මවගේ වියෝ දුක දරමින් රග්බි පිළ දිනවූ ඉසිපතනේ රන්දිමාල් | Page 5 | සිළුමිණ

මවගේ වියෝ දුක දරමින් රග්බි පිළ දිනවූ ඉසිපතනේ රන්දිමාල්

හෂේන් රන්දි­මාල්

කොළඹ හයිලෙවල් පාරත් පෙනුණේ අඳුරු පඬු පැහැයකිනි. කළු පැහැති අපදියම ගලන වැල්ලවත්ත ඇලෙන් එතෙරවී හැව්ලොක්ටවුන්හි හයිලෙවල් පාරට විවරවූ පටු ස්වර්ණා මාවතේ ඒ නිවෙස අසලට පැමිණ සිටිමි. හදවත නතරවූ සෙයකි. වියෝවක ඛේදනීය මතකය සැතකින් ඇන පහරන්නාක් බඳු සංවාදයක් සඳහා ආ මේ ගමන මා කම්පනයට පත් කර ඇත්තේ එය ඒ තරම්ම සංවේදී සිද්ධි දාමයක් හා වෙලී ඇති බැවිනි. මා ඉන්නේ හෂේන් රන්දිමාල් ගේ නිවෙස අසලය. හෂේන් රන්දිමාල් යනු බිහිසුණුම බිඳවැටීමක දී නැගී සිටිය යුතු ධෛර්ය සහ ආත්ම විශ්වාසයේ ප්‍රමාණය කුමක් දැයි මේ බිඳ වැටුණු රටට කියා දුන් පුතාය. මිය ගිය අම්මාගේ නිසල සිරුර මල් ශාලාවේ තැන්පත්ව තිබෙද්දී අම්මා වෙනුවෙන් පිටියට බැස රගර් ඉතිහාසයේ වර්ණවත්ම ජයග්‍රහණය ඉසිපතනයට අත්කරදුන් දිරිය පුතාය.

ඒ තරගයේ රූප රාමු එකින් එක මා මනසේ ඇඳී මැකී යනු දැනේ. කණ්ඩායමේ වම්පස වින්ග් ක්‍රීඩකයා ලෙස පිරුණු වේගයකින් යුතුව පන්දුව රැගෙන පියඹා යන පුංචි සිරුරක් සහිත මේ ජවසම්පන්න දරුවාගේ ක්‍රීඩා විලාසය එක් වරක් තරගයක් නැරඹූවිට අමතක වන්නේ නැත. තරගය තිබුණේ ලොන්ඩන් පෙදෙසේය. ඒ ශාන්ත ජෝෂප් විද්‍යාලය සමඟය. තරගයේ මුල්ම උත්සාහයක දිනුම වාර්තා කරමින් ඉසිපතනයේ ජයග්‍රහණයේ මාවතට ඔසවා තබන්නේ රන්දිමාල්ය. ඉසිපතනය තරගය දිනුම්ය. ඒ ලකුණු 28-18ක් ලෙසය. අප දුටුවේ ජයග්‍රහණය කළ තරගය අවසානයේ දී එතෙක් දරාගෙන සිටි අවසාන බැම්මත් ලිහි ගොස් පිටිය මැද මහා හඬින් හඬා වැටෙන රන්දිමාල්ය.

මොහොතකට ප්‍රේක්ෂකාගාරයත් කම්පිත වූ අයුරු දුටුවෙමි. ජයග්‍රහණය සැමරීම පසෙක තිබිය දී මුළු කණ්ඩායමම රන්දිමාල් වැළඳගෙනය. තරගය අවසන් වී රන්දිමාල් සමඟ මුළු කණ්ඩායමම කෙළින්ම පැමිණියේ මල්ශාලාවටය. අනතුරුව ප්‍රතිවාදී ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් ද නිවෙස් වෙත යෑම පසෙක තබා රන්දිමාල්ගේ අම්මාට අවසන් ගෞරව දක්වන්නට මළ ගෙදර පැමිණ තිබිණි.

