සිංහල මිහිර | සිළුමිණ

සිංහල මිහිර

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය සරත් අමුණුගම මහත්තයා කිවුවේ, ඉතා ම ඉක්මනින් සිංහල අකුරු නැති වෙලා, ඉංග්‍රීසියේ දී අපි භාවිත කරන ලතින් අකුරු අපේ  භාෂාවට යොදා ගන්න සිද්ධ වෙනවා කියලයි. එතුමා උදාහරණයට එදා පෙන්නුවේ මැලේසියාව. වේදිකාවේ මගේ ළඟ ම හිටිය ජේ. බී. දිසානායක මහාචාර්යතුමා ඒ වෙලාවේ ම හයියෙන් කිවුවේ ‘නෑ, නෑ එහෙම වෙන්නේ නෑ’ කියලා. 

උල්පත් පෑන ආවා ම කටු පෑන නැතුව ගියා. කාබන් පෑන ආවා ම උල්පත් පෑනටත් වුණේ ඒකමයි. අද උල්පත් පෑනකින් ලියන්නේ පරණ පුරුද්දට ලියන වැඩිහිටියෙක් විතරයි. තාක්ෂණ හුවමාරු වීම්වල දී සමහර දේවල් අභාවයට යන එක සාමාන්‍ය දෙයක්. මගේ විෂයය, ඒ කියන්නේ ‘සිංහල අකුරු’ ගැන කිවුවා ම ඊට අදාළ රැකියා පවා තාක්ෂණය හින්දා නැති වුණ අවස්ථා තියෙනවා. භාවිතයත් නැති වෙලා තියෙනවා. පරිගණකය ආවාට පස්සේ අකුරු ලියන එකත් අඩු වේගෙන යනවා. ඒත් ඒක නැතිවෙන එකක් නම් නෑ. මොකද සමහර දේවල් ලියන්න ම වෙනවා. මොන දියුණු රටක වුණත් නායකයින් දිවුරුම් දෙන කොට අදටත් පෑනකින් අත්සන් කරනවා. ඒකේ තමන්ගේ භාෂාව, තමන්ගේ අකුරු, තමන්ගේ ශෛලිය කියන අනන්‍ය වූ ලක්ෂණ ඇතුළත්. ඒ විතරක් නෙවෙයි නීත්‍යනුකූල ලියවිල්ලක දී අතින් ලියන අකුරු සහිත පිටපත හරි ම වැදගත්. පිකාසෝගෙ හරි මයිකල් ආන්ජෙලෝගෙ හරි චිත්‍රවල මුද්‍රිත පිටපත් කොච්චර දකින්න තිබුණත් ඔරිජිනල් එක බලන්න කෞතුකාගාරවලට මිනිස්සු යන්නේ ඇයි? ඒවා වෙන්දේසිවල දී අසීමිත මිල ගණන්වලට විකිණෙන්නේ ඇයි? ඒ වගේ අපේ අකුරු භාවිතයත් මොන මොන තාක්ෂණ හරඹ ආවත් විනාශ වෙන්නේ නෑ. ඇත්තට ම කියනවා නම් ඒ ඔස්සේ අපේ අකුරු තව තවත් අලංකාර වෙන එක, ප්‍රමිතිගත වෙන එක, විවිධ හැඩ බිහිවෙන එක තමයි වෙන්නේ.

ඒ වගේ ම තාක්ෂණය හින්දා රැකියා විලාසය වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණ හැටියට ගත්තොත්, ඉස්සර අපි මළ ගෙවල්වල බැනර් ඇන්දේ අතින්. ලොරි - බස්වල බඳේ එක එක දේවල් ලිවුවේ - ඇන්දේ අතින්. ඉස්කෝලවල, කඩසාප්පුවල බෝඩ් ඇන්දේ අතින්. එහෙම ඇඳපු අයගෙ රැකියා දැන් නැති වෙලා. ඒ තැන අද අරන් ඉන්නෙ පරිගණකය මෙහෙයවන අය. ග්රැෆික් ශිල්පීන්. ටයිප්සෙට් කරුවන්.

