ගානියා බැරිස්ටර්ගේ අසත්‍ය පැමිණිල්ලට අධිකරණයෙන් දඬුවමක් | Page 5 | සිළුමිණ

ගානියා බැරිස්ටර්ගේ අසත්‍ය පැමිණිල්ලට අධිකරණයෙන් දඬුවමක්

ගානියා සිය නඩුව විභාග වන කාලයේදි උසාවියට පැමිණි මොහොතක

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් තමන්ව පැහැර ගෙන ගොස් හිංසනයට ලක් කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි අධි චෝදනා ලත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට වසර 05කට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය ඉකුත් 14 දා නියම කළේය. අදාළ චෝදනාවලට තමන් වැරදිකරු වන බවට ගානියා බැරිස්ටර් විසින් විවෘත අධිකරණයේ දී පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලෙ රුපියල් 5,000ක දඩයක් සහ රුපියල් ලක්ෂ 20ක වන්දියක් රජයට ගෙවන ලෙසට ද විත්තිකාරිය ට නියම කළේය .

2019 නොවැම්බර් මස 25 වැනි දින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ වීසා නිලධාරිනියක වූ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය සුදු වෑන් රථයකින් පැමිණි සී.අයි.ඩී නිලධාරීන් පිරිසක් විසින් කොළඹ 07 ශාන්ත බ්‍රිජට් විද්‍යාලය ඉදිරියේ දී පැහැර ගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබා දීම පිළිබඳ ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබා මුදා හැර ඇතැයි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරි රාහුල් ඉන්බැජ් විසින් විදේශ අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් යොමු කර තිබිණි. අනතුරුව ගානියා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ තබා ගැනීමට කටයුතු කළ අතර ඇය ගැන කිසිදු තොරතුරක් ලබා දීමට තානාපති කාර්යාලය කටයුතු කළේ නැත.

සිද්ධියට අදාළව විධිමත් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කිරීමට රජය නියෝග කළේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වහාම විමර්ශන කටයුතු ආරම්භ කළේය. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය තොරතුරු හෙළි නොකළ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේකී වීසා නිලධාරිනිය ගානියා බැරිස්ටර් නමැති කාන්තාවක බව හඳුනාගෙන තිබිණි. විමර්ශන ආරම්භය සිදුවන්නේ පැමිණිලි කළ දිනයේ සඳහන් කළ වේලාව ආවරණය වන පරිදි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් ය. නමුත් එවැනි කිසිදු සිදුවීමක් සටහන් වී තිබුණේ නැත.

අනතුරුව අපරාධ පරීක්ෂණ අංශ සිද්ධිය වී යැයි පවසන කාලය තුළ ගානියා බැරිස්ටර් ආගිය තැන් සම්බන්ධව සෙව්වේය. සිද්ධිය වූ දා මාලිගාකන්ද ඇගේ නිවෙසේ සිට බම්බලපිටිය පැල්මයිරා ප්‍රදේශයේ හිතවත් ගුරුවරියකගේ නිවෙසකට ගොස් එතැන් සිට ගාලුපාර ඔස්සේ සිය නිවෙසට පැමිණීම දක්වා වූ දර්ශන අඩංගු සී.සී.ටී.වී දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ඒ සියලු තොරතුරු අධිකරණය ඉදිරියේ තහවුරු කෙරිණි. මේ තත්ත්වය තුළ ගානියා බැරිස්ටර් යම් පිරිසකගේ අවශ්‍යතාව මත රඟපෑමක් සිදුකරන බව විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබුණු ආකාරය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ විය.

