
බුද්ධ ප්‍රතිමාවක් සහ කතරගම දේව රුවක් වාහනයේ ඉදිරිපස තැබිය යුතුයි
නිසි පරිදි ජීවම් කරන ලද ජලය වාහනයටත් රෝදවලටත් ඉසින්න
මේ කටයුත්ත නිවැරදිව කළොත් ඔබත් වාහනයත් අනතුරුවලින් ගැලවෙනවාමයි
මන්ත්‍රයෙන් ජීවම් කළ දුම සතියට දෙවරක් වාහනයට අල්ලන්න
වර්තමානය වන විට මෙරට සිදු වන රිය අනතුරුවල ප්‍රවණතාවක් දක්නට ඇත. ජනමාධ්‍ය ඔස්සේ ද මේ ගැන දිනපතාම පාහේ වාර්තා කරයි. රියැදුරන්ට කොපමණ නීතිරීති පනවා තිබුණත් දිනෙන් දින ඉහළ යන මාරක රිය අනතුරුවලින් අහිමි වන ජීවිත බොහෝය. එලෙස අකාලයේ අහිමි වන ජීවිත රැක ගැනීමට අතිශයින් සත්‍ය වූත් නිවැරදි වූත් 'ගුප්තමය ක්‍රමවේදයක්' පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
අපේ රටේ සිදු වන රිය අනතුරු පිළිබඳව සොයා බැලීමේදී අපරික්ෂාකාරීභාවය, වේගය මෙන්ම ගමන නිමා කිරීමට රියැදුරුට ඇති ඉක්මන ආදී කරුණු සැලකිල්ලට ගත හැකිය. බොහෝ මාරක අනතුරු සිදු වන්නේ ගමනාන්තය දක්වා යාමේදී ගමනාන්තයට ආසන්නව බව හෙළි වී ඇත. වෙහෙසකරභාවය නිදිමත වැනි කරුණුද ඊට අදාළ වේ. කරුණු කාරණා එසේ වුවද රියැදුරුටත් ඔහු රැගෙන යන මගීන්ටත් වාහනයටත් ආරක්ෂාව ලැබීම වෙනුවෙන්ම විශේෂිත වූ පහත සඳහන් ගුප්ත ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ඔබ ද ආරක්ෂා වී වාහනයද රැක ගැනීමට හැකි වනු ඇත. වාහන කරා එන 'අනිසි බලපෑම්' වළකාලීමට මෙහි පහත ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් හැකි වනු ඇත. මෙය නිතර කිරීමෙන් නිසැක ප්‍රතිඵල ලැබෙන බවට සහතික කළ හැකිය.
ක්‍රමවේදය
පෙරා ගත් පිරිසිදු පැන් වීදුරුවක් ගෙන ඊට රතු මල් 03ක් දමා පහත සඳහන් මන්ත්‍රයෙන් 334 වර ජීවම් කර මනා ලෙස රථයේ රෝදවලට පිටතට ඇතුළතට ඉසින්න. එවිට වාහන කරා එන සියලු දෝෂ දුරු වී ආරක්ෂාව ලැබෙනු ඇත.
මන්ත්‍රය
රක්තමායං රක්තමායං සුගන්ධ දීපං
ස්කන්ධ කුමාර දේවං නමෝ සිමං සිමං
..................
(හිස්තැනට වාහන අංකය යොදන්න.)
යන්ත්‍ර සිද්ධිං සුං දෝෂං නමස්තු
ඉහත ක්‍රමවේදය සතියකට වරක් කිරීම සුදුසු වන අතර ඊට අමතරව පහත මන්ත්‍රයෙන් දුම්මල මිශ්‍ර සාම්බ්‍රානි ජීවම් කර මනා ලෙස වාහනයට ඇතුළතට සහ පිටතට අල්ලන්න.
