
‘මින්නේරියට මං ආවෙ ඇඳං හිටපු සරමයි, අත් දිග මේස් බැනියමයි පිටිං, වෙන නූල්පොටක දෙයක් මට කියල තිබ්බෙ නෑ‘ යි අප පියා නිතර කීවේය. ‘සතියකට දෙහෙකට සැරයක් සරම හෝදල වැල්ලෙ වනල ඒක වේළෙන කං මං මින්නේරි ඔයේ බැහැගෙන හිටිය’ යි ද ඔහු පැවසුවේය.
‘අපි හොඳ පරම්පරාවක උදවිය’ ආදී වශයෙන් කියමින් ඔහු කිසිදා වංසෙ කබල් ගෑවේ නැත. ‘අපි ගමේ හිටපු අන්ත දුප්පත් මිනිස්සු, මෙහෙ ආවෙ නැතිබැරිකමට. අපේ තාත්ත ගමේ හිටපු මැරයෙක්, අපේ ගමේ හිටපු යමක් කමක් තිබිච්ච මහත්තයෙක් අපෙ නංගිව බඳිනව කිය කිය රවට්ට රවට්ට හිටිය. වාසියකට තිබ්බෙ කුෙල් ගොයිගම වෙච්ච එක විතරයි. ඒත් ඒක කන්නයැ’ යි කියමින් අප පියා අපට අපේ පරම්පරා ඉතිහාස කතාවේ එක් පරිච්ඡේදයක් කියා දුන්නේය. ‘අන්තිමේ ඒකිට වුණේ හරි උප්පැන්න නැති එවුං එකෙක් දෙන්නෙක් හදපු එක විතරයි’.
ඔහු දරුවන් ඔඩොක්කුවට ගෙන හිස අතගාමින් ආදරය දැක් වූ හෝ අවවාද දුන් පියෙක් නොවීය. එහෙත් සිය අතීතය දුවාදරුවන්හට සිහිපත් කර දීම අතින් ඔහු ඉහළම තැනක සිටියේය. ඔහු අපට දුන් ප්‍රධාන අවවාදයක් මෙසේය. ‘මං ඉස්කෝලෙ ගියෙ දෙකේ පංතියට විතරයි. ගෙදර කන්නවත් දෙයක් නැතිකමට මං ගමෙං පැනල ගිහිං කොළඹ බජාර්රෙකේ කඩවල්වල අරෙහෙ මෙහෙ වාල් වැඩ කරා’.
‘ඒ ඔක්කොම එපා වෙලා අන්තිමේ මින්නේරියට ආව. ඉම්පස්සෙ තමයි මේ ගේ දොර, හරක බාන ඔක්කොම මායි උඹලෑ අම්මයි, මින්නේරි දෙයි හාමුදුරුවන්ටයි ඩී. ඇස්. උන්නැහැටයි පිං අයිති වෙන්ඩ, පොළෝ මත්තෙ නැහිල හදා ගත්තෙ, උඹලට ඉගැන්නුවෙ කරේ. ‘දැං උඹල දෙයියනේ කියල, උඹලෙඟ උඹලගෙ හයියෙං ඉදිරියට පලයල්ල.’.
බෙදුණු සමාජයක එක්වීම
පීඩාවෙනුත්, පීඩාවට පත්ව සිටි අඩු යැයි සම්මත කුලවල ජනතාවද මින්නේරියට අවුත් තමන්ගේ කිසි අඩුවක් නැති බව මදි නොකියන්නටම පෙන්නා දුන්නහ. මින්නේරිය පීඩිතයන්ගේ හා දුක් උසුලන්නන්ගේ ජය බිම විය. මුලදී ඔවුන්ට වාඩි වන්නට බංකු දුන් උදවියට වැඩි කල් නොගොස් ඔවුන් ඉදිරියේ බිම වාඩි වෙන්නට සිදු වෙන්නට නියමිතව තිබිණ !
