ඩබ්ලිව්. එම්. සිරි කන්ස්ට්‍රක්ෂන්හි අධිපති ඩබ්ලිව්. එම්. කරුණාසිරි
කොළඹ ඉගෙන ගත්තත් ඔහු සිතෙන් හිටියේ ඇඹිලිපිටියේය. උසස් පෙළ කරද්දි විභාගය පාස් වෙන්නට තිබුණු අවශ්‍යතාවට වඩා ඔහුට තිබුණේ ගමට ඒමේ අවශ්‍යතාවයි. තාත්තා සමඟ එක්ව රජයේ ඉදිකිරීම් කරන්නට අතගැසූව ද කාලයක් එනතෙක් නැඟීටීමක් නම් නොවීය. පොලී කාරයන්ටම ලාබය සින්න වෙද්දී ඔහු දිවා රෑ නොබලා කල්පනා කළේ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියා ය. අවදානම් ගන්නට කිසිසේත් බිය නොවූ ඔහු වැටෙද්දී වැටෙද්දී පවා සිය ධෛර්යය අතහැරියේ නැත. දිනෙන් දින දියුණුවේ මාවත හෙළි කරගත් හේ මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අමතර ව හෝටල් ක්ෂේත්‍රයේ ද සිය නාමය රැන්දූවෙකි. ඇඹිලිපිටියේ රෝයල් රීච් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ ද ඔහු ය.
නමින් ඩබ්ලිව්. එම්. කරුණාසිරි වෙන මේ ව්‍යවසායකයාගේ දිවිසැරිය පටන් ගත්තේ බිංදුවෙන් වුව ද අද හේ ව්‍යාපාරික ලොව ජය ගත්තෙකි. මේ ඔහුගේ දිවිසැරියේ මතක සැමරුම් ඇසුරෙන් සම්පාදිත සංලාපයකි.
lසම්පූර්ණ නම?
විජේමුණිගේ කරුණාසිරි
lඋපන් දිනය
1973 ජූලි 24
lගම් පළාත
ඇඹිලිපිටිය
lඅම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්...
තාත්තා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඔහුගේ ගම වලස්මුල්ල. පස්සෙ තමයි ඇඹිලිපිටියට එන්නෙ. තාත්තගෙ නම සිරිපාල. ඔහු පසුව මහවැලියෙ ඉඩම් හම්බ වෙලා හේන් ගොවිතැන් කරන්න පටන් ගන්නවා. අම්මා තාත්තට උදවු කරන එක තමයි කරන්නෙ. තාත්තටත් වඩා හොඳට අම්මට ගොවිතැන් වැඩ පුළුවන්. අම්මා රත්නපුරේ කෙනෙක්. නම උමගිරිය ගමගේ එමලින් නෝනා.
lසහෝදර සහෝදරියන්...
නංගිලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි, අයියයි තමයි මට ඉන්නෙ.
lපාසල් යන්නෙ?
ගඟයාය විද්‍යාලයෙන් තමයි මම පටන් ගන්නෙ. පස්සෙ තාත්තගේ ගම වුණු උතුරු කනුවල මහා විද්‍යාලයට අම්මා මාව යැව්වා. ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නැති නිසා තාත්තා, තාත්තගෙ මල්ලි ගාවට මාව යවනවා. එයා මාව කොළඹට එක්ක යනවා. 1983 ජනවාරි 22 තමයි මම කොළඹ යන්නෙ. බාප්පා විවාහ වෙන දවසට කලින් දවසෙ තමයි මාව එක්කගෙන ගියේ.
lබාප්පා එක්ක යද්දි වයස කීයද?