මුද්‍රණ කටයුතුවල, විද්යුත් මාධ්‍ය වල පවා අතින් සිංහල අකුරු ඇඳීම දැන් විරලයි. මං නිර්මාණය කරපු ෆොනුරූ (‍ෆොන්ට්ස්)වලින් අකුරු ටයිප් කරලා ඒවාට පාට දාලා, එක එක උපක්‍රම යොදලා තව තව ලස්සන කරලා ගන්න එක තමයි දැන් කරන්නේ. මං ඉස්සෙල්ලාම සිංහල ෆොනුරූ එකතුවක් එළි දැක්වුවේ මීට අවුරුදු දහ අටකට ඉස්සර. එතකොට අන්තර්ජාල භාවිතයක් තිබුණේ නෑ. එහෙව් කාලෙකදිත් මගේ එළිදැක්වීමේ උත්සවයේ දී දේශනයක් කරපු,

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය සරත් අමුණුගම මහත්තයා කිවුවේ, ඉතා ම ඉක්මනින් සිංහල අකුරු නැති වෙලා, ඉංග්‍රීසියේ දී අපි භාවිත කරන ලතින් අකුරු අපේ භාෂාවට යොදා ගන්න සිද්ධ වෙනවා කියලයි. එතුමා උදාහරණයට එදා පෙන්නුවේ මැලේසියාව. වේදිකාවේ මගේ ළඟ ම හිටිය ජේ. බී. දිසානායක මහාචාර්යතුමා ඒ වෙලාවේ ම හයියෙන් කිවුවේ ‘නෑ, නෑ එහෙම වෙන්නේ නෑ’ කියලා.

ඇත්තට ම ලෝකේ එක තැනක වෙච්ච දෙයක් ඒ විදියට ම තව තැනකත් වෙයි කියලා අපි හිතුවාට කවදාවත් එහෙම නොවුණ සිද්ධි ඕන තරම් තියෙනවා. රුසියානු ඔක්තෝබර් විප්ලවය කියන එක සිද්ධ වුණේ රුසියාවේ ම විතරයි. විප්ලවයට වශී වුණු සහෝදරවරු ලංකාවේත් එහෙම වෙයි කියලා හුඟක් කල් ඉඳන් කිය කියා හිටියාට මෙහේ එහෙම එකක් ගැන හිතන එකත් දැන් විහිළුවක් වගේ.

ඉතින් මැලේසියාවේ ලතින් අකුරු මාරුවත් ඒ විදියම තමයි. අනික, එදා ‘98 දී නොතිබුණ, දැන් ලෝකය පුරා වැජඹෙන අන්තර්ජාලයයි, වෙබ් අඩවියි එක්ක බැලුවා ම ඒ කතාව එදාට වඩා සිය ගුණයක් වේගෙන් මේ දැන් වෙයි වගේ කියලා හිතන්න පුළුවන්නේ එහෙනම්. ඒත් වුණේ මොකක් ද දන්නවා ද? එදා මං මුද්‍රණ කර්මාන්තය ඉලක්ක කර ගෙන නිර්මාණය කරපු අකුරු ම අන්තර් ජාලයටත් අරන්, වෙබ් අඩවිවලටත් අරන්, දැන් 2017 වෙන කොට ලංකාවේ අපටත් එහා ගිහින් ගූගල් සමාගම මූලික වෙලා සිංහල ෆොනුරූ නිර්මාණයට අනුබල දීමයි.

රූප 250 කින් සෑහීමට පත් වෙලා අනූ අටේ දී මං නිර්මාණය කරපු ‘අභය’ ෆොනුරුව එදා පැවැති ප්‍රාථමික තත්ත්වයෙන් මහ ඉහළට අරන් අද තියෙන යුනිකේත ෆොනුරුවක් විදියට රූප 800ක් දක්වා දියුණු කරලා අලුතෙන් ම ඇඳලා නවීන තාක්ෂණ ගත කරලා අන්තර් ජාලයට මුදා හැරුණේ ගිය මාසෙ.

මේ ෆොනුරුවෙන් සිංහල ඉංග්‍රීසි භාෂා දෙක ම ටයිප් කරන්න පුළුවන්. තව ටික දවසකින් සිංහල ඉංග්‍රීසි විතරක් නෙවෙයි බෞද්ධ පතපොතට අවශ්‍ය පාලි අකුරුත් ඉතා පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් විදියට මේ යුනිකේත අභය ෆොනුරුව වර්ධනය වෙනවා. එකම ෆොනුරුවකින් සිංහල - ඉංග්‍රීසි - පාලි භාෂා තුන ම ටයිප් කරන්න එතකොට පුළුවන්. තව ටික දවසකින් ඒ විදියට ම මං නිර්මාණය කරපු ‘ගැමුණු’ ෆොනුරුවත් ගූගල්ලා මුදාහරියි.

ලංකාවෙම ඉන්න අපි අපේ සිංහල අකුරු ගැන අවතක්සේරු කෙරුවට, ලෝකේ ලොකු ආයතන ලොව පුරා විවිධ භාෂා පරිහරණය වෙනුවෙන් ඒවායේ අනන්‍යතාවට අනුබල දෙමින් කටයුතු කිරීම දැන් ඉතා පැහැදිලි ව පෙනෙන කාරණයක්.