මින්නේරිය ජනපදයේ මුල් පදිංචිකරුවන්ගේ සංයුතිය පිළිබඳ කදිම විවරණයක් ආරියවංශ අබේසේකර ඉදිරිපත් කරයි. ඔහු පෙන්වා දෙන පරිදි මින්නේරියේ මුල්ම පදිංචිකරුවන් කුලක 04කට අයත් වේ. එනම්, 1. නව ලොවක් සොයා පැමිණි උදවිය, 2. සිය ගම් ප‍්‍රදේශයන්හිදී ප‍්‍රචණ්ඩ හැසිරීම් පළ කළ උදවිය, 4. අන්ත පීඩිතයන් සහ 4. දිස්ත‍්‍රික්කය තුළම පැවැති පාරම්පරික ගම්වලින් තෝරා ගැනුණු උදවිය යනුවෙනි.
ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස පෙන්වා දෙන්නේ ඒ අතර සිටි ප්‍රචණ්ඩ පුද්ගලයන් වෙස් වළාගත් ආශීර්වාද සේද වී ඇති බවයි. ඔවුහු සිය ගමේ සිට පැමිණි පදිංචිකරුවන්ගේ ගැලවුම්කාරයන් ලෙස කටයුතු කර තිබේ. මේ සඳහා නිදසුනක් ලෙස ඔහු ගන්නේ ඔහුගේම පියාවය. ‘අලි, කොටි එක්ක හැප්පෙන්ඩ එහෙම මිනිස්සු නැතුව බෑ, උං හැදිල එයි’ වැනි මත ඩී. එස්. විසින්ද ප්‍රකාශ කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
‘කොත්මලේ එවුංගෙ කොහොල්ලෑ කැඩුෙණ් මින්නේරියෙදි’ යන කතාවද හරි ප්‍රසිද්ධය. කතාව නිර්මාණය කළේද වෙන කවුරුත් නොව, එවැනිම වූ සහෝදර පීඩිතයන්මය. ‘හැබෑව නං, ඔය කාගෙ කාගෙත් කොහොල්ලෑ කැඩුනෙ මින්නේරියෙදි කියන එකයි’. ඒ කාලේ පැමිණි උදවිය පිළිබඳව හෙන්දිරික් මාමාගේ අදහස එහෙමය. සැබෑව නම්, තෙත් කලාපයට වී, වංශෙ කබල් ගගා, අල්ලක් තරමේ ඉඩම්වල ගල්අන්නාසි වැටවලට මරා ගනිමින් සිටි අයත්, බණ්ඩාර වලව්වල ප‍්‍රවේණි දාසකම් කරමින් සිටි අයත්, ‘මින්නේරියට ගිහිං අලි, කොටි, වළස්සු, නයි, පොළොංගු එක්ක ඔට්ටු වෙන එක දාහෙං සම්පතයි’ කියා මැරෙන්නට හෝ බලා ගෙන මෙහි ආ බවය.
අමරනාත් ජයතිලක නම් වූ සිනමාවේදියා ‘අරුණට පෙර’ නම් වූ සිනමා කෘතිය ලෙසින් ඒ කඳුළු කතාව යම් තරමකට ඉතිහාසයට එක් කොට තිබේ. පොතක් පතක්, ගීතයක් ලියා ගෙන මෙලොව සිටින තාක් කල් හෘදය සාක්ෂියට එකඟව ඉඳ, අන්තිමේ මිය ගිය පසු සිය මළකඳ ඉගෙන කියා ගන්නා අයගේ ප්‍රයෝජනය සඳහා වෛද්‍ය විද්‍යාලයට දන් දුන් අතිශය ප‍්‍රවීන ලේඛයෙක්ද එවැනි පොතක්, නවකතාවක් ලියා තිබේ. ඔහු නම් මඩවල එස්. රත්නායකය, පොත ‘අක්කර පහ’ය. එය එනමින්ම, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් සිනමාවට නැඟිණ. ඒවා බලද්දී මට මැවී පෙනුනේ එක එකාට යටත්ව, අතපල්ලෙන් වැටුණු ගානට ඉන්ට බැරිකමට - වාසනාව සොයා - අපේ අම්මලා තාත්තලා මින්නේරියට පැමිණ ඇති හැටිය.
