හිත තුවාල වෙලාද? | Page 2 | සිළුමිණ

හිත තුවාල වෙලාද?

හිත තුවාල වෙලාද?

“එ යාට වැඩිය මොන­වත් කියන්න එපා , එයාගෙ හිත තුවාල වෙලා ඉන්නේ. " ඇය තම මිතු­රිය පෙන්ව­මින් කීවාය.

" මොකක් ? හිත තුවාල වෙලා ? හිතේ අමාරු කාටද නැත්තේ? " ඔහු ඇසූයේ ඔලො­ක්කු­වට මෙනි.

" ඒක විහි­ළු­වක් නෙවෙයි. අපි ගණන් නොග­ත්තාට හිතේ ඇති වෙන තුවාල තියෙ­නවා මුළු ජීවිත කාලෙම විඳ­වන. "

" ඔයා කියන්නෙ අර නව­ක­තා­වල තියෙ­නවා වාගෙ? "

" ඒක විහි­ළු­වක් නෙවෙයි. ඇත්ත­ටම බර­ප­ත­ළයි. තත්ත්ව­යක්, තරා­ති­ර­මක් නැහැ ඒකට."

සිතේ තුවා­ල­යක් යනු­වෙන් කී සැණින් බොහෝ දෙනා සිනා­වෙ­න්නට සූදා­නම් වන බව ඇත්තකි. එහෙත් එය බර­ප­තළ තත්ත්ව­යක් බව අප වටහා ගත යුතු වන්නේ අප ආශ්‍රය නිශ්‍රය කරන කා තුළ ද යම් තාක් දුර­කට එහි ලක්ෂණ තිබෙ­න්නට ඉඩ ඇති බැවිනි. කතා කරන භාෂා­වෙන් හිතේ ඇති­වන තුවා­ලය ලෙස සර­ලව අර්ථ දක්වන මේ තත්ත්වය හැඳි­න්වෙන්නේ ක්ෂතය නමිනි.

American Psychological Association (APA), අර්ථ දක්වන අන්ද­මට ක්ෂතය යනු යම් අන­තු­ර­කදී, යුද අත්දැ­කී­ම­කට මැදිව අව­තැන්ව යෑම­කදී, පවුල් පසු­බිම තුළ හට­ගත් යම් කම්ප­න­කාරී තත්ත්ව­ය­කදී, දූෂ­ණ­ය­කට ලක් වීම­කදී හෝ ස්වාභා­වික ආප­දා­ව­කදී ඊට එදි­රිව සිතේ ඇති­වන්නා වූ බර­ප­තළ චිත්ත­වේග ප්‍රති­චා­ර­යයි. එමෙන්ම මාන­සික හෝ ශාරී­රික හෝ වශ­යෙන් කව­රා­කාර තර්ජ­න­ය­කදී වුව ඇති විය හැකි තත්ත්ව­යකි.

ක්ෂතය යන වදන සාමාන්‍ය අරු­තින් ගත් කල තුවා­ලය, පීඩාව යන අර්ථ ද ගෙන එයි. කෙසේ හෝ වේවා මේ කව­රා­කාර පීඩා­වක් වුව අපේ මන­සුව නසන බව සැබෑ­වකි. තවත් සර­ලව පැහැ­දිලි කර­ග­ත­හොත් පීඩා­කාරී, බිය­ජ­නක හෝ ආත­තිය ඇති කර­වන යම් සිදු­වී­මක් හෝ අව­ස්ථා­ව­කට මුහුණ දෙන්නට සිදු­වීම ද ක්ෂතය ලෙස හඳු­න්ව­න්නට පුළු­වන.

ක්ෂත­යට මුල්වන සිදු­වී­ම්ව­ලට ජීවි­තයේ ඕනෑම වය­ස­කදී ගොදුරු වන්නට ඉඩ තිබේ. එහෙත් වෙසෙ­සින්ම ළමා කාලයේ ඇති­වන මේ පීඩා වැඩි­හි­ටි­යකු වූ පසුව වුවද අත්වි­ඳි­න්නට ඔහුට හෝ ඇයට සිදු වෙයි. මෙබඳු තත්ත්ව­ය­කට මුහුණ දුන් පුද්ග­ල­ය­කුට එය ඉතා ඉක්ම­නින් එනම්, එවෙ­ලේම අත්වි­ඳි­න්නට මෙන්ම බොහෝ වසර ගණ­නා­වක් ගතව ගිය පසුව වුව එහි අහි­ත­කර විපාක විඳි­න්නට සිදු විය හැකිය. ක්ෂත­යට ගොදුරු වූ තැනැ­ත්තකු බොහෝ විටම ජීවත් වන්නේ තමන් පිළි­බඳ විශ්වා­සය ගොඩ­නඟා ගැනීම සඳහා අසීරු උත්සා­හ­යක යෙදෙ­මිනි.

