''ලෝකයේ විශාල ලෙස වෙනස්වීම් සිදුවෙමින් පවතී. අපි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී විශාල අර්බුදයක සිටියි. මේ ආර්ථික අර්බුදය නිසා ලෝකයේ ඇත්ත වශයෙන්ම බොහෝ දේශපාලන වෙනස්කම් ඇති විය හැකියි. අපි මේ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ; අපේ ගමන සාර්ථක කර ගැනීමටයි. මෙතැනදී ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. ඇතැම් අය සහන බලාපොරොත්තු වෙනු ඇත. සහන නොදිය යුතු යැයි මා නොකියමි. නමුත් එය පමණක් අරමුණක් කරගෙන නොසිටිය යුතුයි. අමාරුකම්වලට අපිට මුහුණ පෑමට සිදු වෙයි. අපේ ගමනට අපි සූදානම් විය යුතුයි. අපේ ගමන ගැන අපි අධිෂ්ඨානයෙන් සිටිය යුතුයි. සුළු සුළු තාවකාලිකව සහන ගැන හෝ පවතින අමාරුකම් ගැන නොසිතිය යුතුයි. අපි මහන්සිය වී සම්පූර්ණ ශක්තිය යෙදවිය යුතුයි; අප දෙපිරිසටම සෑහෙන අමාරු කාලයකට මුහුණ පාන්නට සිදු වෙයි. ඒ අමාරු කාලය මඟ හැරීමට අපිට ශක්තියක් ඇත. ධෛර්යය ඇත, අපිට අවබෝධයක් ඇත. හොඳ හැඟීමක් ඇත. අපේ මාර්ගය ගැන හොඳ පැහැදීමක් ඇත. ඒ නිසා අපිට හොඳ අධිෂ්ඨානයකින් එඩිතරව ගමන් කරන්නට හැකි වෙයි. එසේ හැකි නම් අපට එතැනට ළඟා වීමට අසීරු නොවෙයි යන ආරාධනාව අපි දිය යුතුයි.
මේ ඇන්. ඇම්. පෙරේරා නොයෙක් වර රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ කරන ලද දේශන ඇසුරෙන් සම්පාදනය කරන ලද ලිපියකි.
මා විසින් මුදල් ඇමැති පදවිය භාරගන්නා අවදියේදී රටේ තිබු මුදල් තත්ත්වය කෙබඳු ද? අපට ඉතා විශාල අය වැය පරතරයකට මුහුණ දීමට සිදුව තිබේ. ගෙවීම් අංශයේ ලා බිහිසුණු ගෙවිම් බරක් තිබුණ අතර, එදිනෙදා මූල්‍ය වගකීම් පවා පියවීමට භාණ්ඩාරයේ මුදල් හිඟ විය. රටේ ආර්ථික දේහය මෙන්ම ජාතික ධනය ද ශක්තිමත් නීරෝගී තත්ත්වයකට ගෙන ඒම පිණිස දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ස්ථිරසාර පියවරයන් ජනතා අප්‍රසාදයට හේතු වූ නමුදු රටේ දීර්ඝ කාලීන සුබසිද්ධිය සඳහා අත්‍යවශ්‍ය විය. ධනපති පන්තියට බොහෝ දුරට බදු බර නොදමා සහන සලසමින් පැවැති ආණ්ඩු මෙන් නොව දැරිය හැකි වූ එම පන්තිය බදු පනවන ලදී රටේ නිෂ්පාදන වන ආයෝජන පුළුල් කිරීම සඳහා අවධාරණය