එය නිදහස සොයා ආ ගමනකුත් වාගේය. ‘ඇයි හද් දෙයියනේ, අත පය දිගෑරල දෙයියනේ කියල නිදහසේ ඉන්ඩ ඉඩක් ඒ ගම්වලදි ලැබිල නෑනෙ.’.
අලුත් ලෝකය
‘අරුණට පෙර’ කතාව ඔවුන් සම්බන්ධයෙන් වඩාත් සමීපය. තෙත් කලාපයේ අඳ ගොවියෙකු වූ එහි කතා නායකයා සහ පවුල මෙහි එන්නට පෙර වින්දේ බලුදුක්ය. ඉඩම් හිමියාට කඹුරනවා ඇර වෙන දෙයක් කුඹුර කිරීමෙන් සිදු නොවන බව තේරුම් ගත් ඔහු රැකියාවක් සොයා දුරක යයි. එහිදී නොකළ වරදකට අසු වී ඔහු සිරගත වී සිටිද්දීම බිරිඳ දරු උපතකදී මිය යයි. දරුවන් මෙලොව තනි වේ. උපදින්නට සිටි ඒ දරුවා ඉඩම් හිමි වලව්වේ නිලමේ සමඟ රහසේ සිට හදා ගත් අවජාතකයෙක් බවට කතා පැතිර ගොස් ඒ මව ජීවත්ව සිටිද්දීද මැරි මැරී ඉපදේ. අන්තිමේ දරු ප්‍රසූතියේදී ඇය අවසන් ගමන් යන්නටද ඒ මානසික අවපාතය හේතු වන්නට ඇත. කතා නායකයා හිරෙන් නිදහස් වී එද්දී සියල්ල සිදු වී හමාරය.
අප පියා අයත් වන්නේ නව ලොවක් සොයා පැමිණි කුලයකටය. ඔහු මුලින්ම මෙහි පැමිණ තිබෙන්නේ වනය කැපීමේ ෙකාන්ත්‍රාත්්තුවක් ගෙන සිටි මුදළාලි කෙනෙකුගේ ලී වාඩියේ අත්උදවුකරු ලෙසිනි. පසුව කාලයාගේ ඇවෑමෙන්, ඔහුද කොන්ත්‍රාත්්කරුවෙකු වී ඇති අතර ඉඩම් ලබා ගොවිතැනට බැස ඇත්තේ පසු කළෙකය. ඉන් පසුවද කලක් යන තෙක් කොන්ත‍්‍රාත් වැඩ අත් හැර නැත. එහෙත්, මට මතක ඇති කාළය වන විට ඔහු ඒ සියල්ලෙන් ඈත්ව මහපොළොව මත්තේ නැහෙන පුර්ණකාලීන ගොවියෙකු බවට පත් වී සිටියේය.
2000 වසරේ අගෝස්තු මාසයේ හිඟුරක්ගොඩ පැවැති මාරාන්තික උපවාසයට සහභාගි වී, ගොවි දුක රටටම පෙන්නා දුන් ගොවිරජ හරමානිස් සිය මුල් ගමේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී මින්නේරිය කරා පැමිණි පුද්ගලයෙකුට හොඳ නිදසුනකි. ඔහු මුළින්ම සම්බන්ධ වූයේ කැළෑ පාටියට වූ අතර, ඉඩම් ලබා ගොවිතැනට බැස ඇත්තේ තරමක් පසු කාළෙකය.දිස්ත්‍රික්කය තුළම පිහිටි ගම්වලින් තෝරා ගත් පිරිසකට හොඳම නිදසුන වන්නේ තළා කොළවැව ගම්මානයෙන් තෝරා ගත් පිරිසයි. හිඟුරක්දමන, හතේකනුව ගම්මානය පුරාම පාහේ සිටින්නේ එහි සිට පැමිණි පිරිසයි.
