වේගවත්ම ක්‍රීඩකයා චමෝද් ක්‍රීඩීකාව අමාෂා | සිළුමිණ

වේගවත්ම ක්‍රීඩකයා චමෝද් ක්‍රීඩීකාව අමාෂා

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය

 

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ 23 වැනිදා කඩුලු පැනිම් ඉසව්වල දක්ෂතම ක්‍රීඩීකාව වු කෞෂල්‍යා මධුෂානි 24වැනි දා අකාලයේ දිවියෙන් සමු ගනිද්දී,එකී තරගාවලියේ දක්ෂ ම ක්‍රීඩකයාට හිමි සම්මානය හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මිටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් බිහි කළ නිලානි රත්නායක හිමි කර ගැනීමට සමත් වුහ.ඒ වර්ෂාව නිසාවෙන් පසුගිය 10 වැනිදා අවසන් කර ගැනීමට නොහැකි වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉතිරි අවසන් තරග දියගම ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වුණි.

මෙකී තරගාවලිය අවසන් කරමින් පැවති අවසන් තරග අට අතරින්, පිරිමි මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කරමින් ( විනාඩි 3:48.34) ජාතික කිරුළ සියතට ගැනීමට ඩී. එච්. කුමාර සමත් වෙද්දී, එල්. ප්‍රතාප (විනාඩි 3:48.78) සහ සී. විජේසිංහ (විනාඩි 3:51.04) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්හ.

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ සිය ආධිපත්‍ය යළිත් රඳවා ගත් සුමේධ රණසිංහ එකී ඉසව්ව ජය ගත්තේ මීටර් 82.18ක දුරක හෙල්ලය පතිත කරමින් ය. එකී කාන්තා ඉසව්වේ ජයග්‍රහණය මීටර් 55.03ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ නදීෂා ලේකම්ගේ සතු විය.

අවසන් දිනයේ වැඩි අවධානයක් දිනා ගත් ඉසව් අතරින් කැපී පෙනෙන ඉසව්වක් වූ කාන්තා මීටර් 400 කිරුළ තමන් සතු කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුයේ තත්පර 53.85ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ය.තත්පර 54.14ක කාලයකින් ඉසව්ව අවසන් කළ ජයේෂි උත්තරා එහි දෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී, එකී ඉසව්වේ හිටපු ජාතික ශූරියක් වන නදීෂා රාමනායක (තත්පර 54.29) තෙවැනි ස්ථානය හිමිකර ගත්තා ය.

පිරිමි මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය අරුණ දර්ශනව (තත්පර 45.90) දශම දෙකකින් පසුපසට ඇද දමමින් කාලිංග කුමාරගේ (තත්පර 45.88) ජය ගත් අතර තෙවැනි ස්ථානය ආර්. ලක්ෂාන්ට හිමි වුයේ තත්පර 46.71කට ය.

තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට තත්පර 10.50ක කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කළ චමෝද් යෝධසිංහ සමත්වන විට, තත්පර 11.69ක කාලයකින් එහි කාන්තා ඉසව්ව නිමා කළ අමාෂා ද සිල්වා වේගවත්ම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවා ය.

පිරිමි මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානය කවිඳු චතුරංග තත්පර 10.60කින් සහ තෙවැනි ස්ථානය චලිත පියුමාල් තත්පර 10.69 දිනා ගැනීමට සමත් වුහ. කාන්තා ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන රුමේෂිකා රත්නායක තත්පර 11.87 සහ ශෙලින්ඩා ජැන්සන් තත්පර 11.93කින් ජය ගැනිමට සමත් වුහ.

 

 ඡායාරූපය Ceylon Athletics

Comments