හිත තුවාල වෙලාද?
“එ යාට වැඩිය මොනවත් කියන්න එපා , එයාගෙ හිත තුවාල වෙලා ඉන්නේ. " ඇය තම මිතුරිය පෙන්වමින් කීවාය.
" මොකක් ? හිත තුවාල වෙලා ? හිතේ අමාරු කාටද නැත්තේ? " ඔහු ඇසූයේ ඔලොක්කුවට මෙනි.
" ඒක විහිළුවක් නෙවෙයි. අපි ගණන් නොගත්තාට හිතේ ඇති වෙන තුවාල තියෙනවා මුළු ජීවිත කාලෙම විඳවන. "
" ඔයා කියන්නෙ අර නවකතාවල තියෙනවා වාගෙ? "
" ඒක විහිළුවක් නෙවෙයි. ඇත්තටම බරපතළයි. තත්ත්වයක්, තරාතිරමක් නැහැ ඒකට."
සිතේ තුවාලයක් යනුවෙන් කී සැණින් බොහෝ දෙනා සිනාවෙන්නට සූදානම් වන බව ඇත්තකි. එහෙත් එය බරපතළ තත්ත්වයක් බව අප වටහා ගත යුතු වන්නේ අප ආශ්‍රය නිශ්‍රය කරන කා තුළ ද යම් තාක් දුරකට එහි ලක්ෂණ තිබෙන්නට ඉඩ ඇති බැවිනි. කතා කරන භාෂාවෙන් හිතේ ඇතිවන තුවාලය ලෙස සරලව අර්ථ දක්වන මේ තත්ත්වය හැඳින්වෙන්නේ ක්ෂතය නමිනි.
American Psychological Association (APA), අර්ථ දක්වන අන්දමට ක්ෂතය යනු යම් අනතුරකදී, යුද අත්දැකීමකට මැදිව අවතැන්ව යෑමකදී, පවුල් පසුබිම තුළ හටගත් යම් කම්පනකාරී තත්ත්වයකදී, දූෂණයකට ලක් වීමකදී හෝ ස්වාභාවික ආපදාවකදී ඊට එදිරිව සිතේ ඇතිවන්නා වූ බරපතළ චිත්තවේග ප්රතිචාරයයි. එමෙන්ම මානසික හෝ ශාරීරික හෝ වශයෙන් කවරාකාර තර්ජනයකදී වුව ඇති විය හැකි තත්ත්වයකි.
ක්ෂතය යන වදන සාමාන්‍ය අරුතින් ගත් කල තුවාලය, පීඩාව යන අර්ථ ද ගෙන එයි. කෙසේ හෝ වේවා මේ කවරාකාර පීඩාවක් වුව අපේ මනසුව නසන බව සැබෑවකි. තවත් සරලව පැහැදිලි කරගතහොත් පීඩාකාරී, බියජනක හෝ ආතතිය ඇති කරවන යම් සිදුවීමක් හෝ අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවීම ද ක්ෂතය ලෙස හඳුන්වන්නට පුළුවන.
ක්ෂතයට මුල්වන සිදුවීම්වලට ජීවිතයේ ඕනෑම වයසකදී ගොදුරු වන්නට ඉඩ තිබේ. එහෙත් වෙසෙසින්ම ළමා කාලයේ ඇතිවන මේ පීඩා වැඩිහිටියකු වූ පසුව වුවද අත්විඳින්නට ඔහුට හෝ ඇයට සිදු වෙයි. මෙබඳු තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයකුට එය ඉතා ඉක්මනින් එනම්, එවෙලේම අත්විඳින්නට මෙන්ම බොහෝ වසර ගණනාවක් ගතව ගිය පසුව වුව එහි අහිතකර විපාක විඳින්නට සිදු විය හැකිය. ක්ෂතයට ගොදුරු වූ තැනැත්තකු බොහෝ විටම ජීවත් වන්නේ තමන් පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා අසීරු උත්සාහයක යෙදෙමිනි.
වැඩිහිටි වයසකදී වුව අැතමෙකු මේ තත්ත්වයට ගොදුරු වන්නට ඉඩ තිබෙන නමුත් බොහෝ සෙයින් ළමා කාලයේ ගැටලු ඒ සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන බවක් දකින්නට පුළුවන. ඊට හේතුව වන්නේ අර කී ආකාරයේ තැති ගැන්මකට ඔවුන්ගේ මනස සූදානම් නැති බැවිනි.
මේ තත්ත්වයත් සමඟ වැඩෙන ඔවුන්ට එහි ඵල විපාක අත්විඳින්නට සිදු වන්නේ පසුකාලීනවය. සාමාන්‍යයෙන් අප අප තේරුම් ගන්නා පරිදි ළමා කාලයේ අපට අත්විඳින්නට ලැබෙන අත්දැකීම් මොළයේ වර්ධනය වීම සම්බන්ධ භෞතික ක්‍රියාකාරීත්වයට ඍජු ලෙස සම්බන්ධයක් දක්වයි. එබැවින් ළමා කාලයේ අත්විඳින්නට සිදු වන ක්ෂතය හා වැඩිහිටියකු වූ පසු ඔහු හෝ ඇය තුළ දකින්නට ලැබෙන පෞරුෂ ගති ලක්ෂණ අතර සම්බන්ධයක් ඇතැයි මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇත්තෝ පවසති.