එදා මෙහි පැමිණි අපේ අම්මලා, තාත්තලා, සීයලා, ආච්චිලා වින්ද දුක් මෙලෝ යකෙක් විඳ නැත. ලොරිවලින්, ට්‍රක් රථවලින් ජනතාව ගෙනැවිත් දමා යන්තම් මඩු අටවා දී, පාන් පිටි, හාල්, සිල්ලර ටිකක් දමා ගියාට නිලධාරි පුළුටක් ආසාවට වත් දකින්නට නැතිව සති ගණන් ගෙවී ගියේය. ඔවුන් වැඩිපුරම කෑවේ අද ඔවුන්ගේ මුනුපුරු මිනිපිරියන්හට නම් හිතා ගන්නට වත් බැරි තරමේ පොල් රහිත රොටීය. පාන්පිටිවලට වතුර හා ලූණු දමා අනා කබලේ දමා රත් කර ගත් රොටීය. එද ටික දිනෙකින් හමාර වීය. අලි, කොටි, වලසුන්ගේ රුදුරු දත් පෙනි පෙනී, කන්නට දෙයක් නැතිව කැළෑ කොළ තම්බා කා පණ කෙන්ද රැක ගත් අය ගැනද විස්තර මින්නේරියේ නව වංශ කතාවට ලියන්නට සිදු වී තිබෙන්නේ එබැවිනි. මැදිරිගිරියේ, ‘කොළකනාවාඩිය’ට ඒ නම ලැබුණේ එහි පැමිණි නව ජනපදිකයන් කෑමට දෙයක් නැතිව කොළ වර්ග තම්බා කමින් දිවි රැක ගත් නිසා බව කියති. එක් අතකින් එය ඉන්දියාවෙන් වතු කම්කරුවන් ගෙන ආ වග විස්තරයට තරමක් සමාන වේ. රැය ගත කරන්නට කුප්පි ලාම්පු පොඩියක් හෝ නොවීය. සියල්ල කර ගන්නට සිදු වුණේ ගිනිමැල එළියෙනි. එය විදුලි බුබුළු එළියෙන් පාඩම් කටයුතු කරන අද පරපුරේ දරුවන්ට නම් හිතා ගන්නට වත් බැරි තත්ත්වයකි.
යමක් කමක් තිබූ කිසිවෙක් ඒ ප්‍රශ්න මැද්දේ කාගෙන ඉන්නට මින්නේරියට ආවේ නැත. ඒ වෙනුවට වුණේ පැමිණි උදවියගෙනුත් වැඩි හරියක් ආපසු යන්නට දැඟලීමයි. ‘මේ මේ මලය, යන්ඩ එපා, අපි ඉන්නවනෙ උඹත් එක්ක. අපි කොහොම හරි කා ගෙන ඉම්මු බං. ටික දොහක් යද්දි ඔක්කොම හරියයි’ යි කියමින් ඒ යන අය නවත්තා ගන්නට එක හිත් හිතාන සිටි අය පින්සෙන්ඩු වූහ. කිව්වා පමණක් නොව ඒ අයට කන බොන දේ දී ඉඩම් රැක දීම පවා කර දෙන ලදී. කරදණ්ඩ උහ ගිය දැරිවියන් හිටියා නම් සහේට දීම්ද සිදු විය. හේතුව හොඳටම පැහැදිලිය. අමුතුවෙන් පිරිස් ඒමේ ප්‍රවණතාවක් ඒ මුල් කාළයේ කොහෙත්ම නොවීය. ආපසු ගිය උදවිය පතුරුවා හරින ආරංචි කිසිසේත් සුබවාදී නොවීය. ‘කපුටො තරමෙ මදුරුවන්ට’ කියා විද්දා ගෙන මැලේරියාව හදා ගෙන එළොව යන්නට වුව සූදානම් අය ඉන්නේ කොහේද? ආපු