ප්‍රයත්නයක් ඇරඹිණි. සීමිත මිනිස් හා ද්‍රව්‍ය සමිපත්වලින් යුත් සංවර්ධනය වෙමින් පවත්නා කවර හෝ කුඩා රටකට වුව ද විදේශ ආධාර නොමැතිව ප්‍රගතිය කරා ගමන් කළ නොහැකිය. මෙම ආධාර සංවර්ධන කටයුතු සඳහා පමණක් යෙදවීමට අප විසින් උත්සාහ කළ යුතුය. විදේශ ආධාර පාරිභෝගික ද්‍රව්‍ය ආතයනය සඳහා යෙදවීම උගසින් නිදහස් වීමේ බලාපොරොත්තු රහිතව අනාගතය උගස් තැබීමකි. මුදල් ඇමැති වශයෙන් මා කටයුතු කළ කාලසීමාවේදී මෙම ප්‍රශ්නවලට මුහුණ දෙන ලද්දේ කෙසේද යන්න අප විසින් දැන් සලකා බැලිය යුතුය. මගේ මුල් ම අය වැය ලේඛනයේ මා භාරගත් එක් ප්‍රධාන කාර්යයක් වූයේ මුදල් යටි මඩි ගසාගෙන තිබීම වැළැක්වීමය. හුදු බාහිර අලංකාරයෙන් යුත් සුඛෝපභෝගී ජීවිත ගත කළ බොහෝ ධනපතියන් බදු වශයෙන් ගෙවන ලද්දේ සුළු මුදලක් බව කවුරුත් දන්නා කරුණකි. සියලු පාරිභෝගික ද්‍රව්‍යවල මිළ ඉහළ යැවීමට අනුබල දෙන ලද්දේ හා උග්‍ර කරන ලද්දේ ඔවුන් විසිනි. සෙසු ජන කොටස් වලට හුදු ජීවන තත්ත්වයක් ආරුඪ කරන ලද්දේත් ඔවුන්ය. එබැවින් ඔවුන් විසින් සඟවාගෙන සිටි මුදල් එළියට අද්දවා ඒවා රටෙහි සම්පත් වර්ධනය වෙනුවෙන් රටට ලබා දීම අවශ්‍ය විය.
ඒ අනුව මගේ ප්‍රථම අය වැය ලේඛනයෙන් එවකට වලංගුව තිබූ රුපියල් 50 සහ රුපියල් 100 නෝට්ටු අවලංගු කොට අලුත් නෝට්ටු නිකුත් කරන ලදී. ඒ අනුව අද කවුරුත් දන්නා පරිදි සැඟ වී තිබූ බොහෝ මුදල් මතු විය. එය මේ රටේ ජනතාවට ඵලදායි පාඩම් රැසක් ඉගැන්වීය. මුදල් යටි මඩි ගැසීම සමාජ ද්‍රෝහි ක්‍රියාවෙකි යන කරුණ ඉන් ඉහළින් එළි දැක්විණ. යටි මඩි ගැහීම ප්‍රවේශම් සහිත ක්‍රියාවක් නොවන බව ද එයින් ඔප්පු විය. මුදල් තිබිය යුත්තේ රට සංවර්ධනය කිරීම සඳහා පාවිච්චි කිරීමටය. මුදල්වලින් අදහස් කරන්නේ පාරිභෝජනය සඳහා පමණක් සහවා තැබීම නොවේ. අතිරික්ත මුදල් තැන්පත් කිරීම සඳහා බැංකු යොදා ගැනීමේ වැදගත්කම ද මෙම ක්‍රියාදාමය හේතු කොට ගෙන තව දුරටත් අවබෝධ කෙරිණ. මෙය මුදලේ හුදු ආරක්ෂාව සහතික කළා පමණක් නොව, ඉතුරු කරන ලද මුදලින් සාධාරණ ආදායමක් ද තහවුරු කරන්නක් විය. මෙයටත් වඩා වැදගත් වූයේ රටේ ධන සම්පත් සංවර්ධනය පිණිස බැංකු මඟින් මෙම මුදල් ලබා දීමට හැකි වීමය.
