බසෙහි බලය අකුරු ! | සිළුමිණ

බසෙහි බලය අකුරු !

 අන්තර්ජාලය වනාහි අද තොරතුරු තාක්ෂණයේ වේදිකාවයි. එය අප අබිමුවට ගෙනා මුල් මෙවලම පරිගණකය වූ නමුත්, පසුව එය ටැබ් ඔස්සේ ජංගම මෙවලමක් බවට පත් ව අද ජංගම දුරකතනය තෙක් පැමිණ තිබේ. අඟල් තුනක තිරයක් මත - තමන් හිඳින තැනකම හිඳ, නාසා විද්‍යාඥයන් නව ග්‍රහලෝක හතක් සොයා ගත් බව පළ කරනු සජීවී ව දකින්නට දැන් අපට හැකියි.

ගල් යුගයේ මිනිසා අතින් ඇඳි රූපමය තොරතුරු මෙන් අද දෘශ්‍යතමය වශයෙන් මේ ග්‍රහලෝක අප ජංගම දුරකතන තිරයේ මැවෙන බව සැබෑ ය.

එහෙත් අද එදාට වඩා සිය ගුණයක් ඉදිරියෙන් අකුරු ඔස්සේ භාෂාමය සන්නිවේදනයක මහඟු ඵල අපි ලබමු.

එසේ නොවන්නට ග්‍රහලෝකවල හැඩය පමණක් දැන ඉන් සැනසෙන්නට අපට සිදු වෙයි. එහෙත් බස නිසා අපි ග්‍රහලෝකවල දිග පළල, එකිනෙක අතර පරතරය, දිවා රෑ යෙදෙන ආකාරය, පෘථිවිය හා ගත් කල ඒවායේ මතුපිට උෂ්ණත්වය, ජීවය සඳහා ඇවැසි සාධක කවර මට්ටමක පවතී ද ආදි වශයෙන් රූපයට එහා ගිය අතිමහත් තොරතුරු රැසක් ඉතා සුළු කාලයක් තුළ ග්‍රහණය කර ගන්නෙමු. එහෙයින් තොරතුරු තාක්ෂණය තුළ බසෙහි මෙහෙය මිල කළ නොහැකි ය.

එහෙත් මීට දශකයකට පෙර මේ සන්නිවේදනය අප විඳ ගත්තේ ඉංග්‍රීසි බසිනි. තොරතුරු තාක්ෂණය තුළ අපේ බස නො වී ය. අපේ සිංහල අකුරු ද නොවී ය.

මුල් තාක්ෂණ හුවමාරුවේ දී සිදු වුණේ ඉංග්‍රීසි අකුරුවලින් සිංහල බස සන්නිවේදනය වීමයි. දිගටම එසේ වී නම් ඉංග්‍රීසි අකුරින් ලියන සිංහල බසින් තෘප්තිමත් වන්නටත්, ඉන් සැනසෙන්නටත් අපට සිදු විය හැකි ව තිබිණි.

කවුරු කුමක් කීවත් එවිට එය භාෂාව ම නොවේ. ‘භාෂා භාගය’කි. අන් අකුරකින් ලියැවෙන සිංහලය කුමක් ද? මෙය නම් සිංහල අකුරුවලින් ලියැවෙන පාලි මෙන් වෙයි.

 

බසෙහි අගය

 

පාලි යැයි කීවාට ලියන්නේ සිංහල අකුරුවලින් නිසා එහි සිංහල ගතියක් ද වෙයි. අපට ඉංග්‍රීසි අකුරින් අපේ වචන ලියමින් ඉන්නට සිදු වී නම් කවර අභාග්‍යක් ද? වචන සිංහල බව සැබෑ ය. එහෙත් අන් අකුරකින් ලියන සිංහලය කවර කලවමක් ද?

කෙසේ වෙතත් කවර තාක්ෂණයක් මත වුවත් බස පවතින බව - බස බලවත් බව මින් පසක් වෙයි. කුමාරතුංග තුමන් එදා කී ‘බසෙහි අගය’ මේ නොවේ ද? අප පවතින්නේ ජාති හෝ ආගම් මත නොව බස පෙරටු කොට බව මින් කියැවෙයි. සමා වන්න - මම ඉන් ද නොනවතිමි.