මට එතකොට අවුරුදු 10යි. බාප්පා තමයි මට උගන්වන්නේ. මුලින්ම යන්නෙ කොට්ටාවෙ වාස්තුමුදි මහා විද්‍යාලයට. ඊට පස්සෙ කොට්ටාවෙ ධර්මපාල විද්‍යාලයට යනවා. සාමාන්‍ය පෙළ මම සමත් වුණා හොඳට. ඊට පස්සෙ ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න පටන් ගත්තා. හැබැයි ටික දවසක් යද්දි මට හිතුණා ඒ විෂයයන් අමාරුයි කියලා. ඒ හින්දා විද්‍යා විෂයයන් කරන්න පටන් ගත්තා. ඒකත් අමාරුයි කියලා හිතුණාම මම කෘෂිකර්මය කරන්න පටන් ගත්තා. ඒකෙන් තමයි මම උසස් පෙළ කළේ. හතරයි දෙකක් විදියට තමයි උසස් පෙළ ප්‍රතිඵල මට ලැබුණෙ. විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණා.
lඒ වෙනකොට බාප්පා විවාහ වෙලානෙ. බාප්පගෙ දරුවන් එක්ක වෙනසක් එහෙම වුණේ නැද්ද ඔබට?
බාප්පට හිටියෙ දුවලා දෙන්නෙක්. ඇත්තටම බාප්පගෙන් නම් කිසිම වෙනසක් වුණේ නෑ.
lබාප්පාගෙන් නම්.... ඒ කියන්නෙ පුංචි අම්මාගෙන් වෙනසක් වුණා?
ඔව්, ඇත්ත. එක එක දේවල් නොවුණා කියන්න බෑ. දරුවෙක් විදියට මට ඒවා තදට දැනුණා. මට අධ්‍යාපනය එපා වෙන්නත් ඒක හේතුවක් වුණා. මම උසස් පෙළ ඉවර වුණු ගමන් ගෙදර ආවා.
lදරුවො හයදෙනා අතරෙන් ඔබ පමණක් ඇයි බාප්පා ළඟට යවන්නෙ...?
ආර්ථික අපහසුතා නම් තිබුණා අපට. ළමයි හයක් කියන්නෙ ලොකු ගාණක්. අයියත් එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක හිටිය කෙනෙක් නොවෙයි. ඔහුගේ මනසේ වර්ධන වේගය අඩුයි. මට ඉගෙන ගන්නවට වඩා ගෙදර එන්නෙ කොයි වෙලාවෙද කියලා බලා ඉඳිල්ලක් තිබුණෙ. පවුලෙ ආදරේ කියන එකත් එක්ක කොළඹ යන්න හිතුණෙම නෑ.
lඇඹිලිපිටියට ඇවිත් මොකද කළේ?
මොනවම හරි කරනවා කියලා හිතාගෙන තමයි ඇඹිලිපිටියට ආවෙ. ඒ තරම් කොළඹ එපා වෙලා හිටියෙ. මුලින්ම මැණිකක්වත් හම්බු වුණොත් කියලා අපේම කුඹුරක පතල් හෑරුවා. ඒක සාර්ථක වුණෙත් නෑ. තාත්තා ඒ කාලෙ කාසන් කියලා සමාගමක වැඩට ගියා. ඒකත් එක්ක අපිට පොඩි පොඩි ව්‍යාපෘති ආවා කරන්න. මහවැලියෙ වැඩ ආවෙ ඒ නිසා. එතකොට මමත් ඒ වැඩවලට උදවු කරමින් හිටියෙ. තාත්තා මේ වැඩ හොඳට කරගෙන හිටියා. තාත්තා ආයතනය රෙජිස්ටර් කරනකොට මගේ නමත් දාලා තමයි රෙජිස්ටර් කළේ. රජයේ ඉදිකිරීම්වලට තමයි සම්බන්ධ වුණේ. වැඩ කරගෙන යද්දි තාත්තා ලෙඩ වුණා. ඒ කාලෙ මට සම්පූර්ණයෙන් වැඩ බලන්න වුණා. මහවැලි නිලධාරීන් මට ගොඩක් උදවු කළා. ඒ 1993 දී.
lඒ අතරෙ හිතුවෙ නැද්ද තමන්ගෙම කියලා ආයතනයක් පටන් ගන්න?
ඒ කාලෙ තමයි ඇත්තටම හිතුණෙ. ඩබ්ලිව්. එම් සිරි කන්ස්ට්‍රක්ෂන් පටන් ගත්තෙ ඒ විදියට. 1993 මාර්තු තුන්වැනිදා තමයි ආයතනය පටන් ගත්තෙ.
lඉදිකිරීම්කරුවෙක් විදියට ඔබ ස්වාධීන ගමනක් යන්න පටන් ගන්නවා...
