අපේ හරිත පුස්තකාලය ඇ‍ෙමරිකාවත් අපට පරාදයි! | සිළුමිණ

අපේ හරිත පුස්තකාලය ඇ‍ෙමරිකාවත් අපට පරාදයි!

 

බ්‍රිගේඩියර් ලලිත් රත්නායක

'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කියලා තමයි අපේ පැරැණියන්ගේ ඉඳලම අපි අහලා තියෙන්නේ. ඒක හින්ද අපේ ඉතිහාසය පුරාම මේ පුස්තකාල නැත්නම් පොත්ගුල් තිබුණු බවට සාක්කි තිබෙනවා. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තමයි අතීතයේ තිබුණු විශාලතම පුස්තකාලය ලෙස වාර්තා වෙලා තිබෙන්නේ. ක්‍රි.පූ. 415දී පමණ 9 මහල් පුස්තකාලයක් ලෙස විවිධ භාෂා සිය ගණනක පොත්පත් මෙහි තිබෙන්නට ඇති බවට විශ්වාස කරනවා. ඒ වගේම ලංකාවේ මහා විහාරයේ පුස්තකාලයත් අද්විතීය තත්ත්වයක තිබුණු බව පැවසෙනවා.

මේ පුස්තකාල දෙකම විනාශ වුණේ ආක්‍රමණයන් නිසයි. නාලන්දා පුස්තකාලය මුස්ලිම් ආක්‍රමණිකයන් භික්ෂූන් වහන්සේ සමඟම ගිනි තබා විනාශ කළ බව දැක්වෙනවා. ඒ වගේම වෛතුල්‍යවාදය හෙවත් මහායාන දහම මෙරටට ගෙන ඒම නිසා මහසෙන් රජුගේ කාලයේදී මහා විහාරයේ පුස්තකාලය විනාශ වී ගිය බව වාර්තා වෙනවා.

යුද්ධය ගැන කතා කරද්දි අපට ලංකාවේ තිස් අවුරුදු යුද්ධය අමතක කරන්න බැහැ. 2009 අවුරුද්දේ අවසන් වුණු මේ යුද්ධයෙන් පස්සෙ තමයි අපේ බොහෝ හමුදා නිලධාරීන්ට තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම් ඉහළ නංවා ගන්න ඉස්පාසුව වැඩි වුණේ. ඒ වුණත් සාමාන්‍ය සොල්දාදුවන්ට නම් ඒ තරම් ඒ ගැන හැඟීමක් තිබුණෙ නෑ.

ඒ නිසා ඒ අයගේ දස්කම් ඔප් නැංවීමේ අරමුණින් පුස්තකාලයක් ආරම්භ කරන්න ඕනෑ කියල අපේ හමුදාවේ ලොකු මහත්තයකුට හිතුණා. ඒ වන්නි ආරක්ෂක බල සේනා ආඥාපතිවරයා ලෙස එවකට කටයුතු කළ මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතායි.

එතුමා සිංහ රෙජිමේන්තු අධිපතිවරයා නිසා අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ මේ පුස්තකාලය ආරම්භ කරන්න තීරණය කළා.

එතුමාට අවශ්‍ය වුණේ පරිසර හිතකාමි ලෙස මේ කාර්යය කරන්නයි. ඒක නිසා ඒ කාර්යය ගැන එතුමා බොහෝ දෙනා සමඟ සාකච්ඡා කළා. අවසානයේ මේ හරිත පුස්තකාලයේ වැඩ කටයුතු අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව විසින් ආරම්භ කළා. ඒ හරිත පුස්තකාලයේ සැලසුම හැදුවේ රෝබර්ට් ආකිටෙක්චර් වර්ක්ෂොප් සමාගම විසින්.

හරිත පුස්තකාලයේ වැඩ පටන් ගෙන වැඩි කාලයක් ගත වුණේ නෑ. ලෝකයේ හරිත සම්මාන ලබා දෙන්න කටයුතු කරන හොල්සිම් පදනම මඟින් ආසියාවේ හරිත ඉදිකිරීම් සම්බන්ධව තරගාවලියක් කැඳෙව්වා. හරිත සංකල්පයක් මුල් කරගත් මේ පුස්තකාලයේ සංකල්ප හා ක්‍රමවේදය මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා විසින් මේ තරගාවලියට ඉදිරිපත් කළා. හිතාගන්නවත් පුළුවන්ද! ඒ තරගාවලියෙන් අපේ හරිත පුස්තකාල සංකල්පයට විශිෂ්ට ජයක් අත් වෙලා ලෝකයේම හරිත ඉදිකිරීම් සම්බන්ධව පැවැත්වෙන ලෝක තරගාවලියට ඇතුළත් වෙන්න අවස්ථාව උදා වුණා. මෙවන් අවස්ථාවක් අපට උරුම වුණේ පළමු වතාවටයි. මේ ජයග්‍රහණය ගැන ඒ තරම් ප්‍රසිද්ධියක් ලබා ගන්න හමුදා නායකයන්ට අවශ්‍ය වුණේ නෑ. එයාලට ඕන කෙළේ වැඩ කරන්න විතරයි.

