බලවු, බලවු මහිම නිදහසේ! | සිළුමිණ

බලවු, බලවු මහිම නිදහසේ!

 දැන් අපි නිදහස් වැ සිටිමු; නිදහසේ සැට නව වන වසර ද ඉහළින් ම සැමැරුවමු. සැට නව වසරක් තිස්සේ දෝරේ ගලා ගිය නිදහසින් රිසි සේ උදම් වූමු. අහෝ කවර ප්‍රීතියක් ද? ඉතින් වත්, සැත්තෑ වන වසර ලබන්නට පෙර වත් අපේ මේ නිදහස කිමෙක් දැ යි මඳක් බලමු.

නිදහස නම් නිර්දාස භාවය යි. එ හෙයින් අප නිදහස ලබන්නට නම් දාස වැ සිටිය යුතු යි. ඉතින් අපි කවර ද? කාට දාස වූවමෝ ද? මෙයට පිළිතුරු දෙකේ තුනේ සිසුවෝත් දනිත් ම ය. 1815 මාර්තු දෙවන දා ඉංගිරිසීනට යටත් වූවමෝ නො වමු දැ යි පිළිතුරු ලැබෙනු ඇති. සැබැවෙකි. අපට එ සේ උගන්වනු ලැබ ඇත්තේ ය. දැනුදු එ සේ ඉගැන්වෙයි. මතු දු ඉගැන්වෙනු ඇත. අපි දු දෙව් බසක් සෙයින් එය අදහමු.

සැබැවින් ම අපි එ දවස ඉංගිරිසීනට දාස වූවමෝ ද? නැති. ශ්‍රී ලංකාව - එ කල හැඳින්වුණු හැටියට නම් සිංහලේ - වනාහි ගිවිසුමෙකින් එංගලන්ත පාලනය හා බැඳුණු රටෙකි. එ ද අප ගේ වුවමනාවට, අප ගේ කැමැත්තෙන් බැඳුණු ගිවිසුමක් නො වේ. යුද බෙලෙන් උඩරට දිනාගත නොහැකි වූ තැන ඩොයිලි වැනි කූටයන් ගේ දුෂ්ටෝපක්‍රම මඟින් උඩරට රජු පලවා දේශය අරාජක කොට ගසා ගැනුණු වාංචනික ගිවිසුමෙකි. මේ ගිවිසුමෙන් දුන් පිළින වත් නීච සුද්දන් විසින් ඉටු නොකැරුණු නිසා කැප්පෙටිපොළ, පුරන් අප්පු වැනි ධීර වීරයනට ඔවුනට එරෙහි වැ අරගල කරන්නට සිදු විය.

ඉතින් අප ම බාර දුන් රට අප ම යළි බාර ගැනීම කවර දාස භාවයෙකින් නිදහස් වීමක් ද? දුන් පමණ පහසුවෙන් රට යළි දු ගන්නට අපට නොහැකි වූ බව සැබැවි. ඒ සඳහා මහ සටනක් කරන්නට වූ බව ද සැබැවි. ඒ වූ පමණින් ම අප ගේ රට අප ම බාරගැන්ම දාස භාවයෙන් මිදීමකැ යි, නිදහස් වීමකැ යි රෙදිත් හැඳගෙන කිය හැකි ද? ඉතින් නිදහස් දිනැ යි අප මහ සැණ කෙළින මෙ දිනක් නිදහස් දිනකැ යි කවර මුවෙකින් කියමු ද?

ඒ යේ වා! ඒ විහිළුව පසකට කළ කල්හි දු අපට අපි නිදහසැ යි කිය හැකි ද? කිය හැකි යි. කවර හෙයින් ද? අපට කන්නට නිදහස තිබේ. දෙ දහස් වසරකට ද වැඩි කලක් ජාතික ආහාරය වූ බත් වෙනුවට ‘රයිස්’ කන්නට නිදහස තිබේ. බුරියානි, කොත්තු, ඒ මඳි නම් පීසා, ‘මැක් රයිස්’ කන්නට නිදහස තිබේ. තවත් මඳි නම් ඡන්ද ටිකක් හිඟාගෙන රට කන්නට ද නිදහස තිබේ. බොන්නට ද නිදහස තිබේ. කසිප්පුවේ සිට හොඳ ම ‘විස්කි’ තෙක් බීම බොන්නට නිදහස තිබේ. එ ද මඳ නම් දියවන්නාව තරණය කොට ජාතියේ ජීව රුධිරය වුව බොන්නට නිදහස තිබේ. අඳින්නට ද නිදහස තිබේ. අමුඩයේ සිට ඉන්දීය කබාය තෙක් ඕනෑ ම ඇඳුමක් අඳින්න තව ද නිදහස තිබේ. නාඳින්නට ද නිදහස තිබේ. ඇතැම් තුරුණු ලියන් දක්නා කල එ බව මැනැවින් පෙනේ. එ මතු ද? දඹදිවැ ඉපැදී දඹදිවැ බුදු වී දඹදිවැ දී ම පිරිනිවන් පා වදාළ බුදුන් මේ ලක්දිවෙහි උපදවන්නට ද අසිරිමත් නිදහසක් තිබේ මැ යි.

ඉතින් අපි නිදහස් නොවමෝ ද?

Comments