බාගවිට මෙය කියවන ඔබ අප එබඳු තත්ත්වයකට ගොදුරු වී හෝ එබඳු අත්දැකීමක් ලබා හෝ නැතත්, අප ජීවත්වන ප්‍රායෝගික වටපිටාවේ එබඳු තැනැත්තන් ඕනෑ පදම් ඉන්නට පුළුවන. එබැවින් එබඳු පුද්ගලයන් දක්වන පෞරුෂ ගති ලක්ෂණ පිළිබඳ හඳුනා ගෙන සිටීම අපට වැදගත් විය හැකිය.
එබඳු තැනැත්තන් බොහෝ විටම අන්‍යයන් සතුටු කිරීමේ හැසිරීම් රටාවකට හුරු හුරු වී සිටිනු දැකිය හැකිය. ළමා කාලයේදී තමා පිළිබඳ අවධානය ලබා ගැනීම සඳහා පින්සෙන්ඩු වන්නට සිදු වූ දරුවන් වැඩිහිටි වියට පත් වූ පසු ද බොහෝ විට කල්පනා කරන්නේ අන්‍යයන් සතුටින් තබා තබාගත් තරමට තමාගේ ජීවිතය පහසු වන බවය.
ක්ෂතය සම්බන්ධ තවත් ලක්ෂණයක් වන්නේ පරිපූර්ණ වීම සම්බන්ධයෙන් බොහෝ සෙයින් උනන්දුව දැක්වීමය. දැඩි පීඩාකාරී ළමා අවධියක් ගත කළ දරුවන් මෙන්ම චිත්තවේගී නොසලකා හරින ලද ළමා කාලයකින් පීඩාවිඳි දරුවන් මනසේ ඒ තුවාල නැති කර ගැනීම සඳහා වැඩිහිටි වියට පත් වූ පසු, ඉබේටම වාගේ සියල්ලම 100% කින් සම්පූර්ණ කළ යුතු බව සිතන්නට පටන් ගනී. එපමණක්ද නොව ඔවුන් හැම විටම වාගේ හුරු හුරුවී සිටින්නේ අනෙකකු සමඟ සංසන්දනය කිරීමටය, සංසන්දනය වන්නටය. සංසන්දනය යනු අසාමාන්‍ය දෙයක් නොවේ. සෑම කෙනෙක්ම සාමාන්‍ය ප්‍රමාණයෙන් සංසන්දනය යෙදෙති. එහෙත් නිරන්තරවම එයට හුරු වූ පසු ආත්ම සම්මානය , ආත්ම විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳී යයි.
කුඩා කාලයේදී එබඳු අත්දැකීම් ලද තැනැත්තකු පුද්ගල සම්බන්ධතා ගැන දක්වන්නේ බියමුසු ප්රතිචාරයකි. ළමා කාලයේදී දැඩි ලෙස හිත් රිදීම් හෝ නොසලකා හැරීම හෝ අත්හැර දැමීම් හේතුවෙන් ඔවුන් වැඩි වයසට පත් වූ පසු වුවද කිසිවකු ගැන ඒ හැටි විශ්වාසයක් තබන්නට උනන්දු නොවේ. වරක් ක්ෂතයට ගොදුරු වී සිටින බොහෝ දෙනකු උත්සාහ කරන්නේ සිතේ ඇතිවන වේදනාව වළකා ගැනීම සඳහා එක් සම්බන්ධතාවකින් තවත් සම්බන්ධතාවකට පැන ගැනීමය.
අප සැම කෙනෙකුටම සීමා තිබෙන බව ඇත්තකි. එය මානසික සෞඛ්‍ය සඳහා තිබිය යුතුම තත්ත්වයකි. එය පවත්වාගෙන යා යුත්තේ මැද පිළිවෙතකින් නමුත් ක්ෂතයට ගොදුරු වූ තැනැත්තන් අතින් සිදු වන්නේ මේ සීමා පුදුමාකාර ලෙස දරදඬු ලෙස පවත්වාගෙන යෑම හෝ මුළුමනින්ම ලිහිල් කර දැමීමය.