මන්ත්‍රය
නානාමෙත්වා ශිවාලුම්
ආදි ගුරුවාවා ශිව ගුරු වාවා
යස ඉසුරු වාවා උප්පත්ති
පත්ති දිවගුරු පාර්වති උපුල්වන්
කන්ද කුමාර ශ්‍රියා දේවි මා රක්ෂා
කරත්වා ඕං නස්තු
ක්‍රමවේදය
10544 වාරයක් යහන් පහන් දෙමින් දින 7ක් තුළ ජීවම් කර ගැනීම මැනවි. මෙය භාවිතයෙන් ඔබගේ වාහනය, රියැදුරු, මගීන් පමණක් නොව වෙළෙඳ වාහනයක් නම් ආදායමද හතර ගුණයකින් ඉහළ යාමට හේතු වනවා ඇත. මීට අමතරව රතන සූත්‍රයෙන් පිරිත් කර පිරිත් වතුර ඉසීම, රතන සූත්‍රය වාහනයේ පිරිසිදු ස්ථානයක තැබීම, බුද්ධ ප්‍රතිමාවක් සහ කතරගම දේව රුවක් වාහනයේ ඉදිරිපස තැබීම, ගමන ආරම්භය සහ නිමා කිරීමට ආසන්න වන අවස්ථාවේ පිරිත් වාදනය කිරීම, රියැදුරු නිරතුරුව බුදුගුණ සිහිපත් කිරීම ආදී මේ සියල්ල පුරුද්දක් වශයෙන් දිනපතා සිදු කිරීමෙන් කිසිම දිනක වාහනයට හෝ මගීන්ට කිසිම අනතුරක් සිදු නොවන බව නම් සහතික කළ හැකිය.
රියැදුරු විසින් තම ආත්ම විශ්වාස තබා ඉහත කාරණා ඉටු කිරීම වැදගත් වේ. ඔබට මෙය අත්හදා බැලීමට හැකිය. ඔබ රියැදුරු නම් ඔබට පුදුමාකාර ආත්ම විශ්වාසයක් හිතට ශක්තියක් ඇති වනු ඇත. ප්‍රතිපත්තිගරුකව සියල්ල සිදු කරන්න. අනවශ්‍ය ශබ්ද වාදනය නොකර බුදු ගුණ ඉස්මතු වන පිරිත් අඩුම තරමේ ගමන ආරම්භය සහ නිමාව යන කාලවලදී පුරුද්දක් ලෙස සිදු කිරීම ඉතා වැදගත්ය. ජීවිත ගණනාවක් අහිමි වීමට තප්පරයෙන් සියයෙන් එකක් වැනි කාලයක් ප්රමාණවත්ය. රතන යන්ත්‍රය ඔබගේ වාහනයේ ඉදිරිපස තබා ගැනීම මහා විශාල ආරක්ෂාවක් ඇති වීමට හේතු වනවා නිසැකය. රතන යන්ත්‍රය ලක්ෂ වර පිරිත් වූ විට වෙඩි වැදීම, ගිනි සැර, හදිසි අනතුරු ඒකාන්තයෙන්ම වළකින බව නම් සත්‍යයි.
වසර 2023 වන විට සිදුවන රිය අනතුරු, ස්වාභාවික විපත්, කරදර තුන් ගුණයකින් ඉහළ යන බව නම් පෙනෙන්නට ඇත. හදිසි අනතුරු විපත් කර්මානුකූලව සිදු වේ. කර්මය යනු අප පෙර කළ පින් සහ පව්ය. පව ඉස්මතු වූ විට කර්මය අනුව පූර්ව කළ පාපකර්මවල විපාක පල දේ. පව යටපත් කළ හැක්කේ පිනෙන් පමණයි. හොඳ කල්ක්‍රියාව පින මතුකර ගැනීමේ එක් ක්රමයකි. පින් කිරීම පව යටපත් කර ගැනීමේ ක්රමයකි. බයක් තැති ගැන්මක් ඇති වූ විට පමණක් බුදු ගුණ සිහි කිරීමට සීමා නොවී මාර්ගවල ගමන් කිරීමේදීත් එය අනුගමනය කරනවා නම් අප නොසිතාම අපට නොපෙනෙන ආරක්ෂාවක් ලැබේ. අපි එය අපේ ජීවිතවලට හුරු කර ගත යුතුය. ඉහත සඳහන් ක්‍රමවේද හා අවවාද ඔබ අනුගමනය කරන්නේ නම් ඒකාන්ත වශයෙන්ම ඔබේ ආරක්ෂාව ඔබට ලැබේ.
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