ජාතික ක්‍රීඩා ත්‍රිත්වයකින් ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් තාත්තයි පුතයි | සිළුමිණ

ජාතික ක්‍රීඩා ත්‍රිත්වයකින් ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් තාත්තයි පුතයි

දුෂාන් හේමන්ත

තරගයකදී පුතාගෙන් සුවිශේෂී යමක් නොවුණොත් ඒක මගේ හිතටත් වධ දෙනවා 
- පියා සුජිත් කියයි

ජාතික ක්‍රීඩා ත්‍රිත්වයකින් ශ්‍රී ලංකා වර්ණ දිනා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් පාපන්දු, මලල ක්‍රීඩා සහ ක්‍රිකට් යන ක්‍රීඩා ත්‍රිත්වයෙන් එකී අසීරු අභියෝගය ජයගත් පිය පුතු යුගලයක් වන්නේ දුෂාන් හේමන්ත සහ සුජිත් හේමන්තය.

දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත මේ දිනවල සිම්බාබ්වේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව සිටින අතර, පසුගිය දා මෙරටදී නිමා වූ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා කැඳවා තිබූ දුෂාන් එහිදී ශ්‍රී ලංකා එක්දින වරම් දිනා ගැනීමට සමත් විය. දුෂාන් ජාතික කණ්ඩායමකට කැඳවා ඇති දෙවැනි අවස්ථාව සිම්බාබ්වේ සංචාරයයි. 

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති පන්දු වාර 50 තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ද දුෂාන් හේමන්ත ය. තරග 3කින් සමන්විත එම තරගාවලියේදී දුෂාන් කඩුළු 11ක් දවා ගැනීමට සමත් විය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන දුෂාන් හේමන්ත වර්තමානයේ BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. බදුරලිය ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර ඇති දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණත් පිතිකරුවකු ලෙසත් පා දඟපන්දු යවන්නකු ලෙසත් නිරන්තරයෙන්ම දක්ෂතා අතර සිටින, දුෂාන් මලල ක්‍රීඩාවේදී ජාත්‍යන්තර පදක්කම්ලාභියකු ලෙස ද ප්‍රකටය.

"පුංචි දවස්වල ඉඳලම ක්‍රිකට් ගැන තිබුණේ පුදුම කැමැත්තක්. පුතාගේ වැඩේම බැට් එකකුත් උස්සගෙන නිතරම මගේ පස්සෙම තමයි." දුෂාන්වත් නොදන්නා අතීතය ගැන එසේ කීවේ දුෂාන්ගේ පියා සුජිත් හේමන්ත ය. ඔහු පීටර්සන් සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම්වල හිටපු ක්‍රීඩකයකු වන අතර, කලක් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. සුජිත් මේ දිනවල තමාගේම ඇකඩමියක් පවත්වා ගෙන යයි. දුෂාන්ගේ මව උදීෂා ඉරෝෂිණී අමරසිංහ දුෂාන් පිළිබඳ මෙසේ කීවාය.

"දුෂාන් අපේ පවුලෙ එකම දරුවා. එයාගෙ තාත්තත් ක්‍රිකට්වලට සම්බන්ධ නිසා අමුතුවෙන් ක්‍රිකට් උගන්වන්න කොහේවත් යවන්න ඕනෑ වුණේ නැහැ. අපේ ගෙදර පරිසරය තනිකරම තිබුණෙ ක්‍රීඩාව සමඟ මුහුවෙලා. ගෙදරට ආව යාළුවොත් වැඩිහරියක් ක්‍රීඩාවලට සම්බන්ධ අය. ඔවුන් වැඩි හරියක් කතා බහ කළේ ක්‍රිකට් ගැන, පාපන්දු ගැනයි. දුෂාන්ගේ තාත්තා සුජිත් වසර 13ක්ම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළා."

සුජිත් සිය ක්‍රීඩා දිවිය පිළිබඳ ආවර්ජනය කළේ මෙලෙසිනි.

"මම ඉසිපතන විද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ වයස අවුරුදු 13න් පහළ ඉඳලා 19න් පහළ දක්වා ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔය අතර වාරයේ නොමෑඩ්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බ වුණා. ක්‍රිකට් ක්‍රීඩා කරන අතර වාරයේ අහම්බෙන් වගේ කුරේ පාක් ක්‍රීඩා සමාජයට පාපන්දු ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බ වුණා. ආසාවට මම ඒකත් කළා"

අහම්බෙන් පාපන්දු ක්‍රීඩාවට යොමුවන සුජිත්ට කදිම අවස්ථාවක් උදා වෙන්නේ ද පාසලෙන්මය.

"අපේ ඉස්කෝලේ පාපන්දු ක්‍රීඩාව පටන් අරගෙන සංචිතයක් හදන්න කතා කරන කොට මමත් ගියා. ඉස්කෝලේ පාපන්දු වැඩේ නැඟලම ගියා. ඒ අවුරුද්දෙම අපි පාසල් පාපන්දු ශූරතාව දිනා ගත්තා. මේ අත්දැකීම් සමඟ තමයි ගෙදර කතා බහ සිදුවෙන්නේ. ඉතින් ළදරු දුෂාන්ට මේ දේවල් නොතේරුණත් ඔහුත් මොවුන්ගේ ආශ්‍රයේ තමයි වැඩි කාලයක් ගත කරල තියෙන්නේ."

