හිවලා සහ කොටියා | Page 3 | සිළුමිණ

හිවලා සහ කොටියා

 වනාන්තරයක හිවලෙක් හා කොටියෙක් වාසය කළා. දවසක් මේ හිවලා හා කොටියා මුහුණට මුහුණ මුණ ගැසුණා. කුසගින්නේ උන් කොටියා සිවලා මරන්නට සූදානම් වුණා. තමන්ගෙ දරුණු නිය පෙන්වමින් මහා හඬක් ද නැඟුවා. ඒත් හිවලා බියවූ බවක් පෙන්නුවේ නෑ. කොටියාට කතා කළා. “ආඩම්බර කොටියා ඔයා හිතන් ඉන්නේ මේ කැලේටම රජා කියලද. එහෙම නම් තමන්ට වැරදිලා.” කොටියා පුදුම වුණා මේ කතාවට‍. “මගේ ‍ශක්තියෙන් බාගයක්වත් ඔහේට නෑ. දැන් මා මරාගෙන කන්න උත්සාහ කළොත් අපරාදෙ තමන්ට මැරෙන්න වෙනවා.‍” හිවලගෙ මේ කතාව කොටියට ඉවසන්න අමාරු වුණා. කේන්ති ගියා‍.‍ ඒ හින්දා ම කොටියාගෙ ගෙරවුම් හඬ තවත් වැඩි වුණා.

“ඇයි මේ බොරුවට ගොරවන්නේ කියලා ඇහුවා. කැමති ද මගේ ශක්තිය බලන්න‍. හිවලා කොටියාගෙන් ඇහුවා‍. මම පැරදුණොත් ඔබට පුළුවනි මාව කන්න‍. ‍හැබැයි ඔබ පැරදුණොත් මම ඔබ ඉතුරු කරන්නෙ නෑ.” මේ කතාවෙන් තව තවත් කෝපවූ කොටියා අභියෝගය බාරගත්තා.

“හොඳයි මොකක්ද මං කරන්න ඕන‍. මම මිනිස්සු ඉන්න පැත්තකට යනවා. ඔබත් ම‍ෙග් ‍පස්සෙන් එන්න. මිනිස්සු මට බය වෙලා පැනලා දිව්වොත් ඔබ පරාදයි. හිවලා කොටියාට කිව්වා. හිවලුන්ට කවදද මිනිස්සු බය වුණේ” කොටියා හිතෙන් හිනාවෙන ගමන් හිතුවා. දැන් හිවලා ගම්මානයට යන්න පටන් ගත්තා. කොටියා හිවලාට අඩි කිහිපයක් පිටුපසින් යන්න පටන් ගත්තා. ඉස්සරහින් එන හිවලා එක පාරටම නොපෙනුණාට පිටුපසින් එන කොටියා දුරදීම හොඳින් ගමේ මිනිසුන්ට පෙනුණා.‍ ඒ හින්දා ගමේ මිනිස්සු බය වෙලා දුවන්න පටන් ගත්තා.

කොටියා පුදුමයෙන් මොහොතක් නතරව බලා උන්නා.‍ “ඇත්ත නේන්නම් මේකා දැකලා මිනිස්සු දුවනවනේ. මේ වෙලාවෙ හිවලා කොටියා දිහාට හැරිලා මෙන්න මෙහෙම කිව්වා. “ඔබ දැක්කද මාව දැකලා මිනිස්සු දුවන විදිය. දැන් ඔබ පරාදයි‍. දැන් ලෑස්ති වෙන්න මට බිලිවෙන්න” හිවලා එහෙම කිව්වා විතරයි කොටියා හොඳටම බය වෙලා කැලේ කඩාගෙන දුවන්න පටන් ගත්තා. තමන්ට ඉස්සරහින් හිවලා ගියත් මිනිස්සු බයවෙලා දුවන්න ගත්තෙ තමන්ට බය වෙලා කියලා තේරුම් ගන්න තරම් මොළයක් කොටියාට තිබිල නැති හැටි!

Comments