මෙහිදී අනිවාර්ය ඉතිරි කිරීමේ ක්‍රමය අරඹන ලදී. වර්ෂයකට රුපියල් 6,000කට වැඩි වාර්ෂික ආදායමක් ඇති සෑම පුද්ගලයෙකු විසින්ම සිය වාර්ෂික ආදායමෙන් ප්‍රතිශතයක් ආණ්ඩුවට ගෙවීමට සැලැස්වීය. වර්ෂයකට රුපියල් 6000 සහ රුපියල් 12,000 අතර ආදායමක් ලැබුවන් විසින් මුළු ආදායමෙන් සියයට දෙකක් ගෙවන ලදී. රුපියල් 12,0000 සහ රුපියල් 25,000/ අතර වූවන් සියයට පහක් රුපියල් 25,000 සිට රුපියල් 60,000 අතර වූවන් සියයට දහයක් ද, රුපියල් 60,000 සහ රුපියල් 1,40,000ට වැඩි වූවන් සියයට විස්සක් ද යනාදී වශයෙන් අනුක්‍රමයෙන් ගෙවන ලද්දේය. කොම්පැණිවලින් සිය ආදායම් බදු කොටස් මුදල් ගෙවීමෙන් පසු ඉතිරි වන ලාභාංශවලින් සියයට පණහක් එනම් හරි අඩක් අය කෙරණි මෙය බද්දක් නොවූ අතර, ආපසු ලබා ගත හැකි වූ මුදලකි. මේ මුදල් පරිභෝජනයෙන් ආයෝජනය සඳහා හැරවීමට දරන ලද ප්‍රයත්නයකි. ක්‍රම ක්‍රමයෙන් ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමය ලිහිල් කරන ලදී. එය ඉතා ඉහළ මට්ටමේ ආදායම් ලබන්නන්ට පමණක් සීමා විය. එසේම එය වියදම් සිමා කිරීමේ යෝජනාවකට මාරු කරන ලදී. මසකට රුපියල් 2000කට දිගු වූ ආදායම පසුව රු 2500 දක්වා වැඩි කිරීමෙන් අනිවාර්ය කර අත්පත් කර ගැනිණ. මේ අන්දමින් යොමු කිරීමට සැලැස්වූ ශුද්ධ මුදල රුපියල් කෝටි දහසකි. මෙම මුදල රාජ්‍ය අංශයේ ව්‍යාපාරවලට මුදල් සපයන ජාතික සංවර්ධන බැංකුවක් පිහිටුවීම පිණිස යෙදීමට මම යෝජනා කළෙමි.
මේ යෝජනා දෙකම, රටේ ධනවත් සහ වත්පොහොසත්කම් ඇති පන්තිවලට බලපෑවේය. මෙතෙක් කල් පැවැතියේ ආණ්ඩුවෙන් සුරතල් කරන ලද පන්තියකි. ඉහළ ආදායම් ලබන කොටස්වලට පනවනු ලැබූ ප්‍රාග්ධන බද්දෙන් මේ පන්තියට වැදුණේ මෙයට වඩා ලොකු පහරකි. මෙය ධන බද්දට අතිරේකවය. පුද්ගලයකුගේ ධනය රුපියල් දෙලක්‍ෂයකට අධික වූ විට ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක වීම ඇරඹිණ. එබඳු පුද්ගලයකු විසින් සිය ධනයෙන් සියයට 3ක් ප්‍රාග්ධන බදු වෙනුවෙන් ගෙවනු ලැබීය. ඊළඟ රුපියල් 2,00,000ට සියයට පහක් අය කරන ලදී. ඊළඟ රුපියල් 2,00,000ට සියයට දහයක් ද ඊළඟ රුපියල් 2,00,000ට සියයට පහළොවක් ද අය විය. ඔබ්බට වැඩි වන ධනයෙන් සියයට විසිපහක් ද අය විය. මෙම ප්‍රාග්ධන බද්ද ක්ෂණිකවම වාගේ ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කළ නමුදු අගමැතිනියගේ වුවමනාවට ඉඩදීමේ හේතුවෙන් 1974 වන