ධර්ම සාහිත්‍යකරණයේ නිරතව ධර්මය විකෘති කරන පිරිස වැඩියි | Page 2 | සිළුමිණ

ධර්ම සාහිත්‍යකරණයේ නිරතව ධර්මය විකෘති කරන පිරිස වැඩියි

ශ්‍රී ලංකා භික්ඛු විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂ, බෞද්ධ හා පාළි අධ්‍යයනාංශයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ ගේය කාව්‍යකරණය හා පුවත්පත් තීරු ලිපි රචනය බඳු නිර්මාණ කාර්යයන් මඟින් ධර්ම සන්නිවේදනයේ නියැළෙන විද්වත් හිමිනමකි. උන් වහන්සේ දැනට ලියා පළ කොට ඇති ග්‍රන්ථ ප්‍රමාණය 50කට අධික ය. එහිමියන් විසින් 'කර්මය පල දෙන හැටි' තේමා කරගෙන ලියනු ලබන පොත් පෙළෙහි තුන්වැන්න 'කරුමයේ අරුමය' ඉකුත් දා ජනගත කෙරිණි. මේ සාකච්ඡාව ඒ නිමිත්තෙනි.

• ඔබ වහන්සේගේ 'කර්මය පල දෙන හැටි' පොත් මාලාවේ අරමුණ කුමක්ද?

'කර්මය පල දෙන හැටි' කියලා කියන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ කර්ම සංකල්පය පිළිබඳව සමාජ සමීක්ෂණ ඇසුරෙන් කරුණු පළ කිරීමක්. බුදු රජාණන් වහන්සේ කර්මය හා සම්බන්ධ කළ දේශනා සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් දැකගන්න පුළුවන්. කර්මය මූලික වශයෙන් කොටස් දෙකයි. පුණ්‍ය කම්ම හා පාප කම්ම වෙයි. මේ පොත් පෙළෙහි මූලික තේමාව තමන් කළ අකුසල කර්ම තමන්ටම විපාක ලැබෙන බවත්, ඒවායෙන් වැඩි ප්‍රමාණයක් විපාක දෙන්නේ මේ ආත්මය තුළදීම බවත් මේ සමාජයේ සමීක්ෂණ ඇසුරෙන් පෙන්වා දීමයි.

• මේ බණ කතා සාහිත්‍යය සිංහල සාහිත්‍යය සමඟ කොතරම් දුරට බද්ධ වෙලා තිබෙනවා ද හාමුදුරුවනේ?

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ බුදු රජාණන් වහන්සේගේ ධර්මයත් අරගෙනයි. ඒ වගේම මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම කරල සිංහල භාෂාවෙන් ධර්මය ලියනවා. ඒ අනුව තමයි මිනිසුන් ධර්මය දැනගන්නෙ. ඒ ධර්ම සාහිත්‍යයත් සමඟ බණ කතා සාහිත්‍යයත් අපට ලැබෙනවා. බණ කතා කිව්වේ මිනිසුන්ගේ ධර්ම ඥානය දියුණු කළා වගේම සමාජයට මිනිසාගෙන් සිදු වන හානිය අවම කරගන්න; මිනිසා කරන පින් පව් හඳුනාගන්න. ඒ අනුව සද්ධර්මරත්නාවලිය, ධර්මාලංකාරය වැනි කෘති මඟින් බණ කතා ඉගැන්වූවා. නවකතාවෙන් නොදෙන සමාජාදර්ශයක් බණ කතාවෙන් දෙනවා. නවකතාවට වඩා මිනිසුන්ගේ හිස අතගාමින් හොඳ නරක බණ කතා සාහිත්‍යයෙන් කියා දුන්නා. ඒ නිසා පෙරදිග ලෝකයේ රටවල මිනිසුන් බණ කතා සාහිත්‍යයක් සමඟ ජීවත් වුණා. මේ පොත් පෙළෙහිත් කිසියම් සමාජ සිද්ධි, කතා ශෛලිය සමඟ සම්බන්ධ වෙලා තිබෙන නිසා මිනිසුන් කියවන්න කැමැතියි.

• ඔබ වහන්සේ ලියන කෘතිවල ජන විශ්වාසය පිළිබඳ කරුණු ගැබ්ව තිබෙනවා. ඒ ගැන සඳහන් කළොත්...