ඇත්තටම අපිට තිබුණු ප්‍රශ්නෙ තමයි මුදල් නැතිකම. තාත්තටයි මටයි වැඩ තිබුණට ඒවට යොදවන්න මුදල් නෑ. රජයේ වැඩ නිසා කළාට පස්සෙ තමයි මුදල් එන්නෙ.
lකොහොමද ප්‍රාග්ධනය හදා ගන්නෙ...
තාත්තා ගමේ පොලියට දෙන අයගෙන් පොලියට සල්ලි ගන්නවා. මොනව හරි ගෙවීමක් ආව ගමන් කරන පළවැනි වැඩේ තමයි පොලිය බේරන එක. ඉතින් අපිට ඉතුරුවක් වෙන්නෙ නෑ. සමහර දවසට කම්කරුවන්ට දෙන්නවත් සල්ලි ඉතිරි වෙන්නෙ නෑ. සල්ලි ලැබුණා කියලා
දැන ගත්ත ගමන් පොලියට සල්ලි දීපු අය
හොයා ගෙන එනවා. ඒවා පොඩි මුදලක් නොවෙයි, ඇත්තටම ලොකු පොලියක් අපි ගෙව්වා. මම මේ ගැන තාත්තට කිව්වා.
lමොකද්ද ගත්ත විසඳුම?
ඒ අතරෙ සෙලාන් බැංකුවෙන් අපට උදවු කළා. නම මතක් කරන්නම ඕන. ඉස්සෙල්ලම දුන්නෙ නෑ. නමුත් එක්තරා සිද්ධියක් නිසා මම ඒ විශ්වාසය ගොඩනඟා ගත්තා. ඒ ගොඩනඟාගත්ත විශ්වාසය නිසා පස්සෙ කොච්චර ණය මුදලක් ඉල්ලුවත් දෙන මට්ටමට අපිව විශ්වාසවන්ත වුණා.
lමොකද්ද ඒ සිද්ධිය?
මට ලොකු ආසාවක් තිබුණා බයික් එකක් ගන්න. අපි බස් එකේ ගමන්බිමන් ඔක්කොම ගියේ. රුපියල් හැත්තෑපන්දාහක් දීලා මම මෝටර් සයිකල් එකක් ගත්තා. ඒ කාලෙ කාර් එකක් තියෙනවා කියන්නෙ ලොකු සල්ලිකාරයෙක් කියන එක. මම කරපු පළවැනි ඉදිකිරීමෙ ලාබෙන් තමයි මම බයික් එක ගත්තෙ.
lතාත්තා කැමැති වුණාද බයික් එකක් ගත්තට?
එහෙම අකැමැත්තක් තිබුණෙ නෑ. මොකද අපි සමහර වැඩබිම්වලට බස් එකේ ගිහින් කිලෝමීටර් දෙක තුන පයින් යන්නෙ. ඒ දුෂ්කරතාව දන්න නිසා තාත්තත් කැමැති වුණා. අනික බස් තිබුණෙත් නෑ හවස් වෙද්දි. ඉතින් ආයෙත් වාඩියට ගිහින් නිදා ගන්නවා.
lබැංකුවෙන් ණයක් ගත්තද?
ඒ කාලෙ අපි පොඩි කොල්ලො. ඉතින් බැංකුවලට වුණත් විශ්වාසයක් නෑ අපි ගැන. බැංකුවට තියන්න දෙයකුත් නෑ අපිට. මොකද අපේ ඉඩම් බහුතරයකට ඔප්පු නෑ. ඒක මේ පැත්තෙ මිනිස්සු බහුතරයකට තියෙන ප්‍රශ්නයක්.
lකොහොමද ඒ අභියෝගෙ ජය ගත්තෙ?
