මහනුවර 12 වැනි සතියේ පෙරට | Page 11 | සිළුමිණ

මහනුවර 12 වැනි සතියේ පෙරට

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය නිමවීමට තවත් සති දෙකක් ඉතිරිව තිබියේදී ප්‍රසාද ලකුණු පුවරුවේ සම ලකුණු (63 බැගින්) ලබා ගැනීමට මහනුවර සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ සමත්ව තිබේ. නමුත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ (උත්සාහක දිනුම්වලින්) හිමිව ඇත්තේ මහනුවර කණ්ඩායමටය. තෙවැනි ස්ථානය නාවික හමුදා කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 52 කි.

පළමු අදියරේ ගුවන් හමුදාව අතින් අනපේක්ෂිත ලෙස පරාජය වූ මහනුවර කණ්ඩායම එකී වාඩුව දෙවැනි අදියරේදී පිරිමසා ගත්තේ 73 - 13 ක් ලෙස දැවැන්ත පරාජයක් ගුවන් හමුදා කණ්ඩායමට හිමිකර දෙමින්ය.

දොළොස්වැනි සති අන්තයේ තවත් සුවිශේෂි තරගයක් වූයේ නාවික - යුද හමුදා අතර වැලිසර පැවැති තරගයයි. එහිදී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවන නාවික හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් 31 - 17 ක් ලෙස යුද හමුදාව ජය ගත්තේය.

සෙසු තරගවලදී හැව්ලොක්ස් 31 - 10 ක් ලෙස සී ආර්. සහ එෆ්. සී. පරාජය කළ අතර, පොලිසිය 26 - 21 ක් ලෙස සී. එච්. සහ එෆ්. සී පරාජය කළේය. සී. එච්. කණ්ඩායමට මෙතෙක් එකදු ජයක් හෝ හිමි නොවීම ද විශේෂත්වයකි.

 

Comments