‘ජල්ලිකට්ටු’ උන්මාදයෙන් ඉන්දියාව හෙල්ලෙයි | සිළුමිණ

‘ජල්ලිකට්ටු’ උන්මාදයෙන් ඉන්දියාව හෙල්ලෙයි

ලෝකයේ ගොන් පොර සඳහා ප්‍රසිද්ධ රට කුමක්දැයි ඇසූ පමණින් කුඩා කල සිටම ඒ ස්පාඤ්ඤය යැයි පැවසීමට අපි දැනුම්වත්වී සිටිමු. එහෙත් අපේ අසල්වාසී ඉන්දියාවේ ද මෑතකදී ගොන් පොර පැවැත්වීම සඳහා මහත්ම පොරයක් පැවැති බව අසා අපි පුදුමයට පත් වීමු. ඒ පොරය සුළුපටු පොරයක් නොවන්නේ පසුගියදා පැවැති ඉන්දීය ජනරජ උලෙළට පවා අවහිර සිදු කරන බවට ගොන් පොරලෝලීන් තර්ජනය කිරීම හේතුවෙනි. ඉන්දියාවේ කුමන දෙයක් වුව උන්මාදයක් මෙන් පැතිර යෑම සාමාන්‍ය දෙයකි. එනිසාම පසුගියදා පැවැති පොංගල් උත්සවයත් සමඟ මේ ගොන් පොර ප්‍රශ්නය දුර දිග ගියේ ලෝකයේම අවධානය ඒ වෙත යොමු කරවමිනි.

අප ගොන් පොර ලෙසින් සරල බසින් හැඳින්වුවද ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ ඉපැරැණි ක්‍රීඩාවක් වන මෙය 'ජල්ලිකට්ටු' හෙවත් 'සල්ලිකට්ටු' ලෙස හැඳින්වේ. එසේම ක්‍රිකට් ක්‍රීඩාව ළඟට වැඩිම ජන ආකර්ෂණයක් දිනා ගත් ක්‍රීඩාවක් වන්නේ ඉන්දීය සංස්කෘතිය හා ද බැඳී ඇති බැවිනි.

පොංගල් උත්සවය

මේ 'ජල්ලිකට්ටු' මහා ක්‍රීඩා උලෙළ පැවැත්වෙනුයේ ඉන්දීය පොංගල් උත්සවයට සමගාමීවය. පොංගල් උත්සවයේ විශේෂ අංගයක් ලෙස, මට්ටු පොංගල් හෙවත් පොංගල් උලෙළේ තෙවැනි දිනයේ දී තමිල්නාඩුවේ ගම් නගර පුරා උත්සවය පැවැත්වේ. තමිල්නාඩු වැසියන්ගේ ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස පැවැත්වෙන 'ජල්ලිකට්ටු' ක්‍රීඩාව සඳහාම විශේෂයෙන් අභිජනනය කළ ගවයන් යොදා ගැනීම මෙහිදී සිදුවේ. අන්ද්‍රා හා කර්නාටක ප්‍රාන්ත ද මේ 'ජල්ලිකට්ටු' ක්‍රීඩාව වාර්ෂිකව පැවැත්වීමෙන් ඒ සඳහා ඉන්දියාව පුරා ඇති උන්මාදය පැහැදිලි වෙයි. එසේම මෙවර ජල්ලිකට්ටු හේතුවෙන් රටපුරා ඇති වූ උද්ඝෝෂණ නිසා සුපුරුදු පරිදි මට්ටු පොංගල් දිනයේ දී උත්සවය පැවැත්වීමට ද නොහැකි විය.

කන්යාගම්

මේ ගොන් පොර සඳහා යොදා ගන්නා ගවයන් ද විශේෂ වර්ගයක සතුන් වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. එම ගවයන්ගේ දිගු අංතට්ටුව සමඟ විශාල මොල්ලියක් ද වෙයි. මේ සඳහා පොදුවේ මෙන්ම බහුලව යොදා ගන්නේ 'කන්යාගම් ' නමැති ගව වර්ගයයි. කන්යාගම් යනු තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 32 න් එකක් වන තිරුප්පූර් දිස්ත්‍රික්කයේ ඇති දැඩි කරන ගව විශේෂයකි. උන්ගේ දෙනුන් ගෙන් ලැබෙන කිරි ‍පෝෂණ ගුණයෙන් අනූන බව ට තමිල්නාඩු වැසියෝ අදහති. තමිල්නාඩුවේ ජල්ලිකට්ටු සඳහා යොදවන ගව විශේෂ හයක් වේ. වැඩි වශයෙන්ම වර්තමානයේ තරග සඳහා යෙදවෙනුයේ අලම්බාඩි වර්ගයයි. උන් සියල්ලම ඉන්දියාවටම ආවේණික සතුන් වීම විශේෂය. මෙලෙස තරගයෙන් දිනන ගවයා වැඩි සැලකිලි ලබමින් පසුකාලීනව තවත් ජව සම්පන්න සතුන් අභිජනනය සඳහා පට්ටි සතුන් ලෙස යොදා ගැනීම සිදුවේ. එසේම එම ගවයන් සඳහා වෙළෙඳ පොළේ ඉතා ඉහළ මිලක් ද ලැබේ.

