චින රජයේ සම්භාවනාවට පාත්‍ර වූ නාවික විරුවන්ගේ දිය යට මෙහෙයුම | සිළුමිණ

චින රජයේ සම්භාවනාවට පාත්‍ර වූ නාවික විරුවන්ගේ දිය යට මෙහෙයුම

මෙහෙයුම අතරේ දී මළ සිරුරු ගොඩ ගන්නා අයුරු

ලෝක අවධානයට ලක් වූ සාගර ඛේදවාචකයක් පසුගිය 16 වැනිදා වාර්තා විය. මැයි මස 03 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සිට දකුණු කොරියාවේ බූසාන් දක්වා යාත්‍රා කිරීමට ගමන් ඇරඹූ චීන රජයට අයත් ‘ලූපෙන් යුවාන්යු‘ 028 ධීවර යාත්‍රාව ඉකුත් 16දා ගැඹුරු මුහුදේදී පෙරළී ගියේය. නෞකාව අනතුරට ලක්වී තිබුණේ ඔස්ට්‍රේලියාවට නිරිත දෙසින් වන ඔස්ට්‍රේලියානු සෝදිසි සහ මුදා ගැනීමේ මුහුදු කලාපය තුළ ගැඹුරු මුහුදේදීය. අනතුරට ලක්වන විට චීන ජාතිකයන් 17ක්, ඉන්දුනිසියානු ජාතිකයන් 17ක් සහ පිලිපීන ජාතිකයන් 05 දෙනකු සමඟ 39 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යාත්‍රාවේ වූහ. 

ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රමුඛ පුවතක් ලෙස මේ නාවික ඛේදවාචකය වාර්තා වී තිබිණි. චීන ජනාධිපති ෂි ජින්පින් එරට බලධාරීන්ට දන්වා තිබුණේ අනතුරට පත් යාත්‍රාවේ නාවික පිරිස මුදා ගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසය. මේ සමඟම ‘ලූපෙන් යුවාන්යු‘ 028 ධීවර යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුමට එක්වන ලෙස චීනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් එම ඉල්ලීම සිදු කරන අවස්ථාව වන විට එම කලාපය ආසන්නයේ නාවික හමුදා යාත්‍රා කිසිවක් තිබුණේ නැත.

ජාත්‍යන්තර සම්මුතීන් අනුව අප සතුව ලෝකයට වගවීමක් තිබේ. මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවිකයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සම්මත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත ශ්‍රී ලංකාව බැඳී ඇත.

ඒ අනුව නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීම් කලාපයේ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ යාබද සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයන්හිදී ද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කළ යුතුය.

චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායක වීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය.

ආපදාවට පත් ‘ලූපෙන් යුවාන්යු‘ චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයේ එම යාත්‍රාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් කලාපීය රටවල සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන විසින් ඒ වන විටත් අරඹා තිබුණි. එම අන්තර්ජාතික මෙහෙයුමට එක්වීමට විජයබාහු නෞකාව ගමන ආරම්භ කළේය. විජයබාහු නෞකාව අනතුරට පත් යාත්‍රාව අසලට ළඟා වන්නේ බෙහෙවින්ම කැලඹිලි සහිත පරිසරයකය. නෞකාවේ සිටි මුදවා ගැනීමේ කණ්ඩායම දුටුවේ චණ්ඩ මුහුදේ උඩුකුරුව පෙරළී පාවෙමින් ඇති අනතුරට පත් ‘ලූපෙන් යුවාන්යු‘ 028 යාත්‍රාවය.

මුහුදු ප්‍රදේශය ප්‍රචණ්ඩය. නිසල ගැඹුරු මුහුද රළු වීම බිය උපදවන සුළුය. ඊටත් වඩා මුණින් පෙරළුණු යාත්‍රාවේ මුදා ගැනීමේ මෙහෙයුම් කිරීම සඳහා ඇවැසි පැහැදිලි ස්වරූපයක් ජලයේ තිබුණේ නැත. කැඩුණු යාත්‍රාවේ විසිරී ගිය ආම්පන්න අවට සිසාරා විහිදී ගොස් ඇත. මුදවා ගැනීමේ කණ්ඩායම අසල ඇත්තේ ඉතා අසීරු මෙහෙයුමකි. අභියෝගය භාරගෙන කිමිදුම් කණ්ඩායම උඩුකුරුව පෙරළී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාව තුළ තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැක කෙරෙන කාර්ය මණ්ඩලය සොයා සිය මෙහෙයුම ආරම්භ කළහ.