ඒ කාලෙ සෙලාන් බැංකුවට ආවා කළමනාකරුවෙක් ප්‍රියංකර කියලා. මම ඔහුට කිව්වා බැංකුව මඟින් මට ණය පහසුකමක් දෙන්න කියලා. එයා ඇහුවා කොහොමද ගෙවන්නෙ කියලා. සාමාන්‍යයෙන් බැංකු අයිරාවක් ගත්තම හරියට දිනයට ගෙවන්න ඕන. මම කිව්වා කොහොමහරි ගෙවනවා කියලා. ඔහු මට දුන්නා රුපියල් විසිපන්දහසක අයිරා පහසුකමක්. මට ඇත්තටම සල්ලි හම්බු වුණේ නෑ. මම අර ගත්ත මෝටර් බයිසිකලේ උකස් තියලා රුපියල් 30,000ක් ගත්තා. ඒකෙන් බැංකුවට ගෙව්වා. ආයෙත් බයිසිකලේ වෙන මුදලක් ලැබුණු වෙලාවක මම බේරා ගත්තා.
lබයිසිකලය නිසා තමයි බැංකුවෙ විශ්වාසය රැකුණේ?. තාමත් ඒ බයිසිකලය තියෙනවද?
ඔව්. බැංකුවෙ විශ්වාසය මම තියාගත්තා. හැබැයි දැන් ඒ බයිසිකලය නෑ. ඒක වෙන අමාරු වෙලාවක උකස් කරලා මට බේර ගන්න බැරි වුණා. හැබැයි, මම මගේ ඥාතියකුට කිව්වා මම මේක ගත්තෙ මෙච්චර මුදලකට, හැබැයි සින්න වෙන්න යන්නෙ මේ වගේ ගාණකට... පුළුවන් නම් බේර ගන්න කියලා. එයා ඒක බේරා ගත්තා. රජයේ කොන්ත්‍රාත් කරද්දි සමහර වෙලාවට නියමිත කාලවකවානුවෙදි මුදල් ලැබෙන්නෙ නෑ. පරක්කු වෙන අවස්ථා තියෙනවා.
lඑතනින් පස්සෙ ආයෙත් බයික් එකක් ගත්තද... නැත්නම් වෙන වාහනයකට ගියාද?
බයික් එකක් ගත්තෙ ආසාවට. ඒ ආසාව ඉවර වුණා. 1998 දී මම ගත්තා පොඩි තට්ටු ලොරියක්. අතේ එකතු කරගෙන තිබුණු ගාණකුයි ලීසිං එකකුයි දාලා ලක්ෂ පහමාරකට තමයි ගත්තෙ.
lලීසිං එක හරියට ගෙවාගෙන ගියාද? තාම ලොරිය ඔබ ළඟද?
ලිීසිං එක හරියට ගෙවා ගන්න බැරි වෙලා ලොරිය ලීසිං එකෙන් ඉස්සුවා. ඒ 1999 අවුරුද්දෙ. ජීවිතේ හොඳටම වැටුණෙ එතැනදි.
lහිටියෙ නැද්ද හිතවතෙක් උදව්වක් ගන්න...?
ඒ වගේ වෙලාවල් තමයි තියෙන්නෙ ජීවිතේ තේරුම් ගන්න. මගේවත් තාත්තගෙවත් කිසිම හිතවතෙක් අපිට ඒ වෙලාවෙ සල්ලි දුන්නෙ නෑ. මම කොහොමහරි සල්ලි හොයාගෙන මාසෙකින් විතර ලොරිය ආපහු බේරා ගත්තා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මොකද රජයේ වැඩවලට ගෙවන එක පරක්කු වුණාට නොගෙවා ඉන්නෙ නෑ. ඒ සල්ලි ලැබුණු ගමන් මම වාහනේ බේරා ගත්තා. තාමත් ඒ ලොරිය මං ගාව තියෙනවා. අපි ඉස්ඉස්සෙල්ලම ගත්ත වාහනේනෙ.
lඒ කියන්නෙ හැමතිස්සෙම ඔබ අවදානමක හිටියා?
ඔව්. ව්‍යාපාර කියන්නෙම අවදානම් ගන්න එක තමයි. කාලයක් යද්දි ටිපර් එකකුත් ගත්තා. අපි දිගටම කළේ රජයේ වැඩ. මෙහෙම කාලයක් ඉද්දි සල්ලි ටිකක් ඉතිරි කරගෙන මම කාර් එකකුත් ගත්තා. ජෙමිනි ඩීසල් කාර් එකක් ගත්තේ.
lමුළුමනින් ගෙවල ද ගත්තෙ, නැත්නම් ආයෙත් ලීසිං දාලද?
