මොරගහකන්ද පුරවන විට නියඟය නිමා වුණේ ඇයි? | සිළුමිණ

මොරගහකන්ද පුරවන විට නියඟය නිමා වුණේ ඇයි?

 ජෝතිෂ්‍යෙව්දීන් පැවසූ අනාවැකිවලට වඩා ජනතාව, විශේෂයෙන් රජය පවා කම්පනයට පත්කළ අනාවැකියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පවසන ලදි. ඒ 2017 වසරේදී වැසි අඩු විය හැකි බවයි. එපමණක් නොව නියඟයක් පවා ඇතිවිය හැකි බවට ඔවුහු අනාවැකි පළ කළහ.

තල්අත්තට බෙලි ගෙඩියක් වැටුණ ශබ්දය අසා ඇහිල ලෝකෙ පෙරළෙනවා කියලා හිතලා දිවුව හාවා වාගේ අපි සැම, විශේෂයෙන් රජයේ බලවතුන් මේ කතාවෙන් කැළඹුණෙමු. ජාතික පුවත්පත්වල වගේම විද්යුත් මාධ්‍යවල ‘මහා නියඟයක්’ ගැන ප්‍රධාන ශිර්ෂපාඨ පළවිණි. වළගම්බාරජ සමයේ තිබුණා කියන ‘බැමිණිටියාසාය’ ගැන වචනයෙන් පමණක් අහලා තිබුණ නවීන පරම්පරාව ළඟ එන නව යුගයේ බැමිණිටියා සායට සූදානම් වුණි. මේ වන විට කුප්‍රකට ‘ක්‍රෝටන් කොළ කතාව’ එළියට එන්නෙත් මේ මහා නියඟ ගැන කතාව නැගලා ගිය නිසාය.

හා න්‍යාය ගැළපුණ හැටි

හාවා කියන්නේ සුළුදේටත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කලබල වෙන සතෙකි. ඒ කලබලය හාවට ඇති වෙන්නේ මේ සතාට විලෝපීන් (හාවාව ගොදුරු කර ගන්න වෙනත් මාංස භක්ෂක සතුන්) විශාල ගණනක් සිටින නිසයි. ඒ නිසා හාවා හැම මොහොතක්ම ගත කරන්නේ බොහොම විමසිල්ලෙනි

අද ලංකාවේ තත්ත්වය ඊට දෙවැනි නැත. යුද්ධය පැවැති කාලයට වඩා මවාගත් මහා භීතියකින් ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය පවා වසා දමන්න බොහෝ දෙනෙක් පියවර ගනිමින් සිටිති. ජ්‍යෙතිෂවේදියාගේ සිට දේශපාලනඥයා දක්වාත් පුළුල් පරාසයක මේ භීතිය වැපිරීම දැකිය හැකියි.

2017 වසර ඇරඹුණේ මෙවැනි තත්ත්වයක් යටතේ. ඒත් මේ බොහෝ දේ අතරින් මුළු ජාතියටම, ජාතියේ අනාගතයටම ඉතා වැදගත් ඉතිහාසගත වන සිදුවීමක් 2017 වසර ලබන විටම ඇරඹුණි. ඒ ලංකාවේ මෙතුවක් කලක් පුරා ක්‍රියාත්මක වූ අති දැවැන්තම වාරි සංවර්ධන ව්‍යාපෘතිය වන ‘මොරගහකන්ද ජලාශයට ’ මංගල දියවර පිරවීමය.

මොරගහකන්ද ව්‍යාපෘතිය ජනජීවිතයට සේම මෙරට දේශපාලන පැවැත්මට ද තීරණාත්මක වූ ව්‍යාපෘතියකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ වරක් අවධාරණය කර ඇති ආකාරයට මොරගහකන්ද කියන්නේ තවත් ජලාශයක් පමණක් නොවෙ ලංකාවේ ජන ජීවිතය සහ දේශපාලන ඉරණමේ හැරවුම් ලක්ෂයකි. මේ ප්‍රකාශය කරන්නේ එහි ඇති විශාලත්වය හෝ වැයවන මුදල හෝ එයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සලකා බලමින් නොවෙයි. මොරගහකන්ද හා බැඳුණු දේශපාලන හා තවත් භෞතික නොවන සුවිශේෂතා කිහිපයක් හේතුවෙනි.