කෙනා නවත්තා ගැනීම හොඳම ක‍්‍රමය විය. අඩුව තිබුනේ කට්ට කාගෙන ඉන්නට පේ වුන දහිරියවන්තයන්ගේය. හූවක් ඇහෙන මානේ තව මනුස්ස පරාණයක් ඉන්නා බව හිතේ තිබීම පවා හිතට ලොකු ගැම්මක් විය. ‘නයෙක්, පොළෙඟක් දෂ්ට කලාට පස්සෙ නැත්තං වළහෙක් මූණ බරු ගැහුවට පස්සෙ අඩු ගානෙ පණ කෙන්ද හැංගෙන්ඩ ඉස්සෙල්ල බේත් උගුරක් බී ගන්ඩ වෙදෙක් ගාවට උස්සං යන්ඩ කෙනෙක් නැති වෙන තරම් තනි වීමක් ගැන හිතන්ඩ වත් කවුරුත් කැමති වුණේ නෑ’ යි හෙන්දිරික් මාමා නිතර කීවේය. ඒ වාතාවරණය හොඳහැටි දැන ගනිද්දී මට කල්පනා වුණේ ‘මේ මුළුමහත් විශ්වයේ වෙන කිසිම ග්‍රහලෝකයක දියුණු ජීවීන් නැද්ද? අපි ඇත්තටම තනි වෙලාද?’ යන ප්‍රශ්නයයි.
මින්නේරිය දෙවියෝ
හිඟුරක්ගොඩ, ඩීී.එස්. සෙනානායක වීදියේ පිහිටි, කැන්ඩි ස්ටෝර්ස් හිමිකාර ඩබ්.ඒ. විජේදාස නව ලෝකයේ වෙළෙඳාම සඳහා මින්නේරියට පැමිණි පුද්ගලයෙකු සඳහා හොඳ නිදසුනකි. ඔහු නගරයේ ප්‍රථම වෙළෙඳ සංගමයේ භාණ්ඩාගාරික තනතුරද කලක් හොබවා තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ බෞද්ධසාර පුස්සේවලද ජනපදයේ ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණියෙකි.
ජාති, කුලමල හෝ ආගම් භේද කොහොමටත් එකල මින්නේරියේ නොවීය. වාසනාව උර ගා බලන්නට නැති බැරි සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ගොවිගම, කරා, හාලි, රදා, පදු කවුරුත් ආහ. ඔවුහු එකපතේ කා ගෙන, එකට හෝ කරට කර සිටියහ.
ඒ වෙද්දී මෙහි ඇතිව තිබූ තත්ත්වය තේරුම් ගන්නට ඉවහල් වන කදිම ප්‍රකාශයක් සොයුරු ලේඛක ආරියවංශ අබේසේකරයන්ගේ ‘මතක වත’ ග්‍රන්ථයේ එයි. ඒ මෙසේය.
‘කැඳ හැළියක්ද හත් මාළුවක්ද මං දන්නෙ නෑ. හැබැයි මට නං පේන්නෙ මේක බේරුවල් බොක්ක වගෙයි. මේකෙ රදවත් අප්පුහාමි, රොඩියත් අප්පුහාමි, අප්පුහාමිත් අප්පුහාමි. ඌටත් හතරයි, මූටත් හතරයි...’.
මේ වෙද්දී ඒ කතාව සියේට දෙසීයකින් ඇත්ත වී තිබේ. ආවාහ විවාහ ආදියේදී වත් කුල මල මායිම් කිරීමක් මින්නේරියේ ඇත්තේම නැති තරම්ය. එය සැබෑම සංහිඳියාවක් නොවේද?
‘පළමු මහ කොලණිය’ ග්‍රන්ථය ඇසුෙරන් සකස් කළේ