
1955 ජූනි මස 20 දා මහ කලබලයක් හට ගත්තේ ය . පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වූ එදින බියෙන් තැති ගත් පක්ෂීන්ගේ කලබලය ගැනත් මහ දවාලේ හිරු අඳුරු වී යන හැටි ගැනත් ගුවන් විදුලියෙන් සජීවි ලෙස විස්තර කෙරිණ. එහෙත් හැබෑම කලබලය හටගෙන තිබුණේ මහ පොළොවේ මිනිසුන් අතරය. ඒ සිද්ධිය ලෝකය පුරා ප්‍රසිද්ධ වූ නමුත් ඒ වන විට මේ රට හැදින්වූයේ Ceylon යන නාමයෙන් වන නිසා ශ්‍රි ලංකාවේ අපි අද ලෝක ලජ්ජාවෙන් ගැලවී සිටිමු. අර Ceylon යුගයට අයත් ආදී වාසියකු වන තංගල්ලේ වීරරත්න පරම්පරාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුගේ මුවින් ම එදා සිදු වූයේ කුමක් දැයි අසා ගනිමු .
'... අම්මා අපි හැමෝටම තේ හැන්දෙන් එක ගානේ පෙව්වා. ඊට පස්සේ කැත්තක් අරගෙන වඳ පීදුණ රන් තැඹිලි ගහට දෙපාරක් කෙටුවා. අන්දර වැට අයිනට ගිය අපි අහස දිහා බලාගෙන ඉන්නැත්දී හරි භයානක විදියට ඉර වැහිලා ගිහින් මහ දවාලේ කළුවර පැතිරෙන්න ගත්තා. මේ මොකද්ද වුණේ කියලා හිතා ගන්න බැරිව ඉන්නැත්දී හතර වටින් ම හරි කලබලයක් නේ. ගෑනු මිනිස්සු පාර දිගේ 'ඕග් බෝග් හම්මෝ ..' කියා කියා වමනේ දම දමා දුවනවා. තවත් සමහරු පුටුවල බාවලා තියාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. වැඩිපුරම හිටියේ ගෑනු. අපේ ගමේ විතරක් නෙවෙයි මුළු රටේම ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. හැම තැනම එකම ජංජාලයක්. තවත් සමහරු.. ඔය හොර වෙදා මරන්න ඕනෑ කිය කියා පොලු මුගුරු අරගෙන කලබල කළා ..'
වීරරත්න මහතා මේ විස්තර කරන්නේ කුප්‍රකට වදකහ සුදිය ගැනය. 1955 ජූනි 20 දා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වූ අතර ඒ වේලාවට වදකහ යුෂ පානය කළහොත් ගෑනු පිරිමි කොයි කවුරුත් රූමත් වන්නේ යැයි එක්තරා වෙද මහතකු විසින් ප්‍රසිද්ධ කැර තිබිණ. එකෙක් එක් දෙයක් කී විට ඒ රැල්ලටම යන අපේ ගතිය නිසා අනෙක් ජ්‍යොතිෂ වෛද්යාචාර්ය විශාරදයන් ද ඊට නො දෙවැනි ලෙස වදකහ සුදිය එලෙසම නිර්දේශ කැර තිබුණේ ජනතාව රූමත් කිරීමේ ජාතික ව්‍යාපාරයට දායක නොවුණොත් බඩ රස්සාව නැති වේය යන සැකය නිසා ය. එදා වදකහ රැල්ලට එරෙහි වූයේ නම් ඔහු කොන් කරන තරමට ජනමතය සෑදී පැහැදී තිබිණ. අන්තිමට රටෙන් බාගෙකට වඩා වදකහ ඔක්කාරය කළෝය. වැඩේ වැරදුණු බව දැනගත් විට උඩගෙඩි දුන් අය අතුරුදන්ව අත පිස දා ගත් අතර වදකහ සුදිය මුලින් ම ප්‍රසිද්ධ කළ වෙද මහතා පමණක් උසාවියට කුදලා ගෙන යනු ලැබිණි.
වෙද මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥයා උසාවියට පැමිණියේ පත්තර පිටුවක් සහ වදකහ යුෂ බෝතලයක් ද රැගෙන ය. ඇපත් නැතිව වෙද මහතා වසර ගණනාවකට හිරේ යනු ඇතැයි බොහෝ අය සිතුවෝය. එහෙත් වෛද්යාචාර්ය තුමා සියලු චෝදනාවලින් නිදොස්ව නිදහස්ව ආ පයින් ම ගෙදර ගියේ කවුරුත් පුදුමයට පත් කරමිනි. ඔහු ප්‍රසිද්ධ කළ පත්තර පිටුවේ සඳහන්ව තිබුණේ රූමත්වීම සඳහා වදකහ යුෂ තේ හැන්දක් පානය කරන ලෙසට ය. ඒ බව පෙන්වා දුන් නීතිඥ මහතා තමා රැගෙන ආ වදකහ බෝතලයෙන් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන විනිසුරුතුමා ඉදිරිපිටම එය පානය කොට පෙන්නුවේය.
'...වදකහ කියන්නේ ඖෂධයක් අපි කිව්වේ තේ හැන්දක ප්‍රමාණය බොන්න කියලයි. ඒ මාත්‍රාව ශරීරයට අහිතකර නෑ. නමුත් මිනිස්සු වදකහ කෝප්ප බාල්දි ගණන් බීලා ලෙඩ වුණාට ඒ ගැන අපේ වගකීමක් නෑ ..' යැයි ඔහු චූදිත වෙද මහතා වෙනුවෙන් වග උත්තර බැන්දේ ය.
මේ කතාව දැනගත් පසු මම නැවත වීරරත්න මහතාට කතා කෙළෙමි.
' .. ඔව් නේ ඒ කිව්ව විදියට තේ හැන්දක ප්‍රමාණය බිව්ව අයට කිසි කරදරයක් වුණේ නෑ. සමහරු වැඩියෙන් ලස්සන වෙන්න කියලා හිතාගෙන වදකහ බෝතල් ගණන් බිව්වනේ ... අන්න හොඳටම ලෙඩ වුණේ ඒ උදවිය තමා. සමහරු වදකහ වතුරෙන් නාලත් තිබුණා ..'
එතකොට ඔබතුමාත් එදා වදකහ බිව්වා නේ ?
'.. මොකෝ නැත්තේ මාත් තේ හැන්දකින් එකක් බිව්වා.'
ඉතිං ලස්සන වුණාද ? යැයි මා ඇසූ විට ඔහු සිනාසුණේ ය.
ඔය සූර්ය ග්‍රහණය වෙලාවේ වඳ පීදුණ රන් තැඹිලි ගහකට කැත්තෙන් කෙටුවයි කියලත් මුලින් කිව්වා ඒ ගහට මොකද වුණේ ?
'.. ඊට පස්සේ ඒ රන් තැඹිලි ගහ නම් මුළු පළාතෙම ප්‍රසිද්ධ වුණා. මොකද අපිට හොඳම හොඳ පලදාවක් ලැබුණා ..'
ගහට කොටන්න කියලා කවුද උපදෙස් දුන්නේ ?
' ආ.. ඒක කියලා තිබුණෙත් අර වදකහ වෙද මහත්තයම තමා ..'