
ජීවිතයේ බොහෝ වටිනා දේ අපට හමු වන්නේ අහම්බෙනි. ඇතැම් වටිනා තැන් අප පසුකරගෙන ගියද එවන් තැනෙකට ගොස් බලන්නැයි සිත කියන්නේ කලාතුරකිනි. එතැනට යෑමද ඇතැම්විට බොහෝ දුෂ්කර විය හැකිය. ඒ දුෂ්කර බව අමතක කොට ජීවිතයේ කලාතුරකින් එළැඹෙන එවැනි අවස්ථාවක් මඟ හැර නොයන්නට හැකි වේ නම් ඒ ගමන කෙළවර ලබන ආනන්දය හා නිවීම කිසිවකටත් සම කළ නොහැකිය.
දිවාගුහාව පිළිබඳ විවිධ මතිමතාන්තර හා ජනප්‍රවාද වරින්වර අසා තිබුණද මේ කියන අපූරු සිද්ධස්ථානය සියැසින් දැක බලා ගැනීමේ අභිලාෂයක් වෙසෙසින්ම මින් පෙර අප තුළ ජනිත නොවූවකි. නිරායාසයෙන් ම උදා වුණු ඒ මහඟු අවස්ථාව අපතේ නොහරින්නට ඡායාරූප ශිල්පී තිලක් ද මම ද අපගේ ගමන් සගයා ද මොහොතකුදු මැළි නොවීමු.
කුරුවිට එරත්න සිරීපාද මාර්ගයේ කිලෝ මීටර හතරක් ගිය තැන මුණගැසෙන මංසන්ධියකින් වමට හැරී තවත් කිලෝ මීටර භාගයක් ගිය විට දිවාගුහා වෙහෙරට ඇති පිවිසුම් මග හමුවෙයි. ‘දිවා ගුහාව ඓතිහාසික රජ මහා විහාරය’ යනුවෙන් සඳහන් පුවරුව සහිත බිම් කඩ පාමුලින් ඇරැඹෙන පියගැටපෙළ කෙළවර වන්නේ අහස්කුස සිප ගන්නට ඔන්න මෙන්න කියා සැරසෙන දැවැන්ත ගල් ගුහාවකිනි. ඇරැඹුමේ සිට ගමනේ නිමාව දක්වාම වර්ණවත් බොදු දද වලින් සැරැසුණු පියගැට පෙළ දෙපස පිපී ලෙළ දෙන සුදෝ සුදු වතු සුදු යාය ගත සිත විඩාව මඳකට දුරු කරයි. කන්ද මුදුනත පිහිටි විහාර ලෙන මේ දැන්.... මේ දැන්, හමු වෙතැයි සිතෙනවා මිස මේ යෙදෙන්නේ තවත් පුංචි සිරිපා කරුණාවක දෝ යැයි මොහොතකටවත් නොසිතෙයි. ළඟ ළඟම එළැඹෙන වෙහෙර මළුවක සලකුණු දෑස් මානයේම දිස් වන හෙයිනි.
අපර භාගයේ ද හෝරා දෙක තුනක් පසුවී ඇරැඹුණු අපේ චාරිකාවේ කෙළවර කොතැනදැයි නොදැනම අපි පියවරෙන් පියවර ඉහළට, දිවා ගුහාව සොයා යමින් සිටියෙමු. ගන වන තීරය මැදින් අහස් කුස සොයා ඇදෙන හිණි මං පෙතක කෙලවර පිහිටි බුදු පා පහස ලද පින් බිමක් දැක බලා ගැනීම හැම දෙනාගේ අරමුණයි. හාත්පස තුරුවදුලු සිප හමා එන සිසිල් මදනල ගත දවන සරතැස මොහොතකට නිවාලයි. රාස්සිගේ අවුරැල්ලෙන් එකලු වුණු පියගැටපෙළෙහි පඬු පැහැය මොහොතකට දෙනෙත් වෙහෙසවයි. අතරින් පතර නැගෙන විහඟ සර හැරුණු කල පරිසරයේ නිහඬ බව බිඳලන්නේ අපගේම ස්වරය පමණය. දිවා ගුහාව යනු කුමක් ද? සැබෑ දිවා ගුහාව මෙය ම විය නොහැකිද? යන කුහුලින් මඩනා ලද සිතින් යුතුව පියවරෙන් පියවර ඉහළට ම නැංගෙමු. දිවා ගුහාවේ සැබෑ කතාව ගැන වජිර කිත්සිරි වැලිකල ලියූ පොත් පිංචෙහි මෙසේ සඳහන් වෙයි:
“සමන්තකූට පර්වතයට අධිපති සුමන සමන් දෙවිඳුගේ ආරාධනය පරිදි පන්සීයක් මහ රහතුන් වහන්සේලා සමඟ බුදුපියාණන් වහන්සේ අහසින් සමන් ගිර හිස මතට වැඩම කර චක්‍රාදී මංගල ලක්ෂණයන්ගෙන් යුත් ශ්‍රීපාද පද්මය අදිටන් බලයෙන් පිහිටුවා දිවා කාලය සමවත් සුවයෙන් වැඩ හිඳීම සඳහා පන්සියයක් රහතුන් වහන්සේලා සමඟ එම අඩවියේ පිහිටි සුවිශාල ගල් ලෙනකට වැඩමවා ඇත....”
