බුදුන් වැඳීම හා බුදුන් හමු වීම | සිළුමිණ

බුදුන් වැඳීම හා බුදුන් හමු වීම

 ‘විශිෂ්ටත්වයට හිමිකම් කියන්නෝ හිඟමන් නොයදිති’ යනුවෙන් අලූත් පිරුළක් නිර්මාණය කළ යුතුව ඇතැයි සිතෙන්නේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම සඳහා නිර්මාණකරුවන් වෙතින් අයදුම්පත් කැඳවීමේ අවමානය ද දැන් දැන් වැඩි-වැඩියෙන් කරළියට නැගෙමින් ඇති නිසා ය. පසුගියදා නෙළුම් පොකුණේ පැවැති ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උත්සවයේදී හොඳ ම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය වශයෙන් පිදුම් ලබා ඇත්තේ අරුම පුදුම ගුවන්විදුලි නාට්‍යයකි. එහි වචන තිබී නැත. හොඳ ම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයට රචකයකු නොසිටීමේ අරුමය ලඝුකොට තැකිය යුතු නොවේ. මෙවැනි ගුවන්විදුලි නාට්‍යයක් යථාර්ථයක් විය හැක්කේ පිටසක්වළකට මිස මේ මහපොළොවට නම් නොවේ.

පසුගිය දිනෙක, එක් සීතල උදෑසනක මම ශ්‍රී ලංකාවේ විශිෂ්ට මාධ්‍යවේදියකු (හා අවංක පුද්ගලයකු) ලෙස මා හඳුනා සිටින පාලිත පෙරේරා දුරකතන ඇමතුමකින් සම්බන්ධ කර ගත්තෙමි. පාලිත ‘හලෝ’ යැයි කී සැණින් සුපුරුදු ලෙස මගේ මුවින් ගිලිහුණේ මා සමඟ සම්බන්ධ වන ග්‍රාහකයාගෙන් හැමදාමත් ඇසෙන පොදු ප්‍රශ්නයයි.

‘පාලිත, මොකක් හරි වැඩක ද ඉන්නේ?’

‘ඔව් කැත්ලීන්, මං මේ බුදුන් වඳින්නයි ලෑස්තිය. තරහ නැතුව මට තව විනාඩි පහළොවකින් විතර කතා කරනව ද?’

ඇමතුම කපා හළ මම, හුදෙකලා කල්පනාවක නිමග්න වුණෙමි. මගේ කල්පනාවේ ප්‍රස්තුතය වූයේ බුදුන් වැඳීමයි. පාලිත බුදුන් වඳින්නේ මොහොකට දැයි මම තර්කානුකූල ව සිතා බැලූවෙමි. බුදුන් වඳින මේ රටේ බහුතරය ද සමඟින් පාලිතගේ බුදුන් වැඳීම සසඳා බලමු යි මගේ සිත මට යෝජනා කළේ ය.

මේ රටේ බහුතරය බුදුන් වඳින්නේ භවතණ්හාව නොහොත් භෞතික ප්‍රාර්ථනා සහිතව ය. ඔවුනගේ ඒ නිහඬ ප්‍රාර්ථනා නාද-නින්නාද නංවන ස්ථානය වන්නේ පන්සලේ බෝධිඝරයයි. සිය දූ - දරුවනගේ නම් ගම් පමණක් නොව විභාග අංක ද මැසූ කොඩිවැල් සුළඟේ ලෙළදෙනු දැකිය හැක්කේ ද එතැනදීයි.

පාලිත පෙරේරා වැන්නකු බුදුන් වඳින්නේ කුමක් නිසා විය හැකි ද යන කුකුස මා තුළ ප්‍රහේළිකාවක් නිර්මාණය කරන්නට ඇත්තේ මෙවැනි සන්දර්භයක් තුළ ය. අප දන්නා තරමින් පාලිත පෙරේරා යනු බොහෝ දේ ඉල්ලා සිටියකු නොවේ. පදවි, තානාන්තර හඹා ගිය පුද්ගලයෙක් ද නොවේ. පාලිතගේ ප්‍රතික්ෂේප කිරීමේ ශක්‍යතාව ගැන මුළු රට ම පාහේ දැන සිටින බව ය, අපගේ විශ්වාසය වන්නේ.

