදී කලාප තරගවලට මීටර් 100, දුර පැනීම වැනි ඉසව් නියෝජනය කරමින් සහභාගි වෙලා ජයග්‍රහණ ලබා ගත්තා. අයියා ක්‍රීඩාවට දක්ෂ නිසා වලල ඒ. රත්නායක ක්‍රීඩා පාසලට ශිෂ්‍යත්වයක් ලැබිලා ගියා. පුංචි කාලේ ඉඳලා මට ඉලක්ක තිබුණා. මම ඒවා කොළයක ලිව්වා. පලවෙනි ඉලක්කය වුණේ අයියා ගිය පාසලට කොහොම හරි යනවා කියන එක. අයියා විදිහටම ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබාගෙන මට වලල ඒ. රත්නායක විදුහලට එන්න පුළුවන් වුණා. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. සුසන්න ප්‍රනාන්දු සර් මගේ හැකියාවන් නිවැරදිව හඳුනාගෙන ගැළපෙන ඉසව්වලට යොමු කළා. ජාතික ක්‍රීඩා උත්සවය ලබන සතියේ තිබෙනවා. ඊළඟට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වසරේදී ආසියානු ක්‍රීඩා උලෙළත් තිබෙනවා. ඒකේ දී ලංකාවට පදක්කමක් ගේන එක මගේ හීනයක්.
තරුෂි ක්‍රීඩාවට මෙන්ම පාසල් අධ්‍යාපන කටයුතුවලට ද එක සේ දක්ෂය. ක්‍රීඩා පුහුණු කටයුතු මෙන්ම තරගවලටද සහභාගී වන අතරතුර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇය ඉන් සමත් වූයේ ඒ සාමාර්ථ්‍ය තුනක් හා බී සාමාර්ථ්‍ය 06 ක් සමඟිනි. උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන ඇය මෙම වසරේ නොවැම්බර් මස එම විභාගයට පෙනී සිටීමට නියමිතය.
තරුෂිගේ මව තම දියණිය පිළිබඳව මෙසේ පැවසුවාය.
‘එකේ පන්තියට භාරදෙන කොට දුවගේ බර කිලෝ 11 යි. එයා හරිම පුංචියි. දමයන්ති කියලා ටීචර් කෙනෙක් තමයි පන්ති භාරව හිටියේ. අනේ මේ ළමයා හරිම පොඩියි කියලා ටීචර් එයාගේ බත් එකේ තියෙන මැල්ලුම් දුවට කවනවා. දුව වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට ආවේ හතේ පන්තියේ දී. සර් මෙයාව දැක්ක දවසෙම කිව්වා මෙයා ඉස්කෝලෙට විතරක් නෙවෙයි රට වෙනුවෙනුත් දුවන ළමයෙක් කියලා. මගේ මහත්තයා ඩී. එම් කරුණාරත්න. අපි කසාද බැන්දේ 1998 දී. මහත්තයා උඩුදුම්බර කඩයක් කළා. එයාගේ හිත හොඳයි. ණයට දීලම කඩේ බංකොලොත් වුණා. අපි දෙන්නගේ මවුපියෝ කසාදෙට අකැමැති වුණ නිසා කවුරුවත් අපිට උදව් කළේ නැහැ. අන්තිමට කන්න දෙයක් නැති ගාණට අපි වැටුණා. 1999 දී පුතා හම්බ වෙන්න ඉද්දී ගමේ මිනිස්සු බඩු ගෙනල්ලා අපේ ගෙදර පිරෙව්වා. පස්සේ අම්මා තාත්තලත් උදව් කළා. දරුවන්ගේ වාසනාව අපිට තියෙනවා. දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලට සල්ලි ඕන නිසා උඩුදුම්බර ඉඩම් විකුණුවා. පුහුණුවීම්වලට පහසු නිසා දිගනෙන් රුපියල් 18,000 කට ගෙයක් කුලියට ගත්තා. ක්‍රීඩා කරලා රන් පදක්කම් අරගෙන එනකොට මල් මාලා දාලා පිළිගන්න ගොඩක් අය ඉන්නවා. මේ ක්‍රීඩා කටයුතුවලට යන වියදම් අපි දරන්නේ පුදුම අමාරුවකින්. මීටර් 400 දුවන්න දුව දාන සපත්තු දෙක 89,000 යි. මීටර් 800 ට දාන සපත්තු දෙක 99,000 යි. පුහුණුවීම්වලට දාන ඒවා 30,000 ක් විතර වෙනවා. පුතත් ජත්‍යන්තර තරගවලට යන නිසා එයාටත් ඒ වගේ සපත්තු ඕන. ටයිමින්වලට