සාමාන්‍යයෙන් පෙරදිග ලෝකයේ සමාජයක ජීවත් වන සාමාන්‍ය මිනිසුන් විශ්වාසවලට වැඩි තැනක් දෙනවා. බුදු රජාණන් වහන්සේගේ ධර්මයත් සමඟ විශ්වාස පිළිබඳ බලන විට විශ්වාසයට උඩින් සත්‍යය පෙනෙන්න තිබෙන බව දක්නට ලැබෙනවා. විශ්වාසයේ සිට තවත් ඉදිරියට ගිය විට එම විශ්වාසය සත්‍ය බවට හෝ මිථ්‍යා බවට පත් වෙනවා. ඒ නිසා බුද්ධාගමේ උපාසක චණ්ඩාල සූත්‍රයෙහි උගන්වන්නේ මිථ්‍යා විශ්වාසවල නොසිට සත්‍යය කරා යා යුතුයි කියන කාරණාවයි. එහෙත් සමාජයෙහි සත්‍යය කරා යන පිරිස අඩුයි. ඕනෑම සමාජයක සත්‍යය කරා යන පිරිස අඩුයි. විශ්වාසවල එල්බගෙන සිටින පිරිස වැඩියි. විශ්වාසය සත්‍යය කරා යා යුතු දෙයක් වුණාට විශ්වාසය කියන්නේ සත්‍යය නොවෙයි.

• පවුල් අවුල් වීමට නීතිමය සහ සමාජීය කායික හේතු ගොනු කළත් මූලික වශයෙන්ම මානසික හේතු බලපාන බව ඔබ වහන්සේගේ කෘතියෙහි සඳහන් කර තිබෙනවා...

දෙපළක, කුල දෙකක හැදුණ වැඩුණ දෙදෙනකු එකතු වී එක ගමනක් යන්න උත්සාහ කරන කොට ආරම්භයෙහි තරම් සුන්දර බවක් කාලය දිගට ගෙවෙන කොට නැති වෙන්න පුළුවන්. සිතිවිලි අතින් වෙනස් විය හැකියි. විවාහය තුළ සිතිවිලිවල ඒකාබද්ධ බවක් තිබිය යුතු බවට බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දෙදෙනා අතර කැපකිරීමක් තිබෙන්න අවශ්‍යයි. බිරිය සැමියා වෙනුවෙන් කැප වෙනවා වගේම සැමියා ද බිරිය වෙනුවෙන් කැප වෙන්න අවශ්‍යයි. ඒ කැප වීම කායික හෝ මානසික කැප වීමක් විය හැකියි. ආසාවන් හෝ හැඟීම් පිළිබඳ කැප වීමක් විය හැකියි. ඕනෑ ම අයකු අවබෝධයෙන් කරන එම කැප වීම පරිත්‍යාගය කියන වචනයෙන් හඳුන්වන්නත් පුළුවන්. සැමියා වෙනුවෙන් බිරිය වෙනුවෙන් දෙදෙනාගේ පරිත්‍යාගශීලි බව තිබිය යුතු ය කියන කාරණාව බුදු රජාණන් වහන්සේ ධර්මයෙහි උගන්වනවා. මේ ලිපි පෙළෙහි මා පැහැදිලි කරන්නේ ඒ දෙදෙනා සම්බන්ධයෙන් විවාහ ජීවිතය අවුල් වීමට, විවාහ ජීවිතය අඬදබර ඇති වීමට, විවාහ ජීවිතයෙහි යම් යම් කඩතොලු ඇති වීමට වර්තමාන සමාජය තුළ හේතු වෙලා තිබෙන්නේ ඒ පරිත්‍යාගශීලි බව නැතිකම බව යි.

විවාහය කියන්නේ හැම නොගැළපීමක් ම ගැළපීමක් බවට පත් කළ ගත හැකි තැනක්. ඒත් වර්තමාන සමාජයේ දීර්ඝකාලීන අරමුණු අඩු නිසාත්, තාවකාලික අරමුණුවලට බැස ගැනීම වැඩි නිසාත්, ආත්මාර්ථකාමිකම නිසාත් සියුම්ව දූරදර්ශීව නොසිතන පුද්ගලයන් බහුල ව දක්නට ලැබෙනවා. මෙහි දී මා ‘හුදෙකලාව බියකරු ද කොතරම්?’ යන්නෙන් අදහස් කර තිබෙන්නේ ධර්ම සාහිත්‍යයෙහි ඇතුළත් වන ධර්ම කරුණු සමාජ භාවිතය අඩු වීම මේ ඛේදවාචකයට මුල බව යි.

• ඔබ වහන්සේ එසේ කීවත් මිනිසුන් මේ පොත වැලඳගනී ද?

