ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැඟී එන(Emerging) තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟින් මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය සමත් විය.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ ලකුණු 44ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර පරාජිත සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයන්ට අනුශූරතාව සමඟින් මුදලින් රුපියල් ලක්ෂ 3ක් හිමි විය.
තරගාවලියේ සුවිශේෂී ක්‍රීඩකයා වූයේ ද්‍රවිඩ සංගමයේ දිලුම් සුධීර ය. ඔහු පිතිකරුවෙක් ලෙසින් ඉනිම දෙකේ දී ලකුණු 59ක් වාර්තා කරන ලද අතර වමතින් දඟ පන්දු යවමින් තරගයේ දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 12කි. ඔහු සෙබස්තියනයිට්ස් පළමු ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූවේ ය.
දක්ෂතා දැක් වූ අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් ද්‍රවිඩ සංගමයේ රවිඳු ප්‍රනාන්දු (76) සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ විමුද් සප්නක (52) අර්ධ ශතක වාර්තා කළ හ. පන්දු යැවීමේ දී සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක ඉනිම දෙකේ දී කඩුලු 9ක් ද සහ මනෙල්ක ද සිල්වා ඉනිම දෙකේ දී කඩුලු 7ක් ද ලබා ගත් හ.
ද්‍රවිඩ සංගමය ; පළමු ඉනිම පන්දුවාර 71.5ක දී සියලුම දෙනා දැවී 254 (සුපුන් කාවින්ද 24, සංතුශ් ගුණතිලක 27, රවිඳු ප්‍රනාන්දු 76, කවිඳු පතිරණ 24, රවීන් ද සිල්වා 30, දිලුම් සුධීර 23, තරිඳු රත්නායක 5/113, මනෙල්ක ද සිල්වා 2/36, සඳුන් ප්‍රනාන්දු 2/24) සහ දෙවැනි ඉනිම පන්දුවාර 45.0ක දී සියලුම දෙනා දැවී 123 (සංතුශ් ගුණතිලක 32, දිලුම් සුධීර 36, තරිඳු රත්නායක 4/56, මනෙල්ක ද සිල්වා 5/27)
සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම පන්දුවාර 67.1ක දී සියලුම දෙනා දැවී 167 (සඳුන් ප්‍රනාන්දු 26, තරිඳු රත්නායක 23, විමුද් සප්නක 46, දිලුම් සුධීර 7/65) සහ දෙවැනි ඉනිම පන්දුවාර 57.4ක දී සියලුම දෙනා දැවී 166 (විශාල් ද සිල්වා 33, විමුද් සප්නක 52, දිලුම් සුධීර 5/61, කවිඳු පතිරණ 2/24)
තරගාවලියේ වැඩිම ලකුණුලාභීන්
අවිශ්ක පෙරේරා
කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන අවිශ්ක පෙරේරා මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනිමට සමත් වූවේ ය. දකුණතින් පන්දුවට පහර දෙන ආරම්භක පිතිකරුවෙක්ගේ භූමිකාවේ යෙදෙන අවිශ්ක තරග 7කට ක්‍රීඩා කරමින් ඉනිම 9ක දී ලකුණු 663ක් වාර්තා කිරීමට සමත් වෙන්නේ ය.
ඊට බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ද්විත්ව ශතකයක් (245) කළුතර නාගරික සමාජයට එරෙහිව ශතකයක් (172)ක් මෙන් ම කැන්ඩි කස්ටම්ස් (95) සහ ඒස් කැපිටල් (66) කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක දෙකක් ද වේ. මේ ඉනිම්වල ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 82.87කි.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අවිශ්ක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද සාමාජිකයෙකි.
දිනුක ඩිල්ශාන්
පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වෙන්නේ මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ 22 හැවිරිදි දිනුක ඩිල්ශාන්ට ය. දකුණත් ආරම්භක පිතිකරුවෙක් වන දිනුක තරගාවලියේ තරග 6ක ඉනිම් 11කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 645කි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව ලකුණු 111ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 115ක් සහ එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 111ක් ලබා ගැනීමට ඔහු සමත් වන්නේ ය.
එම ඉනිම්වල අමතර ව අර්ධ ශතක 2ක් ද මේ ලකුණු සංඛ්‍යාවට ඇතුළත් වන අතර ඒ අතරට එස්. එස්. සී. කණ්ඩායම ඉදිරියේ ලකුණු 99කට දැවී ගිය අවස්ථාවක් ද වේ. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72.88කි.
දිනුක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දිනුක මෙම තරගාවලියේ දී මුවර්ස් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළේ ය.
මෙනල්ක ද සිල්වා
පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් මනෙල්ක ද සිල්වා අවසන් මහා තරගය ඇතුළු තරග 8කට ක්‍රීඩා කරමින් ඉනිම 16ක දී ලකුණු 552ක් වාර්තා කිරීමට සමත් වූවේ ය.
