හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය ජාත්‍යන්තරයට ගිය වගයි | සිළුමිණ

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය ජාත්‍යන්තරයට ගිය වගයි

අජිත් කුමාර කලාකරුවා විසින් නිර්මිත මනිකාර කුලපගතිස්ස ජාතකය නිරූපිත තොරණ

පොසොන් පුන් සඳ අහසේ දිලෙයි. දසතින් ඇසෙන්නේ බොදු ගී රාවයයි. සිත පහන් කරන බොදු ගී රාවය හෝමාගම ධර්ම රශ්මි කලාපය පුරා විහිදෙන්නේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ කරමිනි. වසර ගණනාවක් තිස්සේ විවිධ හේතු නිසා බෞද්ධයන්ට හිතේ හැටියට පොසොන් සමරන්නට අවකාශ විවර වූයේ නැත. සමහරු කෙසේ හෝ අනුරපුර යති. එහෙත් එය සැමට කළ හැක්කක් නොවේ. හෝමාගම පොසොන් ධර්ම රශ්මි කලාපය විවර වූයේ අගනුවර කෙන්ද්‍ර කරගනිමින් වීම සැදැහැවත් බෞද්ධයන්ගේ සංතුෂ්ටියට කාරණාවක් වූයේ ඒ නිසා ය. 

ධර්ම රශ්මි පොසොන් කලාපය හේතු ගණනාවක් නිසා ලාංකේය බෞද්ධයන්ට වැදගත් ය. එයින් වැදගත් ම කාරණාව වෙන්නේ රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු මෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා පොසොන් පුන් පොහෝදා හෝමාගම පිටිපන පිහිටි ධර්ම රශ්මි පොසොන් කලාපයට පැමිණ සිටීම ය. දෙස් විදෙස් සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් හා දායකත්වයෙන් ඇරඹි මෙකී පොසොන් කලාපය සැදැහැවතුන්ගේ අපමණ භක්තිමත් වන්දනාභිමානයට පාත්‍ර විය. ධර්ම රශ්මි පොසොන් කලාපය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ජපානය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, රුසියාව ඇතුළු රටවල තානාපති කාර්යාල නියෝජනය කරමින් එක්ව සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් හා මූලිකත්වයෙන් ඇරඹීම විශේෂත්වයකි.

ධර්ම රශ්මි පොසොන් කලාපයේ ඇරඹුම සටහන් වූයේ පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. බෝධිරාජාරාම විහාර පරිශ්‍රයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව විදුලි ආලෝක පද්ධතිය විවෘත කර හාත්පස ඒකාලෝක කරමින් අමාත්‍යවරයා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් නිල වශයෙන් පොසොන් කලාපය විවෘත කෙරිණි. ඉන් අනතුරුව ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පොසොන් කලාපයට සමගාමීව නිර්මාණය කළ තොරණ විවෘත කිරීම සිදු වූයේ සුවහසක් බෞද්ධයන්ගේ ආශීර්වාදාත්මක වන්දනා මධ්‍යයේ ය. අජිත් කුමාර කලාකරුවා විසින් නිර්මිත මනිකාර කුලපගතිස්ස ජාතකය නිරූපිත තොරණ බොදුනු සිත් අපමණ චමත්කාරයෙන් පුරවාලීය.

ලංකාව පුරා බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක් වූ ධර්ම රශ්මි පොසොන් කලාපය සැදැහැවත් ජනයාගෙන් පිරී ඉතිරී තිබිණි. වැල නොකැඩී එන ජනයා වෙනුවෙන් පොසොන් කලාපය පුරා විවිධ දන්සැල් සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංවිධානය කරන විශාලතම බත් දන්සල හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩාංගණයේ යුද හමුදාව විසින් සංවිධානය කර තිබුණු අතර, එය විවෘත කරන ලද්දේ අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත පිරිස විසිනි. 20,000කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් මේ මහා දන්සැලේ කෑම සූදානම් ව තිබිණි. දන්සැල විවෘත කරමින් පැමිණ සිටි පිරිසට ආහාර පිළිගැන්වීම සිදු කරමින් සැදැහැවතුන් හා සුහදව කතා කරමින් අමාත්‍යවරයා ඇතුළු ආරාධිත පිරිස පොසොන් සිරියෙන් සිත පහන් කරගත් අයුරු ආනන්දජනකය.

