වාසනා මල් සාලාවට වැඩ ඇවිත්! | Page 3 | සිළුමිණ

වාසනා මල් සාලාවට වැඩ ඇවිත්!

 “මිනී පෙට්ටි සාප්පුකාරයන්ට ආයෙත් හොඳ කාලයක් ඇවිත්”

යකඩ මරං සැල්ටොංගෙ බාර්රෙකෙං එළියට ඇවිත් වාසනා මල් සාලාව දි‍හා බලාගෙන කියපි!

ඔය වාසනා මල් සාලාව දන්නොව නේද ආයිබොවන්ඩ? හිඟන්නා වාගේ හිටපු එ‍කා විලාකටුපොත ඉස්පිරිතාලෙ ඉස්සරහිං පෙට්ටි සාප්පුව දැම්මා.

“මිනී පෙට්ටි ලාබෙට තිබේ” කියලා දැන්වීම් බෝඩ්ඩෙකකුත් දැම්මා. වැඩේ නැඟලා ගියා. මිනිහා ඔලුව ඉස්සුවා.

“උඹේ වාසනාව!” බාර්රෙකට ආපු වෙලාවෙ සැල්ටොං කීවා. ඉම් පස්සෙ වාසනා මල් සාලාව ‍කියලා බෝඩ් එක දැම්මා. දොස්තරලගෙ ඉස්ටැයික් එකෙං තමා පෙට්ටිවලට ඉහළම ඕඩරේ ආවේ. දොස්තරලා ඉස්පිරිතාලෙට එන්නැති උනාට ලෙඩ්ඩු එලෝ ගිහිං වාසනා මල් සාලාවෙං මතු වෙනවා. ඔයිම්මෙයිං වාසනා මල් සාලාවෙ අයිතිකාරයා ඒ කියන්නෙ පච්ච සෝමෙ දොස්තරලා ඉස්ටැයික් කොරනවාට පක්ස යි. කොටිම්ම දොස්තරලාට ආණ්ඩුවෙං වෙන අසාදාරණකම් ගැන දොස්තරලටත් වඩා කතා කොරන්නෙ, මහජනයා දැනුවත් කොරන්නෙ පච්ච සෝමේ! බේත් කොම්පැනි කාරයන්ටත් දොස්තරලා ගැන පච්ච සෝමෙට තරං අව‍බෝදයක් නෑ ඕං. ඔව්වා මෙව්වා කියන්ඩ ගිහිල්ලා යකඩ මරංගෙ පොරකාසෙ ගැන කියන්ඩත් අමතක උනා.

“මිනී පෙට්ටිකාරයන්ට කාලයක් එන්නෙ අහවල් එකෙන් ද මරං?” මං ඇහුවා.

“දොස්තර මහත්තුරු ඉස්ටැයික් පටංගන්ඩ යි යන්නේ.”

යකඩ මරං එහෙම කියද්දී මයෙ ඇඟට හීං දාඩිය දැම්මා. නිමලෙගෙ බාල කොලුවා ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ. නිමලෙගෙ මහප්පා වකුගඩු ආබාදෙං ඉස්පිරිතාලෙ. යකඩ මරංගෙ මලයා සිරෝසිස් ඇවිත් ඉස්පිරිතාලෙ. මටත් ඉරුවා රදේ වගේ හෙටානිද්දා යන්ඩ යි ඉන්නෙ. දැං ඔය විදියට බලං ගියා ම ඉස්පිරිතාලෙ දවසක් බුදියාන ඉඳලා වාසනා මල් සාලා‍ෙව පච්ච සෝමෙගෙ මස් ලෑල්ලෙ දිගාවෙන්ඩයි වෙන්නේ.

“ඒ ගමන අහවල් කෙංගෙඩියට ද ඉස්ටැයික් කොරන්නෙ? හමුදාව ගත්තු ඉඩං දෙමළ මිනිස්සුන්ට දෙන්ඩ කියල ද? මං ඇහුවා‍.

යකඩ මරං නෑ කිව්වා.

මයෙං පුරස්න. යකඩ මරංගෙං උත්තර.

“දෙසපාලන පත්වීම් දෙන එක නවත්තන්ඩ කියල ද?

“නෑ”

“ත්‍රස්තවාදෙ වළක්කන පනත අයිං කොරන්ඩ කියල ද?”

“නෑ”

“යුද්දෙං කම්බස් වෙච්ච ගෙවල් හදන්ඩ කියල ද?”

“නෑ”

“හෙණං අහවල් කෙංගෙඩිය ද?”

“සයිටම් එකෙං උපාදි දෙන එක නවත්තලා දැං තියන විදියට ම කොරගෙන යන්ඩ කියලා.”

“එතකොට උන්නැහෙලා හැන්දෑවෙ චැනල් කොරන එකටත් විරුද්ද ද?”

“සයිටම් එකෙං උපාදි අරං චැනල් කොරන එකට විරුද්ද යි.”

“ආණ්ඩුවෙං උපාදි අරං හැන්දෑවට චැනල් කොරන එකට විරුද්ද නැද්ද?”

“නෑ කියල නෙහෙන්නං කීවෙ යකෝ”

යකඩ මරං එහෙම කියලා ගල් ඔබලක් අරං හිටගෙන ම ඇද්දෙ ඩිස්පැන්සරියෙං උණට දුන්නු බේත් වතුර ගහන උනැකාරයෙක් වගේ.”‍

ඔය අව් අස්සෙ පච්ච සෝමෙ ඉහේ මලක් පිපුණා වගේ ඇවිත් ඔබලක් දා ගත්තා.

“දොස්තර මහත්තුරුන්ගෙ සටනට ජයවේවා!”

පච්ච සෝමේ සව්දිය ද මොකද්ද පිරුවා. යකඩ මරං මගෙ අතින් ඇදගෙන බාර්රෙකෙං එළියට පැන්නා.

වාසනා මල් සාලාවේ බෝඩ් ලෑල්ල කන්ඩ වාගෙ අපි දිහා බලාගෙන... 

Comments