‘ශ්‍රී ලංකාව’ යැයි කියන්නේ බොහෝ සම්පත් (විශේෂයෙන් මානව සම්පත්) අපතේ යැවූ දේශයකට ය. ගුවන්විදුලියේ මෙන් ම විද්යුත් මාධ්‍යයේ ද යුග පුරුෂයන් වැනි වූ පාලිත පෙරේරා, කරුණාරත්න අමරසිංහ ආදීන් නිවෙස් තුළට ගාල් කර සිටින අරුම-පුදුම දේශය නම් මේ ය. මර්මස්ථාන නියෝජනය කළ යුත්තන් මෙකල සිටින්නේ ගෙවල්වල ය. ඔවුන්ගේ දීර්ඝකාලීන අත්දැකීම්, ඒ ඥානසම්භාරය උකහාගැනීමේ අවශ්‍යතාව කෙරෙහි සැලකිලිමත් වන්නෝ නූතන සමාජයෙහි නොවෙති. පදවි-තනතුරු බොහෝ විට අත්පත් කරගන්නේ ඉල්ලා සිටින්නෝ ම ය.

‘විශිෂ්ටත්වයට හිමිකම් කියන්නෝ හිඟමන් නොයදිති’ යනුවෙන් අලූත් පිරුළක් නිර්මාණය කළ යුතුව ඇතැයි සිතෙන්නේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම සඳහා නිර්මාණකරුවන් වෙතින් අයදුම්පත් කැඳවීමේ අවමානය ද දැන් දැන් වැඩි-වැඩියෙන් කරළියට නැගෙමින් ඇති නිසා ය. පසුගියදා (පෙබරවාරි 13) නෙළුම් පොකුණේ පැවැති ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උත්සවයේදී හොඳ ම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය වශයෙන් පිදුම් ලබා ඇත්තේ අරුම පුදුම ගුවන්විදුලි නාට්‍යයකි. එහි වචන තිබී නැත. හොඳ ම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයට රචකයකු නොසිටීමේ අරුමය ලඝුකොට තැකිය යුතු නොවේ. මෙවැනි ගුවන්විදුලි නාට්‍යයක් යථාර්ථයක් විය හැක්කේ පිටසක්වළකට මිස මේ මහපොළොවට නම් නොවේ. (භාෂා භාවිතයකින්, වචන හරඹයකින් තොර ව ටෙලිපති ක‍්‍රමයට සන්නිවේදනය සිදුවන්නේ පිටසක්වළ ජීවීන් අතරේ ය.) අප දන්නා තරමින් නම් ගුවන්විදුලි නාට්‍යයක් යනු වචන ය; සංවාද ය; ශබ්ද ය. හොඳ ගුවන්විදුලි නාට්‍යයක් නිෂ්පාදනය වන්නේ හොඳ පිටපතකිනි.

කෙසේ වුව ද අදාළ ගුවන්විදුලි නාට්‍යයේ නිෂ්පාදකවරයාට මේ සම්මානය පිරිනැමීම අතිශයින් සුදුසු වන බව ද ඒ සමඟ ම පැවසිය යුතු ය. ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටින දක්ෂ නාට්‍ය නිෂ්පාදකයකු මෙන් ම දුර්ලභ ගණයේ කැපවීම් කළ හැකි පුද්ගලයකු ද වෙයි. එහෙත් ගුවන්විදුලි නාට්‍යයක පිටපත යනු එහි ශරීරයයි. නිෂ්පාදනය, රඟපෑම් යනාදිය ඇඳුම් බැඳුම් ඇතුළු බාහිර අලංකරණයි. එහෙයින් මෙය රූපරාජිනී තරගයකදී ඇඳුමකට සම්මානය හිමි වූ මුල් ම අවස්ථාවකට ද සම කළ හැකි වෙයි. මීට පෙර ගුවන්විදුලි නාට්‍ය වෙනුවෙන් පැවැති ජනාධිපති සම්මාන, ඕසීඅයිසී සම්මාන ප්‍රදානෝත්සවයන්හිදී ගුවන්විදුලි නාට්‍ය රචකයාටත්, නිෂ්පාදකයාටත් සම්මාන පිරිනැමුණේ සම-සමව ය. එහෙත් මෙවර හොඳම නිෂ්පාදනය සඳහා පිරිනැමෙන සම්මානය ප්‍රකාශයට පත්කිරීමේදී රචකයාගේ නම හෝ සඳහන් නොකිරීමට අදාළ බලධාරීන් පරිස්සම්සහගත වී තිබේ. මීට හේතුව අකෘතඥභාවය ද බිය ද යන්න අවිනිශ්චිත ය. ඉතින් මෙවැනි කරුමක්කාර යුගයක, අවමානිත සමාජයක පාලිත පෙරේරා වැන්නවුන් සිටිය යුත්තේ නිවස තුළ හැර අන් කොතැනක ද?