එ් සිදුවීම දෙස රටම බලාගෙන සිටියේ ගෞරවයෙන් බව සිහි කරමි. අම්මා මළ ගෙදරක් වැනි රටක ජීවත්වන අපට අවශ්‍යව තිබුණේ රන්දිමාල් වැනි මහා ව්‍යසනයක් හමුවේ අම්මාගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් නොවැටී අරගල කරන අසීමිත මිනිසුන් මෙන්ම ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් බඳු ගෞරවණීය ප්‍රතිවාදීන් පිරිසක් බැවිනි.

ඉන් පසු මා රන්දිමාල් ගැන දුටු සෑම රූප රාමුවකම තිබුණේ දරාගත නොහැකි කම්පනයකින් මවගේ නිසල සිරුර දෙස බලා සිටින ඔහුගේ වේදනාත්මක මුහුණය. දැන් නැවත වරක් ඔහු සමඟ මේ මතකය කතා කළ යුතුව ඇත. 

සුසුමක් පිටවන්නේ නොදැනීමය. මුලින්ම මා දකින්නේ පටු සාලයේ පසෙක තවමත් හැඟීම් සිරකරගෙන සිටින හඬා වැටෙන්නට ආසන්න රන්දිමාල්ගේ මුහුණය. වැඩිමල් සොයුරු යහන් රන්ජන අප එනතුරු සිය සොයුරා හා නිවෙසේ සිටියේය. රන්දිමාල්ගේ ලොකු අම්මාත් ඔවුන් සමඟය. සිය සහෝදරිය හිමාලි ප්‍රියංගිකාගේ වියෝව දරාගත නොහැකි ඇය තවමත් හැඬු කඳුළිනි. මම කටහඬ අවදි කළෙමි.

“පුතේ.. දැන් ඔයාට කොහොම ද?”

රන්දිමාල් මා දෙස බැලුවේය. “ තවම මට හිතාගන්න බෑ... අම්මා ඇත්තටම ගියා ද?. මම තවම දන්නෙ නෑ.” රන්දිමාල් කීවේය.

“ අම්මගේ තත්ත්වය ගැන අපි මල්ලිට හැම දේම කියන්න ගියෙ නෑ. මෙයා තමයි පවුලේ බාලයා. නංගියි අම්මා ළඟ හිටියෙ. අම්මා කැමති වුණේ නෑ අන්තිම මොහොත දක්වා අම්මාගේ තත්ත්වය ගැන මල්ලි එක්ක කතා කරන්න. එයාට ඕන වුණා මල්ලි සතුටින් ඉන්නවා දකින්න. එයා සෙල්ලම් කරනවා දකින්න.” යහන් කීවේය.

“ මම කොලේජ් රගර් ටීම් එකට සෙල්ලම් කරනවා දකින එක තමයි අම්මගේ හීනය වුණේ. ඇත්තටම මම ආසාවෙන් හිටියෙ ක්‍රිකට් ගහන්න. මගේ අයියත් ඉසිපතන විද්‍යාලයෙ. එයත් ක්‍රිකට් ගැහුවා. ඒ නිසා මට අම්මා තමයි යෝජනා කළේ පුතේ අපි රගර් ගහමු කියලා. තාත්තාත් මට කිව්වා පුතා රගර් සෙල්ලම් කරනවා නම් හොඳයි කියලා. මම රගර් තෝර ගත්තේ ඒ නිසා.”

ලංකාවේ පාසල් රගර් ක්‍රීඩාවේ මහා දැවැන්තයා ඉසිපතන කණ්ඩායමය. මේ කණ්ඩායමට තේරීම ඉතාම පහසු දෙයක් නොවේ. එය සුවිශේෂී දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් සඳහා පමණක් වෙන්වන ඉඩකි. ඒ ඉඩ වෙන්වන්නේත් විශාල කැපකිරීමක් කළ හැකි ක්‍රීඩකයකුටය. රන්දිමාල් අම්මා වෙනුවෙන් ඒ ඉඩ අත්කරගෙන තිබුණේය.

“ පොඩි දවස්වල මාව ගොඩක් වෙලාවට ප්‍රැක්ටිස් එක්ක ගියේ ආච්චි. ආච්චිත් හිටියෙ අපි එක්ක. අම්මගේ රැකියාවත් එක්ක එයාට හැම වෙලාවෙම මාත් එක්ක ප්‍රැක්ටිස් යන්න එන්න බැරි වුණා. එත් මම සෙල්ලම් කරන හැම මැච් එකක්ම බලන්න අම්මා ආවා.

