
ක්‍රීඩාව නංවන වැඩ පිළිවෙළක් ක්‍රීඩා අමාත්‍යංශයට නෑ. අද ක්‍රීඩාවට දරුවෝ එන්නේ නෑ. දරුවෝ ක්‍රීඩා කරන්නේ නෑ. ක්ෂේත්‍රයට අදාළ උගත් - බුද්ධිමත්, තැනක් දිය යුතු වැඩක් කළ හැකි මිනිස්සුන්ට තැනක් නෑ. ඒකයි මේ ක්‍රීඩාව වැටිලා තියෙන්නේ. දේශපාලනය හරහා හෝ ක්‍රීඩා අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක කරන වැඩ සටහන් ක්‍රියාවට නංවන්න කළමනාකරණයක් මනා දැනීමක්, වටිනාකමක් තියෙන උදවිය නෙවෙයි ඉන්නේ.
මේ ඔලිම්පික් රිදී පදක්කම්ලාභි ක්‍රීඩා අමාත්‍යංශය උපදේශිකා සුසන්තිකා ජයසිංහගේ හඬයි.
පැත්ත ගියත් - කට කෑවත් කියන්න තියෙන දේ කොන්ද කෙළින් තියාගෙන කියන සුසන්තිකාගේ මෙකී ගුණය ලාභ ප්‍රයෝජන, තාන්න, මාන්න තනතුරුවලට බාල්දු කරන අති බහුතරයකට හොඳ කනේ පහරක් බව පැවැසිය යුතුමය. ඒ අතින් බොහෝ දෙනකුට නැති කොන්දක් සුසන්තිකාට තිබීම ගැන අප සාඩම්බර වන්නේ වෙනකක් නිසා නොව, අප ද නිරන්තරයෙන්ම අවධාරණය කරනුයේ මෙය වන බැවිනි.
ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ මහා පුටුවට, මහා බ්‍රහ්මයා හෝ මහා බ්‍රහ්මයාගේ ගෝල බාලයන් පත්ව ඇතැයි නොසිතමු. නමුත් රටක ක්‍රීඩා ක්ෂේත්‍රය වැනි වැදගත් දැවැන්ත වපසරියක් - ක්ෂේත්‍රයක් ආවරණය කිරීමට නිරීක්ෂණය කිරීමට නායකත්වය දෙන්නට පිළිගැනීමක් ඇති කළමනාකරණයට සහ පරිපාලනයට මනා අත්දැකීම්වලින් පිරිපුන් මහා බ්‍රහ්මයන් පිරිසක්ම ඒ සඳහා අවශ්‍ය බව නම් තරයේ විශ්වාස කරමු.
මුළු ක්‍රීඩා ලෝකයම ගෝලීය න්‍යාය පත්‍රයක් ලෙස තම තමන්ගේ දෙපා මුලට ගෙන රටවල් කටයුතු කරද්දී, අප කරන්නේ මොනවද යන්න කල්පනා කළ යුතුය.
සංගම් - සම්මේලන නිලධාරීන් කරන්නේ තමන් සතු එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ ඇට - මස් - ලේ - නහර දියවී යනතුරුම දුවපිය - පැනපිය කිව්වා මිසක් දෙවැන්නකු ගැන සිතා කටයුතු කළ කෙනෙක් සොයා ගැනීම අද කළුනික සොයනවාටත් වඩා දුෂ්කර වී තිබේ.
එවන් තත්ත්වයක් තුළ මේ ආකාරයෙන් හෝ ක්‍රීඩාවක් මෙරට පැවැතීම ගැන සතුටුවිය යුතුය. අද ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය අරක් ගෙන සිටින අතිබහුතරයකට අවශ්‍ය වන්නේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ව ක්‍රීඩාව මොන ආගාධයකට වැටී තිබුණද තම තමන්ගේ හෙට දවස යහතින් ගෙවා ගැනීම මිසක් ක්‍රීඩාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම නොවන බවට සාධක ඇවැසි නැත.