ඒ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක රෝහල්ගතව සිටි ගානියාගේ විදේශ ගමන් තහනම් කර 2019 දෙසැම්බර් 03 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කරමින් 2019 දෙසැම්බර් 09 දිනට පෙර ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිට කටඋත්තරයක් ලබා දීමට ද නියෝග කළාය. අනතුරුව ගානියා 2019 දෙසැම්බර් 08 දින සවස නීතිඥවරු දෙදෙනෙක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 04කට ආසන්න කාලයක් තිස්සේ සිය ප්‍රකාශය ලබා දුන්නාය. එහිදී ඇය කීවේ නොවැම්බර් මස 25 වැනිදා සවස තමා බම්බලපිටිය පැල්මයිරා මාවතේ පිහිටි ගුරුවරියකගේ මහල් නිවෙසකට ගිය බවය. එම නිවෙස තුළ සාලයේදී කිසියම් පිරිසක් විසින් තමන්ට පහරදී තර්ජනය කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා නමැති නිලධාරියාගේ විදේශගත වීම පිළිබඳ ප්‍රශ්න කළ බව ද ඇය පවසා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇය කියූ දිනයේ සඳහන් කළ වෙලාවට අදාළව පැල්මයිරා නිවාස සංකීර්ණයේ සී. සී. ටී. වී කැමරා පද්ධතිය පරීක්ෂා කළේය. 

එහෙත් පැහැර ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් පිළිබඳ කිසිඳු තොරතුරක් නොතිබිණි. අනතුරුව ගානියා කී පැල්මයිරා පෙදෙසේ නිවෙස හිමිකාර ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ස්ථිරවම කියා සිටියේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සඳහන් කරන ආකාරයේ කිසිදු සිදුවීමක් සිය නිවෙස තුළ නොවූ බවය. සියල්ල හෙළි වෙමින් තිබිණි. පැහැර ගැනීමට ලක්වූ බවටත් ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වූ බවටත් චෝදනා කරමින් ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්කිරීම හා අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් ඇයට අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල විය.

අනතුරුව රහස් පොලිසිය මගින් අත්අඩංගුට ගනු ලැබූ ගානියා බැරිස්ටර් 2019 දෙසැම්බර් 30 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. සිද්ධිය මෙම කාන්තාවගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද එසේ නොමැති නම් ඒ පිටුපස කිසියම් පුද්ගලයකු සිටිනවා ද යන්න, අනාවරණය කර ගැනීමට විමර්ශන දියත් වන බව අධිකරණයේ දී කියැවිණි.

කෙසේ වෙතත් 2019 දෙසැම්බර් 30 වැනිදා ගානියා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. ඇය සම්බන්ධව නඩු කටයුතු දීර්ඝ ලෙස සිදුවෙමින් තිබූ අතර 2021 මාර්තු මස 09 වැනි දින ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට කොළඹ මහාධිකරණය හමුවේ දී නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය. අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම, එම පැමිණිල්ල ඉදිරි නඩු කටයුත්තක දී සාක්ෂි ලෙස භාවිත කිරීමට බොරු සාක්ෂි ගෙතීම ඇතුළු අධිචෝදනාව යටතේ ඇයට එරෙහිව නඩුව පවරා තිබිණි. ඉකුත් සිකුරාදා (14) තෙක් විභාග වූ ඒ නඩුව අවසන් විය.

එහිදි ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදු කළ බවට ඇය වෙත කර තිබූ චෝදනාවන්ට තමන් වැරදිකරු වන බවට ගානියා බැරිස්ටර් විසින් විවෘත අධිකරණයේ දී පිළිගත්තාය.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව ඇයට අත්හිටවු සිරදඬුවම් සහ වන්දිය නියම කෙරිණි. එම වන්දිය හා දඩය නොගෙවන්නේ නම් මාස තුන බැගින් මාස හයක 6 ක සිර දඬුවම් ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා

විත්තිකාරිය ට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර, අදාළ දඩ හා වන්දි ගෙවූ පසු ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට දන්වා සිටියේය.

නැවත මෙවැනි වැරදි සිදුකළ හොත් අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක වන බව ද විනිසුරුවරයා ගානියා බැරස්ටර්ට අවවාද කරමින් දන්වා සිටියේය. ගානියා ඉකුත් 14 දාම දඩ හා වන්දි මුදල් ගෙවා අවසන් කළාය.

 

Comments