බස පවතින්නේ අකුරු මත බව නොකියා සිටින්නේ කෙසේ ද? අකුරු නැති නම් බසක් නැත. ඉතින් ලෝකය ම යා කෙරෙන අද තාක්ෂණය තුළ අපේ බස ස්ථාපිත වනුයේ එහි සිංහල අකුරු ආගමනයෙන් පසුව ය. එබඳු තැන්හි දී තාක්ෂණ ගත අකුරු නිමැවුම් ද ඊට ම ඇවැසි මෘදුකාංග නිමැවුම් ද අනිවාර්යය වෙයි.

දැන් අපි එහි මුල් පියවර ජය ගෙන සිටිමු. සිංහල අකුරු ද මෘදුකාංග ද මතින් සිංහල බස තොරතුරු තාක්ෂණය තුළ පිනුම් ගසන්නට පටන් ගෙන තිබේ. ජංගම දුරකතනයක් සතු හැම අයෙක් ම දැන් සිංහල භාෂා සන්නිවේදකයෙක් වෙයි; දෙවනුව නිර්මාණකරුවෙක් ද වෙයි.

මුද්‍රණයේ දී සීමා සහිත වූ මේ ව්‍යවහාරයට අද සීමා නැත. ඇ‍ෙමරිකාවේ සිට අපේ රටේ පුවත් අපට කලින් පළ කරන වෙබ් අඩවි දැන් ක්‍රියාත්මකයි. කැනඩාවේ සිට සිංහලෙන්, පරිගණකය හෝ ජංගම දුරකතනය තුළ ලියන සිංහල පුවත් අපි සැණෙකින් කියවමු; කවි රස විඳිමු; කතා කියවමු.

මෙහි සිට සිංහලෙන් කැනඩාවට අපේ අදහස් පළ කරමු. විවේචන ද ප්‍රශංසා ද කරමු. අප මෙහි ටයිප් කරමින් සිටින බව පවා එහි සිටින්නන්ට දන්වනු ලැබේ. ඔවුන් ටයිප් කරන බව ද අපට ඒ මොහොතේ ම දැනේ.

තාක්ෂණයේ සිංහල අකුරු එකතුව වනාහි සිංහල භාෂා පරිහරණයේ උත්කෘෂ්ට අවස්ථාවයි. මින් මතු සිංහලය වළ දමන්නට කිසිවෙකුට බැරි ය. කුමක් නිසා ද යත් පෙර කල මෙන් නොව අසීමිත භාවිතය ඔස්සේ ම බුරුතු පිටින් ලොව පුරා සිංහල බස ඇසුරු කරන්නන් බිහි වීම දැන් ඉතා පැහැදිලි හෙයිනි.

පසුගිය දා කොළඹ ගංගාරාමයේ පෙරහැර නරඹමින් පින්තූර ගනිමින් තාප්පයකට හේත්තු වී පැය තුනක් පමණ මා ගත කළ වේලේ, අසල සිටි අවුරුදු දහ අටක තරමේ යුවතියක සිටගෙන ම සිය ජංගම දුරකතනයෙන් අධිවේගයෙන් සිංහල ටයිප් කරනු දුටු විට මට ඇති වූයේ මහත් පුදුමයකි.

මා ඇගේ තිරයට එබී වචන කියෙව්වේ නැති නමුත්, පෙරහැරේ නැට්ටුවන්ගේ කස්තිරම්වලටත් වැඩි වේගයකින් ඇය සිංහල අකුරු ටයිප් කරන බව මට පැහැදිලි විය. එවන් අධිවේගී සිංහල මෙහෙයුමක යෙදෙන්නට ළාබාල යුවතියකට හැකි වීම ප්‍රීතිය දනවයි. යොවුන් වියේ සන්නිවේදනය ද පෙරහර නැරඹීම ද යන දෙකටම මැදි වූ යුවතිය තුළින් භාෂාවේ තාක්ෂණික ආධිපත්‍යය වටහා ගන්නට මම වෑයම් කළෙමි.

