
කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් යුතුව ‘හෙළ හවුල’ පටන් ගැනුණේ 1941 දී ය. ඉන් පසු මෙරට සිටි උගතුන්ගෙන් බොහෝ දෙනකු ඒ භාෂා සංවිධානයේ සාමාජිකයන් (වෙනත් විදියකට කිව හොත් කුමාරතුංගගේ අනුගාමිකයන්) බවට පත් වූයේ යැ යි කිව හැකි ය. විවිධ භාෂාවන්ගෙන් සම්මිශ්‍රිත වූ සිංහල භාෂාව පිරිසුදු භාෂාවක් කරමින් එය නඟාසිටුවීම හෙළ හවුලේ දෘඪ අභිලාසය විය. එය පූර්ව-යටත්විජිත යුගයේ
සිට ම මෙරට මූලබීජ වශයෙන් පැවති සංස්කෘතික පුනරුදයේ එක් අත්‍යවශ්‍ය සාධකයක් වූයේ ය.
හෙළ හවුලට සම්බන්ධ ප්‍රතිභාසම්පන්න ලේඛකයන්, කවීන් බොහෝ දෙනෙක් පණහ-හැට දෙදශකයේ දී පමණ ගීත රචනා කලාවේ නිරත වූ හ. විශේෂයෙන් සුනිල් සාන්තට ගී ලියූ බොහෝ දෙන හෙළ හවුලේ ප්‍රමුඛ ලේඛකයෝ හා කවීහු ය. නිදර්ශන වශයෙන් ගත හොත්: අරීසෙන් අහුබුදු, හියුබත් දිසානායක, රැපියෙල් තෙන්නකෝන්, පණ්ඩිත ගුණපාල සේනාධීර, මර්සලීනු ජයකොඩි පියතුමා, මෝසැසි පෙරේරා පියතුමා යන අය ගත හැකි ය.
අපේ සාම්ප්‍රදායික කවීන් ගීත රචනයට උනන්දු කළේ සුනිල් සාන්ත බව ජයන්ත ආනන්දප්පා ප්‍රකාශ කර ඇත. ඔහු මෙසේ කියා සිටී:
“ඊට පෙර කවියන් අතර තිබූ හැඟීම වූයේ ගීත රචනය යනු පහත් පෙළේ කාර්යයක් කියා ය. ගීත රචකයා යනු තනුවකට වචන එකතු කළ පුද්ගලයෙක් විය. කිසිදු කවියෙක් ගී පද රචනයට ඉදිරිපත් නො වූයේ ය.
වරක් සුනිල් අරීසෙන් අහුබුදුගෙන් ගීතයක් ලියා දෙන මෙන් ඉල්ලා සිටියේ ය.
“මම කවියෙක්. මට සින්දු ලියන්න බැහැ.”
අහුබුදු කීවේ ය.
“ගීතයක් කියන්නෙත් කවියක්. මට කවියක් ලියා දෙන්න. මං ඒක ගීතයක් කරන්නම්. ඔබ කැමැති අයුරින් මට කවියක් ලියලා දෙන්න.”
‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතය බිහි වූයේ ඒ අනුව බව ආනන්දප්පා කියයි.
ඇත්ත වශයෙන් ම හෙළ බස් වහර පොදුජන අවධානයට යොමු කරවන්නට උපස්තම්භක වූයේ සුනිල් ගී යැ යි කිව හැකි ය. මෙකරුණ සුනිල් සාන්ත පවා ප්‍රකාශ කර ඇත. ඒ මෙහි දී ය:
“ඕලු පිපීලා, හඳපානේ වැනි ගීවලින් සිදු වූ මෙහෙය මම ම කුමට කියම් ද? අප්පිරියාව නිසා ඔක්කාරයට ආ හෙළ පද දැන් යස රඟට අර ඉංගිරිසි කටින් පිට වෙයි. මවු බසින් ගී කීමට දැන් උහු පුරුදු වෙති. මගේ මේ අලුත් සංගීතයෙන් මා බලාපොරොත්තු වූ කරුණු අතරින් එකෙකි. එය ද මගේ මඟට තවත් රුකුලෙකි.” (‘සුනිල්’ හඬ සංග්‍රහය, හැඳින්වීම)
1946 දී ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවති හෙළ හවුලේ රැස්වීමකට දස-දහස් සංඛ්‍යාත ගාලු පුරවැසියන් සහභාගි වූයේ විශේෂයෙන් සුනිල්ගේ ගී ඇසීම සඳහා බව මහාචාර්ය විනී විතාරණ ප්‍රකාශ කර ඇත.