මෙහි දේශපාලනය ගැන කතා කළොත් ෙමෙත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී 08 වැනිදා මෙරට ජනපතිවරයා නොවන්න මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට හිමිවන්නේ ඉතිහාසයේ හමස් පෙට්ටිය. එසේ නැතිනම් එය භූමිය මත යථාර්යක් වන්නේ අපි විශ්වාස කරනවාට වඩා බොහෝ ප්‍රමාදයන් සහිතවය.

ඒත් මේ ඉරණම්කාර මොරගහකන්ද 2015 ජූලි 25 වැනි දා ඉරණම්කාර ප්‍රවේශයක් ගනී. අවුරුදු 08 කට පසු හමස් පෙට්ටියෙන් එළියට එන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ වැඩකටයුතු ආශ්චර්යවත් වේගයකින් සහ සාර්ථකත්වයකින් ඉදිරියට ඇදෙයි. මාස 18 කටත් නොඅඩු කාලයකින් මේ මහා ජලාශයට මංගල දියවර පිරවීමේ මහා මංගල්‍ය සිදු කිරීමට අවස්ථාව උදා වෙයි.

නියඟයක් ගැන අනාවැකි

ඒත් මීට පෙර සඳහන් කළ ආකාරයට 2017 ආරම්භ වෙන්නේ අහස නිල්ම නිල්පාට කරමිනි. වැහි වලාකුළක සේයාවක් පවා මධ්‍යම කඳුකරයේ අහස් තලයේ නොතිබූ සමයකය. බැමිණිටියාසාය පරදන මහා නියඟයක් ගැන අනැවැකි සැබෑ වෙමින් පැවැති සමයකය.

මොරගහකන්ද මහා ජලාශයට මංගල දියවර පිරවී ජනවාරී 09 වැනිදා සිදුවන බවට ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලබන අතර මාතලේ ඇතුළු මධ්‍යම කඳුකරයේ වියළි කලාපය ගිනිකාෂ්ටක අවුවෙන් කරකුට්ටන් වෙද්දි, කඳුකරයේ මහා ජලාශවල අන්තිම දිය බිඳුවත් සූරා ගනිද්දි, වැස්ස වළාහක දෙවියෝ අහක බලාගෙන් සිටිද්දී, බොහෝ දෙනෙක්ට ලංකාවේ විශාලතම ජලාශයට ජලය පුරවන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් විය.

කතාව ඇත්ත. මහා ජලාශයක් පුරවන්න මහා ජල කඳක් කොහෙන් ගේන්නද? ජල විදුලිය නිපදවීමට සහ ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා බොහොම අරපරිස්සමින් රැස්කර ගත් අන්තිම දිය බිඳුවත් මේ ජලාශයට දන් දෙන්න වෙයිද ? ජනතාවට එහෙම හිතෙන්න ඇති. ‘අනේ දෙයියනේ වැහැපන්’ ජලාශය භාර නිලධාරීන් දෙවියන්ට කන්නලව් කරන්න ඇති.

රාජාභවතු ධම්මිකෝ

පාලකයාගේ ඉරණම සමඟ රටක ඉරණම තදින් බැඳී තිබෙන බව මුළු ලෝකයාම පිළිගන්නා සත්‍යයකි. ලංකාවේ ඉතිහාසයේ මේ ගැන සඳහන් කිරීම් ගණනාවක් ති‍ෙබ්. දුටුගැමුණු රජතුමා අප කවුරුත් දන්නා උදාහරණයකි . එතුමා රුවන්වැලි මහා සෑය ඇතුළු මහා විහාර ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලු ධනසම්පත් ඉබේ පහළ වුණ වංශකතාවේ සඳහන් වේ.

