වාසනාව ගැන නොසිතා මහන්සි වී වැඩ කරන මිනිසුන් හමු වන්නේ කලාතුරකිනි.යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් සම්බන්ධයෙන් වන කතාබහ ද ඊට දෙවැනි නැත.යුපුන් විශ්වාසය තබන්නේ මහන්සි වී වැඩ කිරීම ගැන මිස වාසනාව ගැන නොවේ. ඉතාලිය කේන්ද්‍රකර ගනිමින් ජීවත් වෙමින් පුහුණු කටයුතු සිදු කරන ලාංකේය කෙටි ධාවන ඉසව්වල වේගවත්ම කාලය සනිටුහන් කළ හපනා යුපුන් ය. ඒ තත්පර 10.16කින් මීටර් 100 ඉසව්ව අවසන් කරමිනි. එකී කාලය ඔහු වාර්තාව කරන්නේ 2020දීය.
එහෙත් යුපුන් නවතින්නෙකු නොවේ.නිරන්තරයෙන් ක්‍රීඩා කරළිය අවදියෙන් තබන්නෙකු බවට පත්වන්නේ තත්පර 15.16 ක කාලයක් වාර්තා කරමින් මීටර් 150 ධාවන ඉසව්වෙන් නව ආසියානු වාර්තාවත් සමඟින් ය.
2022 වසරේ සහභාගී වූ පළමු තරගයෙන්ම පිරිමි මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුයේ, ඉතාලියේ රෙටි නුවර රාවුල් ගයිඩොබල්ඩි ක්‍රීඩාංගණයේ පැවැති පර්සෝ කුසලාන තරගාවලියේදීය.
2022 තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය තත්පර 15.16ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ යුපුන් බිඳ හෙළුවේ ජපන් ජාතික යොෂිහයිඩ් කිර්යු විසින් තත්පර 15.35ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් 2017 වසරේ පිහිටුවා තිබූ ආසියානු වාර්තාවයි.මෙකී තරගයේ දෙවැනි ස්ථානය තත්පර 15.17ක කාලයකින් තරගය අවසන් කළ ඉතාලි ක්‍රීඩක චිතුරු අලි විසිනුත්, තෙවැනි ස්ථානය තත්පර 15.76ක කාලයකින් ඉසව්ව අවසන් කළ මාටියා ෆුර්ලානි විසිනුත් දිනා ගත්හ.
පන්නල ජාතික පාසලෙන් හා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති යුපුන් කෙටි දුර ධාවනයේ හපන්නෙකු බව මේ වනවිටත් ප්‍රදර්ශනය කර අවසන් ය 2013 රංචිහි පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2015 ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලට සහභාගී වූ අතර පිරිමි මීටර් 4×100 සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම මෙන් ම 2019 දකුණු ආසියානු ක්‍රීඩා උෙළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 4 × 100 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමට හිමිකම් කීවේය. 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 4 × 100 සහය දිවීමේ ඉසව්වෙන් නව ජාතික හා දකුණු ආසියානු ක්‍රීඩා වාර්තාව තැබිමට ද එකී කණ්ඩායමට හැකිවිය.
මිටර් 100 පිරිමි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන විට ජර්මනියේ තරග කරමින් එකී තරගයේදී යුරෝපයේ ඉදිරි නම් සහිත ධාවකයන් හා තරග කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම දක්වා සිය ධාවන වේගය ඉහළ නංවාගැනීමට යුපුන්ට හැකි විය.
2020, ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු තත්පර 10.16 ක කාලයකින් පිරිමි මීටර් 100 ඉසව්වේ හිමාෂ ඒෂාන්ගේ දකුණු ආසියානු වාර්තාව මෙන්ම ජාතික වාර්තාව ද ඔහු බිඳ දැමීය. පිරිමි මීටර් 100 ඉසව්වේ දකුණු ආසියාවේ වාර්තාව බිඳ දැමීමෙන් පසු ඔහු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යන අන්වර්ථ නාමය ද හිමිකර ගත්තේ ය.2020 සැප්තැම්බර් 26 වැනි දින, ස්විට්සර්ලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ කොටසක් ලෙස පැවැති තරගය තත්පර 10.24 ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කමකට හිමිකම් කීවේය. 1990 දශකයෙන් පසු ඉහළ ම යුරෝපීය සහ අප්‍රිකානු කෙටි දුර ධාවන තරගකරුවන් සමඟින් දිවීමේ තරගයක දිවීමේ ඉසව්වක මුල් තිදෙනා අතරට පැමිණි ප්‍රථම ලාංකීය ධාවකයා බවට ද පත් විය.
2021 ජනවාරි මාසයේදී ඔහු ඉතාලි ගෘහස්ථ ශූරතාවලියේදී තත්පර 6.59 ක කාලයකින් ඔහුගේ හොඳම සහ ජාතික ශ්‍රී ලංකා මීටර් 60 ගෘහස්ථ වාර්තාව අලුත් කළේය. ඔහු 2017 දී ඔහු විසින් අත්කර ගත් තත්පර 6.78 ක ඔහුගේම ජාතික ගෘහස්ථ වාර්තාව අබිබවා ගියේය. 2021 ඔහු ඉතාලියේ පැවති තත්පර 10.15 ක කාලයක් වාර්තා කරමින් ඔහුගේම පුද්ගලික මෙන්ම මීටර් 100 පිරිමි ඉසව්වේ ජාතික වාර්තාව ද අලුත් කළේය.
යුපුන් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සෘජු සුදුසුකම් ලබා ගත් පළමු සහ එකම ලාංකිකයා ද විය.1996 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී චින්තක ද සොයිසා සෘජුවම සුදුසුකම් ලැබීමෙන් පසු වසර 25කට පසු ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා සෘජු සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවටද ඔහු පත් විය. ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ එකම ලාංකික පිරිමි මලල ක්‍රීඩකයා ද විය. 2021 ජූලි 31 දින, ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තත්පර 10.32 ක කාලයකින් තම මීටර් 100 ධාවන තරගය අවසන් කළ අතර මුලික වටයේ හයවන ස්ථානයට පත් වූ අතර එනිසා ම ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
විසි හත්වන වියැති යුපුන් දක්වන දක්ෂතා පිළිබඳ උදම් ඇනිය හැකි දැයි කෙනෙකුට සිතිය හැකිය. දැන් අවශ්‍ය වන්නේ යුපුන් හා තරග වදින්නට ඔහු හා සම සමව තරග කළ හැකි තවත් දේශීය ක්‍රීඩකයන් ගොඩනැඟිමට බලධාරීන් කටයුතු කිරීමය. සෑම සිදුවීමකම කියවීම තේරුම් ගැනීමට බලධාරීන් ලක ලෑස්ති විය යුතුය.