
පොලොන්නරුවේ අහස ගිනියම් වනවිට පොළොව යවටක් සේ දැවෙන්නේය. ගිනියම් මද්දහනේ දී රජරට පොළොවට හුරු වූ ගොවීහු පවා ගොවිබිම්වලින් මෑත්ව හෙවණකට වී මඳක් ඉසිඹු ලබති. ඒ වෙහෙසකර පරිසරයේ දී රත් වී දැවෙන තාර පාර අද්දරට වී රථ වාහන රාජකාරිය භාරගත් පියකරු පොලිස් නිලධාරිනියන් පිරිසක් ගැන පොලොන්නරුවෙන් ඇසෙන්නේය. අවිනීත රියැදුරන්ට අප්‍රසන්නම දැකුම රථ වාහන පොලිසියේ නිලධාරීන්ය. ඔවුහු එම පොලිස් නිලධාරීන් සමඟ සංවාදයට රුචි නොවෙති. නීතියට අනුගතව යහපත් ප්‍රතිචාර දැක්වීමට නොකැමැති වෙති. හැකි නම් කීයක් හෝ අත්මිට මොළවා නඩු නැතිව වැරැද්ද වසා ගැනීමේ අන්තය තෙක් එළැඹෙති. රථවාහන නියාමනයේ දී නීතිය යටකොට අල්ලස දූෂණය ඇරඹෙන්නේ එතැනිනි.
මේ පොලිස් නිලධාරිනියන් රථවාහන රාජකාරියට බැස ඇත්තේ ඒ පසුබිමේ දීය. දැන් ඒ අවිනීති රියැදුරන්ටත් පොලොන්නරුවේ දී රථ වාහන නියාමක පොලිසියේ සුබ දසුන් තිබේ. පොලොන්නරුව රථවාහන කොට්ඨාසයට අනුයුක්ත කළ කාන්තා පොලිස් නිලධාරිනියන් 06 දෙනෙක් රථවාහන රාජකාරි සේවයේ යොදවා තිබේ.
රථ වාහන රාජකාරි සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් යොදවා අත්හදා බැලූ මින් පෙර එක් අවස්ථාවක් තිබේ. ඒ වර්ෂ 2002 වකවානුවේ යාපනයේ දීය. ඒ වකවානුව එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවති වකවානුවය. එවකට යාපනය පොලිසියේ ස්ථානාධිපති සමන් සිගේරාය. කලෙකට පසු යාපනයට යතුරුපැදි පැමිණ තිබිණි. පවතින තත්ත්වය තුළ පොලිසියේ අණ පිළිපැදීමට යාපනයේ තරුණයන් මැළි වීමත්, අවිනීත රියැදුරුකමත් හේතුවෙන් විශාල අනතුරු ප්‍රමාණයක් සිදු වෙමින් තිබිණි. මේ තත්ත්වයට උපක්‍රමික පිළියමක් ලෙස සමන් සිගේරා කාන්තා පොලිස් නිලධාරිනියන් රථ වාහන සේවය සඳහා යැවුවේය. සාර්ථක ප්‍රතිඵල ලැබිණි. අනතුරු අඩු විය. වාහන හසුරුවා ගැනීමට පොලිසියට පහසු විය. මේ අත්දැකීම දැන් පුළුල් ලෙස පොලොන්නරුවේ ප්‍රායෝගික කර තිබේ. ඒ පොලොන්නරුව කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. එච්. එන් ද සිල්වා ගේ අදහසක් අනුවය. සහකාර පොලිස් අධිකාරීවරයා මේ රථවාහන සැලසුම ගැන සිය අදහස් දක්වමින් සිළුමිණ සමග සංවාදයට එක් වුණේය.
“පොලොන්නරුව සංචාරක පුරයක් අපේ මූලික අදහස වුණේ පොලොන්නරුවට එන සංචාරකයන්ට ආරක්ෂාව ලබා දීම සහ දැනුම්වත් කිරීමයි. පොලිසිය ප්‍රජාව අතරට සාර්ථකව රැගෙන යමින් තරුණ නිලධාරිනියන්ට ඉදිරියට යන්න ප්‍රවේශයක් හදලා දෙන එක. ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නිලධාරීන් නියමිත සැලැස්මක් අනුව රථ වාහන රාජකාරිවලට යෙදවීමේ තීන්දුව ගත්තේ ලොකු අත්දැකීමක් එක්ක. පිරිමි නිලධාරීන් සමඟ රථ වාහන නඩු ලබා ගැනීමේ දී ගැටලුසහගත අවස්ථා, දූෂණ සම්බන්ධ චෝදනා මතුවෙලා තිබෙනවා. ඒ ගැටලුසහගත තත්ත්වයටත් පිළියමක් ලෙස තමයි අපි මේ ප්‍රවේශය ගත්තේ.