වැඩි­හිටි වය­ස­කදී වුව අැත­මෙකු මේ තත්ත්ව­යට ගොදුරු වන්නට ඉඩ තිබෙන නමුත් බොහෝ සෙයින් ළමා කාලයේ ගැටලු ඒ සම්බ­න්ධ­යෙන් තීර­ණා­ත්ම­කව බල­පාන බවක් දකි­න්නට පුළු­වන. ඊට හේතුව වන්නේ අර කී ආකා­රයේ තැති ගැන්ම­කට ඔවුන්ගේ මනස සූදා­නම් නැති බැවිනි.

මේ තත්ත්ව­යත් සමඟ වැඩෙන ඔවුන්ට එහි ඵල විපාක අත්වි­ඳි­න්නට සිදු වන්නේ පසු­කා­ලී­න­වය. සාමා­න්‍ය­යෙන් අප අප තේරුම් ගන්නා පරිදි ළමා කාලයේ අපට අත්වි­ඳි­න්නට ලැබෙන අත්දැ­කීම් මොළයේ වර්ධ­නය වීම සම්බන්ධ භෞතික ක්‍රියා­කා­රී­ත්ව­යට ඍජු ලෙස සම්බ­න්ධ­යක් දක්වයි. එබැ­වින් ළමා කාලයේ අත්වි­ඳි­න්නට සිදු වන ක්ෂතය හා වැඩි­හි­ටි­යකු වූ පසු ඔහු හෝ ඇය තුළ දකි­න්නට ලැබෙන පෞරුෂ ගති ලක්ෂණ අතර සම්බ­න්ධ­යක් ඇතැයි මේ පිළි­බඳ ප්‍රාමා­ණික දැනු­මක් ඇත්තෝ පව­සති.

බාග­විට මෙය කිය­වන ඔබ අප එබඳු තත්ත්ව­ය­කට ගොදුරු වී හෝ එබඳු අත්දැ­කී­මක් ලබා හෝ නැතත්, අප ජීව­ත්වන ප්‍රායෝ­ගික වට­පි­ටාවේ එබඳු තැනැ­ත්තන් ඕනෑ පදම් ඉන්නට පුළු­වන. එබැ­වින් එබඳු පුද්ග­ල­යන් දක්වන පෞරුෂ ගති ලක්ෂණ පිළි­බඳ හඳුනා ගෙන සිටීම අපට වැද­ගත් විය හැකිය.

එබඳු තැනැ­ත්තන් බොහෝ විටම අන්‍ය­යන් සතුටු කිරීමේ හැසි­රීම් රටා­ව­කට හුරු හුරු වී සිටිනු දැකිය හැකිය. ළමා කාල­යේදී තමා පිළි­බඳ අව­ධා­නය ලබා ගැනීම සඳහා පින්සෙන්ඩු වන්නට සිදු වූ දරු­වන් වැඩි­හිටි වියට පත් වූ පසු ද බොහෝ විට කල්පනා කරන්නේ අන්‍ය­යන් සතු­ටින් තබා තබා­ගත් තර­මට තමාගේ ජීවි­තය පහසු වන බවය.

ක්ෂතය සම්බන්ධ තවත් ලක්ෂ­ණ­යක් වන්නේ පරි­පූර්ණ වීම සම්බ­න්ධ­යෙන් බොහෝ සෙයින් උන­න්දුව දැක්වී­මය. දැඩි පීඩා­කාරී ළමා අව­ධි­යක් ගත කළ දරු­වන් මෙන්ම චිත්ත­වේගී නොස­ලකා හරින ලද ළමා කාල­ය­කින් පීඩා­විඳි දරු­වන් මනසේ ඒ තුවාල නැති කර ගැනීම සඳහා වැඩි­හිටි වියට පත් වූ පසු, ඉබේ­ටම වාගේ සිය­ල්ලම 100% කින් සම්පූර්ණ කළ යුතු බව සිත­න්නට පටන් ගනී. එප­ම­ණක්ද නොව ඔවුන් හැම විටම වාගේ හුරු හුරුවී සිටින්නේ අනෙ­කකු සමඟ සංස­න්ද­නය කිරී­ම­ටය, සංස­න්ද­නය වන්න­ටය. සංස­න්ද­නය යනු අසා­මාන්‍ය දෙයක් නොවේ. සෑම කෙනෙක්ම සාමාන්‍ය ප්‍රමා­ණ­යෙන් සංස­න්ද­නය යෙදෙති. එහෙත් නිර­න්ත­ර­වම එයට හුරු වූ පසු ආත්ම සම්මා­නය , ආත්ම විශ්වා­සය මුළු­ම­නින්ම පාහේ බිඳී යයි.