‘බුදුන් වඳින්නේ ඇයි? වැඳලා ඉල්ලන්නේ මොනවා ද?’ වැනි කෙනෙකුගෙන් නෑසිය යුතු ප්‍රශ්න කීපයක් මාධ්‍යවේදී පාලිත පෙරේරා වෙත යොමු කරන්නට තරම් මගේ සිත එඩිතර වූයේ මෙකී-නොකී කරුණු හේතුවෙන් ඒ වන විට සිතට දැනෙමින් පැවැති අවිවේකී ස්වභාවය නිසා විය යුතු ය.

‘මං නං කිසිදෙයක් ඉල්ලන්නෙ නෑ කැත්ලීන්, ඒත් බුදුන් වැන්දම මගේ හිතට ලොකු ශක්තියක්, ශාන්තියක් ලැබෙනවා’ යි පාලිත කීවේ ය.

මා අපේක්ෂා කළ පිළිතුර වූයේ ද ඒ ය. සැබෑ ය. කිසිදු සැක-බියකින් තොර ව බුදුන් සම්මුඛ විය හැක්කේ අදීන පුද්ගලයන්ට ය. ජීවමාන බුදුන් හමුවිය නොහැකි නිසා ඔවුහු මැටි පිළිමයක් අබියස සිට කිසියම් ගෞරවනීය ගනුදෙනුවක යෙදෙති. ‘මැටි පිළිමය’ යනු බුද්ධ සංකේතයයි. මැටිපිළිමයක් සමඟ කවර නම් ගනුදෙනුවක් දැයි විමසන්නෝ එහි ගැඹුරු හා සියුම් අරුත් දැන නොසිටින්නෝ ය. බුදුන් වැඳීම විද්‍යාත්මක දැයි ඔවුන් ප්‍රශ්න කරන්නේ විද්‍යාව යනු ගවේෂණයක් නොව පරිසමාප්ත ඉමක් ලෙස දකින හෙයිනි. ආගම දඩමීමා කරගනිමින් සාපරාධී ක්‍රිියාවන්හි යෙදෙන බහුතරය වෙනත් වෙනත් න්‍යායපත‍්‍ර වෙනුවෙන් පෙනී සිටින්නෝ මිස ආගමික පුද්ගලයෝ නොවෙති. Jurnal for the Scientific study of religione හි පළවූ නවතම වාර්තාවකට අනුව ආගම් අදහන්නන් අවි අත දරන්නේ කලාතුරකිනි. වසර 8ක් පමණ වූ කාලසීමාවක් මුළුල්ලේ (2006-2014) පුද්ගලයන් 20,000 ක් පමණ යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයක් ඔස්සේ මේ බව පෙන්වා දෙනු ලැබ ඇත්තේ David Yamane නම් වූ සමාජවිද්‍යා මහාචාර්යවරයකු විසිනි.

මිනිසුන් තුළ අභිමානය උපදින්නේ තමන්ගේ අදීනත්වය පිළිබඳ විශ්වාසය තහවුරු වූ විට ය. ලෝකයා කුමක් කීවත් තමා ගැන ඉතා හොඳින් දැන සිටින්නේ තමා ම ය. එවැනි ආත්ම විශ්වාසයකින් යුතු වූවන් තුළ බුද්ධ සංකේතය අබියස සැක-සංකා හට නොගනියි.

බුදුනට ඍජු ව මුහුණ දිය හැක්කේ එවැනි අභිමානවත් පුද්ගලයකුට ය. නිහීනයෝ ශ්‍රේෂ්ඨත්වයට මෙන් ම ශ්‍රේෂ්ඨ පුරුෂයන්ට ද බිය වෙති. අභිමානය යනු ගෞතම බුදුන් විෂයයෙහි ද නොඅඩුව පැවතුණකි යි ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික උසස් අධ්‍යාපන ආයතනයේ දර්ශනය පිළිබඳ මහාචාර්ය හ්‍යුස්ටන් ස්මිත් කියයි. ඔහු ලියූ (මෙය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ‘මිනිසාගේ ආගම’-1 බුද්ධාගම’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබූ කෘතියේ කිසියම් තැනක සඳහන් වන්නේ ‘බුදුන් නිරහංකාර පුරුෂයකු හැටියට කතා කිරීම සමහර විට වැරදි සහගත විය හැක’ කියා ය. බුදුන් වඳින හා බුදුන් හමුවන වශයෙන් කොටස් දෙකක් හඳුනාගත යුතු යැයි අපට සිතුණේ මේ සියල්ල සම්පිණ්ඩනය කර, විමසා බැලූ විට ය. යළිත් කිව යුතු වන්නේ ව්‍යාකූලත්වයකින් තොර ව බුද්ධ සංකේතය ද සමගින් නිහ'ඩ ගනුදෙනුවක යෙදිය හැකිවන්නේ අභිමානවත් මිනිසුන්ට ම වන බව ය.

කැත්ලීන් ජයවර්ධන

Comments