රට විරුවන්ට වාහන ආනයන බලපත් නිකුතුව ඇරැඹේ | සිළුමිණ

රට විරුවන්ට වාහන ආනයන බලපත් නිකුතුව ඇරැඹේ

සෑම මසකම විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 400ක්

රටට විදේශ විනිමය නීත්‍යනුකූල ක්‍රමය හරහා එවනු ලබන විදෙස්ගත ශ්‍රමිකයන්ට හඳුන්වා දී තිබෙන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩ සටහන යටතේ මේ වන විට ඉලෙක්ට්‍රික් වාහන 111ක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

මේ පිළිබඳ සිළුමිණට අදහස් දක්වමින් කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර කියා සිටියේ නිත්‍යනූකූල ලෙස රටට විදේශ විනිමය එවනු ලබන ශ්‍රමිකයන් සඳහා වරප්‍රසාද රැසක් ලබා දී තිබෙන බවත් එහි එක් පියවරක් ලෙස හඳුන්වා දුන් ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ක්‍රමය යටතේ ඉකුත් වසරේ මැයි මස සිට මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවය.

මෙම වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ ඩොලර් මිලියන 13.4 මුදලක් රටට ලැබී තිබෙන බවද හෙළි කළ ඇමැති මනූෂ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනය බලපත්‍ර ලබා ගත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන් බවය.

ඉකුත් මාස හයක කාලය තුළ සෑම මසකම විදේශගත ශ්‍රමිකයන් එවූ මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවා තිබේ. එමෙන්ම 2023 වසරේදී මෙතෙක් විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2300 ඉක්මවා ගොස් ඇත.

Comments