සුනිල් සාන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වාග්ගේයකාරයෙකි. ඔහු ගීත ගැයුවා, ඊට තනු හා සංගීතය නිර්මාණය කළා පමණක් නො ව, ගීත ද රචනා කළේ ය. ‘ඕලු පිපීලා, ‘හඳපානේ’, ‘බෝවිටියා දං’, ‘හෝ ගා රැල්ල බිඳේ’, ‘නැළවී සැනසෙන්නේ’, ‘කෝමළ දෑත නඟාලා’ වැනි අතිශය ජනප්‍රිය ගී සුනිල්ගේ සුරස පද රචනා ය.
ඇත්ත වශයෙන් ම කිව හොත් සුනිල්ට දේශීය සංගීතයක් බිහි කිරීමේ මූලිකාධ්‍යාශය ඇති වූයේ කුමාරතුංග මුනිදාසගේ කෘති කියැවීමෙන් බව ද පෙනී යයි. දිනක් හේ් කුමරතුඟුවන්ගේ ගී පෙළක් කියැවූයේ ය; එය දෙවරක්, තෙවරක් කියැවූයේ ය. එහි කිසියම් අර්ථයක් ඇති බව සුනිල්ට වැටහිණි. ඔහු ඒ ගී පෙළ තව තව කියැවූයේ ය. එයින් තමා තුළ වෙනසක් ඇති වූ බවක් ඔහුට දැනිණි. ඒ ගී පෙළ මෙසේ ය:
‘ම-ගෙ රට ම-ගෙ දැය නිසා
යුද වැද සතුරන් නසා
ම-දිවි ගියත් මට එ-සා
යස වෙ-ද සියවස් වසා...
‘සිටිය ද ගල් ගෙහි වැදී
පණත් නමත් යෙයි සිඳී
එ-පණ රටට දැයට දී
නම රැක ලවු නො පැරදී...
‘රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා!’
දේශීය සංගීතයක් බිහි කරන්ට නම් පාලි, සංස්කෘත මිශ්‍ර නොවූ දේශීය භාෂාවක් උපයුක්ත කර ගත යුතු බව සුනිල්ට වැටහී ගියේ ය.
සුනිල්ගේ ගී අරභයා ඉතා ප්‍රශස්ත මට්ටමින් ගැඹුරු විවරණයක් කළ සංගීත විචාරකයන් තිදෙනා අතර ආචාර්ය තිස්ස අබේසේකර කැපී පෙනේ (අනෙක් දෙදෙනා ආචාර්ය ඩී.පී.එම්. වීරක්කොඩි සහ ආචාර්ය ටෝනි ඩොනල්ඩ්සන් ය).
සුනිල්ගේ ගීවල ස්වර රටාව සකස් වී ඇත්තේ එහි පදමාලාවේ ශබ්ද ධර්මයන්ට අනුකූල ව බව තිස්ස කියයි. එසේ ම සිංහල බසේ නාද රටාවට මූලික වන්නා වූ ලඝු - ගුරු ප්‍රභේදය නොබිඳ ස්වර නිර්මාණයේ හා ගායනයේ යෙදුණා වූ එක ම සිංහල සංගීතකරුවා ද සුනිල් සාන්ත බව හෙතෙම අවධාරණයෙන් ම කියා සිටී (‘ලඝු’ යනුවෙන් හැඳින්වෙන්නේ කෙටි ඉස්පිලි සහ පාපිලි සහිත කෙටි අකුරු වන අතර, ‘ගුරු’ යනුවෙන් හැඳින්වෙන්නේ දිගු ඉස්පිලි, පාපිලි සහ හල් කිරීම් සහිත දිගු අකුරු ය).