ජල්ලිකට්ටු හෙවත් ගොන් පොරයේදී සිදු කෙරෙනුයේ තරගකරුවන් ගොන්නක් මැදට මුදා හැරෙන ගවයාගේ මොල්ලියේ එල්ලී ඌ දිනුම් රේඛාව කරා රැගෙන යෑමයි. එසේම ගවයාගේ අං තට්ටුවේ ගැට ගසා ඇති කොඩිය හෝ මුදල් ද ගලවා ගැනීමයි. මහා ජනකායකගේ කෑ කෝ ගැසීම් මැද කුලප්පු වූ ගවයකු මතට නැඟ කණ්ඩායමක් ලෙසින් හෝ තනිව හෝ ඌ මෙල්ල කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් ද නොවේ. පා උඩ දමමින් අං තට්ටුව දිගු කරමින් පිඹිමින් මාරාවේශයෙන් මෙන් දඟලන ගවයා මෙල්ල කර ගැනීමට ඉදිරිපත් වන තරගකරුවන් ඒ භාරධුර කර්තව්‍යයට එක් වන්නේ මුදල් නිසාම නොවේ. ඉන් ලැබෙන කීර්තිය හා වීරත්වය මෙන්ම ඉන් තම ප්‍රදේශයට සෞභාග්‍යය උදාවන්නේය යන සිතුවිල්ල නිසාය.

ස්පාඤ්ඤයේ මෙන් නොව තමිල්නාඩුවේ මේ ජල්ලිකට්ටු ඉතිහාසය වසර දහස් ගණනක අතීතයකට දිව යයි. එහි ආරම්භය ක්‍රිස්තු පූර්ව 400-100 ත් අතර කාලයේ යැයි වාර්තා වේ. නිර්භීතත්වය පෙන්වීමේ ක්‍රීඩාවක් ලෙස ඔවුන්ගේ සංස්කෘතියට එක්වී ඇති මේ ක්‍රීඩාවට පසු කාලීනව නීති රීති ‍බොහොමයක් එක්ව තිබේ. ජල්ලිකට්ටු සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයා ගවයාගේ මොල්ලියේ පමණක් එල්ලී ගවයා මෙල්ල කර ගත යුතුය. ගවයාගේ බෙල්ලේ හෝ අංවල එල්ලී ගවයා මෙල්ල කිරීම තරගයෙන් ඉවත් කිරීමට හේතුවකි. එසේම ගවයා තරගකරුවා බිම දැමීමට කෙතෙක් උත්සාහ දැරුවද අවම වශයෙන් මිනිත්තු තිහක කාලයක්වත් මොල්ලියේ එල්ලී රැඳෙමින් ජයග්‍රාහක සීමාව කරා රැගෙන යා යුතුය.

සත්ත්ව හිංසනය

සෑම තරග අවස්ථාවකදීම එක් තරගකරුවකු පමණක් ගවයාගේ මොල්ලියේ එල්ලී සිටීම ද තරග නීතියකි. ගම් නගර පුරා තරග පැවැත්වීමේ දී මේ නීතිරීති අනුගමනය නොකර ඇතැම්හූ ගවයාගේ වලිගයේ එල්ලී සි‍ටීම මෙන්ම අං තට්ටුවෙන් අල්ලා ගෙල කැරකවීම වැනි සත්ත්ව හිංසන ක්‍රියා සිදු කරති. මේ නිසා සත්ත්ව හිංසාව පිටුදකින්නන්ගේ බලපෑම හේතුවෙන් පසුකාලීනව ජල්ලිකට්ටු සඳහා දැඩි නීතිරීති එක්වීම සිදුවිය. එහෙත් තවමත් ඇතැම් ප්‍රදේශවල තරගය සඳහා ගවයන් යොදවද්දී උන් කුලප්පු කිරීම සඳහා ඇස්වල මිරිස් තැවරීම හා මත්පැන් හෝ මත් ද්‍රව්‍ය පෙවීම වැනි ක්‍රියා සිදු කළ බවට තොරතුරු වාර්තා වේ.

සත්ත්ව හිංසනය පිටු දකින්නන්ගේ දැඩි උද්ඝෝෂණ හා බලපෑම් හමුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගවයන් පොර සඳහා යොදා ගැනීම තහනම් කරමින් 2014 දී නීතියක් ගෙන එන ලදී. එයට ගව පොරලෝලීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. දැඩි උද්ඝෝෂණ නිසා යළිත් තහනම ඉවත් කරමින් යළි තහනම් කරමින් වරින් වර ගව පොර නැවැත්වීම සඳහා නීතිරීති ගෙන ආවද දැඩි විරෝධතා හමුවේ ඒ නීතිරීති ඉවත් කිරීමට රජයට සිදුවිය. එසේ වුවද 2016 ජනවාරි මසදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යළිත් ජල්ලිකට්ටු තහනම් කළේය. එම තහනමට හේතු ගණනාවක් මුල් විය. ප්‍රාන්තය පුරා ගමක් ගමක් පාසා ජල්ලිකට්ටු පැවැත්වෙද්දී දහස් ගණන් ජනයා එය නැරැඹීමට පැමිණෙති.