අතේ තිබුණෙ රුපියල් එක්ලක්ෂ විසිපන්දාහයි. කාර් එක දෙලක්ෂ විසිපන්දාහයි. අයිති එක්කෙනා මට කියලම තමයි දුන්නෙ මේකෙ මේ අඩුපාඩු තියෙනවා කියලා. අතේ තියෙන සල්ලි ටික දීලා ඉතිරි ලක්ෂෙ මාස තුනකින් ගෙවන්න කියලත් එයා කිව්වා. කොහොමහරි ඒ කාර් එකේ තමයි මම විවාහ වෙලා මගේ බිරිය ගෙදර එක්කගෙන ආවෙත්. ඇඹිලිපිටිය පැත්තෙ ඒ වගේ කාර් එකක් තියෙනවා කියන්නෙ ඉතින් ටිකක් යමක් කමක් තියෙනවා කියන එක.
lතාත්තට සතුටු ඇති?
ඔව්, හරිම සතුටුයි. ඒ වෙනකොට අපේ ව්‍යාපාරයට අවශ්‍ය කරන වාහන කිහිපයක් අපේ ළඟ තිබුණා. තාත්තා සයිට් එකකට ගියාම එයාත් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. අපිට ඕන වුණා තාත්තා ටිකක් විවේකෙන් සතුටෙන් ගෙදර තියන්න. එයා ටෙන්ඩර් හරි, සල්ලි හරි ගැන හෙව්වෙ නෑ. වැඩ කරන්න තමයි බැලුවෙ. තාත්තා තමයි මගේ සම්පූර්ණ හයිය. තාත්තා ඉද්දි මට කිසිම බයක් දැනෙන්නෙ නෑ.
lරජයේ කොන්ත්‍රාත් ගන්න පාර කැපෙන්නෙ කොහොමද?
තාත්තා දේශපාලනේ එක්ක යම් සම්බන්ධයක් තිබුණට අපි ඒ පැත්තෙන් උදවු අරන් නෑ. ටෙන්ඩර් පරිපාටියට අනුවම තමයි සියලු වැඩ කළේ. ඒ වෙනකොට බැංකුවෙන් ලැබෙන ණය සීමාවත් ගොඩක් වැඩි වෙලා තිබුණෙ. බැංකු එක්ක ලොකු සම්බන්ධයක් අපට තිබුණා.
lහෝටල් ක්ෂේත්‍රයට එන්න පාර කැපෙන්නෙ කොහොමද?
ඇත්තටම ඒක වුණේ මෙහෙමයි. පහුගිය ආර්ථික බිඳ වැටීමත් එක්ක ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩක් දුරට කඩා වැටුණා. ඒ නිසා ඉන්න සේවකයන්ටත් වැඩ දෙන්න ඕන නිසා මම හිතුවා මට තියෙන මේ ඉඩමෙ ගොඩනැඟිල්ලක් හදනවා කියලා. ඇත්තටම කාමර ටිකක් හදන්නයි ඕන වුණේ. හැබැයි බැංකුවෙන් කිව්වා, මේ ව්‍යාපෘතියට එයාලා උදවු කරන්නම් කියලා. මිලියන 100ක ණයක් මට බැංකුවෙන් ලැබුණා. අන්තිමට මම ඒ ව්‍යාපෘතියට මිලියන 300ක් යට කළා.
lඉතිරි කළ මුදලුත් තියෙන්න ඇති?
ඔව්. ස්ථාවර තැන්පතු දාපුවා තිබුණා. ඉඩම අරන් තිබුණෙ 2009 දි. ඒක ඇත්තටම හොඳ ආයෝජනයක්. හෝටලය විවෘත කළේ 2019 මාර්තු 11 වැනිදා. අද වෙනකොට ඒ පැත්තේ තියෙන හොඳම හෝටලයක් තමයි අපේ රෝයල් රීච් හෝටලය. කොවිඩ් කාලෙ පවා අපි ඒ නීතිවලට අනුකූලව විවාහ උත්සව පැවැත්වුවා. දිගටම අපි වැඩ කළා.
lතමන්ගෙ සේවකයන් එක්ක තියෙන ගනුදෙනුව කොයි ආකාරද?