ලෝක තරගාවලිය පසුගිය වසරේ ස්විට්සර්ලන්තයෙදී පැවැත්වුණා. ලෝකයේ රටවල් 155ක තරගකරුවන් 6000ක් ඊට ඉදිරිපත් වෙලා හිටියා. ලෝක සිතියමේ පුංචි තිතක් තරම් වන ලංකාවට ඒ තරගාවලියේ තරග කරන්න ලැබීමත් ඇත්තෙන්ම සතුටක්.

අපේ වගේ අඩු පහසුකම් තියෙන රටවල් නෙමෙයි. ජපානය, ඇමරිකාව වගේ අතිනවීන තාක්ෂණයෙන් සන්නද්ධ රටවල් සියල්ල මේ තරගාවලියට ඉදිරිපත් වෙලා හිටියා. අපේ රටේ නමවත් සමහරු දන්නෙ නැති තරමටයි අප දිහා බලල තියන්නේ.

ඒ වුණත් ලෝකෙ රටවල් 155හේම තරගකරුවන්ගෙන් අපට දෙවන ස්ථානය ලැබුණා. හිතාගන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි! ඒත් අපේ හමුදා නායකයන්ගේ යුද ශක්තිය වගේම පරිසර හිතකාමී චින්තනය එයින් පැහැදිලිවම පෙන්නුම් කළා.

තරගාවලියට ඉදිරිපත් වෙච්ච රටවල අයටත් පුදුමයි‍! ලෝක‍යේ භයානකම ත්‍රස්තවාදි සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානය පරාජය කරන්න ශක්තිය තිබුණ වගේම ගහකොළ පරිසරයට ආදරය කරන්නත් පුළුවන්කම අපිට තියෙන බව එයින් ඔප්පු වුණා.

මේ තරගාවලියේ පළමු ස්ථානය ලැබුණේ කොලොම්බියාවට‍. අපට දෙවන ස්ථානය. දන්නවද තුන්වන ස්ථානය හිමි වුණේ කොයි රටටද කියලා? ඒ ඇ‍ෙමරිකාවට. එතරම් සුපිරි බලවතුන් පරදවා තමයි අපි ඉස්සරහට ආවේ.

මේ ජයග්‍රහණයත් සමඟ ලෝකෙම පිළිගන්න සුපිරි මට්ටමේ හරිත සහතිකයක් අපට ලැබුණා. ඒ විතරක් නෙමෙයි, ඇ‍ෙමරිකන් ඩොලර් ලක්ෂයක මුදලක් ලැබුණා. ඊට අමතරව මේ හරිත පුස්තකාලය විවෘත කිරීමෙන් පසු ඒ සඳහා පොත් ලබා දීමටත් හොල්සිම් පදනම කටයුතු කරන බව ආරංචියි.

හරිත සංකල්පයක් සහිත ඉදිකිරීම් කෙරෙණු මේ පුස්කාලය බලන්න අපිත් ගියා. අ‍‍‍ඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ මධ්‍යගත සේනා විධායක බ්‍රිගේඩියර් ලලිත් රත්නායක මහතා පවසන්නේ ‍හරිත සංකල්පයක් යටතේ ඉදි කෙරෙන මේ පුස්තකාලයේ ඉදිකිරීම් ආරම්භ කළේ කිසිදු ජයග්‍රහණයක් අත් කරගැනීමේ හෝ තරගාවලියක් සිතේ තබාගෙන නොව, පරිසරයට ගහට කොළට ආදරය කරන සංකල්පයක් බිහි කිරීමට බවයි.

පුස්තකාලය ඉදිකිරීම සිදු කර ඇත්තේ පරිසරයට අවම බලපෑම් සිදු වන ආකාරයට බවයි ඔහු පවසන්නේ. කන්දක් අසල ඉදි කර ඇති මේ පුස්තකාලයේ පහළ මාලය නිර්මාණය කර ඇත්තේද ස්වාභාවික වාතාශ්‍රය මැනවින් ලැබෙන ආකාරයෙන්. පොත්පත්වලට ආරක්ෂාව ලැබෙන අයුරින් ඒවා සංරක්ෂණය කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් අපට පෙනෙනවා.