“දිවා කාලයේ හිරු එළිය මේ ලෙන තුළට හොඳින් ලැබෙන හෙයින් දිවා ගුහාව කියාද භාග්‍යවතුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි නිසා භගවාලෙන කියා ද ව්‍යවහාරයට පත් වී ඇත...”
“සුමන සමන් දෙවිඳුන් ගේ අඩවියෙන් ඇරැඹී මේ විසල් ගල්ලෙන අසලින් ගලා බසිනා කුඩා නදියක් ඇත. එහි ඇති තොටුපොළින් බුදු රදුන් මෙළොවට බට හෙයින් “බට තොට” යනුවෙන් හැඳින්වේ. මැණික්වලට ‘රත්න’ යැයි කියති. මැණික්වලටත් වඩා වටින්නේ බුද්ධ ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයයි. දිවා විහරණයෙන් පසුව පැන් සැනැහීම සඳහා ත්‍රිවිධ රත්නය මේ තොටුපොළට බැස ඇත. ඒ රත්න බැස්සාවූ තොට “එරත්න බංතොට” නම් වේ. දැන් කඳු වැටියටත්, ලෙනටත් ‘බටතොට’ නම ඈඳී තිබේ. ගම ද ‘එරත්න’ ය. මේ ලෙනට කලින් භාවිතා කළ භගවාලෙන යන නාමයත් ‘දිවාගුහාව’ යන නාමයත් කෙමෙන් ගිලිහී අද බටතොට ලෙන ලෙස පතළ වී තිබේ. මෙම ලෙන මෙතෙක් සොයාගැනීමමට නොහැකිවූ භගවාලෙන හෙවත් දිවාගුහාව සුමන සමන් දෙවිඳුගේ අඩවියට අයත් බටතොට කන්දේ පිහිටි මේ ලෙනම බව අපවත්වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියෝ වදාළ සේක.”
“බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ පුදබිම් සොළොස්මස්ථාන නමින් හැඳින්වේ. සොළොස්මස්ථාන දාසයෙන් පහළොවකම විවිධ වෙහෙර විහාරස්ථාන ඉදිකර තිබුණද ‘දිවාගුහාව’ පිළිබඳ නිශ්චිත ස්ථානයක් හෝ වෙහෙර විහාරස්ථානයක් පිළිබඳව හඳුනාගෙන නොතිබිණ.”
“දිවා ගුහාව පිහිටා ඇත්තේ සිරිපා මළුවේ සිට හැටන් පාර ඔස්සේ අඩි 300 ක් පමණ බැස ගිය විට හමුවන කුඩා ගල්ලෙනක යැයි ද මතයක් තිබේ. සැබෑ දිවා ගුහාව කුමක් ද යන්න පිළිබඳ විවිධ මතිමතාන්තර පවතින අතර 1995 ඔක්තෝබර් මස 15 දින එවකට වල් බිහිව තිබූ බටතොට පුරාණ ගල්ලෙන් රජමහා විහාරය නැරැඹීමට වැඩි අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් වහන්සේ විසිපස් නමක් මහා සංඝරත්නය හා දහසකට වැඩි ගිහි පිරිසක්ද ඉදිරියේදී බටතොට ගල්ලෙන දිවාගුහාව විය හැකි බවට මතයක් ප්‍රකාශ කළහ.”
අපට තවමත් ලෙන පෙනෙන මානයක දිස් නොවෙයි. දුර ඈත ඉහළින් බෝ මැඩක සලකුණු පෙනේ. “අර තියෙන්නේ, දැන් ළඟයි” විඩාපත්ව මැළිවන මසිත දිරිගන්වමින් තිලක් පවසයි. මදක් නවතිමි. මෙතෙක් නැග ආ මඟ පාමුලින් දිස්වෙයි. පර්වතය පාමුල ගැඹුරුය. සියොලඟ වෙවුලුම් කමින් කිසියම් බියකින් හදවත සැලෙයි.
මළුවට පෙර හමුවන බෝධිය ඉපැරණිය. සැදැහැතියකු විසින් උදෑසන පුදන ලද මල් මිටක් දෙකක් මිලින වෙමින් තිබේ. දැල්වූ පහන් වැටි නිවී ගොස්ය. හාත්පස සිසාරා හමායන මඳනලට මුසු වූ සඳුන් කූරක සුවඳින් සිත සුවපත් වෙයි. සැදැහැ සිතින් ඔද වැඩී දෝත් මුදුන් දී බෝධිය අභියස බුදුරුව නමදිමි. පුදන්නට වනමලක් වත් ඇත්නම්! වට පි බලමි. පසෙකින් පිපී වැනෙන සුදෝ සුදු වතු සුදු මලකි. නෙළාගත් එමල බුදුනට පුදන නිතැතින් ම මිමිනෙන්නේ “කායේන වාචා චිත්තේන...’’ ගාථාවය.