 

අක්ෂර දිනය - 2017

 

තාක්ෂණගත අකුරු ගැන ම කතා කරන, ඉන්දියාවේ ආයතන කීපයක් මඟින් ක්‍රියාත්මක කෙරෙන අන්තර්ජාතික ‘අක්ෂර දිනය - 2017’ නම් වූ වැඩමුළුව දස වැනි වරට ගිය සතියේ කොළඹ දී පැවැත්විණි.

ලොව විවිධ රටවලින් මෙන් ම, එබඳු රටවල් ම වැනි වූ ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් ද විශාල පිරිසක් නිර්මාණකරුවෝ මේ සඳහා පැමිණ සිටියහ. එය සංවිධානය සඳහා අපේ රට නියෝජනය කළේ, මොරටුව විශ්ව විද්‍යාලයේ, වාස්තු විද්‍යා පීඨයේ, සමෝධානික නිර්මාණ අංශයයි.

මෙහි දී මට ඉතා ම පැහැදිලි ලෙස දැක ගන්නට හැකි වූ කරුණ නම් විවිධ භාෂා රැසක් ඇති ඉන්දියාවේ, ඒ ඒ ප්‍රාන්තවල නිර්මාණකරුවෝ සිය භාෂාවට අනන්‍ය වූ අකුරු තාක්ෂණගත කිරීමෙහිලා කොයි තරම් උනන්දු වන්නේ ද යන්නයි.

හින්දි - මලයාලම් - මරාටි - තෙලිඟු ආදි වූ විවිධ භාෂාවල අකුරු ඒ ඒ හැඩ ඉස්මතු කොට ගෙන ද නිර්මාණාත්මකව ද භාෂා පරිහරණය සඳහා තාක්ෂණගත කිරීමට මේ ‘ෆොනුරූවේදීහු’ කටයුතු කරමින් සිටිති.

විවිධ රටවලින් පැමිණි දේශකයෝ විවිධ අකුරු ගැන - අකුරු යෙදුම් ගැන කතා කළහ. අවසානයේ දී ඒ වනාහි බසේ ප්‍රබලත්වය ද, ඒ වෙනුවෙන් අකුරුවල ප්‍රබලත්වය ද කියා පෑ අවස්ථාවක් විය. මේ වැඩමුළුවට, ඇමරිකානු, එංගලන්ත, ඩෙන්මාර්ක්, සයිප්‍රස්, ඉරාන ආදි විවිධ ජාතිකයන් එක්ව සිටියත් ඒ කිසිවෙකුගේ ජාතිකත්වය ඉස්මතු වීමක් දකින්නට නොලැබිණි. මට පෙනුණේ එක් එක් අයගේ භාෂා අනන්‍යතාව පමණි.

වැඩමුළුව අන්තර්ජාතික වූ හෙයින්, දේශකයන් පොදු සන්නිවේදනය උදෙසා ඉංග්‍රීසියෙන් කතා කළ ද, ඒ ඉංග්‍රීසි සුද්දන්ගේ උච්චාරණ සහිත නො වී ය.

ඉන්දියානුවන්ගේ ඉංග්‍රීසි ‘ඉන්දියානු ඉංග්‍රීසි’ විය. උච්චාරණ ගැති බවක් කිසිවෙක් පළ නො කළහ. අසන්නන්ට ද එය වැදගත් නො වී ය. කවුරුත් උනන්දු වූයේ තම තම බසේ අකුරුවල සියුම් හැඩ මතු කරමින් තාක්ෂණගත බසක විපුල ඵල සහිත ව ඒවා තොරතුරු තාක්ෂණයට දායාද කිරීම පිළිබඳ අධ්‍යයනය සඳහා පමණි.

මෙහි දී ඇඳුමෙන් පවා කිසිවෙකු අනන්‍ය නොවූ බව කීම අතිශයෝක්තියක් නො වෙයි. සහභාගි වූවෝ ඊට සාක්ෂි දරති. භාෂාව ද - අකුරු ද පමණක් අනන්‍ය විය.

තොරතුරු තාක්ෂණයේ ප්‍රබල බව තුළ බස ද, ඒ වෙනුවෙන් අකුරු ද කරන මෙහෙය වැඩමුළුවේ අග්‍රඵලය විය.

බලය ‘බස’ යි. බසෙහි බලය ‘අකුරු’ යි.

 

Comments