මහල් කිහිපයකින් සමන්විත මේ පුස්තකාලයේ කිසිදු තැනක කොන්ක්‍රීට් තට්ටු පිටින් ස්ථාපිත කර නැහැ. පරිසර හිතකාමී ලෙස හැම අවස්ථාවකදීම ගහකොළ පරිසරය ආරක්ෂා කරමින් මේ පුස්තකාලයේ වැඩකටයුතු නිම කර තිබෙනවා.

ගොඩනැඟිල්ල ඉදි කර තිබෙන්නේ මැටි, වැලි හා සිමෙන්ති මිශ්‍රණයකින්. මැටි සිහින්ව හලා පිටි වන තත්ත්වයට පත් වීමෙන් පසුවයි මිශ්‍රණය සකස් කර ඇත්තේ.

මේ පුස්තකාලයේ නිර්මාතෘ මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ මෙය තවත් එක් පුස්තකාලයක් පමණක් නොවන බවයි. අපේ රටට ආවේණික ශාක වර්ග 50කට අධික සංඛ්‍යාවක සියලු විස්තර එහි අඩංගු වන බවත් ඔහු පවසනවා. එසේම ශාක පත්‍ර රාමු කර බලාගන්න ‍සලස්වා තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා. එසේම ශාඛයේ ‍කොටස්ද එහි දී දැක බලාගන්න පුළුවන් බවත් ඔහු කිව්වා. ඒ කතාව ඇත්ත. එම ශාක වර්ග කොටස් වෙන් ‍ වශයෙන් අපට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, ශාකයේ ආයු කාලය, වැවෙන ප්‍රදේශ... මේ වගේ සියලු විස්තර එහි අඩංගු වනවා.

එපමණක් නොව, සියලු කෘමි විශේෂ, සර්පයන්... මේ සියලු සත්ත්වයන්ගේ සියලු විස්තර ඡායාරූප සමඟින් මේ පුස්තකාලයේ අඩංගු බවත් මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා කියනවා. එපමණක් නොවෙයි, ලංකාවට ආවේණික වී වර්ග එක්දහස් ගණනකින් දැනට භාවිතයේ තිබෙන වී වර්ග පනහක සියලු විස්තර අඩංගු කර ඇති බවත් ඔහු පවසනවා. එසේම පක්ෂීන් සම්බන්ධ විස්තර, විශේෂයෙන්ම මෙරට ආවේණික පක්ෂීන්ගේ ආයු කාලය ඇතුළු සියලු විස්තර මේ පුස්තකාලයේ අඩංගු වනවා.

‍මේ පුස්තකාලය පරිහරණය කරමින් උපාධි පරීක්ෂණ මෙන්ම වෙනත් සියලු පාඨමාලා කටයුතු නිදහසේ සිදු කළ හැකි බවයි බොනිෆස් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. එසේම ඉදිරියේදී මේ පුස්තකාලය සමඟ අන්තර්ජාලය ඔස්සේ ලෝක‍යේ ඕනෑම අයකුට සම්බන්ධ විය හැකි තත්ත්වයකට ගෙන එන්න නියමිතයි. ලෝකයේ සියලු පුස්තකාල අතර තවත් සුපිරි ගණයේ පුස්තකාලයක් ලෙසයි මේ පුස්තකාලය එක් වන්නේ. විශේෂයෙන් මේ පුස්තකාලයේ සංකල්පය ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා. ගුවනේ සිට බැලූ විට මේ පුස්තාකාලය පෙනෙන්නේ පොතක් පෙරළා ඇති ආකාරටයි. මහල් පෙළ සකස් කර ඇත්තේ ඒ ආකාරයෙන්. තව දින කිහිපයකින් ‍පුස්තකාලය අසලින්ම මහා පරිමාණ ප්‍රමාණයේ දිය ඇල්ලක්ද නිම වෙනවා.

මේ හරිත පුස්තකාලය බලන්න මේ වන විටත් ලෝකයේ බොහෝ රටවලින් පිරිස් පැමිණීමට කටයුතු කරමින් ඉන්නේ. ඇත්තෙන්ම මේ පුස්තකාලය පොත්ගුලකට වඩා දෙයක් තිබෙන හෙයින් එය 'පරිසර හිතකාමි ප්‍රජා කේන්ද්‍රීය පුස්තකාලයක්' ලෙසයි නම් කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට නිහඬ කීර්තියක් ගෙන දුන් මේ පොත්ගුල හෙට (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත වනවා. එදාට ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ රයිෆල් රෙජිමේන්තුවක් වන සිංහ රෙජිමේන්තුවට වර්ණ ප්‍රදානයක් හෙවත් යෂ්ටි ප්‍රදානයක්ද සිදු කෙරෙනවා.

සේයාරූ - රුක්මල් ගමගේ 

Comments