
වියළි පොළොවට යන්තමට වැටුණ දිය බිඳ ආශිර්වාදයකි. පොළොවේ නැවුම් සුවඳ විටින් විට දැනේ. එහෙත් තවමත් වැව් පිරෙන්නට ජලය නොමැත. අස්වද්දා නැති කෙත් වතු පාළු වී ඇත. මඩෙන් එසවී තිබුණ නෙළුම් කොළ මල් පිපෙන තෙක් ඉවසිලිවන්තය. රොන්මඩ හිරවීම නිසා එල්ලංගා වැව් පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වී ඇති බව ගමන් සගයෝ පැවැසූහ.
වියළි බිමක මල් පිපීම උගහටය. එහෙත් උත්සාහ කළහොත් එය සිදු කළ හැකිය. වැසි ද නැත. දිය ද නැත. මග ද බියකරුය. උත්සහයට මහත් ආයාසයක් ගත යුතුය. එහෙත් සිත සවිමත්ය. එසේ නම් ඇයි නොහැකි. කිසිවිටකත් ඔවුන්ගේ පොතේ නෑ , බෑ, නොතිබුණි. අදිටනින් තැබූ පියවර වියළි පොළොවක මල් උපද්දවනා සේය. ඔවුන්ට එසේ කළ හැකි විය. නොකළ හැක්කක් නැති බවත්, හිතේ සවිය ඇත්නම් සියල්ල කළ හැකි බවත් ‘රූම් ටු රීඩ්‘ පසක් කර දී තිබුණි.
කෙතරම් තාක්ෂණය දියුණු වුවත්, ලෝකයේ පළමු අගමැතිනිය ලංකාවෙන් බිහිවුණත්, කාන්තාව තවමත් මුළුමනින්ම සාමාජගත වීම නොපිළිගැනේ. පිරිමින් සමඟ උරෙන් උර ගැටී කාන්තාව වැඩ කළ යුතු බව නම් ලාංකික සමාජය තවමත් අනුමත නොකරයි. රටේ අගනගරය වූ කොළඹ ද එවැනි මත දරන්නන්ගෙන් අඩුවක් නැත. තත්ත්වය, තරාතිරම කෙසේ වුවත් පුරුෂයාට වඩා එක අඩියක් ඉදිරියට තැබීමට ලාංකික කාන්තාවට ඉඩ ප්‍රස්තාව නැත. විලංගු දමන ලද කාන්තා ස්වෛරීත්වය තවමත් හිරු දැකීමට අවසර පතයි. එවන් බාධ හමුවේ ඔවුන් දරන උත්සාහය වියසිඳුරෙන් එළිය දැකීමට උත්සහා දරණ කණ කැස්බෑ ප්‍රයත්නය වැනිය.
වර්තමානයේ ගම්බද ප්‍රදේශවල ගැහැණු දරුවන්ගේ සාක්ෂරතාව පිළිබඳ දෙමව්පියන් උනන්දු වෙන ප්‍රමාණය අවමය. කොළඹ පමණක් නොව ඈත පිටිසර ද ගැහැනු දරුවා පිළිබඳ දරන ආකල්පය එකසේය. මේ නිසාම ‘රූම් ටු රීඩ්‘ ගැහැනු දරුවන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පියවර ගත්තේය. කාර්යය එතරම් පහසු නැත. තෝරා ගත් පාසල ගම්බද වීම තවත් අපහසුවකි. ගම්බද දරුවන්ගේ ප්‍රාර්ථනා සීමා සහිතය. ඔවුන් ජීවිතයේ දකින වීරයන් නොමැත. පොත්පත්වලින් ද වීරයන් හඳුනාගැනීමට නොහැකිය. වීරයන් ගැන කතා කියා දීමට ද කෙනෙක් නොමැත. පරමාදර්ශි චරිත හඳුනාගැනීමට නොහැකිය. දිළිඳු බව අධ්‍යාපනයේ ගමන් මඟ හා එහි ඵලදායීතාව අහුරා තබයි. යන්තම් බතක් උයාගෙන දරුවන් බලාගැනීම හැරුණු විට වෙන කුමක් කරන්න ද ? මවුපියන්ගේ ඉගැන්වීම ද එලෙසය. මේ නිසා බොහෝ ගැහැනු දරුවෝ පාසල් පැමිණීමට අදිමදි කරති. දරුවන්ගේ ආකල්ප දෙමවුපියන් විසින් වෙනස් කර කරනු ඇත. සුචරිතය, හැදියාව, පොත්වල තිබුණ ද දරුවන් එය ප්‍රාෙයා්ගිකවදකින්නේ නැත. මෙවන් ඛේදවාචකයකට දරුවන් ගොදුරුවෙමින් සිටියෙදී ‘රූම් ටු රීඩ්‘ ඒ ආකල්පය බැහැර කර සිත් යහමඟට ගැනීමට පියවර ගත්තේය.