මම ඒ අය ඇසුරු කරන්නෙ යාළුවො වගේ. මම ඕන කෙනෙක් විශ්වාස කරනවා. මගේ සහෝදරයනුත් මට උදවු කරනවා. ඒක ලොකු හයියක්. අනික මම ඒ අයට නිදහස දෙනවා වැඩ කරන්න. ඒක සාර්ථක ක්‍රමයක්.
lමොකද්ද ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය?
මගේ වාහනේ සීස් කළ දවසෙ තමයි මම හිතුවෙ කොහොමහරි ගොඩ යන්න ඕන කියලා. මොකද හැමෝම වෙනස්කම් කළා. උදවු කරන්න කවුරුත් හිටියෙ නෑ. සල්ලි නැති වෙනකොට මිනිස්සු කොහොමද සලකන්නෙ කියන එක මට හොඳට තේරුණා. අසරණ වීම කියන එකේ පතුලටම මම වැටුණා. අන්තයටම කලකිරුණා. අපිට උදවු කරන්න කවදාවත් නෑයෙක් ඉඳලා නෑ. හදිසියකට අතමාරුවක් කරගන්න ඉඳපු යාළුවෙක් ඇරෙන්න වෙන කවුරුත් නෑ. අද වෙනකම් ඇත්තටම කිසිම නෑයෙක්ගෙන් මමවත් තාත්තවත් උදවු අරගෙන නෑ.
lඅභියෝගවලට මුහුණ දෙන්න ඕන කොහොම කියලද හිතන්නෙ?
මම හිතන්නෙ කිසිම දේකට කලබල වෙන්න හොඳ නෑ. ඉවසීම තියෙන්න ඕන. ජීවිතේ ප්‍රශ්න එන එක සාමාන්‍යයයි. මොන දේ නැති වුණත් මට මගේ බිරියයි, දරුවො තුන්දෙනයි ඉන්නවනෙ කියලා මම හිතනවා.
lජීවිතේ බෙදා ගත්ත ජීවන සහකාරිය කවුද?
අපි 2002 වර්ෂයේදී විවාහ වුණේ. ඇය තිස්සමහාරාමයේ කෙනෙක්. කාංචනා සිරිවර්ධන ඇගේ නම. අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. දූලා දෙන්නෙක් සහ පුතෙක්. ලොකු දුව සෙමුදි රශ්මිකා, දෙවැනි දුව චමුදි රශ්මිකා. පුතා රුචිර නෙතුසර. දරුවො තාම පාසල් යනවා. ඒ අය ඉන්නෙ මගේ කොළඹ ගෙදර.
lවිවේක වෙලාවට මොකද කරන්නෙ?
මම කැමැතිම ගෙදර ඉන්න. එයාලා එක්ක ඉන්නවා තරම් සැනසීමක් නෑ ඇත්තටම. අපි කොහේ හරි යනවා නම් ඉතින් නුවරඑළිය පැත්තටයි යන්නෙ. විවිධ රටවලත් සංචාරය කරනවා.
lසාමාන්‍යයෙන් කලාවට තියෙන කැමැත්ත කොහොමද?
මම කලාවට හරිම කැමතියි. ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නත් මම පටන් ගත්තා. ඒ කලාවට තියෙන ආදරය නිසා.
lකෘෂිකර්ම පැත්ත කළාට ඔබ ඒ පැත්තෙන් වැඩක් ගත්තද?
ඇත්තටම මට ඉඩකඩම් ටිකක් තියෙනවා. ඒවා අස්වද්දලා තියෙන්නෙ. කුඹුරු අක්කර 5ක් වී වැපිරුවා. කෙසෙල්, පොල්, අඹ වගේ වගා බිම් තියෙනවා. ඒවත් කරනවා. මට අක්කර 10ක තේ වත්තක් සහ බංගලාවක් තියෙනවා. ඉතින් ඒවා තමයි මම මගේ විෂයය පැත්තට අදාළව කළේ.