දුවන්න නම් හොඳ සපත්තු තියෙන්න ඕන. අපි කනකර පවා උකස් කරලා දරුවන්ට මේවා අරන් දෙන්නේ. මගේ කරේ මාලයක් නැහැ. කරාබු දෙක බැංකුවේ. තායිලන්තේ යන්න දුවව ඇරලවන්න අපි වෑන් එකක් අරන් කොළඹ ගියා. ඒකට 30,000 යි. දුවට අරන් යන්න කීයක් හරි දෙන්න ඕන. බැංකුවේ තියන්න දෙයක් නැති නිසා මහත්තයා එයාගේ යාළුවකුගේ මාලයක් ඉල්ලලා උකස් තියලා තමයි මේ සල්ලි හොයා ගත්තේ. පුහුණුවීම් කරන අතර දරුවෝ දෙන්නට විටමින් දෙන්න ඕන. එක බෝතලයක් රුපියල් 30,000 යි. මාසෙකට බිත්තර 100 ක් දරුවෝ දෙන්නට දෙන්න ඕන‘
තරුෂි රන් පදක්කමක් රටට ගෙන එන බවට විශ්වාසයක් තිබුණේ දැයි විමසූ අවස්ථාවේ මව ලබා දුන්නේ අපූරු පිළිතුරකි. මගේ පුතා හර්ෂ කරුණාරත්න. එයා ආසියානු යොවුන් ක්‍රීඩා උළලේ මීටර් 800 රිදී පදක්කම දිනුවා. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම ගත්තා. මීටර් 800 ඉසව්වේ 2022 ජාතික ශූරයා වුණේ පුතා. නංගිගේ ක්‍රීඩා කටයුතුවලට මුදල් වියදම් කරන්න අමාරු වුණාම එයා ක්‍රීඩාව නතර කරලා රස්සාවක් කරන්න ගියා. දුවට කාම්බෝජයේ ක්‍රීඩා තරගාවලියකට යන්න සිද්ධ වුණාම පුතා එයාගේ මෝටර් බයිසිකලේ විකුණලා නංගිට සල්ලි දුන්නා. සුසන්ත සර් තමයි එයාව ආයෙත් ක්‍රීඩාවට ගෙනාවේ. දුව තායිලන්තයේ යන්න දින දෙකකට විතර කලින් සුගතදාස ක්‍රීඩංගණයේ පුහුණුවීම් කළා. පුතා උදේ පාන්දර බස් එකේ නැඟලා කොළඹ ගිහින් නංගි ගේ ටයිමින් බලන්න එයත් එක්ක දිව්වා. පුතා ගෙදර ඇවිත් කිව්වා අම්මේ නංගී රේස් එක ගහලා රන් පදක්කම ගේන එක ෂුවර් තව ඩිංගෙන් මාත් පරදිනවා කියලා. මෙයා දිනනවාමයි කියලා එතකොට මම දැන ගත්තා. රේස් එකට කලින් දවසේ තමයි මේ පාර උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ තියෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒක අහලා එයා කෝල් එක අරන් අඬන්න ගත්තා. අනේ මට ඒ ලෙවල් හරියට කර ගන්න බැරිවෙයිද දන්නේ නැහැ කියලා. මම හිත හැදුවා. තරගය පටන් ගන්න කලින් වෝම් අප් කරන වෙලාවේ කෝල් එකක් අරන් අම්මේ මම කොහොම හරි දිනනවා කිව්වා. අපි යූ ටියුබ් එකෙන් තමයි එයා දුවනවා බැලුවේ‘
තරුෂිගේ ජයග්‍රහණ පසුබස සිටින යෝධ සෙවණැල්ල ඇගේ පුහුණුකරුයි. ඔහු නමින් සුසන්ත ප්‍රනාන්දු ය. වසර 33 ක් වලල ඒ. රත්නායක මධ්‍ය විදුහලේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි. වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය හොබවන ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකුගේ පුහුණුකරුය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රටට දිනා දී ඇති ජත්‍යන්තර මලල ක්‍රීඩා පදකම්කම් ගණන 66 කි. ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ දක්ෂතම මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස 2015 දී සම්මාන ලද සුසන්ත ප්‍රනාන්දු තරුෂි පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.