ක්ෂතයට ගොදුරු වුවන් වෙතින් දකින්නට ලැබෙන මානසික ගැටලු මෙන්ම පැහැදිලිව දකින්නට හැකි චර්යා වෙනස්කම් ද තිබෙන බව කිව යුතුය. ඉන් එකක් වන්නේ අපිළිවෙළ කෑම ගැනීමේ රටාවයි. කෑම ගැනීමේ අපිළිවෙළ සහ ළමා වියේ මුහුණ දෙන්නට සිදු වූ ක්ෂතය හා පැහැදිලි සබඳතාවක් තිබෙන බව කිව යුතුය. 2021 වසරේ දී Rabito-Alcón ඇතුළු පිරිස විසින් සිදු කරන්නට යෙදුණු පර්යේෂණයකින් හෙළිදරව් වූයේ ආහාර ගැනීම සම්බන්ධයෙන් පිළිවෙළක් දක්වන අය අතුරින් බොහෝ දෙනකු කුමන හෝ ආකාරයකින් ළමා වියේදී පීඩාවකට, ක්ෂතයට ගොදුරු වී ඇති බවය. එබඳු පුද්ගලයෝ බොහෝ විටම ලෙහෙසියෙන් පහව නොයන ආතතිය කාංසාව හෝ කෝපයෙන් යුතු වන්නෝය. ඉහත සඳහන් තත්ත්ව ඉඳහිට ඇතිවීම සාමාන්‍ය ජීවිතයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එය අප මුහුණදෙන මුහුණ දෙන තත්ත්ව අනුව තීරණය වන්නකි. එහෙත් ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබෙන්නේ ළමාවිය ක්ෂතය හා ඉහත සඳහන් ලක්ෂණ දිගින් දිගටම නිරන්තරව මතුවීම හා සම්බන්ධයක් තිබෙන බවය. ඊට අමතරව ඔවුහු කායික හා මානසික වශයෙන් නිදන්ගත වේදනාවලින් පෙළෙන්නෝ ය. විශේෂයෙන්ම ළමා වියේදී අපහරණයට ලක්වීම හෝ නොසලකා හැරීම හෝ මීට හේතු විය හැකිය.
මේ සම්බන්ධ තවත් ලක්ෂණයක් වන්නේ ප්‍රතික්ෂේප වීම් ගැන අතිශය සංවේදී වීමය. එය ළමා කාලයේදී ප්‍රතික්ෂේපිත හෝ චිත්තවේග පීඩාවලට මුහුණ දුන් අයකුගේ ලක්ෂණයකි. එබඳු තැනැත්තන් නිරන්තරවම වරදකාරී හැඟීමෙන් හා ලැජ්ජාශීලි බවෙන් පෙළෙන බව දැකිය හැකිය. එය දරුවකු කුඩා කාලයේදී තම නිවෙසේදී මුහුණ දුන් ක්ෂතයට තුඩු දුන් අත්දැකීම්වල ප්‍රතිඵලයක් බව කිව යුතුය.
හිතේ බරපතළ තුවාල සහිත තැනැත්තකු කිසි විටෙකත් ආත්ම සම්මානයෙන් යුතු තැනැත්තෙක් නොවේ. නොඑසේ නම් ඔහු ඊට බිය වෙයි. ඔහු හෝ ඇය තමා පිළිබඳ සිතා ගෙන සිටින්නේ සෑහෙන අඩු මට්ටමකිනි. ඔවුන් නිතරම කල්පනා කරන්නේ තමා නොවටිනා බවකි.
මේ තත්ත්වය හුදෙක්ම මනස හා සම්බන්ධ ගැටලුවක් බැවින් වරක් ඊට ගොදුරු වන්නන් හැම විටම පාහේ තම සිතිවිලි හා චිත්තවේග කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවකට මුහුණ දෙන බව අධ්‍යයනවලින් අනාවරණය කරගෙන තිබේ. සමාජය හමුවට පැමිණෙන්නට ඔවුන් දක්වන්නේ දැඩි නොකැමැත්තකි. වෙනස්කම්වලට, නව ඉසව්වලට, අලුත් තත්ත්වයන්ට ඔවුන් මුහුණ දෙන්නේ දැඩි අපහසුතාවකින් යුතුවය.
මේ කවරාකාර ක්ෂතය තත්ත්වයක් යටතේ වුව මිනිසුන් එය අත්විඳින ආකාරය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. බොහෝ පුද්ගලයන් තුළ කෝපය, බිය, වරදකාරී හැඟීම, කනගාටුව හෝ කනස්සල්ල ඉතා තදින් මුල් බැස ගෙන තිබෙනු දකින්නට පුළුවන. ඇතැමකු සිදුවී තිබෙන සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන සාමාන්‍ය තත්ත්වයට පත්වන්නට ඉඩ ඇති නමුත් බොහෝ දෙනකු නිරන්තර පීඩාකාරී උගුලක හසුවී කනස්සලුසහගත ජීවිතයකට කොටු වන්නට ද ඉඩ තිබේ.
ක්ෂතය ආශ්‍රිත තත්ත්වය බරපතළ ලෙස දීර්ඝකාලීනව අත්විඳින තැනැත්තකුට පවුලේ සාමාජිකයන්ගේ හෝ මිතුරන්ගේ සහාය සහ සොයා බැලීම අනිවාර්යය. එසේ නොවුවහොත් ඔහුට හෝ ඇයට සිදු වන්නේ සදාකාලික ගැලවිල්ලක් නැති අසරණ ජීවිතයකට කොටු වන්නටය.