ඉසිපතනේ ෆස්ට් ෆිෆ්ටීන් ජර්සි එක අඳිනවා කියන්නෙ ලොකු දෙයක්. ගිය අවුරුද්දෙ තමයි මම ඇන්දෙ. මට වඩා පුදුම සතුටක් අම්මාට තිබුණා මම කොලේජ් ටීම් එකට තේරුණා කිව්වම. ගිය අවුරුද්දේ මම වැඩිපුර මැච් ප්ලේ කළේ නෑ. මම මැච්එක ප්ලේ කළත් නැතත් මං වෙනුවෙන් මැච් බලන්න පහුගිය අවුරුද්ද වෙනකම්ම අම්මා පිට්ටනියට ඇවිත් හිටියා. මම වැඩිපුරම සෙල්ලම් කළේ මේ අවුරුද්දෙ. අම්මට මැච් බලන්න එන්න බැරි වුණෙත් මේ අවුරුද්දේ.

මේ අවුරුද්දේ අපි ගහපු පළවෙනි මැච් එක කිංස්වුඩ් එක්ක. එතකොට එයාට නැගිටින්න බෑ. ඒ්ත් අම්මා ලයිව් මැච් එක බලලා තිබුණා. අපි දිනුවා. එයා හිටියෙ ගොඩාක් සතුටින්. ඊලඟ සතියෙ මැච් එක ශාන්ත තෝමස් කණ්ඩායමත් එක්ක. ඒ මැච් එක ගහනකොට අම්මා හිටියේ ගොඩක් අපහසුවෙන් බව දැනුණා. මම එයාව බලන්න යන්නේ මැච් එක ඉවර වෙලා සෙනසුරාදා ප්‍රැක්ටිස් එකත් කරලා ඉරිදා උදේ. ඒ යනකොට එයාට කතා කරගන්න බෑ. ඒත් එයා මැච් එක ෆෝන් එකෙන් ලයිව් බලලා තිබුණා.

අන්තිම ඉරිදා මම අම්මා ළඟ ඉඳන් ගොඩක් කතා කළා. ඔළුව අතගගා මම ඇහුවා අම්ම ඊළඟ මැච් එක බලන්න එනව ද අම්මේ කියලා. අම්මා කඳුළු පුරෝගෙන ඔළුව වැනුවා මහපට ඇඟිල්ල උස්සලා මට සුබ පැතුවා. ඒ තමයි මම අම්මා එක්ක කතා කළ අන්තිම දවස.

මම කවදාවත් අම්මට මෙහෙම වෙයි කියලා අදහසක හිටියෙ නෑ. ඒත් ටික ටික එයා දුර්වල වෙන බව තේරුණා. සිකුරාදා ( ජූනි 30) හවස මැච් එක ශාන්ත ජෝෂප් කණ්ඩායමත් එක්ක. ඒත් 29 බ්‍රහස්පතින්දා පාන්දර හොස්පිට්ල් එකෙන් ආරංචිය ආවා මගේ අම්මා යන්නම ගිහින් කියලා...

මම කෑගහලා ඇඬුවා. මට හැමදේම අමතක වුණා. මැච් එකක් තියනව ද කියලත් මතකයේ තිබුණේ නෑ. දැනුණේ මහ හිස් ගතියක්. ඇඟට පණ නෑ... ඔළුව කැරකෙනවා. කකුල් දෙක ගැහෙනවා.”

අම්මගේ මරණය ඉස්කෝලෙට ආරංචි වෙලා තිබුණා. උදේ ප්‍රැක්ටිස් ඉවර වෙලා ටීම් එකම ප්‍රැක්ටිස් කළ කිට් එකෙන්ම ගෙදර ආවා. මම හිටියෙ අඬාගෙන. ඒ වෙලාවේ කට්ටිය මට කිව්වේ කමක් නෑ රන්දිමාල් . උඹ සෙල්ලම් කරන්න ඕන නෑ. ඒත් උඹ වෙනුවෙන්, අම්මා වෙනුවෙන් අපි මැච් එක දිනනවා” කියලා.

