නි‍වසේදී වන්දනාමාන කරන දේව ප්‍රතිමා බලගන්වන නියම ක්‍රමය මෙන්න ! | සිළුමිණ

නි‍වසේදී වන්දනාමාන කරන දේව ප්‍රතිමා බලගන්වන නියම ක්‍රමය මෙන්න !

පුරාණයේ සිට ශ්‍රී ලාංකීය ජන සමාජය සංස්කෘතිය සමඟ බද්ධව දේව සංකල්ප පිළිබඳවද ආකල්ප සහිත වුවන් බව පෙනී යන වැදගත්ම කරුණකි. බුදු සමයේදී විවිධ සුත්‍ර දේශනාවලද දෙවියන් පිළිබඳව කරුණු ඉදිරිපත් වන අතර, ජාතක කතාවලද සක්වළටම අධිපති සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව ද කරුණු දක්වා ඇත. මිනිසා ඉතා භක්තියෙන් සහ ගෞරවයෙන් යුතුව දෙවියන් ඇදහීමේ සංකල්පය කිසිසේත්ම බැහැර කළ නොහැකිය. මනුෂ්‍යයන්ගේ එදිනෙදා කටයුතුවලදී විවිධ ගැටලු ප්‍රශ්න පැන නැඟීම සාමාන්‍ය දෙයකි. ඊට විසඳුම් සපයා ගැනීමට වෙහෙස දරන අයට පියවි ලෝකයෙන් පිළිතුරු නොලැබුණ අවස්ථාවල නිරායාසයෙන්ම නොපෙනෙන ලෝකය ගැන සොයන්නට පටන් ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

එවන් අවස්ථාවල දෙවියන් පිළිබඳ සංකල්පය ඉස්මතු වේ. මිනිසුන්ගේ හදවතේ උපදින විශ්වාස නිසාම දේවාල, කෝවිල් වෙත යෑමට පුරුදුව සිටිති. මෙසේ යන අය තම දුක දෙවියන් ඉදිරියේ කියාපාන්නේ පිහිටක් පතාය. එසේ දේවාල කෝවිල් වෙත ගොස් තම දුක කියා ඊට මානසික සහ ප්‍රායෝගික සහනයක් ලබන මිනිසුන් තම හිතේ පවතින විශ්වාසය සහ භක්තිය නිසාම දේව ප්‍රතිමාවලට තම නිවස තුළදී පුද පූජා පැවැත්වීමට පුරුදුව සිටිති.

එවන් අවස්ථාවල දෙවියන්ගේ ප්‍රතිමාවල අසීමිත බලය 'ප්‍රාණ ගැන්වීමේ' වසර සිය ගණනක් ඉපැරණි ඉතාම රහස් මෙන්ම අතිශයින් වැදගත් ක්‍රම උපාය මාර්ගයක් සුවහසක් වූ ඉසිවර පාඨක ඔබ හමුවේ තබමි. මෙම ක්‍රමවේදය සත්‍ය ලෙසම නිසැක ප්‍රතිඵල දෙවියන්ගෙන් ලැබිය හැකි අපූරුතම ක්‍රමයකි.

දේව රූප එසෙත් නැතිනම් ප්‍රතිමා නිර්මාණය වී ඇත්තේ යම් විශ්ව ආකර්ෂණයක් ලැබෙන පරිදිය. කොතරම් ශක්ති විශේෂයක් දේව රූප ප්‍රතිමා කෙරෙහි බලපවතින්නේද යන්න සාමාන්‍ය ජනයාට අවබෝධ කරගැනීම අපහසුය. ඇත්තෙන්ම කතරගම දෙවිඳුට මූණු සයක් අත් දොළසක් ඇත්තේය. ගණ දෙවිඳුට හොඬවැලක් සහ ලොකු උදරයක් ඇත්තේය. ඒ ඒ රූප ස්වභාවයන් පිළිබඳව විවිධ ජනප්‍රවාදද පවතින අතර ජනප්‍රවාද මතවලින් එහා ගොස් විමසා බැලීමේදී ගම්‍ය වන කරුණු විමසා බැලිය යුතුමය.

ගණ දෙවිඳුගේ රූප ස්වභාවය පිළිබඳ සිතීමේදී උන්වහන්සේගේ හොඬවැල තුළින් අපේක්ෂා කරනු ලබන්නේ ශාරීරික ශක්තියයි. උදරයේ සශ්‍රියභාවයද මී වාහනය තුළින් සූක්ෂ්ම භාවයද පිළිබිඹු කරයි. කතරගම දෙවිඳුගේ මූණු සයෙන් අපේක්ෂා වන්නේ සහ දිසාවල අත් දොළසෙන් ගම්‍ය වන්නේ හැකියාව සහ වේගවත් බවයි. අත් දෙකක් ඇති මනුෂ්‍ය අපි කරන කටයුතු මෙන් උන්වහන්සේට සය ගුණයක් සිදු කිරීමට හැකිය. සෑම දෙවි කෙනෙකුටම එසේ විවිධ රූපකායන් ඇති අතර හෙල්ල, ත්‍රිශූලය ආදී ආභරණ තුළින් ද විවිධ ක්‍රියාවන් නිරූපණය වේ. මාගේ මෙහි අරමුණ වන්නේ දේව ප්‍රතිමා බලගැන්වීම තුළින් දේවාකර්ෂණය ලබා ගන්නේ කෙසේ ද යන්න ඔබ දැනුවත් කිරීමයි.