කුඩා කාල­යේදී එබඳු අත්දැ­කීම් ලද තැනැ­ත්තකු පුද්ගල සම්බ­න්ධතා ගැන දක්වන්නේ බිය­මුසු ප්‍රති­චා­ර­යකි. ළමා කාල­යේදී දැඩි ලෙස හිත් රිදීම් හෝ නොස­ලකා හැරීම හෝ අත්හැර දැමීම් හේතු­වෙන් ඔවුන් වැඩි වය­සට පත් වූ පසු වුවද කිසි­වකු ගැන ඒ හැටි විශ්වා­ස­යක් තබ­න්නට උනන්දු නොවේ. වරක් ක්ෂත­යට ගොදුරු වී සිටින බොහෝ දෙනකු උත්සාහ කරන්නේ සිතේ ඇති­වන වේද­නාව වළකා ගැනීම සඳහා එක් සම්බ­න්ධ­තා­ව­කින් තවත් සම්බ­න්ධ­තා­ව­කට පැන ගැනී­මය.

අප සැම කෙනෙ­කු­ටම සීමා තිබෙන බව ඇත්තකි. එය මාන­සික සෞඛ්‍ය සඳහා තිබිය යුතුම තත්ත්ව­යකි. එය පව­ත්වා­ගෙන යා යුත්තේ මැද පිළි­වෙ­ත­කින් නමුත් ක්ෂත­යට ගොදුරු වූ තැනැ­ත්තන් අතින් සිදු වන්නේ මේ සීමා පුදු­මා­කාර ලෙස දර­දඬු ලෙස පව­ත්වා­ගෙන යෑම හෝ මුළු­ම­නින්ම ලිහිල් කර දැමී­මය.

ක්ෂත­යට ගොදුරු වුවන් වෙතින් දකි­න්නට ලැබෙන මාන­සික ගැටලු මෙන්ම පැහැ­දි­ලිව දකි­න්නට හැකි චර්යා වෙන­ස්කම් ද තිබෙන බව කිව යුතුය. ඉන් එකක් වන්නේ අපි­ළි­වෙළ කෑම ගැනීමේ රටා­වයි. කෑම ගැනීමේ අපි­ළි­වෙළ සහ ළමා වියේ මුහුණ දෙන්නට සිදු වූ ක්ෂතය හා පැහැ­දිලි සබ­ඳ­තා­වක් තිබෙන බව කිව යුතුය. 2021 වසරේ දී Rabito-Alcón ඇතුළු පිරිස විසින් සිදු කර­න්නට යෙදුණු පර්යේ­ෂ­ණ­ය­කින් හෙළි­ද­රව් වූයේ ආහාර ගැනීම සම්බ­න්ධ­යෙන් පිළි­වෙ­ළක් දක්වන අය අතු­රින් බොහෝ දෙනකු කුමන හෝ ආකා­ර­ය­කින් ළමා වියේදී පීඩා­ව­කට, ක්ෂත­යට ගොදුරු වී ඇති බවය. එබඳු පුද්ග­ලයෝ බොහෝ විටම ලෙහෙ­සි­යෙන් පහව නොයන ආත­තිය කාංසාව හෝ කෝප­යෙන් යුතු වන්නෝය. ඉහත සඳ­හන් තත්ත්ව ඉඳ­හිට ඇති­වීම සාමාන්‍ය ජීවි­තයේ ලක්ෂ­ණ­යක් ලෙස සැල­කිය හැකිය. එය අප මුහු­ණ­දෙන මුහුණ දෙන තත්ත්ව අනුව තීර­ණය වන්නකි. එහෙත් ඇතැම් අධ්‍ය­ය­න­ව­ලින් පෙන්වා දී තිබෙන්නේ ළමා­විය ක්ෂතය හා ඉහත සඳ­හන් ලක්ෂණ දිගින් දිග­ටම නිර­න්ත­රව මතු­වීම හා සම්බ­න්ධ­යක් තිබෙන බවය. ඊට අම­ත­රව ඔවුහු කායික හා මාන­සික වශ­යෙන් නිද­න්ගත වේද­නා­ව­ලින් පෙළෙන්නෝ ය. විශේ­ෂ­යෙන්ම ළමා වියේදී අප­හ­ර­ණ­යට ලක්වීම හෝ නොස­ලකා හැරීම හෝ මීට හේතු විය හැකිය.