‘අවුරුදු 13 දී තමයි තරුෂි මට හමු වුණේ. උඩුදුම්බර චූලාභය විදුහලේ ඉඳලා ක්‍රීඩා ශිෂ්‍යත්වයක් දිනාගෙන අයියා වලලට ආවා. අයියයි මෙයයි අතර තිබෙනන්නේ පුදුමාකාර බැඳීමක්. අයියා ගේ මඟ යමින් තරුෂිත් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් වලල ඒ. රත්නායක විදුහලට ඇතුළු වුණා. ශ්‍රීමත් ජෝන් ටාබර්ට් මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 400 සහ 800 තරඟ ජයග්‍රහණය කළේ නව තරග වාර්තා සමඟයි. පසුව කොවිඩ් නිසා පාසල් වසා දමා හෝස්ටල්වලින් ළමයි ගෙවල්වලට පිටත් කර හැරියා. මේ වෙලාවේ උඩුදුම්බර ඉඳන් පුහුණුවීම්වලට දරුවා දිනපතා ගෙන ඒම අසීරු නිසා තරුෂිගේ මවුපියන් කනකර බඩු පවා උකස් කරලා ක්‍රීඩාංගණය අසලින් ගෙයක් කුලියට ගත්තා. තරුෂිගේ තාත්තා ත්‍රීවීල් එකක් වැඩ කරන්නේ. එයාලගේ ආදායම් තත්ත්වය මොන මට්ටමක තිබුණත් දරුවෝ තරඟ කරනවා බලන්න නෑවිත් ඉන්නේ නැහැ. මේ වසරේ තිබුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළට සති හයක් තිබියදී තරුෂිට නිව්මෝනියාව හැදුණා. පුහුණුවීම් අතරතුර ක්ලාන්ත වීම නිසා ඇයව තෙල්දෙණිය රෝහලට ඇතුළු කළා. දින 10 ක් විතර රෝහලේ නතර වී ප්‍රතිකාර ගත්තා. පසුව පුහුණුවීම්වලට ආවාම ටයිමින් හොඳටම මදි. මීටර් 400 අවුරුදු 13 ක ළමයකුගේ ටයිමින් මට්ටමට වැටිලා තිබුණා. කලින් දිව්ව කාලෙට දුවන්න බැරි වුණාම එයා අඬනවා. එයා හරිම ධෛර්යවන්තයි. පරදින්න කැමැති නැහැ. කොහොමහරි තරගාවලියට සතියක් තියෙද්දී කලින් තිබුණු රිද්මයට ආවා. ඒ තරගාවලියේදී මීටර් 800 රන් පදක්කම දිනලා හොඳ විශ්වාසයකින් තමයි ආසියානු ශූරතාවලියට ගියේ. මගේ මඟ පෙන්වීම තිබුණත් තරුෂිගේ කැපවීම තමයි මේ ජයග්‍රහණවල මූලික හේතුව. දුවන්න හැකියාව තිබෙනවා වගේම එයා අධ්‍යාපන කටයුතුවලටත් දක්ෂයි. මේ කුසලතා දෙකම තියෙන කෙනෙකුට තමන් නිරත වන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන්න පුළුවන්. ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තරුෂි සහභාගි වූ තරඟ එක ළඟ වැටිලා තිබුණේ. මේ නිසා මීටර් 400 තරගයට ඇයව සහභාගි කළේ නැහැ. මොකද මේ වන විටත් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී තිබෙනවා. ක්‍රීඩා කරනවා වගේම අපි ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ගැනත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
තරුෂිගේ ජයග්‍රහණය පිළිබඳව ලෝකයම කතා කරත්දී මධ්‍යම පළාතේ ක්‍රීඩා බලධාරීන්ට නම් එය ජයග්‍රහණයක් ලෙස පෙනී ගිය බවක් පෙනෙන්නට නැත. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වාර්තාවක් ද සමඟින් රන් පදක්කමක් දිනූ තරුෂි ගේ ජයග්‍රහණය ඇගැයීමට සුළුවෙන් හෝ උත්සවයක් පැවැත්වීමට ඔවුන් උනන්දු නොවුණේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. රටට ජයග්‍රහණයක් ලබා දුන් මෙම ක්‍රීඩිකාව දිගන පිහිටි මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පුහුණුවීම් සිදුකර තිබුණේ ද ඒ සඳහා අවශ්‍යය ගෙවීම් කටයුතු සිදු කිරීමෙන් පසුවය. රන් පදක්කම දිනූ පසුදා ඇය ක්‍රිඩාංගණයට පුහුණුවීම් සඳහා ඇතුළු වී තිබුණේ රුපියල් 30ක මුදලක් ගෙවීමෙන් අනතුරුවය. තරුෂි කිසිදු දිනක දැක නොමැති ඩුබායි හි පදිංචි පුද්ගලයකු විසින් ඇයට රුපියල් 89,000ක් වටිනා සපත්තු ජෝඩුවක් පරිත්‍යාග කර ඇත්තේ ඇය රටට සම්පතක් බව දැනීම නිසාය. පදක්කම් දිනා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට මල් මාලා දමා පිළිගැනීමට එහා ගිය වැඩපිළිවෙළක් මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේ දී රට නියෝජනය කරනු වෙනුවට ඔවුන් වෙන යම් දෙයක් තෝරා ගතහොත් ඒ ගැන දොස් කිවීමට කාටවත් නොහැකි වනු ඇත.
ඡායාරූප-රුවන් මීගම්මන