“ ටීම් එක ආවට පස්සේ අයියා ඇහුවා ඔයා හෙට මැච් එක සෙල්ලම් කරනව ද කියලා. මම ඇහුවා තමුසෙට පිස්සු ද කියලා. මානසිකව ශක්තියක් නැතිව තරගයක් සෙල්ලම් කරන්න බෑ. මැච් එකට මොනව හරි වුණොත් මොකද වෙන්නේ කියලා අනික් අතට මම කල්පනා කළා.”

අපේ කැප්ටන් නවීන් කණිෂ්ක. නවීන් හවස් වෙලා ගෙදර ආවා. ඇවිත් මගේ අත අල්ලගෙන ඉඳ ගත්තා. “ රන්දිමාල්. මම ආවෙ උඹට කාරණයක් කියන්න. අම්මා හින්දයි උඹ රගර් ගැහුවේ. පොඩි කාලෙ ඉඳන්ම අම්ම උඹව හොඳ ප්ලේයර් කෙනෙක් වෙනවා දකින්න කැමැත්තෙන් හිටියෙ. උඹ ඒක කළා. වරෙන්... අම්මා වෙනුවෙන් මේ මැච් එක ගහමු. අම්මා කොහෙ හරි ඉඳන් උඹ දිහා බලන් ඉඳී.. “ නවීන් එහෙම කියනකොට මට ඇඬෙනවා. තාත්තත් අයියයි අක්කත් හිටියා. ලොකු අම්මත් එතන. හැමෝම මට කිව්වා අම්මා වෙනුවෙන් මේ මැච් එක ගහන්න කියලා.

මම අන්තිමට “හා“ කිව්වා.

මැච් එක සිකුරාදා හවස. එදා උදේ 08න් පස්සේ අම්මගේ බොඩි එක පාලර් එකට ගේනවා. ගෙදර කට්ටියම අම්මව පාලර් එකට අරන් එන්න ගියා. මම උදේ ඉස්කෝලෙට ගියා.

දරාගන්න බැරි මහා හිස් ගතියක් එක්ක එන බිඳ වැටීම එක්කමයි ඉස්කෝලෙට ගියේ. ටීම් එකේ හැම කෙනාම මේ සිද්ධිය දැනගත්ත මොහොතේ ඉඳන් මාත් එක්ක හිටියා.

මැච් එකට කලින් වෝමප් එකේදි තමයි මට පුදුම විදිහට දැනුණේ. නවීන් කිව්වා “රන්දිමාල් අද අපි මැච් එක ගහන්නෙ අම්මා වෙනුවෙන්. ඒ උඹේ අම්මා විතරක් නෙමෙයි. අපි හැමෝගෙම අම්මා. අම්මා උඩ ඉඳන් බලන් ඉන්නවා. අපේ අම්මා වෙනුවෙන් අපි මේක ගහමු. “ කියලා. ඊට වඩා වෙන ශක්තියක් ඕන වුණේ නෑ මට. “

“මැච් එකක දි මුලින්ම ග්‍රවුන්ඩ් එකට බහින්නේ කැප්ටන්. එත් මේ මැච් එකේදි මුලින්ම බැස්සේ නවීන් නෙමෙයි. “ රන්දිමාල්... උඹයි මුලින්ම යන්න ඕන. ඉස්සර වෙයන්.... කණිෂ්ක පිටිපස්සට ඇවිත් කිව්වා. මාව ඉස්සර කරන් ටීම් එකේ හැමෝම අතේ කළු පටියක් බැඳගෙන තමයි පිට්ටනියට ආවේ. “

ඒ මොහොතෙ ඉඳන් මම මැච් එක සෙල්ලම් කරන වෙලාව ඇතුළේ තරගය එක්කම හිටියා. නවීන් දුන්න පාස් එකක් තමයි ට්‍රයි එකක් විදිහට මම තියන්නේ. මම සෙල්ලම් කළේ මට පුළුවන් උපරිම ජවයත් එක්ක. මැච් එක ඉවර වුණාම හැමෝම මං හොයාගෙන දුවන් ආවා. ඒක මට දරාගන්න බැරි වුණු වෙලාවක්.