සුනිල්ට ගී ලියූ හෙළබස් රචකයන් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ අරීසෙන් අහුබුදු ය. ‘ලංකා ලංකා පෙම්බර ලංකා’, ‘දකුණ නැඟෙනහිර’, ‘මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී’ (මේ ගීතය අමරදේව ද ගායනා කරයි), ‘එම්බා ගංගා’, ‘තෙල් ගාලා හිස පීරන් නෑනෝ’, ‘වලාකුළින් බැස’ වැනි ගී රැසක් ඔහු ප්‍රබන්ධ කර ඇත. ‘සංදේශය’ චිත්‍රපටයේ සුනිල්ගේ තනුවලට අහුබුදු ලියූ ගී අදටත් ජනප්‍රසාදිත ය.
රැපියෙල් තෙන්නකෝන් සුනිල්ට ලියා ඇත්තේ ගීත තුනක් පමණි. එකක් ‘ඔබ මුනිදසුනි කුමරතුඟු’ නම් වූ සමරු ගීය යි. අනෙක ‘කුකුළු හැවිල්ල’ යි (ඇත්ත වශයෙන් ම එය කවියකි. සුනිල් එය ගීතයක් බවට පත් කළේ ය. තුන්වැන්න සිංහල දෙබස් කැවූ ‘අම්බපාලි’ චිත්‍රපටය සඳහා ලියූ ‘ත්‍රෛලෝක්‍ය නේත්‍ර’ නම් වූ ගීතය යි. එය හෙළබසින් නො ව, සංස්කෘත භාෂාව යොදාගෙන විරචිත ගීතයකි.
සුනිල් ගී ගැන ව්‍යක්ත දෙසුමක් කළ මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ‘කුකුළු හැවිල්ල’ ගීය ගැන මෙසේ කියා ඇත:
“රැපියෙල් තෙන්නකෝන් ඉතා උපහාසාත්මක කවියෙක්. මේ ගීතයේ බරපතළ උපහාසයක් තියෙනවා. තමන්ගේ කුකුළා සොරකම් කළා යැ යි කාන්තාවක කතරගම දෙවියන්ට පළි ගසන්නේ කුකුළාගේ වටිනාකම මෙන් දහස් ගුණයක් වුවත් වියදම් කරන්ට සූදානමින්. මේ උපහාසාත්මක බව ගී තනුවේ තිබෙනවා. ‘කතරගමේ... ’ යනුවෙන් ගයන තැන අර ගැහැනියගේ යාදින්න තියෙනවා. අනෙක් අතට කතරගම දෙවියන්ගේ කොඩියේ ලාංඡනය වන්නේත් කුකුළා ම යි. ඒ නිසා ඔබේ ලාංඡනය වූ කුකුළා සොරකම් කළ සොරාට පළි ගහන්නැයි ගැහැනිය දෙවියන්ට කියනවා.”
හියුබත් දිසානායක ද සුනිල්ට රසසමාහිත ගී කීපයක් ලියා ඇත. ‘මිහිකත නළවාලා’, ‘රැල්ල නැඟෙන්නේ’, ‘මේ හෝපලු වනයේ’, අත්තනගලු වැලපිල්ල (‘මගෙ හිමියාණෙනි’) ඔහුගේ ගී නිර්මාණ ය. ඇතැම් ගී සුනිල් හා හියුබත් යන දෙදෙනාගේ ම නම්වලින් සඳහන් ව ඇත. ‘ආදර නදියේ’, ‘සුවඳ රෝස මල් නෙළා’, ‘කුරුලු ආදරේ’, ‘සිහි කැරැ ඔබ රුව වැලැපෙමි සොඳුරේ’ වැනි ගී ඊට නිදර්ශන ය. මේ ගී සුනිල් විසින් රචනා කරන ලදුව හියුබත් විසින් ඔපමට්ටම් කරනු ලැබූ බව විශ්වාස කළ හැකි යැ යි මහාචාර්ය විනී විතාරණ කියයි.