‘රාජභවතු ධම්මිකෝ’ කියලා ආශිර්වාද පිරිත්වලදී කියනවා. ඒ කියන්නේ පාලකයා දැහැමි විය යුතුයි යන්නයි.

නියඟ නිමවෙයිි

‘හැමදා නියං එකදා වැහි වලාවේ’ කියලා ගැමි කියමනක් ති‍ෙබ්. මොරගහකන්ද මහා ජලාශයට මංගල දියවර පිරවීමේ මංගල්‍යය සිදුවූ ජනවාරී 09 වැනිදා වන විට කුඩා දියපාරවල් පමණක් නොව මහා ගංගා පවා තිබුණේ වියළි ඉරිතලා යමිණි. අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර ඇතුළු කෘෂිකාර්මික කලාපයේ ලොකු කුඩා වැව් වියළි ඉරිතලා යමින් තිබුණි. හැම ගොවියකුගේම මුහුණේ දිස් වුණේ අපේක්ෂාභංගත්වයකි.

ගැමි ව්‍යවහාරයේ ‘කොරේ පිටට මරේ’ යැයි අදහසක් පවතී. වැහි බිඳක් නැතිව මහ පොළොව හුල්ලද්දී මොරගහකන්දට මහා ජල කඳක් පිරවීමට ආණ්ඩුව සූදානම් වුණි.

ඒත් දෛවය, ඉරණම, එහෙම නැතිනම් අපි කාටවත් කවදාවත් වටහා ගත නොහැකි ස්වභාවික බලවේග එක්වරම ක්‍රියාත්මක වීම අප විස්මයට පත් කිරීමට හේතු විය.

සාම්ප්‍රදායික දැනුමින් පමණක් නොව අති නවීන විද්‍යාත්මක දැනුමින් පවා සියයට සියයක් නිවැරදි යැයි තහවුරු කළ අනාවැකි බොරු වන බව තහවුරු විය.

මොරගහකන්දට මංගල දියවර පිරවීම සමඟ මේ දේ සිදු විය. ඒත් වියළි කලාපයේ මහා වැව් පිටාර ගලන්නත්, බස්නාහිර ඇතුළු තෙත් කලාපයේ පොළොව පෙඟෙන්න මහා වැසි එක්වරම ඇද හැලෙන්නත් පටන් ගැණින. මේ මොන ආශ්චර්යක් ද කියා වදනින් කියා නිම කළ නොහැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන මේ තත්ත්වය බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ හුදු සිදුවීමක් පමණක්ම ද ?

මොරගහකන්දට මංගල දියවර පිරවීම සමඟ සිදු වූ මේ මහා වර්ෂ­ාව හුදු කාලගුණික සිද්ධියක් ම පමණක්ම ද?

පාලකයා දැහැමි වන විට කලට වැසි වසින බවත්, කෙත්වතු සාර වන බවත් අපේ සමාජ සම්මතයකි. ඒක මහා සම්මත රජුගේ කාලයේ සිට පැවත එන විශ්වාසයකි.

මහා නියඟයක් ගැන භීතියෙන් ආරම්භ වූයේ 2017 දීය, පෙබරවාරි ලබන විටත් අහස කළුපාට වැහි වලාකුළින් බර විය. බලන බලන අත හරිත වර්ණ නිල්ල පිරිලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් වාර්තා කරන ආකාරයට මහා වැව් රැසක ජල ධාරිතවා වේගයෙන් ඉහළ ගොසිනි.

‘මේකට කොහෙන් වතුර පුරවන්නද ?’ කියලා හිතපු මොරගහකන්ද මහා ජලාශය අහසින් වට වැසි දියෙන් වේගයෙන් පිරෙමින් තිබිණි. ඒක වාරි ඉංජිනේරුවන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා වේගයෙන් සිදුවෙන බවයි වාර්තා ‍ෙව්. මේ සිදුවන්නේ පාලකයාගේ ඉරණම, පැවැත්ම සමඟ සදාකාලිකව සම්බන්ධ වන අසිරිමත් සිදුවීමක් බව පැහැදිලියි.

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.)

Comments