දුෂාන්ගේ පියාගේ සිතේ ඒ දිනවල තවත් ආශාවක් ද මෝදු වෙමින් පැවතුණි. 

"මට ඒ දවස්වල වෙන රටක් දැකගන්න මාර ආශාවක් තිබුණා. ඔය අතරෙදි තායිලන්ත සංචාරයකට පාසල් පාපන්දු සංචිතයක් තෝරනවා කියලා ආරංචි වුණා. මාත් මේ සංචිතයට ගියා. ඒ සංචාරයට මාවත් තේරුණා. පාපන්දුවට හිත යද්දී ක්‍රිකට් ක්‍රීඩාව මඟ හැරුණා."

කුරේ පාක් ක්‍රීඩා සමාජයට සුජිත් ක්‍රීඩා කරන විට ඔහුට නිතරම හමු වූ තවත් තරුවක් වූයේ ප්‍රකට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ සුමිත් වල්පොළ ය.

"අපි ඉතින් ක්‍රීඩා සමාජ තරගවලදී හමු වෙනවා. දවසක් සුමිත් මට සෝන්ඩර්ස් එන්න කියලා මම සෝන්ඩර්ස් ගියා. 1983 ඉඳලා 1991 දක්වා සෝන්ඩර්ස් සහ ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල් රකින්නා විදියට කටයුතු කළා."

දුෂාන් පාසල් යන්නේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයටය. නිවෙසේදී ලත් ක්‍රිකට් දැනුමත් සමඟින් දුෂාන් සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වලට කරන්නේ එකල එම කණ්ඩායම්වල නැතිවම බැරි ක්‍රීඩකයකු ලෙසයි. දුෂාන් මේ වයස් කාණ්ඩ හතරේදීම ශූරතා දිනා ගත් කණ්ඩායම්වල සාමාජිකයෙකි. වයස අවුරුදු 15න් පහළ බස්නාහිර පළාත් හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත් ඔහුට වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම්වල නායකත්වය ද හිමි විය. වයස අවුරුදු 17න් පහළ දිවයිනේ හොඳම නායකයා ලෙසින් පාසල් ක්‍රිකට් සංගමයේ වාර්ෂික සම්මාන උලෙළේදී සම්මාන දිනා ගැනීමට ද දුෂාන් සමත් විය. එමෙන්ම වයස අවුරුදු 19න් පහළ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උලෙළේදී අනුශූරතාව හිමි කර ගැනීමට ද දුෂාන් සමත් විය.

"පුතාගේ පාසල් කාලයේදී වූ ක්‍රිකට් මතකයන් අතර ඉහළින්ම තියෙන්නේ පළමු අවුරුද්දේම වාර්ෂික මහා ක්‍රිකට් තරගය දිනා ගන්න පුළුවන් වුණු එකයි. ඒ වගේම එක්දින තරගයේදී පුතා දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණා. "දුෂාන්ගේ මවුපියන් එසේ කීවේ සතුටිනි.

සාන්තුවරයන්ගේ සටනේදී 2010 වසරේදී චතුර පීරිස්ගේ නායකත්වය යටතේ සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය කරන්නේ අවුරුදු 32කට පසුය. දුෂාන්, ඒ කණ්ඩායමේ සාමාජිකයකු වන අතර, 2012 වසරේදී ෂෙහාන් ප්‍රනාන්දු යටතේ සාන්ත පීතර විද්‍යාලය සාන්තුවරයන්ගේ සටන ජයග්‍රහණය කරන විට දුෂාන් එම කණ්ඩායමේ උප නායකයා විය.

2012-2013 වසරවලදී දුෂාන් සාන්ත පීතර විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය. "පුතා පාසලින් ලබපු ක්‍රිකට් පන්නරය නිසාම ක්‍රීඩා සමාජ සෙල්ලම් කරන එක පහසුවක් වුණා. පුතා නිතරම උත්සාහ කළේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්න. තරගයකදී පුතාගෙන් සුවිශේෂී යමක් නොවුණොත් ඒක මගේ හිතටත් වධ දෙනවා."සුජිත් හේමන්ත කීවේය.

මේ අත්දැකීම් සමඟ දැනට වසර දෙකක සිට දුෂාන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන අතර, පළමු අවුරුද්දේම ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වීමට සමත් විය.

දුෂාන්, විස්සයි20 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට ද පත් විය. දුෂාන් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව, කප් ගැසූ දක්ෂ දුර දිවීමේ ක්‍රීඩකයකු ද වන අතර, දුෂාන් නම් මලල ක්‍රීඩකයා බිහි වෙන්නේ පාසලෙනි. ඒ රටක් කතා කරන මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල්ගේ සිසුවකු ලෙසිනි.

