ඉන්දීය ක්‍රිකට් අලකලංචි මැද සීරුවෙන් | Page 3 | සිළුමිණ

ඉන්දීය ක්‍රිකට් අලකලංචි මැද සීරුවෙන්

ලයේ පාවෙන අයිස් කුට්ටියක නියම ස්වරූපය කිසිවිටක දක්නට ලැබෙන්නේ නැත. එහිදී පෙනීමට තිබෙන්නේ ජලය මතුපිට තිබෙන අයිස් කුට්ටියේ ප්‍රමාණය පමණි. නමුත් ජලයට වැසී තිබෙන එහි විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ නැත.

වත්මන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවත් ජලයේ පාවෙන අයිස් කුට්ටියක් බවට පත්වී තිබේ. එහි අර්බූද රැසක්ම මේ වන විට හටගෙන තිබේ. නමුත් අයිස් කුට්ටියක ජලයට වැසී තිබෙන විශාල කොටස මෙන් ඉන්දීය ක්‍රිකට් අර්බූද දක්නට ලැබෙන්නේ සුළු වශයෙනි. ඒ ජාතික කණ්ඩායම සුපිරි දස්කම් දක්වන බැවිනි. එය ජලය මතුපිට අයිස් කුට්ටියක කොටස මෙන්ය.
මීට සති කිහිපයකට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අනුරාග් තාකුර් සහ ලේකම් අජේ ෂර්කිට එම තනතුරු අහිමි විය. ඒ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන් ලබා දුන් උපදෙස්වලට බාධා කිරීම සම්බන්ධයෙනි. ඊට පෙර ඉන්දීය ක්‍රිකට් පරිපාලනමය ගැටලු පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද ලෝදා කමිටුව විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් ඉවත් කරන ලෙසට යෝජනාකර තිබුණි.
මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම නායකයා වූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් ඉවත් විය. ඒ වන විට ඔහු එක්දින ජාත්‍යන්තර සහ පන්දු ඕවර 20 ජාත්‍යන්තර තරග ඉන්දීය නායකයා වූයේය. පසුව එම නායකත්වයන් ද ටෙස්ට් නායක විරාත් කෝලිටම පැවරිණි. මේ පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා පළකළේ කෝලි සාර්ථකව ටෙස්ට් නායකත්වය දරන බැවින් දෝනිට නායකත්වයෙන් ඉවත් වන ලෙසට තේරීම් කමිටුව දැන්වූ බවය. එහෙත් තේරීම් කමිටුව එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ හෝ තවදුරටත් දෝනි ඉන්දීය ජාතික පිලට තම දායකත්වය ලබා දෙනු ඇත.
හිටපු සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ට ද ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා ලෙසට දැනුම් දුන් බව ඒ වන විට තේරීම් කමිටු සභාපති වූ සන්දිප් පටිල් පසුගියදා මාධ්‍ය ඉදිරියේ පිළිගත්තේය. දෝනිගේ නායකත්වයේ ඉවත්වීම පිළිබඳ සැබෑ ස්වරූපය අනාගතයේදී හෙළිදරව් වනු ඇත.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බූද අතරට හිටපු නායකයකු වන මොහොමඩ් අසාරුදීන්ගේ නමත් එක් විය. ඒ හයිදරාභාද් ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයට ඔහු ඉදිරිපත් වීමත් එම නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමත් නිසාවෙනි. අසාර් 2000 වසරේදී ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක් විය. ඒ මුදලට තරග පාවාදීම්වලට වැරදිකරු වීමෙනි. පසු කලෙක එරට අධිකරණය විසින් අසාර්ගේ තහනම ඉවත් කළේය. නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් අසාර්ගේ තහනම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත. ඉහත ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමටත් එය බලපෑවේය. ඉහත සියලුම අර්බූද අතරට බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීමක් එක් වූයේය. ඒ හිටපු නායකයන් දෙදෙනෙකු මෙන්ම ජනප්‍රිය චරිතයන් ද වන රවි ශාස්ත්‍රි සහ සොරොව් ගංගුලි මත ගැටුමයි.
ඉන්දීය ජාතික කණ්ඩායමට නව පුහුණුකරුවෙක් තෝරා ගැනීමේ වගකීම පැවරුණේ ක්‍රිකට් උපදේශක කමිටුවටයි. එහි සාමාජිකයන් ලෙසට ක්‍රියා කළේ හිටපු සුපිරි තරු ත්‍රිත්වයකි. ඒ ගංගුලි, සචින් තෙන්දුල්කාර් සහ වී. වී. එස්. ලක්ෂ්මන්ය. එම ජාතික පුහුණුකරු තනතුර ලබාගැනීම සඳහා ඉදිරිපත් වූවන් අතරින් ඉදිරියෙන්ම සිටියේ ශාස්ත්‍රි සහ හිටපු නායකයකු වූ අනිල් කුම්බ්ලේය.
අවසානයේදී තෝරා ගනු ලැබුවේ කුම්බ්ලේය.