එහිදී කුලප්පු වූ ගවයන් නිසා ඇතැමුන් තුවාල ලැබිම එක් හේතුවකි. එසේම ගව පොර සඳහා යෙදවෙන ගවයා නොමැරුණත් ඌ හිංසාවට ලක්වීමය. මේ සියල්ලටම වඩා ගව පොර නිසා තරුණයන් සිය ගණනක් මේ වනවිට මිය ගොස් සිටීමය. එක් වසරක පමණක් මෙලෙස මිය ගිය තරුණයන් සංඛ්‍යාව 20 ඉක්මවීය. එලෙස තහනම් කෙරුණු ජල්ලිකට්ටු සඳහා නීත්‍යනුකූලව අවසර ඉල්ලමින් තමිල්නාඩුව පුරා දැඩි විරෝධතා ආරම්භ විය. එම උද්ඝෝෂණවල උත්සන්නම අවස්ථාව වූයේ මේ ජනවාරි 08 වැනිදා මුළුමහත් තමිල්නාඩුව පුරාම ගව පොරවලට පක්ෂව දීර්ඝ උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වීමය.

ගව පොර නීතිය

ආසියාවේ දෙවැනි දිගුම වෙරළ තීරය වන ඉන්දියාවේ මරීනා වෙරළ තීරයට පසුගියදා මහා ජන ගංගාවක් ගැලුවේ මේ ගවපොර තහනම ඉවත්කරන ලෙස ඉල්ලමිනි. එම විරෝධතා සඳහා සරසවි සිසුන් මෙන්ම ප්‍රාන්තයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේද සහාය නොමඳව ලැබිණ.

පල්ලිවල කෝවිල්වල මෙන්ම ප්‍රාන්තයේ තැනින් තැන ‍ගව පොර සඳහා සහාය දෙමින් පුද පූජා ද ආරම්භ විය. ජල්ලිකට්ටු තහනම නිසා රටට ආවේණික ජවසම්පන්න ගවයන් වඳවීමේ තර්ජනයට ලක්වෙතැයි ද ජල්ලිකට්ටු සඳහා ගවයන් ඇතිකරන්නෝ පවසති.

ගව පොර ඉල්ලා කෙරෙන උද්ඝෝෂණවලට සහාය දෙමින් තමිල්නාඩු මහ ඇමැති පනීර්සෙල්වම් ගව පොර නීත්‍යනුකූල කරන බවට ජනතාවට පොරොන්දු දුන්නේය. මේ සියලු උද්ඝෝෂණ හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවසානයේ පසුගියදා යළිත් ගව පොර පැවැත්වීම සඳහා තවකාලිකව අවසර දුන්නේය. එහෙත් ගව පොරවලට පක්ෂ උද්ඝෝෂකයන් ඉල්ලන්නේ තවකාලික අවසරය නොව ගව පොර නීතිගත කරන ලෙසය.

ඒ ය‍ටතේ පළමු නීත්‍යනුකූල ජල්ලිකට්ටු තරගාවලිය ලබන පෙබරවාරි මස පළමු වැනිදා ඉන්දියාවේ දෙවැනි විශාලතම ජනගහනයක් වෙසෙන මදුරෙයි දිස්ත්‍රික්කයේ අලන්ගනලූර්වලදී පැවැත්වේ. තරගය පැවැත්වෙද්දී නීතිරීති දැඩි කරමින් රජය මගින් විශේෂ ආරක්ෂක විධිවිධාන ගණනාවක්ම යොදා තිබේ.

ස්පාඤ්ඤ සංස්කෘතිය හා එරට අනන්‍යතාව පෙන්වන සම්ප්‍රදායික උත්සවයක් වන ගව පොර ලෝකයා හඳුන්වන්නේ blood sport හෙවත් රුධිරය හා කරන ක්‍රීඩාවක් ලෙසිනි. ස්පාඤ්ඤය පමණක් නොව ලතින් ඇමෙරිකානු රටවල් වන මෙක්සිකෝව, කොලොම්බියාව, ඉක්වදෝරය හා වෙනිසියුලානු ජනතාව ද මේ ගව පොර මහත්සේ ප්‍රිය කරති. අපේ අසල්වැසි රටේ ද ලබන මස පළමු වැනිදා පැවැත්වෙන පළමු නීත්‍යනුකූල ගව පොර තරගවලින් පසු ජල්ලිකට්ටුවල ඉදිරි පැවැත්මේ ඉරණම තීන්දු වනු ඇත.

Comments