තෙක් එය ක්‍රියාත්මක කළ නොහැකි විය. එසේ කළ හැකි වූයේ ද ධනපතියන්ට තව දුරටත් වැඩි සහන දීම පිණිස යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව ය. ව්‍යාපාරික පිරිවැටුම් බද්ද සංශෝධනය කිරීමෙන් සහ සුඛෝපභෝගී භාණ්ඩ මිල නැංවීම තුළින් ධනපති පන්තියට තව දුරටත් පහර වැදුණි. ආදායම් බදු එකතු කිරීමේ නව ක්‍රමය මේ හා ඒකාබද්ධ කෙරිණි. උපයන විට ගෙවීමේ ක්‍රමය ඇති කරන ලදී. මෙයින් සේවකයන්ගේ ආදායම් බදු වැටුපෙන් අය කිරීමේ වගකීම සේව්‍ය පක්‍ෂයට පැවරිණ. මේ නිසා ඊළඟ අවුරුදු කීපය තුළදී අදායම් බදු එකතු වීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වූ අතර, ප්‍රථම වරට 1974 වර්ෂයේ දී එකතු කර ගන්නා ලද ආදායම් බදු ප්‍රමාණය කෝටි සියයකට වැඩි විය. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතිරි කිරීමේ බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ ව්‍යාපාරය, ඒකාබද්ධ කිරීමෙන් ඉතිරි කිරීම් ගොනු කිරීම් උදෙසා එඩිතර පියවරක් තබන ලදී. සැලකිය යුතු ඉතිරි කිරීමක් නොමැතිව මේ රට සංවර්ධනය කළ නොහැකිය. ඒ සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට විසිපහක් ඉතිරි කිරීම අපේ ඉලක්කය විය යුතුය යන කරුණට ප්‍රථමයෙන් අවධානය යොමු කරවන ලදී.
රටක ආර්ථික වර්ධනය මැනිමේ මිනුම් දණ්ඩ විය යුත්තේ දළ ජාතික නිෂ්පාදිතයේ නියත සංඛ්‍යාවන් නොව ඒ රට ලබන ආර්ථික වර්ධනයට ගැළපෙන පරිදි සමාජීය දියුණුවක් ඇති වේදැයි යන්න සොයා බැලීමෙන් බව අප නිරතුරවමව කීවෙමු.
මේ තත්ත්වය උදා වන බව අප කල්තියා හඳුනාගත් අපි; අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් කළෙමු. ශ්‍රී ලංකාවේ පහසුවෙන් වගා කළ හැකි මිරිස්, ලූනු, මුං ඇට ආදී අතිරේක ආහාර ද්‍රව්‍ය ආනයනය නොකිරීමට 1973දී අපි තීරණය කෙළෙමු. කෙටිකාලීනව දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූවත් දිගුකාලීනව යහපත් ප්‍රතිඵල ඇති වීමට ඉඩ ඇති ආහාර අර්බුදයට දෙස නොයෙක් දෙනා නොයෙක් දෘෂ්ටි කෝණයන්ගෙන් බලා එය විචාරයට ලක් කරනු පෙනේ. ඒහෙත් අපේ ආර්ථිකයේ මෙතෙක් සිදු නොවුණ එහෙත් කවදා නමුත්; සිදු විය යුතු වෙනසකට මඟ පෑදෙන බව පෙනේ. ඒ මඟින් ගැමි ජනතාවට සිදු වන අසාධාරණයක් පිටු දැකීමක් පමණක් නොව මුළු ආර්ථිකයේ නව නැම්මක් ඇති වීමට හැකියාවක් ඇති බව පැවසීම සාධාරණ වන්නේ කරුණු කිහිපයක් නිසයි.
