උපාධි ලබා බිස්නස් කරමින් බැංකු කඩන ධනවත් පුත්තු | සිළුමිණ

උපාධි ලබා බිස්නස් කරමින් බැංකු කඩන ධනවත් පුත්තු

 බිබිල මැදගම ලංකා බැංකුවේ ඒ.ටී.එම්. කුටියේ සේප්පුව බිඳ මුදල් සොරාගෙන සැඟව සිටි පුද්ගලයින් සිවු දෙනෙකු රුපියල් 4796550ක මුදලක් සමඟ අත් අඩංගුවට ගෙන ඇත. ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක්, ගෑස් සිලින්ඩර් දෙකක්, ආයුධ කිහිපයක් ද ඒ සමගම පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.

බැංකුවේ කළමනාකාරිනිය ඒ.ඩී.එස්.එස්. ප්‍රනාන්දු මහත්මිය සහ තවත් පුද්ගලයකු පසුගිය 22 දින උදෑසන බැංකු පරිශ්‍රයට පැමිණියේ එදින සිදුකිරීමට නියමිත ශ්‍රමදානයකට සහභාගි වීමටය. ඒ.ටී.එම්. යන්ත්‍රයේ කුටිය කඩා ඇති අයුරු ඔවුන් දැක ඇත්තේ ඒ අවස්ථාවේය. පසුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු බැංකුවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණයකදී සි.සි.ටී.වී. කැමරාවේ තිබී පසුගිය 20 දින සිකුරාදා රාත්‍රී සොරුන් බැංකුවට ඇතුළුවන අයුරු ඇතුළත් දර්ශන සහ රුපියල් ලක්ෂ 58ක් අතරුදන්ව ඇති බවට තොරතුරු සොයා ගත හැකි විය. පසුගිය 20 වැනි දින රාත්‍රි 9.30ට පමණ පුද්ගලයන් දෙදෙනකු බැංකුවට ඇතුළු වන අයුරු අැතුළත් දර්ශන අසල වෙ‍ෙළඳ සලක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත්තේය. ඒ.ටී.එම් කුටියේ සේප්පුව බිඳ එහි තිබූ මුදල් රඳවන රාක්ක තුනක් ද සොරුන් රැගෙන ගොස් ඇති බව ද සොයාගැනීමෙන් අනතුරුව පොලිස් සුනඛයන් යොදා දවස පුරා පරීක්ෂණ සිදු කළත් කිසිදු හොඩුවාවක් නොමැති විය.

මොනරාගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත, මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී එස්.එන්.ජේ. සමරනායක යන මහත්වරුන් විසින් සැකකරුවන් සෙවීමේ වගකීම මැදගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාට පවරා තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයා සී.සී.ටී.වී. කැමරාවේ තිබී සොයා ගත් අපැහැදිලි දසුන් සහිත ජායාරූප මුද්‍රණය කර සොරුන් සොයා දෙන්නැයි සඳහන් අත් පත්‍රිකා එදිනම ප්‍රදේශය පුරා බෙදා හරිමින් මහජන සහාය පැතීය. පසුදින එනම් 23 වැනි දින මැදගම පොලිස් ස්ථානාධිපතිවරයා ට යම් දුරකථන ඇමතුමක් ලැබුණේ බිබිල ප්‍රදේශයෙනි. ඒ තොරතුරෙන් කියැවුණේ මෝටර් රථයක පිටුපස ගෑස් සිලින්ඩර් ද දමාගෙන සැක කටයුතු අන්දමින් හැසිරෙන පුද්ගලයන් සිවුදෙනකු පිළිබඳය. එම පුද්ගලයන් බිබිල නගරය ආසන්නයේ ගරාජයක් අසල සිටින අන්දමත් එම මෝටර් රථයේ ජායාරූපයක් ජංගම දුරකතනයෙන් ලබා ගත් බවක් ද දුරකථන ඇමතුම දුන් පුද්ගලයා පවසා තිබේ.

තොරතුර ලබාදුන් අයගෙන් ජායාරූප ලබාගත් පොලීසිය එතැන් සිට එම ජායාරූපයේ වූ මෝටර් රථයේ අංකය ඔස්සේ දිගින් දිගට පරීක්ෂණ පැවැත්වීය. එදින රාත්‍රී මැදගම නගරයේ එම අංකය දරන මෝටර් රථය නවතා තිබූ බවට නගරයේ වෙළදසලක සී.සී.ටී.වී. කැමරාවක ද සඳහන් දර්ශනවලින් සොයාගෙන තිබිණ. මෙනිසා එම රථය සොරකමට සම්බන්ධයක් තිබිය හැකි යැයි සිතා ඒ ඔස්සේ පොලිස් පරීක්ෂණ ආරම්භ විය. පසුව පොලීසිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරුවලින් හෙළි වී ඇත්තේ වාහනය මීගමුව ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකිස් කුලී පදනම මත ලබාගත් රථයක් බවයි.

ඉන්පසු මැදගම පොලිස් ස්ථානාධීපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් 24 වැනි දින මීගමුව, ආනමඩුව, බලන්ගොඩ සහ වැලිමඩ මිරහවත්ත යන ප්‍රදේශවලදී සැකකරුවන් හා මුදල් අත් අඩංගුවට ගෙන තිබේ.

ආනමඩුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් එක් සැකකරුවකු ධනවත් ව්‍යපාරිකයකුගේ පුත්‍රයකු වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යලයකින් ඉංග්‍රිසි විෂය පිළිබඳව උපාධියක් හදාරා ඇත්තෙකි. ජපන් භාෂාව අැතුළුව තවත් භාෂා හයක් චතුර ලෙස කතා කළ හැකි ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු බවද කියයි.

මේ සොරකමේ ප්‍රධාන මෙහෙයුම්කරු වන යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ සේවය කර තිබෙන සැකකරුට ලංකාවේ විවිධ පළාත්වල අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක් ද ඇත. ඔහු දිවයින පුරා බැංකු බිඳ මුදල් සොරා ගැනීම් සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකි. බළන්ගොඩින් අත්අඩංගුවට ගත් සැකකරු බැංකු කැඩීමට හා සොරකම්වලට යන වාහනයේ රිය­ැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාය. වැලිමඩ මිරහාවත්ත පදිංචි සැකකරු ව්‍යාපාර හිමි ධනවත් පවුලක අයෙකි. අත් අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී සොරකම් කොට සමසේ බෙදා ගෙන තිබූ රුපියල් හතළිස් හත් ලක්ෂ අනු හය දහස් පන්සිය පනහක මුදලක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ දින රාත්‍රියේ බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළුවී ගෑස් ලාම්පුවකින් පැය පහක පමණ කාලයක් තිස්සේ සේප්පුව කපා මුදල් රාක්ක තුනක් ගෙන ගිය බව අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ. බැංකුවෙන් සොරාගෙන ගිය බවට සැක කෙරෙන ඉතිරි මුදල් ද සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. මැදගම පොලීසියට පැමිණිල්ල ලැබී දින තුනක් ගතවීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගන්නට ලැබීම විශේෂයකි.

ඌව පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ජයසිංහ, මොනරාගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත, මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී ඩී.එම්. තිලකරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මැදගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න, මැදගම පොලීසියේ උප පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් 43153 ආනන්ද, කොස්තාපල් 13645 හේරත්, 66510 සෝමසිරි, 78745 නිශාන්ත, 84646 සමීර, 15877 දිසානායක යන නිලධාරීහූ සැකකරුවන් අත් අඩංගුවට ගත්හ. මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීමට සහභාගි වී තිබේ.

 

Comments