වොෂ් එකක් දාගෙන ටීම් එකම කෙලින්ම ආවෙ මළ ගෙදර. මම අම්මව එහෙම ඉන්නවා දැක්කේ ඒ වෙලාවේ. ආච්චි නැති වුණාම මට තේරුණා එයා නැතිවෙලා කියලා. ඒත් අම්මා අපෙන් ගියාම මම දවස් තුනම අම්මගෙ බොඩි එක දිහා බලන් හිටියත් මට තේරුණේ නෑ මොකද වෙන්නේ කියලා. අම්මා නැති වුණා කියලා මට තේරෙන්නෙ නෑ... තවමත්.... “

රන්දිමාල්ගේ කටහඬ ඇඬුම්බර වෙමින් තිබේ. වචන පැටලෙමින් ඇත. ඒත් ඔහු අඬන්නේ නැත. ඇතුළතින් මතුවන විලාපය බොඳවී යන ඇස්වලින් පෙනේ.

රන්දිමාල්ගේ අයියා යහන් නිහඬ බව බින්දේය.

“2020දී තමයි අම්මා අසනීප වුණේ. මුල්න්බඩේ අමාරුවක් ආවා. හිතුවේ ගැස්ට්‍රයිටීස් කියලා. ඊට පස්සේ සීටී ස්කෑන් එකක් කළා. එතනදි තමයි කිව්වෙ පිළිකා සෛල තියනවා... ඒත් පැතිරිලා නෑ කියලා. වූම් එකේ තමයි ප්‍රශ්නේ තිබුණේ. වූම් එක අයින් කළාම අම්මට හොඳ වුණා. ආපහු වැඩටත් ගියා.

ආයෙත් අම්මට අමාරු වුණේ ගිය අවුරුද්දේ. අපිට ඒ පාර අම්මව ආපහු එක්ක එන්න බැරිව ගියා. අම්මගේ ලොකුම අවශ්‍යතාව තිබුණේ මල්ලිව ශ්‍රී ලංකා මට්ටමේ හරි ජාත්‍යන්තර මට්ටමේ හරි ක්‍රීඩකයෙක් කරනවට වඩා එයාගේ අධ්‍යාපනය සාර්ථක කරවන්න. අන්තිමට මට අම්මා කිව්වේ මම ඉඳීද නැද්ද දන්නේ නෑ. ඒත් පොඩ්ඩට වුවමනා දේවල් දෙන්න කියලා. අම්මා මල්ලිට කිව්වේ ඒ ලේවල් කරන්න ලෑස්ති වෙන්න; බැරි නම් රගර් ගහන්න දෙන්නේ නෑ කියලා. අම්මට ඕන වුණා එයාගේ පළවෙනි බාලපොරොත්තුව ඉෂ්ඨ කළා වගේ මල්ලි අධ්‍යාපනයත් හරියට කරගන්නවා දකින්න...”

මම රන්දිමාල් දෙස බැලුවෙමි.

“පුතේ....” ඔහු හිස ඔසවා මා දෙස බැලුවේය.

“ පුතා අම්මගේ අනෙක් බලාපොරොත්තුව ගැන මොකද හිතන්නේ...”

“දෙසැම්බර්වල ඒ ලෙවල් තියනවා. මම විභාගෙ කරනවා. මේ සැරේ අපහසු වෙන්න පුළුවන්. ඒත් දෙවැනි වාරයක් හරි කරලා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන ගමන් උපාධියක් කරන්න ඕන.”

යළිත් මඳ නිහැඬියාවකි.

“ අම්මා කොහෙ හරි ඉඳන් මං දිහා බලන් ඉන්නවා ඇති...”

මම රන්දිමාල් දෙස බැලුවෙමි. තවමත් ඇස්වලින් උණුසුම් කඳුළු සිර වී ඇත. සම් මස් ලේ නහර විනිවිද සිරුර පුරා විනිවිදින අම්මා කෙනකුගේ ආදරය අම්මා ළඟ නැතත් දරුවකුගේ ජීවිතයට පණ දෙන ආකාරය විශ්මය ජනකය.

ඡායාරූප - තිලක් පෙරේරා

Comments