‘හිතකර ගොවිතැන නැඟේ පෑදෙයි ජය මඟ රටේ’ | සිළුමිණ

‘හිතකර ගොවිතැන නැඟේ පෑදෙයි ජය මඟ රටේ’

 ධාර්මික සමාජයක් තැනීම හෝ නීරෝගී ජනතාවක් තැනීම හෝ සෞභාග්‍ය පිරි මිනිසකු ගොඩ නැඟීම හෝ සංවර මිනිසකු තැනීම හෝ වියුක්තව යාර්ථයක් කළ නොහැකිය. වස විස නැති සමාජයක සියල්ලෝම මනුෂ්‍යයෝය. කාලානුරූප වූත් වටපිටාවට උචිත වූත් සෞම්‍ය නිවහල් සංවර්ධනයක් අපේක්ෂා කළ හැක්කේ එවන් සමාජයක් තැනීමට පිඹුරුපත් සැකසීමෙන් පමණි. ඒ ජාතික කර්තව්‍ය මහ පොෙළාවේ පැළවෙන්නේ සියලු මනුෂ්‍යයින්ට ජීවත්වීමේ අයිතිය ඇති බව සිහි කැඳවමිනි. ගහ කොළට සතාසීපාවාට මෙන්ම අපි හැමෝටම දැහැමින් සෙමින් පැවැත්මට අනුගත වීම යනු වස විස නැති සමාජයක් කරා තල්ලු වීමය.

ගොවිතැන ප්‍රධාන අර්ථ ක්‍රමය වූ අපේ රටේ මෑතක් වන තුරු ගොවියා සිය ජීවිකාව ගෙන ගියේ මහපොළව හා බැඳුණ අසීමිත ආදරයකිනි. සිය ගණනක් වෙහෙර විහාරවලට යාබද වැව් අමුණු ඇළ වේලි අද අපට කරන හෙළිදරව්ව එයයි. එක් පසෙකින් එදා ගොවි ජීවිත එළිය කළේ ආගමික, සාම්ප්‍රදායික වත්පිළිවෙත්ය. අනෙක් අතට, ආර්ථික ක්‍රමය නොහොත් ගොවිතැන හා බැඳුණු පස් පව් වලින් වැළකීමය. එයින් ගම්මුන්ගේ එදිනෙදා ජීවිතවලට ගෙනා සහන් එළිය වචන කළ හොහැකි තරම්ය. ජාතියට බත සැපයූ රජරට ගොවි රජවරුන්ගේ ජීවිත අසිරිය අව්‍යාජය. මහා පැරකුම් රජ දවස පෙරදිග ධාන්‍යායගාරය ලෙස විරුදාවලි ලද අපේ මාතෘ භූමියේ සෞභාග්‍ය රැඳු‍ෙණ් රජරට ගොවීන්ගේ උර මත නොවේද?

අවාසනාවට පසුගිය කාලයේ තත්ත්වය වෙනස් අතක් ගත්තේය. දැයේ මහා ප්‍රාණ ඝාතකයෝ ගොවීන් බවට පත් වූහ. රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන ද ආහාර ස්වෛරීත්වය ගැන ද භයානක අවදානමක් ඇති බව පර්යේෂකයින් ඇඟවූවේය. ගොවිතැනේදී නිරන්තරව භාවිත වන කෘෂි රසායන නිසා පළමුවෙන් ඒවා භාවිත කරන ගොවියාත්, දෙවනුව එම භව භෝග පරිභෝජනය කරන රටවැසියාත් තෙවනුව, නූපන් අනාගත පරපුරත් මාරාන්තික අවදානමක බව සක්සුදක් සේ පෙනෙන්නට විය. ගොවිතැන ජීවනාලිය කර ගත් සමාජීය ආර්ථික වටපිටාවක් සහිත වූ අපේ රටේ “ගම“ ක්‍රමයෙන් අරාජික වීමේ පෙරනිමිති පහළ වන්නට විය.