ඒ ලකුණු අතරට එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 103ක් සහ මුවර්ස් (73) සහ ගුවන් හමුදාව (87)ට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක ඉනිම් 2ක් ද ඇතළත් ය. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 39.42කි.
වමත් පිතිකරුවෙක් වන මනෙල්ක බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්
දිලුම් සුධීර
වමතින් දඟ පන්දු යවන ද්‍රවිඩ සංගමය නියෝජනය කරන 21 හැවිරිදි දිලුම් සුධීර මෙවර තරගාවලියේ කඩුලු ලාභීන් අතර පෙරමුණ ගන්නේ තරග 5ක දී කඩුලු 52ක් වාර්තා කර ගනිමිනි. ඒ වෙනුවෙන් ඔහු ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 543ක් පමණි. එක් කඩුල්ලක් වෙනුවෙන් ඔහු ලබා දී ඇති ලකුණු සාමාන්‍ය 10.44කි.
මෙවර තරගාවලිය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව වාර්තා වූයේ බදුරලිය කණ්ඩායමට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී ලකුණු 21කට දවා ගත් කඩුලු 8යි. එම දක්ෂතාවට අමතර ව ඔහු ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවාගත් තවත් අවස්ථා 6ක් වාර්තා කිරීමට ද සමත් වූවේය. ඒ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 41කට කඩුලු 5ක් සහ ලකුණු 32කට කඩුලු 8ක්, බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 60කට කඩුලු 5ක්, රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 75කට කඩුලු 7ක් සහ සෙබස්තියන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 65කට කඩුලු 7ක් සහ ලකුණු 61කට කඩුලු 5ක් ලෙසිනි.
මේ අතර ඔහුගේ දක්ෂතා අතර තරගයක දී කඩුලු 10කට වැඩියෙන් දවා ගත් අවස්ථා තුනක් ද වේ. ඒ අනුව පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 73කට කඩුලු 13ක්. බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 81කට කඩුලු 13ක් සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 126කට කඩුලු 12ක් ලෙසිනි.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත් පොත් තබා ඉන් අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට තම දක්ෂතා මුහුකළ දිලුම් සුධීර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළේ ය.
තරිඳු රත්නායක
දෙඅතින් ම දඟ පන්දු යැවීමට දක්ෂතා දක්වන තරිඳු රත්නායක මෙම තරගවාරයේ දී තරග 6ක සහභාගී වෙමින් ලකුණු 945කට කඩුලු 51ක් දවා ගනිමින් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වන්නේ ය.
තරගයක කඩුලු 10කට වැඩියෙන් දවාගත් අවස්ථා 4ක් වාර්තා කරන ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 188කට දවාගත් කඩුලු 11යි. ඊට අමතර ව සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 200කට කඩුලු 10ක්, ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 208කට කඩුලු 10ක් සහ ද්‍රවිඩ සංගමයට එරෙහිව ලකුණු 169කට කඩුලු 10ක් ද ඔහු වාර්තා කළේ ය.
ඒ අතරට ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ අවස්ථා 7ක් ද වේ. ඉන් හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ නාවික හමුදාවට එරෙහිව ලකුණු 83කට දවාගත් කඩුලු 6යි.
කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි තරිඳු මේ වන විට සෙබස්තියනයිට්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ ය.
කෞමාල් නානායක්කාර
ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි වමතින් දඟ පන්දු යවන කෞමාල් නානායක්කාර ද මෙවර තරගාවලියේ දී කඩුලු අර්ධ ශතකයක් ලබා ගනිමින් කඩුලු ලැබූවන්ගේ ලැයිස්තුවේ තෙවැනි තැනට පත් වන්නේ ය. ඒ වෙනුවෙන් ඔහු ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 611කි.
ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරන ලද අවස්ථා 6ක් මෙන් ම තරගයක දී කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් ද ඒ අතර ඇතුළත් ය. ඔහුගේ පන්දු යැවීමේ ඉනිමක හොඳම දක්ෂතාව වන්නේ කළුතර නාගරික සමාජයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 69කට දවාගත් කඩුලු 7යි. ඊට අමතර ව ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 16කට කඩුලු 5ක් සහ ලකුණු 66කට කඩුලු 5ක් ද, බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 63කට දවා ගන්නා ලද කඩුලු 6ක් ද, ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 78කට ලබා ගන්නා ලද කඩුලු 6 ද සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 111කට දවා ගත් කඩුලු 7ක් ද ඒ අතර වේ.
තරගයක පන්දු යැවීමේ දක්ෂතා අතර ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 82කට කඩුලු 11ක්, ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 114කට ලබා ගත් කඩුලු 10ක් සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 148කට කඩුලු 10ක් ඇතුළත් වේ.