මේ පිළිබඳ ශාස්ත්‍රි කෝපයටත් වේදනාවටත් පත් විය. එහි අවසන් ප්‍රතිඵලය ඔහු ප්‍රසිද්ධියේම ගංගුලිට චෝදනා කළේය. ඊට හේතු වූයේ ශාස්ත්‍රි සිය සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වූ දිනයේදී ගංගුලි ඊට සහභාගි නොවීමයි. ගංගුලි ගරු කිරීම හඳුනන්නේ නැති පුද්ගලයකු බව ශාස්ත්‍රි පැවසීය. ඊට ගංගුලි මෙසේ පිළිතුරු දුන්නේය.
"ඔහු තෝරා නොගැනීමට මා වගකිව යුතුයි කියලා ශාස්ත්‍රි විශ්වාස කරනවා නම් එය ඔහුගේ වරදක්."
මෙම සිදුවීම වී සති කිහිපයක් ගත විය. රවි ශාස්ත්‍රි විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම නායකයන් නම් කළේය. ඊට ගංගුලි ඇතුළත් වූයේ නැත. දෝනි, කපිල් දේව්, අජිත් වඩේකාර් සහ මන්සුර් අලි ඛාන් පතවුදි වැනි නායකයන් එහි විය. එම තෝරා ගැනීම පිළිබඳ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනකුම ශාස්ත්‍රිට විරුද්ධව අදහස් දැක්වූහ.

එහිදී ඔවුන්ගේ පොදු මතය වූයේ ගංගුලි අනිවාර්යයෙන්ම ශාස්ත්‍රිගේ තෝරා ගැනීමට ඇතුළත් විය යුතු බවය.
ඉන්දීය නායකයන්ගේ දත්තවලට අනුව ගංගුලි දෙවැනි වනුයේ දෝනිට පමණකි. එවැනි වාතාවරණයක් මත ගංගුලිට හිමි තැන ශාස්ත්‍රි ලබා නොදීම පිළිබඳ හිටපු ක්‍රීඩකයෝ ශාස්ත්‍රිට චෝදනා කළහ. ඒ අතරට සුනිල් ගවස්කාර්, මොහොමඩ් අසාරුදීන් සහ සංජේ මන්ජ්රේකා වැනි ශාස්ත්‍රිගේ සමකාලීන ක්‍රීඩකයෝ ද වූහ.
ගංගුලිට මේ අතර මරණීය තර්ජන සහිත නිර්නාමික ලිපියක් ලැබුණි. ඒ පිළිබඳ ඔහු පොලිසියට දැන්විය. ගංගුලි මේ වන විට බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසටත් කටයුතු කරමින් සිටියි. ඉහත සියලුම සිදුවීම්වලින් පැහැදිලි වනුයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අර්බූද රැසකටම ලක් වී ඇති බවයි. නමුත් ඉන්දීය ජාතික පිල සාර්ථක වී සිටියි. ඔවුන් වත්මන් ටෙස්ට් ලොව අංක එක කණ්ඩායමයි. ඒ වගේම එක්දින ජාත්‍යන්තර තරගවලදීත් ඉදිරිපෙළ කණ්ඩායම් අතර රැඳී සිටියි.

Comments