"ඒ දවස්වල දුෂාන්ලා වැඩිපුරම කාලය ගත කළේ පිට්ටනියෙමයි. බිග් මැච් නිසා ඒ චාන්ස් එක ඉස්කෝලෙනුත් ලැබිලයි තිබුණේ. මේ අතර පුහුණුවීම්වලට සජිත් සර් ආවා. සජිත් සර් අපිව බාර ගත්තෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා මලල ක්‍රීඩකයන් වගේ. ඔවුන්ට වගේම පුහුණුවක් අපිටත් දුන්නා." 

මේ පුහුණුවේ තරම කොතෙක් ද යත් දුෂාන් පාසලේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයෙක් ද විය. ඒත් දුෂාන්ගේ හිත තිබුණේම මලල ක්‍රීඩාවේ නොව ක්‍රිකට් ක්‍රීඩාවේය.

එහෙත් සජිත් ජයලාල් ලෙහෙසියෙන් දුෂාන් අත්හැරියේ නැත. ඔහු ලැබෙන හැම මොහොතකම දුෂාන් මලල ක්‍රීඩාවට පුහුණු කළ අතර, දුෂාන් පුහුණුවීම් කළේ සජිත් ජයලාල්ගෙන් බේරෙන්නට මිස මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමක් ගැන අදහසින් නම් නොවේ.

"කොහොම හරි සජිත් ජයලාල්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. දුෂාන් 2012 අවුරුද්දේ සාන්ත පීතර විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළේදී වයස අවුරුදු 19න් පහළ මීටර් 800, 1500, සහ මීටර් 5000 ඉසව් ත්‍රිත්වයේම පළමුවැනියා වෙන්නේ වසර 41ක් පැරැණි වාර්තා ත්‍රිත්වය ද බිඳ හෙළමින්ය.

ඒ පාසල් තරග වාර්තාවක් ද පිහිටුවමින්. ඊට පස්සේ අවුරුද්දේ වයස අවුරුදු 21න් පහළ මීටර් 800 වාර්තාව ද දුෂාන් සතු කර ගන්නවා. ‍පුතා කොච්චර තරග දිනුවත් සර් දැනගෙන හිටියා මලල ක්‍රීඩාවට එයාගේ එතරම් කැමැත්තක් නැහැ කියලා. ඒත් සර් පුහුණු කරවන එක නතර කළේ නැහැ. ජාතික ක්‍රීඩා උලෙළ පවා පුතා නියෝජනය කළා.

මේ අතර දවසක් සජිත් සර් කිවුවා 2012 ආසියානු මීට් එක තියෙනවා පුතාව එවන්න කියලා. ඒත් ඒ පුහුණුවීම්වලට ගියේ නැහැ. ඒත් සජිත් සර් වැඩේ අත් හැරියේ නැහැ. අවසානයේ සර් කිවුවා ආසියානු තරගාවලියට සහභාගී කරවන්න බැරි වුණොත් සර් කෝචින්වලින් අයින් වෙනවා කියලා. පස්සෙ මම පුතාට කිවුවා මේ මීට් එකට යන්න, ඊට පස්සෙ ක්‍රිකට් ද මලල ක්‍රීඩාව ද කියල තෝර ගන්න කියලා.

ඒ අනුව සහභාගී වූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේදී දුෂාන් මීටර් 1500 ඉසව්වට සහභාගි වන අතර, ඔහු එහිදී 8 වැනියාට තරගය නිමා කළත්, විනාඩි 3.57කින් තරගය නිමා කරමින් ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ කනිෂ්ඨ වාර්තාව තමන් සතු කර ගනියි. ඉන්පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 21න් පහළ ඉසව්වේදී විනාඩි 3.52කින් තරගය නිමා කරමින් තමන්ගේ හොඳම කාලය වාර්තා කළේය. 2013 වසරේදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් විය.

"මගේ උපන් ගම වැල්ලවත්ත, අපේ ගෙදර එහා පැත්තෙ තමයි පාපන්දු සහ ක්‍රිකට් ග්‍රවුන්ඩ් තියෙන්නෙ. අපේ තාත්තත් පාපන්දු ක්‍රීඩා කරලා තියෙනවා.

අපේ මාමා ඇල්බට් රූපසිංහ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. මේ හැම දෙයක් මෙච්චර ම සාර්ථක වුණේ දුෂාන්ගේ අම්මාගෙන් ලැබෙන සාර්ථකත්වය නිසයි" දුෂාන්ගේ පියා, සුජිත් කීවේය.

දුෂාන් අතිනතගෙන ඇත්තේ රෂිනි හිරුණිකා කුලසුරිය සමඟය.

රෂිනි සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර, එකී විද්‍යාලයේ සමස්ත ලංකා තූර්ය වාදක තරගාවලිය ජය ගත් වසරේ නායකත්වය ද දරා ඇත්තේ රෂිනි ය. දුෂාන්ගේ මවද දක්ෂ චිත්‍ර ශිල්පිනියක වන අතර, ඇගේ පවුලේ බොහෝ දෙනෙක් ද දක්ෂ චිත්‍ර ශිල්පීහුය.

ඡායාරූප - Thepapare.com සහ රංජිත් අසංක

Comments