වියළි බිමක බීජයක් රෝපණය කිරීම අපහසුය. දිය ද නැති කල්හි වැසි ද නැති කල්හි ඇත්තේ හිතේ සවිය පමණි. ඒ සවිය මල්ඵද දරා මහා ගසක් වි අතු විහිදා සිටි සැටි අපි දුටුවෙමු. ‘රූම් ටු රීඩ්‘ කැබිතිගොල්ලෑව කලාපයේ පාසල් කීපයක් හඳුනාගෙන සිටියි. මේ අතරින් වාහල්කඩ ඩී දෙක විද්‍යාලය වැදගත්ය. හය වසරින් තෝරාගත් ගැහැණු දරුවන්ට ජිවන නිපුනතාව හුරු කරවීම දැන් අරඹා ඇත. මෙය එතරම් පහසු නැත. මුලින්ම දරුවන් තම සහෝදර ශිෂ්‍යාවන් සමඟ කටයුතු කරන ආකාරය උගන්වයි. කොතරම් පාඩම් කළත් මතකයේ නොරැඳීම ඔවුන්ට ගැටලුවකි. එකිනෙකා නුරුස්සන සුළු ස්වභාවය, සහයෝගයෙන් වැඩ කිරීම, නිවැරැදි තීරණ නිවරැදි වෙලාවට ගැනීම ආදිය ඔවුන්ට ඇති ගැටලුය. මේ ගැටලු විසඳා ඊට දරුවන් හුරු කිරීම විශාල අභියෝගයකි. ක්‍රමයෙන් පුහුණු කළ ද ඔවුන්ට සමාජගත වීමට ඇති ඉඩ ද අඩුය. මේ සඳහා ‘රූම් ටු රීඩ්‘ අනුගමනය කරන ක්‍රියාදාමය ළමයින්ගේ සිත් ගනී. වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය නැතැයි කියා තම දෙමාපියන් විසින්ම මුල්ලකට කර තැබූ ගැහැනු දරුවන් පාසල් පැමිණීමේ ප්‍රවණතාවද වැඩි වී ඇත. පාසලට පැමිණියාට පසුව දරුවන් පමණක් නොව අම්මා ද තාත්තා ද දැන් දරන්නේ වෙනස් මතයකි.
ද්විතීයික අධ්‍යාපනය අහිමි කිරිමට දැන් මවුපියෝ හරස් නොවෙති. ගැහැනු දරුවා කුස්සි මුල්ලට පමණක් සීමා වියයුතු බව ඔවුන් පිළිනොගනිති. ගැහැනු දරුවෝ ද තමන්ගේ පෞරුෂත්වය ඇති කරගැනීමට ස්වයං පෙලඹවිමක් ඇති කරගනිති.
වාහල්කඩ ඩී දෙක විද්‍යාලයේ බොහෝ ගැහැනු දරුවෝ සිය කැමැත්තෙන්ම පාසල් එන බව ඔවුහු අපට ප්‍රකාශ කළහ. තමන් ඉගෙනගත යුතුයි කියන අදහස දැන් මේ දරුවන් පිළීගෙන ඇත. හැම දෙයක්ම සමබරව කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔවුන් ක්‍රියාකාරකමෙන්ම වටහා ගෙන තිබුණි. වැසි ද නැත. දිය ද නැත. පොළව ද වියළිය. එහෙත් සිත සවිමත් බව ඔවුහු අපට පැවසූහ. කුස්සිය මුල්ලේ සිටි ගැහැණු දරුවා එවන් හැරවුමක් කරා යොමු කළේ ‘රූම් ටු රීඩ්‘ ය.
සිතක් තේරුම් ගැනීම පහසු නැත. විශේෂයෙන් ළමා සිතක් තේරුම් ගැනීම සියල්ලට වඩා අපහසුය. සියල්ල වෙනස් කළ හැක්කේ ආදරයෙන් පමණි. ආදරයට කළ නොහැක්කක් නැති තරම්ය. ආදරණීය ආමන්ත්‍රණය විසින් වියළි බිමක් වුවත් අස්වද්දයි. බිඳුණු සිතක් වුවද සුවපත් කරයි. වැසි ඇති ද දිය ලද ද බිම සරු ද, එහෙත් ආදරණියත්වය නොමැති කළ බීජ පැළ නොවේ. පුංචි සිතක බීජයක් සිටුවීමට නම් ආදරය අවශ්‍යයම වේ. ‘රූම් ටු රීඩ්‘ සහෝදර කැළ මේ දරුවන් වෙත ඒ සෙනෙහස දෙන අයුරු අපි සියැසින් දුටුවෙමු. ඒ සෙනෙහස දරුවන්ගේ සිත් සුවපත් කරන විට මොහොතකට ‘රූම් ටු රීඩ්‘ කණ්ඩායම ද දරුවන් වේ. තවත් විටක උපදේශකයන්ය. තවත් විටක ගුරුවරුය. ඒ නිරූපණය පහසු නැත. එහෙත් එය අමාරු ද නැත. අවශ්‍ය වන්නේ ඕනෑකම පමණි.