නිසි සැලැස්මකින් ගුවන් විදුලි රථ එක්ක රථවාහන රාජකාරියේ යෙදෙවුවේ පළමු වතාවට.“කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරීවරයා කියන්නේය.
මේ ක්‍රියාන්විතය භූමියේ දී මෙහෙයුම් භාරව සිටින්නේ පොලොන්නරුව කොට්ඨාස රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේවීරය. ඔහු පවසන්නේ පොලොන්නරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අදහසක් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ පිරිමි පොලිස් නිලධාරීන්ට සමානව කාන්තා නිලධාරීන්ටත් සම තැනක් ලබා දීමේ අපේක්ෂාවෙන් බවය.
“දැනට අපි නිලධාරිනියන් 06ක් යොදවා තිබෙනවා. ගුවන් විදුලි කාර් රථ 02ක් මේ කණ්ඩාමට වෙන් කර තිබෙනවා. ඔවුන් සමඟ පිරිමි සැරයන් වරයෙක් සහ උපපොලිස් පරීක්ෂකවරයෙක් ඉන්නවා. මේ යොදවා ගැනීම ප්‍රායෝගිකව සාර්ථකයි. දැනට සති දෙකක් මේ රාජකාරි පටන් අරන්. රථ වාහන රාජකාරි සඳහා පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් ලබා දෙන දැනුමට අමතරව මූලික එක් දින පුහුණු පාඨමාලාවකින් පසුවයි මේ නිලධාරිනියන් රථ වාහන රාජකාරිවල යොදවා තියෙන්නේ.” කොට්ඨාස රථවාහන ස්ථානාධිපතිවරයා පවසන්නේ මේ නව රාජකාරි ස්වභාවය හේතුවෙන් මේ වනතුරු කිසිදු ගැටලුවක් පැන නැඟී නැති බවය. යෙදවූ නිලධාරිනියන්ට හැකි සියලුම පහසුකම් ලබා දී ඇති බවත් ඔවුන් ඉතා තෘප්තියකින් යුතුව සිය රාජකාරි කරන බවත්ය.
මාර්ග නීති උල්ලංඝනය කරන, රථ වාහන නීති කඩ කරන කෙනෙක් කාන්තා නිලධාරිනියන් ඉදිරියේ බලපෑම් කරන්න පුළුවන් නේද? අපි ඇසුවෙමු.
“පිරිමි නිලධාරීන් ඉදිරියෙ හැසිරෙනවට වඩා පුද්ගලයන් ඔවුන් ඉදිරියේ ආචාරශීලියි. මහජනතාවගෙන් කිසිම ගැටලුවක් නෑ. මේ නගරය වඩාත් විනයගරුක නගරයක් කරන්න මේ නිලධාරිනියන් විසින් විශාල සේවයක් කරයි යන අදහස අපට තිබෙනවා.” ඔහු අපට කියන්නේය.
දුහුවිලි පොදක්, හිරු එළි රැසක් සිරුරට පතිත වනු ඇතැයි බියෙන් දහවලට එළි නොබසින සම වයස් යෞවනියන් දෙස නොබලා රථවාහන රාජකාරිය වෙනුවෙන් පොලොන්නරුවේ දැවෙන මහ පාරට පැමිණි යොවුන් පොලිස් නිලධාරිනියන් හා සංවාදය කුහුල දනවන සුලුය. මුලින්ම අපට හමුවන්නේ (11721) කාන්තා පොලිස් කොස්තාපල් චමුදිනී හංසමාලි රණසිංහය. ඇය ඉපදුණේ නුවරය. දෙදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා චමුදිනීය.