මෙසේ ලබා දෙන උපදෙස් දශක තුනක කාලයක් පුරා අත්දැකීම් ලද බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. මෙතෙක් ගුරුකුලය තුළ ප්‍රබල රහසක්ව පැවැති මෙය ඔබ අතට පත්වීමද ඔබගේ භාග්‍යයක් කොට සැලකිය හැකිය.

දේවාලයක හෝ නිවසක තමන් ඉතා භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව වඳින පුදන දේව රූප සඳහා ඇත්තෙන්ම දේවාකර්ෂණය ලබාගත යුතුමය. එසේ දේවාකර්ෂණය ලැබීම තුළින් ඔබගේ සිතැඟි ප්‍රාර්ථනා දෙවියන් විසින් කල් නොයවා එවලේම ලබා දෙනු ඇත. දේව රූප බලගන්වන්නේ මෙසේය.

කළු ගලෙන් නෙළන ලද පිළිම නම් ඉතාම යෝග්‍යය. ප්ලාස්ටර් පැරිස්, මැටි පිළිම වුවද කම් නැත. නමුත් දේව රූප පින්තූර බලගැන්වීම අපහසු කාර්යයකි. මුලින්ම දේව ප්‍රතිමාව සත් ආකාරයකට දෝවනය කරගත යුතුය. එම සත් ආකාරය නම්,

* සත් විට පෙරාගත් ජලය

* කිරි, තැඹිලි වතුර, ඖෂධ තම්බා ගත් වතුර, සඳුන් කිරි පැණි, කහ දියර, නැවත සත් විට පෙරාගත් ජලය ලෙසය.

දොවාගත් පිළිම වහන්සේ ඔබ කලින් සකසා ගත් ආසනයක් මතට වැඩම කරවා උන්වහන්සේ ඉදිරියේ පෙරා ගත් ජල බඳුනක් තබා සමන්පිච්ච මල් 54ක් තබා බුලත් කොළ 7ක් මත මැටි පහන් 7ක් තබා එම පහන් 7 එළඟිතෙල්, සඳුන් තෙල්, කපුරු තෙල්, තලතෙල්, අබ තෙල්, පස් තෙල්, තැඹිලි තෙල්වලින් දල්වා සුවඳ දී පහත සඳහන් ගාථා කියා මුලින්ම වන්දනා කළ යුතුය.

•දෙවියන් උදෙසා මල් පූජා කිරීමේ ගාථාව

සිද්ධි සිද්ධි ස්වර්ණමාය

තේමං තේමං කුසුම පූජං

සිද්ධි සිද්ධි ජාලං ජාලං

තේ නමෝ පාද ස්වර්ණ මේ

•දෙවනුව දෙවියන් උදෙසා පහන් පූජාව පවත්වන්න

සර්ව දේවං සිද්ධි නාමං තෙ

කිරණ පාක්‍යම් කිරණ පාක්‍යම්

සර්ව කිරණන් සුසිද්ධියා නාමතෙ

සිද්ධියා යලලං භජං තිර මාක්‍යාම්

අනතුරුව සලඹක් ගෙන දේව ප්‍රතිමාවට පූජා කරන්න.

•ගාථාව :-

සාලමායං සමද්ද සිද්ධියා දේමෝ

සර්ව නාමං සාල සිද්ධියා පූජා භවන්තු

සාමක්තියා දිෂ්ටි

පායන්තු සීලං භවන්තේ

අවසාන වශයෙන් බුලත් හුරුල්ලක් තම නළලත තබා ගනිමින් පහත ගාථාව 7 වරක් කියා දෙවියන්ගේ පාමුල තැබිය යුතුය.

ගාථාව

වද්දි වද්දි සු සං මේ

සමං සමං තේජෝ තේජෝ

දේවෝ ශුලං තාම්බුලං දානං

දේවෝ භජන් භජන් නමඃ

ඉහත පූජාවන් හා ක්‍රියාවන් නිසි ආකාරව පවත්වාගෙන 'වී' සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන පිළිමය වටේට අසුරන්න. පසුව පහත මන්ත්‍රයෙන් දිනකට 1008 බැගින් දින 14ක් පිරිසිදු සාම්බ්‍රාණි ජීවම් කර උදේ හවස නියමිත එක් වේලාවක් තුළ පහන් මල් සඳුන් පුදා දුම් දෙනු. පිළිමය බලගැන්වේ. පිළිම වහන්සේ චලනය වේ. එම මන්ත්‍රය මේ සමඟ පළවේ.