මේ සම්බන්ධ තවත් ලක්ෂ­ණ­යක් වන්නේ ප්‍රති­ක්ෂේප වීම් ගැන අති­ශය සංවේදී වීමය. එය ළමා කාල­යේදී ප්‍රති­ක්ෂේ­පිත හෝ චිත්ත­වේග පීඩා­ව­ලට මුහුණ දුන් අය­කුගේ ලක්ෂ­ණ­යකි. එබඳු තැනැ­ත්තන් නිර­න්ත­ර­වම වර­ද­කාරී හැඟී­මෙන් හා ලැජ්ජා­ශීලි බවෙන් පෙළෙන බව දැකිය හැකිය. එය දරු­වකු කුඩා කාල­යේදී තම නිවෙ­සේදී මුහුණ දුන් ක්ෂත­යට තුඩු දුන් අත්දැ­කී­ම්වල ප්‍රති­ඵ­ල­යක් බව කිව යුතුය.

හිතේ බර­ප­තළ තුවාල සහිත තැනැ­ත්තකු කිසි විටෙ­කත් ආත්ම සම්මා­න­යෙන් යුතු තැනැ­ත්තෙක් නොවේ. නොඑසේ නම් ඔහු ඊට බිය වෙයි. ඔහු හෝ ඇය තමා පිළි­බඳ සිතා ගෙන සිටින්නේ සෑහෙන අඩු මට්ට­ම­කිනි. ඔවුන් නිත­රම කල්පනා කරන්නේ තමා නොව­ටිනා බවකි.

මේ තත්ත්වය හුදෙක්ම මනස හා සම්බන්ධ ගැට­ලු­වක් බැවින් වරක් ඊට ගොදුරු වන්නන් හැම විටම පාහේ තම සිති­විලි හා චිත්ත­වේග කළ­ම­නා­ක­ර­ණය කර ගැනීමේ අප­හ­සු­තා­ව­කට මුහුණ දෙන බව අධ්‍ය­ය­න­ව­ලින් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. සමා­ජය හමු­වට පැමි­ණෙ­න්නට ඔවුන් දක්වන්නේ දැඩි නොකැ­මැ­ත්තකි. වෙන­ස්ක­ම්ව­ලට, නව ඉස­ව්ව­ලට, අලුත් තත්ත්ව­යන්ට ඔවුන් මුහුණ දෙන්නේ දැඩි අප­හ­සු­තා­ව­කින් යුතු­වය.

මේ කව­රා­කාර ක්ෂතය තත්ත්ව­යක් යටතේ වුව මිනි­සුන් එය අත්වි­ඳින ආකා­රය එකි­නෙ­කා­ගෙන් එකි­නෙ­කාට වෙනස්ය. බොහෝ පුද්ග­ල­යන් තුළ කෝපය, බිය, වර­ද­කාරී හැඟීම, කන­ගා­ටුව හෝ කන­ස්සල්ල ඉතා තදින් මුල් බැස ගෙන තිබෙනු දකි­න්නට පුළු­වන. ඇතැ­මකු සිදුවී තිබෙන සැබෑ තත්ත්වය අව­බෝධ කර­ගෙන සාමාන්‍ය තත්ත්ව­යට පත්ව­න්නට ඉඩ ඇති නමුත් බොහෝ දෙනකු නිර­න්තර පීඩා­කාරී උගු­ලක හසුවී කන­ස්සලුසහ­ගත ජීවි­ත­ය­කට කොටු වන්නට ද ඉඩ තිබේ.

ක්ෂතය ආශ්‍රිත තත්ත්වය බර­ප­තළ ලෙස දීර්ඝ­කා­ලී­නව අත්වි­ඳින තැනැ­ත්ත­කුට පවුලේ සාමා­ජි­ක­යන්ගේ හෝ මිතු­රන්ගේ සහාය සහ සොයා බැලීම අනි­වා­ර්යය. එසේ නොවු­ව­හොත් ඔහුට හෝ ඇයට සිදු වන්නේ සදා­කා­ලික ගැල­වි­ල්ලක් නැති අස­රණ ජීවි­ත­ය­කට කොටු වන්න­ටය.

Comments