“ 2019.12.01 තමයි පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගියෙ. ඇත්තටම පොලිසියට ආවේ යුනිෆෝම් එක අඳින්න පොඩි දවස්වල ඉඳන් මගේ තිබුණ කැමැත්ත නිසා. තාත්තා මට පොලිස් සේවයට එන්න ගොඩාක් උදවු කළා. ඔහු මම මේ රැකියාව කරනවට ගොඩක් සතුටු වුණා. .
“මම 2020 දී පාස් අවුට් වෙලා කෙළින්ම ආවේ පොලොන්නරුවට. ඉස්සරවෙලාම පොලිසිය ඇතුළෙ රාජකාරි කරලා පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ගියා. ඒ අංශයෙන් ලොකු අත්දැකීම් ලැබුණා. එතනින් තමයි මාව කොට්ඨාස රථ වාහන අංශයට අනුයුක්ත කළේ.” මුල්ම ට්‍රැෆික් අත්දැකීම ගැන ඇගෙන් විමසුවෙමි. ඇය සිනාසුණාය.
“මුලින්ම පොඩි චකිතයක් තිබුණා. නමුත් සුදු බෙල්ට් එක දාලා පාරේ හිටන් ඉන්න තිබුණු ආසාව අර චකිතයට වඩා වැඩියි. මොකද අපි දිහා පොඩි ළමයින් පවා වැඩි අවධානයකින් බලනවා.” ඇය පවසන්නේ හැසිරෙන සමහර තරුණ රියැදුරන් ඔවුන් ඉදිරියේ දැඩි සංයමයක් දක්වන බවය.
“අපට තේරුණ දෙයක් තමයි තවමත් මේ සමාජය කාන්තාවන්ට ගෞරවයක් දක්වනවා. ඒ නිසා ඔවුන් අරියාදුවට එන්නේ නෑ. අපි නවත්වන්නේ නැති වාහනත් නවත්වලා මිස්ලා අපි මාධ්‍යයෙන් දැක්කා කියලා කතා කරලා යනවා.” ඇය යළි සිනාසුණාය.
කාන්තා පොලිස් කොස්තාපල් (11396) නඩරාජා සින්දුජා පොලිසිය තෝරා ගෙන තිබුණේ යාපනය සරසවියට ලැබුණු සරසවි ප්‍රවේශය ද අත්හැරය. ඇයගේ ගම මස්කෙළියය. ඇය සිය අත්දැකීම් නුහුරු සිංහලෙන් කියන ආකාරය අපූරුය.
“මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලිලා දෙන්නයි නංගියි. මම ඉස්කෝලෙ යන දවස්වල ඉඳන්ම කැමැත්තෙන් හිටියේ පොලිසියට. 2018 දී ඒලෙවල් කරලා මම යාපනය සරසවියට තේරුණා. මා එක්ක ඉස්කෝලෙ ගිය 03ක් යුනිවර්සිටි ගියා. ඒත් එක්කම පොලිසියට බැඳෙන්න පුරප්පාඩු දාලා තිබුණා. මම පොලිසිය තෝර ගත්තා.
පොලිසියට ඇවිත් දැන් අවුරුදු 03යි, මාස 06යි. මුල්ම රාජකාරිය ලැබුණේ පොලොන්නරුව පොලිසියටමයි. ඇය රථවාහන රාජකාරිය පිළිබඳ සිය මුල්ම අත්දැකීම අප සමඟ බෙදා ගත්තාය.
“මුලින්ම රාජකාරි කරන්න බැඳි වැව පාරට ගියා. මම මුලින්ම නැවැත්තුවෙ වැරැදියට එන කාර් එකක්. මා ඔවුන්ට උපදෙස් දුන්නා. ඒ අය ඉතාම ගෞරවයෙන් ඒ උපදෙස් පිළිගත්තා. අපේ පරමාර්ථය නඩු ගන්න එක නෙමෙයි. සංචාරකයො ඉන්න පැතිවල අපව ඩියුටි දාලා තියෙන්නේ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අදහසින්.” සින්දුජා කීවාය.
ඔවුහු රථවාහන රාජකාරිය පටන් ගන්නේ උදේ 9.30ටය. අනතුරුව 12 වනතුරු රාජකාරි කර. 12ට දිවා ආහාරය ගෙන යළි සවස 2ට රාජකාරි අරඹති. සවස 04වනතුරු එම රාජකාරියේ නිරත වෙති. සින්දුජාගේ පරමාර්ථය පොලිස් සේවයේ සිය රාජකාරි යුතුකම සහ වගකීම ඉටු කරන ගමන්ම අත්හැරුණ උපාධිය සම්පූර්ණ කරගැනීමය.