රටේ ගොවිකම නැවත නඟාසිටුවීමත්, ගමට සිරිදුව කැඳවීමත් ගොවිබිමේ මිතුරු සතුරු සියල්ලට මරු කැඳවන රසායනික යෙදවුම් භාවිතා කරන ගොවිතැනින් ගොවියා මුදවා ගත යුතුමය. සිය දහසක් බුදුවරුන් බුදුවන හිමිදිරියේ පංචශීලයේ පිහිටා, රටට බත දෙන ගොවියා සිය ගොවි බිමේ සියලු සත්ත්වයෝ නැ‍ෙසත්වා යැයි පතා ගොවිබිමට වස විස හෙළීම නවතාලිය යුතුය. එසේ නොවුණහොත් පළමුකොට ගොවි මහතා නොහොත් පවුලේ ගෘහමූලිකයා ක්‍රමයෙන් ලෙඩ ඇඳට වැටේ. දැන් කාලයක් තිස්සේ සිදුවූ මේ විපත ඇති කළ අනිසි ප්‍රතිඵල සුළු පටු නොවේ. කුඹුරට වස ඉසින ක්‍රමයකදී, ක්ෂණයෙන් අරාජික වන ගොවි පවුල දුප්පත්කමේ දත්ත ගබඩාව ශීඝ්‍රයෙන් ඉහළ නංවා ගනී. අන්තිමේදී, දිළිඳු බවට යට වී ගොවි ලිය මැදපෙරදිග බලා ඉගිලු‍ෙණ් එහි ප්‍රතිපලයක් ලෙසිනි. මැදපෙරදිග මෙහෙකාරිය ලෙස එතැන් පටන් ඇය ජීවිකාව ඇරඹීය. ඇගේ දරු මල්ලෝ ගමේ හුදකලා විය. වස විසට ඉඩ දී දුගී බවට බිලි වූ ගොවිකම හරහා ගම්මුන් අතර වූ බැඳියාව ද බිඳ වැටුණු පසු ගමයි පන්සලයි සංකල්පය වියැකී ගියේය. ඊට අනුරූපව ගම් වැසියන් අතර සමඟියේ සහජීවනයේ සහ අව්‍යාජබවෙහි අක් මුල් සිඳී ගියේය. පියා, සීයා විසින් තමන්ගේ හිරිමල් දියණිය, මිනිපිරිය අතවරයට ලක් විණි. හෙට දවස හැඩ කරන්නට වෙර දැරූ මල් කැකුළු අකාලයේ මිලිනවී ගියේය. අපචාරයේ නාමයෙන් මව් පදවිය ලබා සමාජයේ අනවතර නිඟාවට ලක්ව ඈ ගෙවෙන හැම තත්පරයකම හඬා වැටෙන්නේය. පියා, සොයුරා ගෙදර පිළේ ලෙඩ ඇඳේ පණ අදින්නේය. මව, සොයුරිය ගම හැර ගොසිනි. ගම දැන් අරාජිකයි කියන්නේ මේ තත්ත්වය, මහා පොදු සාධකය වී තිබෙන නිසාය. තාක්ෂණය, දියුණුව විසින් මේ විනාශයටම වැට බැන්දේය. ජනමාධ්‍ය එහි ප්‍රධාන කොටස් කරුවන් විය.

රටේ ෙප්‍රෟඩත්වය, අභිමානය දරා ගත් ජාතියේ ජීවනාලිය වූ ගොවිකම ගොවියාට එරෙහි වූවේ කෙසේද? ගොවිකමේ රිද්මය දෙදරුම්කෑ විට වසර දහස් ගණනක් උරුමකම් කී සංස්කෘතික වටිනාකම් පිරිහීමේ ලකුණු පහළ විණි. ඉනික්බිතිව, මුළු මහත් ජාතියේම නිරෝගීබවට කණ කොකා හැඬුණි. ක්‍රීඩාව, අධ්‍යාපනය, නීතිය, සාහිත්‍ය මෙකී නොකී සෑම ප්‍රවාහයකම පැවති රටට ආවේණික ‍ප්‍රෞඩත්වය ක්‍රමයෙන් වියැකී ගොස් විජාතික බලවේගයන්ට රට තුළ නැඟී සිටීමට ඉඩ හසර විවර විය. අවසන මහපොළව රෝගී විය. ගහ කොළ අපට උරුමකම් කී සොබා සිරි අපෙන් සදහටම ඈත් කරගෙන ගියේය. උරුමයන් සමඟ උරන වන්නට දැරූ වෙහෙසකර උපායන් සාපයක් වී රටවැසියන් මහපොළවේ “හු‍ෙදකලාව“ කරා තල්ලු වී ගියේය.