මීට අවුරුදු දහයකට උඩ දී වුණත් මයික්රො සොෆ්ට් සමාගම ඒගොල්ලන්ගේ වින්ඩෝස්වලට ඒ අය දන්න තරමට සිංහල එකතු කරන කොට අපේ අදාළ බලධාරීන් ඒ ගැන යෙදුණේ නෑ. අදටත් වින්ඩෝස්වල තත්ත්වය එහෙමමයි.

අන්තිමේ දී වින්ඩෝස්වලට වගේ ම ඇපල් පරිගණකවලටත් සිංහල අකුරු ඇතුළු කළේ ඇමරිකන් කාරයෝ. ඒවා භාවිතයට වුවමනා යතුරු පුවරු මෘදුකාංග අපේ තරුණ පරපුර නිර්මාණය කළා.

දැන් තාක්ෂණයේ උපරිම භාවිතය වෙලා තියෙන්නේ ජංගම දුරකතනය. මේකේ මුල දී සිංහල වචන ටයිප් කෙරුවේ ඉංග්‍රීසි අකුරුවලින්. එතකොට ආයෙත් අමුණුගම තුමාගෙ මතය තහවුරු වෙයිදෝ කියලා සමහරු හිතන්නත් ඇති. ඒත් අන්තිමේ දී දැන් ජංගම දුරකතන සියල්ලටමත් සිංහල අකුරු ඇතුළු වෙලා ඉවරයි. අපේ ම තරුණයෝ යතුරු පුවරු මෘදුකාංග නිර්මාණය කළා. ධනික පෙරේරා තරුණයා ප්‍රමුඛ කණ්ඩායම නිර්මාණය කළ ‘හෙළකුරු’ මෘදුකාංගය මිලියන දෙකක් දෙනා බාගත කර ගත් බව ‘දිනමිණ’ වාර්තා කරලා තිබුණේ මීට සති දෙකකට කලින්.

සිංහල අකුරුවල භාවිතය අලුත් තාක්ෂණය ඔස්සේ ඉතා පහසු තත්ත්වයට ඇවිත් තිබෙනවා වුණත් අජිත් තිලකසේන මහත්තයාට ඕනකරන ‘සම රූපී’ ක්‍රමයටත් මං ෆොනුරුවක් නිර්මාණය කරලා දුන්නා. කාලයක් තිස්සේ ම ඒ විදියට සිංහල අකුරු යොදා ගත්තේ එතුමායි, මගේ පාසල් මිතුරකු වන චතුර ජයතිලකයි විතරක් වුණාට දැන් ඒ විදිහටත් සිංහල අකුරු භාවිත කරන්න සමහරු පෙලඹෙමින් ඉන්නවා.

මගේ ෆොනුරූ නිර්මාණවල දී මෘදුකාංග සහාය ලබා දෙන ශන්මුගරාජා සින්නතම්බි සොයුරා, දෙමළ ජාතිකයෙක් වුණාට සමහර සිංහල අකුරු ගැන මටත් වඩා හොඳින් දන්න කෙනෙක්. ඒ වගේ ම මේ දවස්වල මං නිරත වෙලා ඉන්නේ සිංහල භාෂාවේ නැති, අරාබි භාෂාවේ තියෙන උච්චාරණ විධි කීපයක් සිංහල අකුරුවලින් දක්වන්න අවශ්‍ය සලකුණු සහිත සිංහල ෆොනුරුවක් නිර්මාණය කරන කටයුත්තේ.

කුරාණය සිංහල අකුරුවලින් ලියන කොට එහි අරාබි බසින් කියැවෙන උච්චාරණය හරියට ම දක්වන්නයි එහෙම කරන්නේ. මේ වැඩේට මාව හොයාගෙන ආපු මහීර් රම්ඩීන් සොයුරා සිංහල ඉස්කෝලෙකට ගිහින්, සිංහලෙන් ඉගෙන ගත්ත, අරාබි භාෂාව වෙනම ඉගෙන ගත්ත මවුලවි තුමෙක්. එයාව එක්කර ගෙන ආපු හුසේන් සව්ජා සහෝදරයා සිංහල පොත් පළ කරන ප්‍රකාශකයෙක්. ඉතින් මේ වගේ සංහිඳියාවකින්, සිංහල භාෂාව වගේ ම සිංහල අකුරුත් ඉදිරියට ම ගමන් කරන ‘මිහිර’ මට හොඳින් දැනෙන බව කියන්න කැමතියි.

‘සිංහල අපේ භාෂාව. ඒක වැඩි දියුණු කරන එක අපේ යුතුකමක්.’ එහෙමයි මගේ කාර්යාලයෙන් එළියට යන ගමන් හුසේන් සොයුරා අන්තිමට කිවුවේ!

පුෂ්පානන්ද ඒකනායක 

Comments