පොසොන් පොහොයට පසු දින එනම්, ජුනි මස 4 වැනිදා අතිශය වැදගත් කාර්යයක් සිදු කෙරෙන ලද්දේ NSBM හරිත සරසවි පරිශ්‍රයේදී ය. ඒ, උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන්ගේ ජාතික, ආගමික මෙහෙවර අගය කරමින් විශේෂ උපහාර මුද්දරයක් හා මුල් දින කවරයක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් නිකුත් කිරීමයි. එහිදී ඇමැතිවරයා විසින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි වෙත හේනේපොළ ගුණරතන නාහිමි උපහාර සමරු මුද්දරය සහ මුල් දින කවරය පිරිනැමුවේය. දශක ගණනාවක් ඇමෙරිකාවේ වැඩ වසමින් බටහිර රටවල බුදු දහම ප්‍රචලිත කිරීමෙහි හා භාවනා ක්‍රම පිළිබඳ උපදෙස් දෙමින් දෙස් විදෙස් සම්භාවනාවට පත් උන්වහන්සේ 1954 දී විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. භාවනාව පිළිබඳ උන්වහන්සේ රචනා කළ MINIDFULNESS IN PLAIN ENGLISH නමැති ග්‍රන්ථය ලෝකයේ භාවනාව පිළිබඳ රචිත විශිෂ්ටතම ග්‍රන්ථය ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කර තිබේ. දැනට ලොව සිටින සුවිශේෂතම භික්ෂූන් වහන්සේලා තිදෙනා අතරින් අයකු හැටියට ද මීට වසර 5කට පෙර විස්ඩම් සඟරාව මඟින් උන්වහන්සේ නම් කර තිබිණි. එමෙන්ම 2012 වසරේදී ලොව නැරඹිය යුතු හොඳම පූජනීය ස්ථාන 500 අතරට උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද west virginia ආරණ්‍ය ද 2012 වසරේ දී national geographic සඟරාව මඟින් හඳුන්වා දී ඇත. උන්වහන්සේ වෙනුවෙන් මුද්‍රිත විශේෂ මුද්දරය ධර්ම රශ්මි පොසොන් කලාපයේදී ජනගත කිරීමට ලැබීම විශේෂිතය. මේ විශේෂ අවස්ථාව ඇමෙරිකාවේ ලක්ෂ දෙකක පමණ පිරිසක් සජීවිව නැරඹූ අතර, ඒ නිසාම හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය ජාත්‍යන්තර නොමඳ අවධානයට ද ලක්විණි. හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයට සමගාමීව සිදු කෙරුණු මෙකී කාර්යය ධර්ම ශාස්ත්‍රාභිලාෂී දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ඉමහත් ගෞරවයට පාත්‍ර විණි.

බැතිමතුන්ට වන්දනාමාන කිරීමට හා රණවිරුවන්ට පින් පිණිස ත්‍රිවිධ හමුදාව විසින් පනාගොඩ යුද හමුදා කඳවුරෙහි ස්ථාපිත අවුකන බුදු පිළිමයේ අනුරුව බොදුනුවන්ගේ සිත සමාධියෙන් දැහැන්ගත කරවූයේය. ඒ අපූර්ව නිර්මාණය රත්නපුරේ නන්ද හිමි විසින් නිර්මාණය කරන ලද්දේ මාස දෙකක් පුරා එහි ම ව්‍යාවෘත වෙමිනි. අවුකන පිළිම වන්දනාවට අමතරව දාන ශීල භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් ඊට සමගාමීව ශ්‍රී සුගත බිම්බාරාමයේ සංවිධානය කර තිබිණි. උපාසක උපාසිකාවන් 1,200කට අධික සංඛ්‍යාවක් ශීල ව්‍යාපාරය හා එක්ව සිටියහ. බැලු බැලු අත පෙනුණේ අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනාමාන කරන සැදැහැවතුන් ය. මෙම පොසොන් ආගමික වැඩසටහන් ස්වාධීන රූපවාහිනියේ සවනක් රැස් වැඩසටහන ඔස්සේ පොසොන් පොහෝ දින සජීවීව විකාශය කෙරුණි. අගනුවර කේන්ද්‍ර කරගනිමින් සංවිධානය වුව ද ජුනි 3 වැනිදා සිට 5 වැනිදා ඒ පරිශ්‍රය පුරා තිබුණේ අපමණ බැතිබර බවකි. නාගරික ඝෝෂාවෙන් හෝ කලබලයෙන් වියුක්ත වූ ඒ තෙදින පුරා ගිණිය නොහැකි තරම් ශ්‍රද්ධාවන්තයෝ ධර්ම රශ්මි පොසොන් කලාපය නරඹන්නට එක්ව සිටියහ. බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් දිනපතා සවස 06 සිට රාත්‍රි 12 දක්වා විනාඩි 15කට වරක් ක්‍රියාත්මක වූ නොමිලේ ප්‍රවාහන සේවාව බැතිමතුන්ට මහත් පහසුවක් ගෙන දුන්නේ ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු නීලගිරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පොසොන් පුන් පොහෝදා සිට දින තුනක් පුරාවට හෝමාගම පිටිපන ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපයේදී ප්‍රදර්ශනය කෙරුණේ බොදුනුවන්ගේ වන්දනාමානයට ලක් වෙමිනි. ජුනි මස 3 වැනිදා මෙම සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ සිට පොසොන් කලාපයේ පිහිටි හෝමාගම සුගත බිම්බාරාම විහාරස්ථානය දක්වා වැඩම කරවූයේ අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකිනි. සර්වඥ ධාතූන් වහන්සේලාට ආරක්ෂාව සැපයීම පනාගොඩ යුද හමුදා මූලස්ථානය හරහා සිදු වූ අතර, සර්වඥ ධාතු වන්දනය පිණිස අසීමිත ජන ගංගාවක් නොකඩවා ධර්ම රශ්මි කලාපය වෙත ඇදී ආහ.