ගොවියා මහ පොළවට විස හෙළුවේ ඇයි? වැඩි ආදායමක් මවා පෙන්වා ගොවියා වස විසට පුරුදු කිරීමේ මහා ව්‍යාපෘතියක් දශක කිහිපයකට පෙර මෙරට තිබුණි. වස විස පොළොවට ෙහළීම, තම භව බෝගයන් මතට හෙළීම, පුරුදු පුහුණු කළ දෙයකි. වස විස භාවිතයෙන් ගොවියා ඈත් කළ හැක්කේ එහෙයිනි. අපේ රටේ ගොවි මහතුන් කෘෂි රසායන ලෙස දෙයක් දශක කීපයකට පෙර දැන සිටියේ නැත. ගොවි බිමේ මුහුණ දුන් වල් මැඩලීමට, ලෙඩ රෝගවලට, කෘමි සතුන්ට මහ පොළොව නොරිද්දා කරන ධාර්මික උපාය උපක්‍රම ඔවුන්ට බොහෝ තිබුණි. එදා මහ පොළොවේ සිටින සියලු ජීවීන්ට අභය දානය දෙමින් ගොවිකම් කිරීමේ විදිය ගොවියා දැන සිටියහ.

ඒ සියලු දැනුම වසන් කරගත යුතු යැයි දන්වා සිටිමින් විජාතික බලවේග රට තුළට වද්දා ගෙන පරිසර හිතකාමී ගොවිතැනට අවසාන ඇණය ගැසීමට එකදාස් නවසිය හැත්තෑ හතේ සිදු වූ දේශපාලන වෙනස ඍජුවම බලපෑවායි කිවහොත් බහුතරයක් දෙනා නියතවම ඊට එකඟ වනු ඇත. රටේ කෘෂි නිලධාරීහු, ප්‍රතිපත්ති සම්පාදකයෝ, දේශපාලඥයෝ එතැන් සිට වෙළෙන්දෝ බවට පත් වූහ. ඉනික්බිතිව සොබා දහමේ නියමුවා වූ පාරිසරික ගොවියා - මහ පොළොව හා ගැටෙන රසායනික ගොවියකු කරවීමේ අති භයානක සංග්‍රාමයකට එකී පිරිස මූලිකත්වය ගති. කොමිස් මුදලට ගිජුව ගොවිකමේ මිහිරියාවෙන් ගොවි දරුවන් ඉවතට ඇද දැම්මේය.

කාලෙකට ඉහතදී අපි කවුරු කවුරුත් පාහේ ආදරය කළ අද අතීත වේදනාවේ නිමිත්තක් වන මුවන්පැළැස්ස, මොණරතැන්න... වැනි රසික හදවත් මුළුමනින්ම දිනා ගත් කතාන්දර අපේ කාලයේ වීර කාව්‍යයන් වැනිය. නමුත් මේ ආදරණීය කතාන්දර හරහා එවූ වෙ‍ෙළඳ ප්‍රචාරණයන් දෙස සිහිබුද්ධියෙන් බලන්නේ නම්, කෘෂි රසායන වෙළඳාමේ ඔවුන් යෙදුණේ ඉතා කූට සහ ලජ්ජාශීලී ලෙසිනි. ඒ නග්න යථාර්ථය බොරු කළ නොහැකිය. මුළු මහත් ගුවන් කාලයම ඔවුන් අරක් ගෙන තිබුණි. එදා ඒ රසවත් හා ගුණාත්මක අව්‍යාජ ජනප්‍රිය කතාන්දරවල ජීවත් වූවේ අහිංසක ගැමි ජීවිතය. ඒ ජීවිත රසික හදවත් තුළ ජීවත් වන්නට විය. රට පුරා රසිකයන් වහ වැටී තිබුණු අඩ හෝරාවකට වඩා වැඩි කාලයක් විකාශනය වූ ගුවන් කතාවේ හැම විරාමයකම කෘෂි රසායන නම් භයානක රාක්ෂයා ගොවි ජීවිත ආමන්ත්‍රණය කළේය.

