ආනන්ද හිමි දුටු සර්පයා! | සිළුමිණ

ආනන්ද හිමි දුටු සර්පයා!

 ඇතුවත් බැරි නැතුවත් බැරි බොහෝ දෑ අපට තිබේ. ජීවිතයට කරදරයක්, බරක් එක්කරන ඒ ඇතැම් දෑ අප ළඟා කරගන්නේ ඒ නිසා උද්ගතවන ගැටලූ ගැන හොඳින් දැන දැන ම ය. නිදසුනක් වශයෙන් සුරතල් සත්ත්වයකු, සුනඛයකු ඇතිදැඩි කිරීමට යොමු වන අපි ඒ සත්ත්වයා නිසා ම බොහෝ ගැහැට විඳිමු. දුක් පීඩාවනට ගොදුරු වෙමු. ආර්ථික වශයෙන් ද ඔරොත්තු නොදෙන තරමින් පාඩු ලබමු. එහෙත් කිසියම් හේතුවක් නිසා, එසේ නොකර බැරි මානසිකත්වයක් කොහෙන්දෝ අපට ආරෝපණය වී තිබේ. අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් මේ ස්වභාවය විමසීමේදී කුටුම්බය, දරුවන් ලැබීම, දරුවන් පෝෂණය කිරීම ආදිය ඇතුළත් කළ හැකි වන්නේ ද මුලින් දැක්වූ කරදර ගොන්නට ම ය. එහෙත් කරදර කරට ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවක් ද මිනිස් සිත්සතන් තුළ සැඟව පවතී. මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු වී ඇත්තේ ද ඒ ඔස්සේ ය. ජීවිතය කියන්නේ එයයි.

‘ජීවිතය’ යනු කුමක් ද යන්නට පරිපූර්ණ පිළිතුරක් සොයා ගත හැකි නැත. ජීවිතය යනු අප ඉල්ලාගත් දෙයක් නොවේ. අපට ලැබුණු දෙයකි. මිනිසකුට ජීවත්වීම සඳහා ධනය අවශ්‍ය ය. බුදුදහමට අනුව ධනය යනු අවශ්‍ය කරදරයකි. ජීවිතය පවත්වා ගෙන යෑමට මෙන් ම ප්‍රීතිය, සුඛවිහරණය සඳහා ද ධනය ඕනෑ වෙයි. ධනය බරපතළ ප්‍රශ්න උද්ගත කරන්නේ ඒ හේතු කොටගෙන දූෂිත, නපුරු හා අතෘප්තිකර මිනිසකු බිහිවන අවස්ථාවන්හිදී බව ය, බුදුදහම පෙන්වා දෙන්නේ. ධනයේ උපයෝගීතාව, ධනෝපායන මාර්ග පිළිබඳව මෙන් ම ධනයේ ආදීනව පිළිබඳවත් විස්තර වන ප්‍රකට සූත්‍ර දේශනා ද තිබේ.

ජීවිතය යනු අප පැටළී සිටින උගුලයි. බුදුදහමේ ද තරමක් වෙනස් වචනවලින් මේ තත්ත්වය විග්‍රහ කෙරෙයි.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරත සමාජය තුළ තහවුරු ව පැවැති රාජ්‍යපාලනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් ද බුදුන්වහන්සේගේ අවධානය යොමු වූ බව මේ ඇතැම් සූත්‍ර දේශනාවලින් ප්‍රකට වෙයි. සාර්ථකත්වය සඳහා වෙළෙඳාමට (වෙළෙන්දාට) බලපාන කරුණු තුනක් එහිදී අවධාරණය වී තිබේ. ඒවා නම් චක්ඛුම (භාණ්ඩය මිලදී ගත් මුදල, එය විකිණු මුදල හා ලාභය දැනගැනීම) විධුර (මිලදී ගැනීම හා විකිණීම පිළිබඳ විචක්ෂණභාවය) නිස්සයසම්පන්න (මේ වෙළෙන්දා මිතුරෙකි, ඔහු විචක්ෂණ ය. නිසිකලට පොලී මුදල් ගෙවයි. යනාදි වශයෙන් වෙළෙන්දා කෙරෙහි ඇතිවන විශ්වාසය) යන මේවායි. මේ අවධාරණයන් සඳහන් වන්නේ අංගුත්තර නිකායේ ය. ඒ අනුව මිලට ගැනීමේ ශක්තිය, ශුද්ධ ලාභය පිළිබඳ හැඟීම, මූල ධනය පිරිමසා ගැනීමේ මාර්ගය, පාරිභෝගිකයා තෘප්තිමත් කරන සුලූ සේවා සැපයුම් හා වෙහෙස වී, කැප වී වැඩ කිරීම යන ගුණාංග පහ වෙළෙන්දා සතුව පැවතිය යුතු බව ය, ඉන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