අද උග්‍ර අවස්ථාවකට පත් වී ඇති ආහාර අර්බුදය විසඳීම පිණිස අනුගමනය කරන ප්‍රතිපත්තිය නිසා වඩා විශාල පරිමාණයෙන් ගැමි ආර්ථිකයේ පෙරළියක් ඇතිවන ලකුණු පහළ වී ඇත. උග්‍ර විදේශ මුදල් හිඟයත්, ඒ අතර මුදලටවත් සහල් ලබාගත නොහැකි වන පරිදි ලෝක ආහාර හිඟයක් ඇති වීමත් නිසා මුහුණ පා ඇති ආහාර අර්බුදයේ අභියෝගයට මුහුණ දීම පිණිස සහල් සලාකය අඩු කිරීමත්, පිටි මිල වැඩි කිරීමත් සමඟ ප්‍රධාන ආහාරයේ විවිධත්වයක් ඇති වන පරිදි සහ මුලින්ම ස්වයංපෝෂණය වන තුරු නොසිට ඉක්මන් විසඳුම් වශයෙන් මඤ්ඤොක්කා, බතල, අල, කුරක්කන් ඉරිඟු වැනි ආහාර භෝගද අපේ පරිසරයට ගැළපෙන සෝයා බෝංචි වැනි ගැමි පෝෂ්‍යදායි භෝග ද ගැමි ආර්ථිකයට හඳුන්වා දීමටඋත්සාහ කෙරේ.
ගැමි ජනතාව අපේ ආර්ථිකයේ කොඳු නාරටියයි. මෙතෙක් බිඳ දමා පණ නැති කොට තිබුණ කොන්ද නැවත කෙළින් වන පරිදි පණ ලැබීමට දැන් නැවත අවස්ථාව ලැබී ඇති බව පැහැදිලිය. එය අපේ ආර්ථිකය ද නව පණක් ලැබීමක් වනු ඇත. ජනසංඛ්‍යාවෙන් වැඩි කොටසක් නියෝජනය කරන ගැමි ජනතාවගේ දියුණුව රටේ දියුණුවයි. ආහාර අර්බුදය තුළින් ගැමි අංශයේ සිදු වූ නව නැම්ම ඒ ලෙසම ඉදිරියට පවත්වා ගැනීමට කවුරුත් වග බලා ගැනීමට ප්‍රවේශම් විය යුතුයි.
මෙතෙක් කුඩම්මාගේ සැලකිල්ලට ලක් වූ ගැමි අංශයෙහි අගයත් එය නොසලකා සිටීමෙන් වූ විපතත් දැන් කාටත් පෙනී ගොස් ඇත. ආහාර අර්බුදය විසඳීමට රජය අනුගමය කරන ක්‍රියාවන් තුළින් ආර්ථිකයේ විශාල පෙරළියක් සිදුවන බවත් එමඟින් රටේ ආර්ථිකය දියුණුව කරා යොමුවන වන බවත් පැවසීම සාධාරණ වන්නේ කරුණු කිහිපයක් අනුවය. පසුගිය කාලය තුළ විදේශ විනිමය හිඟය ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින විට ලුණු මිරිස් සහ අර්තාපල් ආනයනය කිරීම සීමා කිරිමෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම භෝග වගාව නිසා අපේ ගොවියන්ට සෑහෙන ආදායමක් ලබා ගැනීමට හැකියාවත් ගැමි ගොවියාට සෑහෙන මිලක් සහ වෙළෙඳ පොළක් ද මේ මඟින් හිමි විය. ජන සංඛ්‍යාවෙන් වැඩි කොටසක් නියෝජනය කරන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම රටේ උසස්වීමකි.
ඒ හා සමඟම කෘෂිකාර්මික අංශයේ අපනයන වෙනුවට දේශීය නිෂ්පාදනයන් යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අන්දමින් වර්ධනය වීමත් සමඟම මෙතෙක් ඒ සඳහා යෙදවූ විදේශ විනිමය විශාල ප්‍රමණයක් නිෂ්පාදන හා ඉදිකිරීම් අංශවලට යොදවන්නට හැකිවී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ අංශවල පවත්නා වැඩිපුර හැකියාවක් වඩවඩාත් ප්‍රයෝජනයට ගැනීමටත්, වැඩි වශයෙන් රැකියා සැපයීමටත් හැකි වී එමඟින් ජාතික නිෂ්පාදිතයට සෑහෙන සේවයක් සිදු කිරීමටත් හැකිවනු ඇත. මේ සියලු කරුණු ගැන සලකා බලන විට පවත්නා ආර්ථික වර්ධනයේ දියුණුව 1974දී වඩාත් ඉක්මනින් ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.
සකස් කළේ, l සුභද්‍රා දේශප්‍රිය