ජයන්ත වීරසේකර (සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ), වෙල්ලාල ජයමහ (මහ හෙළයාණෙනි), මාතර අමරවස් හිමි (ගුරු දෙවියනි), අමරසිරි ගුණවඩු (ගිය ගිය අතැ පා මහිමය මොළයේ), පණ්ඩිත ගුණපාල සේනාධීර (ලෝ පුරා රැව් නඟා), කුමරසිහි කිත්සිරි, කැලිස්තස් ජයසිංහ සුනිල්ට ලියූ තවත් හෙළ හවුලේ ප්‍රවීණ ලේඛකයෝ කීපදෙනෙකි.
මර්සලීනු ජයකොඩි පියතුමා මෙන් ම මෝසැසි පෙරේරා පියතුමා ද සුනිල්ට ගී මෙන් ම ගීතිකා ද ලියා ඇත. මෝසැසි පෙරේරා සුනිල්ගේ ළඟ ම ඥාතිවරයෙකි. පියතුමා ‘රේඛාවට’ ගී ලීවේ සුනිල් සාන්තගේ ඇරියුමිනි. එහි ගී තනු සුනිල්ගේ ය.
මෙහි ලා කිව යුතු තවත් විශේෂ කරුණක් වෙයි. එනම්; කුමරතුඟුවන්ගේ කව් ද ගී ලෙස ප්‍රතිනිර්මිත ව ඇති බව යි. ‘ඉදිරියට මැ යවු හෙළයිනි’, ‘හඳපානේ වැලිතලා’ වැනි කවි ඊට නිදර්ශන ය. ‘හඳපානේ වැලිතලා’ කවිය ඇතුළත් වූයේ ‘කවි ශික්ෂාව’ නමැති කෘතියේ ය.
කුමාරතුංගට සංගීතය පිළිබඳ ව ද කිසියම් දැක්මක් තිබිණි. දේශීය සංගීතයක අවශ්‍යතාව ඔහු මැනවින් වටහාගෙන සිටියේ ය. ‘හෙළ මීයැසිය’ නම් වූ ග්‍රන්ථය වනුයේ සංගීත චින්තනය ප්‍රකට කරන්නා වූ කෘතියකි. මෙමඟින් ඔහු කීවේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ පැනෙන වෘත්ත පදනම් කරගෙන දේශීය සංගීතයක් බිහි කර ගත හැකි බව යි.
1946 දී පළමු ‘හෙළ මීයැසිය’ කෘතියේ ප්‍රවිෂ්ටයේ (පිවිසිය) කුමාරතුංග මෙසේ කියයි:
“පැරැණි හෙළ කවියෝ හෙළ මීයැසිය නුවණැතියන්ගේ නුවණට නොවැසියැ හැකි සේ, නොමැකියැ හැකි සේ, නොවැරැදියැ හැකි සේ පිහිටුවා තුබූ හ. මේ හෙළි වනුයේ එ-කිවියන්ගේ මීයැසිය යි. එහෙයින් හෙළයන්ගේ මීයැසිය යි.”
මේ ප්‍රකාශය සුනිල් සාන්ත කෙරෙහි නොමඳ ප්‍රභාවක් පෑ ආකාරය දිස් වෙයි.
සංගීත විෂය ක්ෂේත්‍රයට අදාළ හෙළ වදන් කීපයක් ද කුමාරතුංග නිර්මාණය කර ඇත. ‘රෙදෙව්ව’ (ගුවන් විදුලිය), ‘සගයුව’ (සංගීතය), ‘අළුව’ (වයලීනය), ‘පුනගැයිය ’ (ස්ථායි), ‘සගයු වෙසරද’ (සංගීත විශාරද), ‘සරුසැරි’ (ස්වර ප්‍රස්තාර) වැනි යෙදුම් මෙහි ලා වැදගත් ය. එසේ ම TUNE යන්නට යෙදෙන ‘තනුව’ යන වචනය ද කුමරතුඟුවන්ගේ නිර්මාණයකි.