බුදු දහමේ ආර්ථික විග්‍රහය කෙරෙහි නූතන දේශපාලනඥයන් කොතරම් නම් උනන්දු සහගත විය යුතු දැයි විශේෂයෙන් සිතන්නට අනුබල දෙන සූත්‍ර දේශනා ද තිබේ. දීඝනිකායේ සංග්‍රහ වී ඇති කූටදත්ත සූත්‍රය සහ චක්කවත්ති සීහනාද සූත්‍රය ඒ අතරින් ප්‍රමුඛ ය. ආර්ථික කටයුතු විෂයයෙහි රාජ්‍ය වගකීමත් රජයේ මූල්‍ය ප්‍රතිපත්ති ජනතාව කෙරෙහි බලපෑම් කෙරෙන ආකාරයත් විදහා දක්වන අතිවිශේෂ සූත්‍රදේශනා ලෙස නම් කළ හැකි වන්නේ ඒවා ය.

කූටදත්ත සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහාවිජිත නම් වූ රජකු තමාගේත් රටේත් ශුභ සිද්ධිය අරමුණු කොට මහායඥයක් සංවිධානය කරමින් සිටියදී පුරෝහිතයා රජුට දුන් අනගි ඔවදන් පිළිබඳව භික්ෂු සංඝයාට සන්නිවේදනය කරනු පිණිස ය. ඒ ඔවදන සැකෙවින් මෙවැනි ය.

රජතුමනි, ඔබගේ විජිතය තුළ සොරසතුරු උවදුර දිනෙන්-දින වර්ධනය වෙමින් පවතී. රටවැසියෝ කොල්ලකෑම්වලට ඉලක්ක වෙමින් සිටිති. මෙවැනි යුගයක ඔබතුමන් අලූත් බද්දක් පනවන්නේ නම් ඒ අනුචිත ක‍්‍රියාවකි. සොරසතුරන් ඝාතනය කිරීමෙන්, දඟ ගෙයි ලෑමෙන් හෝ පිටුවහල් කිරීමෙන් ද මේ ප්‍රශ්නය විසඳිය නොහැකි ය. රාජපුරුෂයනට කොටු නොවී සිටින තවත් පිරිසක් ද ඇති බැවිනි.

මීට නොවරදින විසඳුමක් සැපයෙන්නේ රට තුළ කෘෂිකර්මයෙහි ගව පාලනයෙහි යෙදෙන්නන්ට බිත්තර වී සැපයීමෙනි. වෙළෙන්දන්ට මූලධනයක් ලබාදීමෙනි. රාජ්‍ය සේවයේ නියුතු වූවන්ට වැටුප් හා ආහාර සම්පාදනය කිරීමෙනි.

මෙහිදී කෘෂිකර්මාන්තයත්, වෙළෙඳාමත් ගැන පමණක් බුදුන්වහනසේ ප්‍රස්තුත කොට දැක්වූයේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරතීය සමාජය තුළ ජීවනෝපායන් ලෙස පැවතුණේ මේ වෘත්තීන් ම වන නිසා ය.

එකල පැවතුණේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නොවේ. ගෝලීයකරණය පිළිබඳ අංශුමාත්‍ර හැඟීමක් හෝ මේ යුගයේ ජීවත් වූ කිසිවකු තුළ පැවතුණේ නැත. ‘සමාජ-ඓතිහාසික විශ්ලේෂණය සඳහා අපගේ අර්ථයෙන් බුදුන්ට බුද්ධිමය උපකරණ නොවීය. උන්වහන්සේට තිබුණු එකම උපකරණය නම් ආපෝහකාත්මක (ප්‍රතිපක්ෂ දෙකක එකමුතුව, ගැටුම ආදිය ගැබ් කොටගෙන) දෘෂ්ටිය පිළිබඳ අන්තර්ඥානයේ රූපාකාර ගත් උපකරණයයි. කෙසේ වෙතත් බුදුහු ඒ උපකරණය පරිහරණය කොට දැවැන්ත ඓතිහාසික ප්‍රශ්නයක් තේරුම් ගැනීමට උත්සාහ දරති.’යි සුචරිත ගම්ලත්හු (සිය බුද්ධ චරිතය කෘතියෙන්) නූතනමානී ව පවසති. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ද ඒ තත්ත්වයයි. බුදුන් වහන්සේගේ කාර්යයභාරය වූයේ ධනය හෙවත් පෞද්ගලික දේපළ සංචිත වීමෙන්-එක්තැන් වීමෙන් හටගත් නපුර ඉහවහා ගිය සමාජයක් උඩු-යටිකුරු කිරීම සඳහා ගත යුතු භෞතික ක‍්‍රියාමාර්ගය පිළිබඳ බලාපොරොත්තු දැල්වීම නොවේ. ඒ චින්තනයේ තීරණාත්මක සාධකය වන්නේ පටිච්චසමුප්පාදය (හේතුඵල පරම්පරාවේ චක‍්‍රය) නියාමයයි. කෙසේ වෙතත් (බොහෝ රටවල) ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත ව ඇති ගෝලියකරණයක් සිදුවෙමින් පවත්නා වර්තමානයේදී ද වියතුන්ගේ මතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් ඒ හා සමගාමී ව ආර්ථික වර්ධනයක් ද සිදුවිය යුතු ය යන්නයි.