ධර්ම රශ්මි පොසොන් කලාපය වඩාත් අලංකාර කරමින් දින තුන පුරාවට බොදු බැති ගී සංදර්ශන පැවැත්වුණු අතර, ඒ සියල්ල දින තුනේම රාත්‍රී 10-12 දක්වා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සේවාව හරහා විකාශය විණි. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් හා විශාරද එච්වඩ් ජයකොඩි ගායනවේදීන් ප්‍රමුඛ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බොදු බැති ගී සරණිය ද ධර්ම රශ්මි පොසොන් කලාපය ගීතවත් කළේ ය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ස්වාධීන රූපවාහිනියේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කරන පොසොන් පහන් කූඩු තරගය ජුනි 3, 4, 5 දිනවල “ධර්ම රශ්මි “හෝමාගම පිටිපන පොසොන් කලාපයේදී පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ සියලුම නිර්මාණ පොලිතින්වලින් බැහැරව පරිසර හිතකාමී ලෙස පොසොන් උත්සවය අර්ථවත් වන අයුරෙන් නිර්මාණය කර තිබීමයි. මෙම තරගයේ පළමුවැනි ස්ථානය රුපියල් 500,000, දෙවැනි ස්ථානය රුපියල් 250,000 තුන්වැනි ස්ථානය 125,000 හා හතරවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා රුපියල් විසිපන්දහස බැගින් ත්‍යාග ලබා දුන් අතර, අතිශය අලංකාරවත් ව හා තරගකාරීව නිර්මාණය වී තිබූ මේ පොසොන් කූඩු නැරඹීමට බොහෝ ජනයා එක්ව සිටියහ. මේ කිසිවක් සඳහා බැතිමතුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීම ද විශේෂත්වයකි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධනගේ උපදෙස් මත ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපය නිර්මාණය වූ අතර, ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, බුද්ධශාසන අමත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම රාජ්‍ය ආයතන, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් මෙන්ම සියලු සංගම් ද මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීමට එක්ව සිටියහ.

මෙම පොසොන් කලාපය කිලෝමීටර් 10ක් පුරාවට විසිරි පැවතුණු අතර හෝමාගම, පිටිපන, හරිත සරසවි පෙදෙස, මීගොඩ පාර හා ගොඩගම යන ප්‍රධාන නගර 5 එහිදී ආවරණය විණි. පොසොන් කලාප තුනක් වශයෙන් මෙය ක්‍රියාත්මක විණි. ඒ දින තුන පුරා හෝමාගම එකී කලාපයට ආසන්නයෙන් පිහිටි සියලු නිවෙස් හා ආයතන ද පොසොන් සිරියෙන් ඇළලී තිබිණි. ගෙවතු පුරා පහන් දල්වමින්, කූඩු හදමින් තමන්ට හැකි අයුරෙන් මෙකී උත්කර්ෂවත් ආමිෂ පූජාවට සියලු වැසියෝ එක් ව සිටියහ.

දින තුනක් පුරා අඛණ්ඩව පොසොන් සිරියෙන් අලංකෘත ව තිබූ හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය වසර ගණනාවක් තිස්සේ විවිධ ජීවන හා වසංගත ගැටලුවලට මුහුණ දෙමින් දුෂ්කර ජීවිතයක් ගත කළ ජනතාවට අමා පැන් දහරාවක් වැනි විය. දසතින් ඇසුණු බොදු ගී රාවය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ජනතාවගේ හදවත් බුදු බැතියෙන් ඔකඳ කළේ ය.

අප ධර්ම රශ්මි පොසොන් කලාපයෙන් පිට වෙන විට ගුණදාස කපුගේ ශෝකී ස්වරයෙන් ගයන රඹුකන සිද්ධාර්ථ හිමියන් රචිත ගීයෙන් ඒ පරිශ්‍රය නින්නාද වෙමින් තිබිණි. එහෙත් මේ වැනි බොදු බැතියෙන් ඇළලෙන පරිශ්‍ර බහුල වෙන්නේ නම් ආමිෂ පූජාවෙන් ඉනික්බිති ප්‍රතිපත්ති පූජා මාවත විවර වීමේ මඟ සැලසෙන බැවින් ඒ තරම් බොදුනුවන් අසරණ නොවනු ඇති බැව් ම සිත කොඳුරා කීවේ ය.

පිහිටක් නැති සරණක් නැති 
මේ සසර දනව්වේ 
අපි අසරණ වෙලා වගේ 
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...... 




ඡායාරූප - නිශ්ශංක විජේරත්න 
දුෂ්මන්ත මායාදුන්නෙ 
ගයාන් පුෂ්පික 
රංජිත් අසංක

Comments