(11969) උරේෂා විරාජිනි ගෙදරගොඩ රථවාහන හැසිරවීමේ වගකීම ගෙන මහ පාරට පිවිසි තවත් තරුණ කාන්තා පොලිස් කොස්තාපල්වරියකි. ඇගේ ගම ද මහනුවර හතරලියැද්දය. ඇගේ පියා රණවිරුවෙකි. නැඟණිය සහ මලණුවන් සහිත පවුලේ වැඩිමලා උරේෂාය.
“මට තේරෙන කාලෙ ඉඳන් හිතන් හිටියේ පොලිසියට බැඳෙන්න. මේක මගේ පළමුවැනි රැකියාව. “ඇය කතාව පටන් ගත්තාය. “ ඒ කාලේ මම හරිම දඟයි. ගුරුවරු කිවුවෙ උඹ කවද හරි පොලිසියට ගිහින් නතර වේවි කියලා. ඇත්තටම ඉතින් පොලිසියෙන් නතර වුණා.” උරේෂා සිනාසෙමින් කීවාය.
“අම්මා ගොඩාක් කැමැති වුණා මම පොලිසියට යනවට. 2021.01.21 තමයි මම පොලිසියට බැඳෙන්නේ. පොලොන්නරුව තමයි මගේ පළවෙනි පොලිස් ස්ථානය. අලුත් රාජකාරිය වෙනස්ම අත්දැකීමක්. ගොඩාක් පොලිසිවල කාන්තා නිලධාරීන් ඇතුළෙ අංශවල රාජකාරිවලට යොදවන්නේ. අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ සංකල්පයක් මත ඇරඹුණ මේ රාජකාරි අත්දැකීම ආධුනික කාන්තා පොලිස් නිලධාරිනියක් ලැබිය යුතුම අත්දැකීමක්. සමාජයේ අත්දැකීම් ගන්න පුළුවන්. සරසවියකට ආවා වගේ හැඟීමක් මට තියෙන්නේ. ඒ වගේම පොලිස් ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක සාමාජිකාවක් වීම ගැන ලොකු සතුටක් ආඩම්බරයක් තිබෙනවා”.
ඇය කියන්නේ කාන්තා රථවාහන නිලධාරිනියකට ඉහළ ගෞරවයක් සහ සමාජ ආකර්ෂණයක් ඇති බවය. ඉන් උපදින රාජකාරි තෘප්තිය කිසිවකට ලඝු කළ නොහැකි බවය.
කාන්තා පොලිස් කොස්තාපල් (11970) භාග්‍යා මධුශානි සමරතුංග ද පොලොන්නරුව රථවාහන සේවයේ යෙදෙන තරුණ නිලධාරිනියකි. “මගේ ගම නුවර හතරලියැද්ද. පොලිස් සේවයට බැඳුණේ 2021.01.7 ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් තමයි මූලික පුහුණුව ලබා ගත්තේ. මගේ මාමත් පොලිසියෙ හිටියේ. ඔහු නිසත් මම පොලිස් සේවයට එන්න කැමැත්තෙන් හිටියේ. පොලිසියට බැඳෙකොට වයස අවුරුදු 21යි. දැන් සේවා කාලය අවුරුදු දෙක හමාරයි. පළවෙනි පොලිසිය තමයි පොලොන්නරුව පොලිස් මූලස්ථානය.
ගෙදර ඉන්නකොට සමාජය ගැන ලොකු දැනුමක් තිබුණෙ නෑ. වෙන රැකියාවකට වඩා විශාල සමාජයක් විවර වෙනවා පොලිස් රාජකාරියෙදි. ගොඩාක් අයගේ ප්‍රශ්න ගැටලු අපේ කරගෙන අපි උත්තර දුන්නා. රථවාහන රාජකාරි පටන් ගත්තට පස්සේ ඒ අත්දැකීම තවත් තීව්‍ර වුණා.”