ඊට සමගාමීව කෘෂි රසායන ඒජන්තයෝ කාසි පණම්වලට වහන්ව ගොවි පවුල්, ගම් බිම් සොයා දුර බැහැර ගමනක යෙදු­‍ෙණ්ය. අඩු පිරිවැයක් සමග වැඩි අස්වැන්නක් යන බොරුව මවා පෙන්වා ගොවියා ගොවිබිමේ අලසයකු කරවීමේ නින්දිත කුමන්ත්‍රණය දියත් කළේය. අවාසනාවට ඒ උපායට ගොවියා පරාජය විණි. ඉකිබිතිව, වසර දහයක් පහළොවක් වන විට, ගොවියා මාරාන්තික බෝ නොවන ව්‍යාධීන්ට ගොදුරු වී දිළිඳුබවින් මිරිකී ලෙඩ ඇඳට වැටුණේය.

අද රජරට බොහෝ පවුල්වල පියවරුන්ගේ වකුගඩු අක්‍රීය වෙමින් තිබේ. තමාගේ ගොවි බිමේම වහලකු බවට පත් වී සිටින්නේ ගොවියා තම භුමිය උගසට තබා සින්න වී ඇති හෙයිනි. කෘෂි රසායන මාෆියාවේ ගොදුර බවට පත් වූ වී ගොවියා කන්නයෙන් කන්නයට ණය කරුවෙකු බවට පත් විය. මිත්‍යාවන්ට සහ රැවටීමට ලක්ව සොබා දහමේ උරුමය රැකගෙන ගොවිකම් කළ රජවරුන් සිය මාහැඟි වෘත්තිය නොදැන, වෙළඳුන්ට පාවා දුනි. නමුත් ගොවියාට කවරදාකවත් ඒජන්තයන් මවා පෙන්වූ රන් අස්වැන්නක් ලැබුණේ නැත. ජාතියටම බත සැපයූ මහ පොළවේ රජවරුන් තම ඥාති සමූහයේම බත් පතට වස එක් කළේය. මුළු මහත් පරිසරයම මලානික විය. මහ පොළොවේ පස් වියැළී ගස්වැල්වල මූල පද්ධතීන් මතුපිටට ආවේය.

වස විස නැති සමාජයක් තැනීමේ තෙවසරක ඇරඹුම හුදෙක්ම අරාජික ගම සජීවකරණය කිරීම වෙනුවෙන්මය. ගම හැර දැමූ සංවර්ධන මාදිලියක් මිහිපිට නැත. ඒ මතයේ දැඩිව එල්බ ගෙන සිටින වස විස නැති සමාජයක් උදෙසා වූ ජාතික මැදිහත්වීම සැබැවින්ම ගම් දනව් හරහා දියත් කිරීම පහසු වී තිබෙන්නේ එල්බ සිටින මතයේ සෞම්‍ය බව නිසාය. ගම්මුන්ගෙන් උදුරා ගත් ආදරය නැවත ගම තුළ ඔද වැඩෙන හැඩ වෙල් එළියට පැමිණෙන සමනලුන්ගෙන්ම ගම්‍ය වෙමින් තිබේ. වස විස නැති ගොවි බිම කරා ඇදෙන ගොවිපළ හිතකාමී බත් කූරන්, සමණළුන්, රෑහියන්... වැන්නන් මවන සංගීතය ගමට ගෙනෙන චමත්කාරය දැන් ගම්මුන්ගේ සිත් සතන් තුළටද රිංගා ගනිමින් ඇත.

දේශපාලන ව්‍යාපෘතියකින් ඔබ්බට ගිය මානුෂිවාදී මැදිහත්වීමක් වස විස නැති රටක් තැනීම යන්නෙන් ගම්‍ය නොවන්නේද? සියලුම සමාජීය සත්වයින්ට එළැඹි සිහියෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට මඟ හදන වැඩපිළිවෙළක් සැබැවින්ම ප්‍රධාන වීම හෝ යාවත්කාලීන වීම ජාතියේ වාසනාවකි.

 

Comments