කිසියම් රටක ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල රටවාසීන්ගේ පසුම්බිවලටත් දැනෙනසුලූ නොවන්නේ නම් ඔවුන් ධනවතුන්ට වෛර කිරීම නොවැලක්විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. මින් අදහස් වන්නේ සාමය හා සංහිඳියාව වෙනුවෙන් ආර්ථිකයට ඍජු ව බලපෑ හැකිවන බවයි. මේ පිළිබඳ සර්වකාලීන, සාර්වභෞමික උපමාවක් පෙන්වා දීමට (දීඝනිකායේ සූත්‍ර පිටකයේ පාටික වර්ගයේ එන) චක්කවත්්ති සීහනාද සූත්‍රයේ අවධාරණයක් මෙහිදී කෙටියෙන් උපුටා දක්වමු.

එක් මිනිසෙක් තවත් මිනිසකුගේ වස්තුව සොරකම් කරයි. රාජපුරුෂයන්ට කොටු වන සොරා රජු වෙත පැමිණ වූ කල ‘සොරකම් කිරීමට හේතු කවරේ දැ’ යි රජු විමසයි. ‘ජීවත්වීමට අන් මගක් නොවීම’ යැයි සොරා පිළිතුරු දෙයි. රජු හොරාට වස්තුව ලබා දෙන්නේ ජීවනෝපායක් සලසා ගන්නැයි අවවාද කරමිනි. එහෙත් මේ පුවත සමාජගත වීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාවට ඒත්තු යන්නේ සොරුන්ට මුදල් ලබාදීම රජුගේ ප්‍රතිපත්තියක් නම් ‘සොරකම’ යනු ඉතා ලබාදායී වෘත්තියක් වන බව ය. මේ අනුව සොරුන් බහුල වන්නට වූ පසු සොරුනගේ හිස් ගසා දැමිය යුතු බවට නියෝග දීමට රජුට සිදු වෙයි.

සියල්ල නොමිලේ බෙදාදීම (සහනාධාර වුව) රජයේ ප්‍රතිිපත්තිය විය යුතු ද යන ප්‍රශ්නය කරළියට නැංවීම සඳහා මේ සිද්ධියෙන් ඉතා පුළුල් ඉඩහසරක් විවෘත වන බව නිසැක ය.

දිනක් අනඳ හිමියන් ද සමඟ වැඩම කරමින් හුන් බුදුරදුන්, සොරුන් මග දමා ගොස් තිබූ කාසි පොදියක් දැක විචාළේ ‘ආනන්දය, සර්පයෙක් පෙනේ ද?’ කියා ය. අපට ද බොහෝ ගැටලූ නිර්මාණය කර දෙන ධනය පිළිබඳව මජ්ිම නිකායේ සඳහන් එක් පුවතකි, මේ.

රට්ඨපාල රහතන් වහන්සේ යළි ගෘහ ජීවිතයට කැඳවා ගැනීමේ අදහසින් උන්වහන්සේගේ දෙමවුපියෝ උන්වහන්සේට දානයක් සඳහා ඇරියුම් කරති. මැඳුරේ ගොඩගැසූ රන්-රිදි ගොන්නක් පෙන්වා මේ ධනය පරිභෝජනය කිරීම සඳහා යළි ගිහි දිවියට ඇතුළුවන්නැයි ඉල්ලති. උන්වහන්සේ මෙසේ පිළිතුරු දෙයි.

‘පියාණෙනි, මේ රන්-රිදී කරත්තයක පටවා ගෙන ගොස් ගංගා නදියේ පා කරන්න. ඊට හේතුව මේ සියලූ දුක් දොම්නස්වලට, පශ්චාත්තාපයනට හේතුව මේ වස්තුව ම වීමයි’ 

Comments