ඇය පවසන්නේ මේ වනතුරුත් පිළිගැනීම සහ ගෞරවය මිස ගැටලුවක් ඇතිවූ අවස්ථාවක් නැති බවය. “අප හය දෙනා කණ්ඩායම් දෙකකට යන්නේ. රේඩියෝ කාර් දෙකක් අපේ කණ්ඩායම් දෙකට දීලා තිබෙනවා. වාහනයක් නවත්වලා අපි ආචාර කරපු ගමන් කියන්නේ “ලස්සනයි මේ වැඩේ. ඉතාම හොඳයි” කියලා.
( 11961) කාන්තා පොලිස් කොස්තාපල් අනූපමා දිනේෂිකා රණවීර ගේ ගම ද නුවර ගිරාගමය. ඇයත් පොලොන්නරුවේ රථවාහන රාජකාරියේය.
“පොලිස් සේවයට බැඳෙන්නේ 2021.01.21 ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන්. පළමුවෙනි පත්වීම පොලොන්නරුව මූලස්ථාන පොලිසියට. මවුපියන්ටත් සලකගෙන ඉන්න පුළුවන් රැකියාවක් නිසයි මේ රැකියාව තෝර ගත්තෙ.” මුල්ම රාජකාරි දිනයේවත් ඇයට චකිතයක් නොතිබුණු බව ඇය කියන්නීය.
“මුල්ම රාජකාරි කළේ දීප උයන ළඟ. එස්අයි මහත්තයෙකුත් පළවෙනි රාජකාරි දවසේ හිටපු නිසා චකිතයක් ඇති වුණේ නෑ. වාහනයක් නැවැත්තුවත් සුහද ප්‍රතිචාර ලැබුණා. මේ සති දෙකට කොතැනකින් හෝ ඔවුන් අපව දැකලා, අහලා තිබුණා.” ඇය කීවේ තෘප්තියෙනි.
මේ කණ්ඩායමේ සිටිනා ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව කාන්තා පොලිස් කොස්තාපල් ( 9421) නදීකා සංජීවනී රණසිංහය. ඇය පොලිස් සේවයට බැඳී වසර 11කි. දෙදරු මවකි. සැමියාත් පොලිස් නිලධාරියෙකි.
“මේ මගේ තුන්වන පොලිස් ස්ථානය. මුල්ම පත්වීම ලැබුණේ අම්පාර කොට්ඨාසයේ මොලක්කාවට. ඊට පස්සේ මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයට. ඊට පස්සේ තමයි පොලොන්නරු මූලස්ථාන පොලිසියට ආවේ. මා පොලොන්නරු කොට්ඨාසයට අනුයුක්ත කළ පසු රථවාහන අංශය ඇතුළෙ අවුරුදු 05ක් රාජකාරි කළා. කොට්ඨාස රථවාහන අංශය හැදුවට පස්සේ රථවාහන හැසිරවීමේ රාජකාරි සඳහා එළියට යන්න මාවත් තොරාගෙන තිබුණා. පොලිසිය ඇතුළේ රථවාහන අංශයේ කරන සේවයට වඩා එළියේ මහජනතාව සමඟ ගැටෙමින් රාජකාරි කිරීම වෙනස්. සමහර අවස්ථා තිබෙනවා රියැදුරු සමඟ තර්ක කරන්න වෙන. රූපය ගැන පරිසරයෙන් මතුවන සාධක පොලිස් නිලධාරිනියකට ඒ තරම් වැදගත් නොවන බවත් මේ රාජකාරිය පිටින් තක්සේරු කරන තරම් දුෂ්කර නොවන බවත් ඇය කියන්නීය.
මේ නව ප්‍රවේශය ඔස්සේ පොලොන්නරුවේ දී බලාපොරොත්තු වන්නේ සාධනීය සමාජ පරිවර්තනයකි. තවමත් මේ රටේ දිනපතා 06 දෙනෙක් මහ මඟ මියයති. වයස අවුරුදු 19ට අඩු දරුවෝ 400කට වැඩි ප්‍රමාණයක් ඉකුත් වසරේ මහ මඟ අනතුරුවලින් මිය ගියහ. මේ වෙනස් විය යුතු අවිනීතකම වෙනස් කිරීමට ගැහැනියකට හැකි බව විශ්වාස කරමි. ලෝකයක් නිර්මාණය කරන මහා අනුභාව ඇය සතුව ඇති බව ලියා තබමි.
ඡායාරූප - මධුෂාන් සන්දීප