ඉහත සියල්ලටම පෙර මන්ත්‍ර සිද්ධි ලද පළපුරුදු විශ්වාසවන්ත මන්ත්‍රිකයකු ලවා පහත මන්ත්‍රයෙන් තල තෙල් කාලක් පමණ ගෙන දහස් වර ජීවම් කර පිළිමයේ ආලේප කිරීම කළ යුතුමය.

•තලතෙල් ජීවම් මන්ත්‍රය

ඕං නමෝ කඃ කඃ කුඃ කුඃ කිඃ කිඃ ශ්‍රි යඃ

මෙසේ ඔබ දේවාලයේ හෝ නිවසේ දේව මන්දිරයේ දේව ප්‍රතිමා බලගන්වා සත්කාර කරන්නේ නම් දෙවියන්ගේ ආකර්ෂණය අනිවාර්යෙන්ම දේව ප්‍රතිමාවට ලැබෙනු ඇත. දෙවියන් සතුටු වී ඔබට මෙහි ප්‍රතිඵල ලෙස ඥානය, ශ්‍රියාව, නිරෝගීකම, ග්‍රහ අපල දුරු වීම, දේව ප්‍රසාදය වරම් ලැබීම, දෘශ්‍යාබාධ දුරු වීම, මාරක අපල හරණය වීම, ඉටු ශක්ති වර්ධනය, ගුණධර්ම වර්ධනය, ඉවසීම, භාෂණ හැකියාව, රෝග පීඩාදියෙන් වැළකීම, ශරීර වර්ණය පැහැපත් වීම, මූණකට ආලෝකවත් වීම, දිර්ඝායුෂ ලැබීම, එදිරිවාදින් වැළකීම ආදී සකලවිධ කාරණාවලට යෝග්‍ය බව මගේ අත්දැකීමයි.

විශ්වයේ ප්‍රබලම ශක්තිය බුද්ධ ශක්තිය බව සිහි තබාගත යුතුය. මේ සියල්ල කළ යුත්තේ පංචශීලයෙහි පිහිටා බව සිතට ගත යුතුය. තමා වරද කර එයින් බේරීමට මෙය වලංගු නොවන අතර කිසිදු ගුරු වරමක්ද ඒ සඳහා නොලැබෙන බව ප්‍රකාශ කළ යුතුමය.

මේ සියල්ල ඉතා පිරිසිදුව සිදු කරන ගමන් පුරුද්දක් ලෙස පළමුව බුදුන් වැඳ තුණුරුවන්ගේ සූවිසි මහා ගුණය තුන් සිතේ රඳවා දෙවනුව දෙවියන් වන්දනාවේදී පළමුවම දෙවියන්ට පහත ශ්ලෝකය සීනුවක් නාද කරමින් ගායනා කර දෙවියන්ට ආරාධනා කරන්න.

දෙවනුව පෙර කී වතාවන් පිරිසිදු සිතින් කරන්න. සැබෑවටම ඔබගේ දේව මන්දිරයට දෙවියන් වඩිනු නිසැකය.

 

•දේව ආරාධනාව

ඕම් ශක්‍රදේවෙන්ද්‍රයාය නමඃ

මන්ත්‍ර හීනම් ක්‍රියාහිනම් භක්ති හිනම්

යාඥ පූජිතම් ඕම් ශක්‍ර දේව රාජා පරිපුර්ණම්

තදස්තුමේ ආසන ප්‍රවිෂ්ඨම්

ඕම් බ්‍රහ්ම දේවේන්ද්‍රයාය නමඃ

මන්ත්‍ර හිනම් පේ

ඕම් දේවේස්වර ශිවාය නමඃ

මන්ත්‍ර හිනම් පේ

ඕම් සිවර සුර රාජාය නමඃ පේ

ඕම් ශ්‍රී නාරායන නමඃ පේ

ඕම් ශ්‍රි සිද්ධ සුමන දේවාය නමඃ පේ

ඕම් ශ්‍රි ලංකාධිපති විභිෂණ

දේවේන්ද්‍රයාය නමඃ පේ

ඕම් කුමාර කන්ධස්වාමි නමඃ පේ

ඕම් නවග්‍රහ මණ්ඩලාධිග්‍රහිත

දේවාය නමඃ පේ

ඕම් දොලොස්පතී භෛරව දේවාය නමඃ පේ

ඕම් මහිකාන්තා දේවි නමඃ පේ

ඕම් සර්ප විමානධිග්‍රහිත

දේවේන්ද්‍රයාය නමඃ පේ

එක්වර ඉහත ස්තෝත්‍රය හඬ නඟා කියා දෙවනුව ඔබට අවශ්‍ය දෙවියන්ට ආරාධනා කරන්න. මීට පෙර ඉසිවර පුවත්පතෙන් දෙවියන් පිළිබඳව මා විසින් ලියන ලද ලිපි පෙළේ නිවැරදි ක්‍රමවේද සඳහන්ව ඇත. එය ඔබට ප්‍රයෝජනයට ගත හැකිය.

Comments