ඉහළින් දිස්වන ලෙන්බිමට පිවිසෙන්නට හදිසියක් දැනෙයි. ගැන ගැන නැගි පියගැට පෙළෙහි දෙසිය අසූවෙනි පෙතෙහි අවසන ඒ ඉසිවර අසපුවය. හාත්පස වසා ගත් විසල් ගල්ලෙනට තවමත් හොඳින් හිරු එළිය වැටී තිබේ. ගල්ලෙනෙහි පියස්සෙහි කොණකින් එල්ලා හැලෙන ලතා මඩුළුවලින් රන්වන් පැහැපත් සිසිල් දියබිඳු වෑහෙයි. දියබිඳු වැටෙන ගල්තලාව අවුරා තැනුණු විල් තලයෙහි නිල්වන් මානෙලක් හිනැහෙයි. පොකුණට ම ආවේණික රන් මසුන් මෙහි පැමිණියේ සුරලොවින්ද? ‘මේ නම් බුදුරදුන් පැන් පවස නිවාගත් ඒ සුනිල විල් තලයමැයි’ ඒ දකින මසිත මුමුණයි. හිසට ඉහළින් අහස සිපගත් ගල්තලාවෙන් වෑහෙන දිය බිඳු එක්ව සැදි විල්තලය මනරම්ය. අවට පරිසරය සිසිලසින් සුව දෙයි.
ලෙන් බිම නිහඩ මුත් ගුප්ත බවක් නොදැනෙයි. ශිලා තලය මත නිර්මිත විසි එක් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස දණින් වැටෙමි. පසඟ පිහිටුවා බුදුන් නමදින කල මෙතෙක් දුර ආ වෙහෙස කොහෙන් ගියාදැයි නොදැනෙයි. මහත් වෙහෙසක් ගෙන සිරිපා මළුවට නැඟි විට ගත සිත පෙළූ වෙහෙස කොහේ ගියාදැයි දැනෙනවා මෙනි. පිළිමය අභියස හිඳ මදකට බවුන් වඩමි. සිතිවිලි සියල්ලම එක තැන නතර වී ඇති බවක් දැනෙයි. කිසිවක් සිතෙන්නේද, කිසිවක් පතන්නේ ද නැත. අරුමයකි! මම එක්තරා ශාන්තියකට සමවැදී සිටිමි. හිඳගත් තැනින් නැඟිටින්නට නොහැකි සේය. කුටියෙන් එළියට ඇවිදිමි. සෙල්මුවා බිත්තියෙහි අඳින ලද සමන් දෙවි රූපය ජීවමාන සේය. එදෙස බලා සිටි සඳ නෙළන ලද ප්‍රතිමා කවර කලෙක දැයි සිතෙයි.
වෙහෙර ගැබ පැදකුණු කර එළැඹෙන කවුළු දොර වෙත පියමනිමි. වලාකුළු වැටියෙන් එපිට දිස්වන මනස්කාන්ත දසුනින් වසඟයට පත්වෙමි. දුරින් දිස්වෙන සමනොළ ගිරග වෙත මේ සදලු තලයේ සිට දිගු පියවර කිහිපයකින් ළඟා විය හැකි සෙයක් දැනෙයි. එදවසේ බුදු රජාණන් වහන්සේ පහසුවෙන් එතැන් සිට මේ ගිරි දුර්ගයට වඩින්නට ඇතැයි සිත කියයි. මොහොතක් දෑස් පියාගනිමි. ඒ අසිරිමත් බුදු දසුන මසිතෙහි ඇඳී මැවී නොපෙනී යයි. දෑස් හැර අවට බලමි. වලාකුළු අතරින් මාද සමනොළ ගිර සිරස නමදින්නට පාවී යනවා මෙන් දැනෙයි. ඒ දෙසට ම ඇදී යන සිත මවෙත ඇදගන්නට වැර දරමි. කිසිවක් හෝ කිසිවෙක් සිතට නැගෙන‍්නේ නැත. එකම එක නිමේශයකට සිත නිවී සුවපත් වී තිබේ. අරුමයකි! ඒ සුවය මින් පෙර කොතැනකදීවත්ම නොදැනුණේ ඇයි? බුදුහිමි පහසලත් ගුහාවේ ආනුභවය මෙයද? මසිත යළි විපිළිසර වෙයි. අනන්තය වෙත දිවෙන වලාකුළු ඇතිරූ මාවතේ සමනොළ ගිරග වෙත පාව යන්නාක් මෙන් මේ සදලු තලයේදී හැඟෙයි. ඒ මොහොතේ සිතට දැනෙන ශුන්‍යත්වය වටහා ගන්නට අසීරුය. ලැබෙන නව ජීවය සියලු බාධක දුක් කම්කටොලු මඟ හැර බොහෝ දුරක් හැල්මේ දිව යන්නට යෝධ හයියක් ගෙන එනු නිසැකය.
සේයාරුව - තිලක් පෙරේරා
සාගරිකා දිසානායක ජයසිංහ