කාගේ දරුවාත් දරුවෙක් යැයි සිතීමට අද බොහෝ දෙනාට අමතකය. තමන් ගේ, අපේ, මගේ, හැරුණු විට අන් දෙයක් ගැන සිතකවත් නැත. පරාර්ථයට නම් ‘මම‘ අත්හළ යුතුය. ‘රූම් ටු රීඩ්‘ සමාජිකයෝ ඔවුන් අමතක කර අන් අය දෙස බැලූහ. වාහල්කඩ ඩී දෙක විද්‍යාලයේ දරුවන් ඔවුන් පිළි ගත් අයුරින් අපි ඒ බව මැනවින් හඳුනාගත්තෙමු.
වාහල්කඩ ඩි. දෙක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්. ඒ සුරවීර මහතාත්, ජීවන නිපුණතා ගුරුවරුන් වන ක්‍රිශාන්ත, විමුක්ති ධනංජය යන මහත්වරු පැවැසුවේ ‘රූම් ටු රීඩ්‘ ආයතනය විසින් කරනු ලබන ගැහැණු දරුවන් ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම හා ගැහැනු දරුවන් සවිබලගැන්විම නසා ගැහැනු දරුවන් පාසල් පැමිණීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බවය.
දරුවන්ට පමණක් මඟ කියා දි ඵලක් නැත. මවුපියන් එරෙහි වේ නම් ‘රූම් ටු රීඩ්‘ දෙමවුපියන් වෙනුවෙන් ද සාකච්ඡා, සමිති පවත්වයි. මේ මඟින් ගැහැනු දරුවකු ඉදිරියට යායුත්තේ මන්ද යැයි ඔවුන්ට වටහා දෙයි. මුල් කාලයේ අකමැති වුවත් වර්තමානය වන විට මේ සම්බන්ධයෙන් දෙමවුපියන්ද සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත.
වැසි නැත ද දිය නැත ද බිම වියළි වුව ද බීජය පැළ වේ. මහා ගසක් ලෙස. ඒ ආදරය නිසාය. මිනිසත් කම නිසාවෙනි. අද නැත්තේ ද එයැයි. එහෙත් අපි ඇති කරගත යුත්තේ ද එයයි. හිතක් රිදවීම පහසුය. එහෙත් හිතක් සුවපත් කිරීම අපහසුය. අපි කළ යුත්තේ පහසු දෙය නොව අපහසු දෙයය. දුෂ්කර වූත් ඵලදායී වූත් ‘රූම් ටු රීඩ්‘ දරණ මේ වෑයම අගේ කළ යුතුව ඇත. අඳුර යැයි පැවැසීම වැඩක් නැත. එක පහනකුදු දල්වා එළිය දීම වෙතට ‘රූම් ටු රීඩ්‘ පියවර තබා ඇත. අධ්‍යාපන අමාත්‍යාශය සමඟ සහයෝගීතා ව්‍යාපෘතියක් දියත් කරන ‘රූම් ටු රීඩ්‘ ආතනයේ අරමුණ ළමයින්ගේ සාක්ෂරතාව ඉහළ දැමීමයි. ගැහැණු දරුවන්ට වැඩි දුර අධ්‍යාපනයක් අවශ්‍ය නැතැයි පිළිගත් සමාජ වටපිටාවක, විශේෂයෙන්ම දුෂ්කර පළාතක ගැහැණු දරුවන් මේ දෙසට යොමු කිරීම හැම අතින්ම අමරු කාර්යයකි. මේ සඳහා රූම් ටු රීඩ් ආයතනය අනුරාධපුරය, මොනරාගල, මාතලේ, බණ්ඩාරවෙල හඟුරන්කෙත යන ප්‍රදේශවල පාසල් තෝරාගෙන ඇත. ගැහැනු දරුවන්ගේ හැඟීම් දැනීම් මනාව හඳුනාගෙන මානූෂීයව කටයුතු කිරීම සහ ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීමෙන් සමාජගත කිරීම රූම් ටු රීඩ් ආයතනයේ අරමුණයි. වර්තමානයේ ‘රූම් ටු රීඩ්‘ අභියෝගය ජය ගෙන ඇත. ඒ සඳාහා ‘රූම් ටු රීඩ්‘ කණ්ඩායම යොදා ගන්නේ විෂය පාඨමාලාවේ නැති වචනයකි. එය ‘ආදරය‘ නම් වචනයයි.
(කැබැතිගොල්ලෑව සංචාරයකින් පසු)
සේයාරූ - සමන්ති මීරියගල්ල