අද සමාජයේ කියවන පිරිස ඉන්නේ ටිකයි. ඒ අය තෝරා බේරාගෙන කියවන අය. අපි පොඩි කාලේ පොත් කියෙව්වෙ තෝරා බේරාගෙන නෙවෙයි. හොඳයි කියන පොතයි, නරකයි කියන පොතයි දෙකම කියෙව්වා. අපි ඇතැම් පොත්වලින් නරක ඉගෙන ගත්තා. ඇතැම් පොත්වලින් හොඳ දේවල් ඉගෙන ගත්තා. ඒත් වර්තමාන සමාජයෙහි කියවන පිරිස ඊට වඩා වෙනස්. අද සමාජයෙහි කියවන අය කියවන්නේ තෝරගෙන. තෝරා බේරා කියවන පාඨක පිරිසක් අපට හමු වෙනවා. ඒ පිරිස අපේ පැරැණි ලේඛන ශෛලියට කැමැතියි. පැරැණි ලේඛන ශෛලිය කතන්දර සාහිත්‍යයයි.

මේ කෘති මාලාවේ කියවන තේමාව සදාකාලිකවම ධර්ම පණිවිඩයක් කියාදෙන නිසාත්, බොහෝ කතා වර්තමාන කතා ලෙස ඇතැම් අය දන්න හඳුනන සිද්ධි නිසාත්, මේ පොත් පෙළ පාඨකයා අතරට යෑම වඩාත් වේගවත් වුණා. කර්මය, කර්ම විපාකය කියන වචනයට මිනිසුන් කැමැතියි. මේ සිද්ධි දකින්න කැමැතියි. අනෙක් අය අත්විඳින නපුරු විපාක දකින විට එබඳු ක්‍රියා කිරීමට මිනිසා පෙලඹෙන්නේ නැහැ. බණ පොතේ පේතවත්ථු, විමානවත්ථු මඟින් කළේත් මේ කාරණාවම තමයි. එදා යුගයට ගැළපෙන ලෙස ඒ පොත් ලියවුණා. අද සමාජයට ගැළපෙන ලෙස මේ පොත් පෙළෙන් කිසියම් අර්ථමය ඥානයක් සමාජයට දීමට මා උත්සාහ කරනවා.

• ධර්ම සාහිත්‍යකරණයෙහි නිරත වන ලේඛකයකු මුහුණ දෙන අභියෝග මොන වගේ ද?

ධර්ම සාහිත්‍යකරණය යනු සම්බුද්ධ දේශනාව, වචනය නමැති ලෞකික මාධ්‍යයෙන් මිනිසාට පැහැදිලි කර දීම යි. බුදු රජාණන් වහන්සේ වුවත් ධර්මය දේශනා නොකර උකටලී වූ අවස්ථා තිබෙනවා. භාෂාවෙන් තමන් සිතන දේ කියන්න පුළුවන් ද කියන අභියෝගය මත ඒ කාරණය සිදු වුණා. බුද්ධත්වය ලබාගත්තාට පසු මා අවබෝධ කරගත් ගැඹුරු ධර්මය ‍මා මිනිසුන්ට කියලා දෙන්නේ කොහොම ද යනුවෙන් කල්පනා කළ බව බණ පොතෙහි සඳහන් වෙනවා. මේ ධර්මය මිනිසුන්ට අවබෝධ කරගැනීමට පුළුවන් වෙයි ද? කියන කාරණාව ධර්ම සාහිත්‍යයේ තිබෙන එක්තරා අභියෝගයක්. එය නිර්මාණාත්මක ලේඛනයෙහි නැති, ධර්ම සාහිත්‍යකරණයෙහි ඇති අභියෝගයක්.

ලේඛකයා වෙනත් ලෝකයක සිට ලියන්න ගියාම ඒ ලේඛනය පාඨකයාට තේරෙන්නෙ නැහැ. ධර්ම සාහිත්‍යකරණයේ නිරතව ධර්මය විකෘති කරන පිරිස වැඩියි. එයට හේතුව ඇතැම් ලේඛකයන් තුළ තිබෙන පරිචයේ අඩුකමයි. ලේඛක පරිචය අඩුකම නිසා ඇතැම් ලේඛකයන් කියන්න බලාපොරොත්තු වන කාරණය ලියවිල්ලෙන් කියවෙන්නේ නැහැ. තම-තමන්ගේ සිත්වල තිබෙන හිතලු ධර්ම සාහිත්‍යය හැටියට විකෘති කර දක්වනවා. ධර්මය විකෘති කිරීමට ලේඛකයා‍ට අයිතියක් නැහැ. ධර්ම සාහිත්‍ය කෘති ලිවීමට පූර්ව සුදුසුකම් තිබිය යුතුයි. අද මිනිස්සු හිතෙන හිතෙන කාරණා ධර්ම සාහිත්‍යය හැටියට ලියන්න යෑමෙන් ධර්මය විකෘති වෙලා තිබෙනවා.

Comments