දුර්වල ආලෝක තත්ත්වය මත අන්ධකාරය විනිවිද කිමිදුම් කණ්ඩායම පෙරළුන යාත්‍රාව තුළට ප්‍රවේශ වූහ. තැන තැන සිරවූ මළ සිරුරුය. මුලින්ම ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැදිරියෙන් සහ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළසිරුරු දෙකක් නාවික හමුදා කිමිදුම්කරුවෝ සොයා ගත්හ. එම සිරුරු දෙක යාත්‍රාවෙන් පිටතට ගැනුණි. සිරුරු තිබුණේ බෙහෙවින් ඛාදනය වූ මට්ටමේය. සොයා ගත් මළ සිරුරු දෙක එම ස්ථානයේ තිබූ De Tian චීන ටග් යාත්‍රාව වෙත භාර දීමට මුදවා ගැනීමේ කණ්ඩායම කටයුතු කළේය.

යටිකුරුව පෙරළුණ යාත්‍රාව තුළට කිමිදුණු කිමිදුම්කරුවන් දුටුවේ තවත් මළ සිරුරු 12ක් යාත්‍රාව තුළ සිරවී ඇති අයුරුය. එය දින තුනක අසීරු මෙහෙයුමකි. බොර වූ අඳුරු සීතල ගැඹුරු මුහුදේ කිමිදෙමින් කිමිදුම්කරුවෝ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටියහ. 

මළ සිරුරු 12 සිරවී තිබුණේ, ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ නවාතැන් ගන්නා කාමර තුළ සහ අනෙකුත් මැදිරි තුළය. මළ සිරුරු ගොඩගත නොහැකි සේ නරක් වී තිබිණි. අඳුරු මුහුදේ දිය යට කරන මේ මෙහෙයුමේදී එම නරක් වූ සිරුරු ගොඩ ගැනීමට යෑම සෑම අතින්ම අවදානමක් විය. විශේෂයෙන්ම එය සෞඛ්‍යයට බරපතළ අවදානමක් ඇති කළ හැකිව තිබිණි. නාවික හමුදා කිමිදුම් කණ්ඩායම කළේ යාත්‍රාව තුළ එම මළ සිරුරු ඇති ස්ථාන සිතියම්ගත කිරීමය. එම අසීරු කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත්ව පාවෙමින් තිබූ චීන ධීවර යාත්‍රාව සම්පූර්ණයෙන් ගැඹුරු මුහුදේ ගීලී ගියේය.

අනතුරුව කිමිදුම් මෙහෙයුම අවසන් කර ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවෙන් නාවික හමුදා කණ්ඩායම පසුගිය මැයි මස 22 වැනිදා නැවත කොළඹ වරාය බලා ගමන් ආරම්භ කළේය.

මේ වන විට, ‘MV SHANDONG DE LONG’ නමැති චීන නෞකාව චීන කිමිදුම්කරුවන් ද රැගෙන එම ස්ථානයට ළඟාවී තිබිණි. මළ සිරුරු රැඳී ඇති ස්ථානවල සිතියම්ගත තොරතුරු මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳත්, අනතුරට පත් ධීවර යාත්‍රාවට ආරක්ෂිතව කිමිදුම්කරුවන්ට ඇතුළු විය හැකි සහ පිටවිය හැකි පිවිසුම් පිළිබඳත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක්, සහිතව නාවික හමුදාව විසින් ‘MV SHANDONG DE LONG’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කිමිදුම් කණ්ඩායමට පසුගිය 23 වැනිදා භාර දුන්නේය.

මෙම මෙහෙයුම ලෝක අවධානයට ලක් විය. උත්කර්ෂවත් පැසසුමට ලක් විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව චීනයේ ඉල්ලීම පරිදි සිදුකළ මෙම මෙහෙයුම ඉතා අවදානම් සහගත වික්‍රමයක් බවය.

මෙහෙයුම අවසානයේදී ආපදාවට පත් ‘ලූපෙන් යුවාන්යු‘ 028 චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ විශිෂ්ට කිමිදුම් වික්‍රමයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ නාවික පුද්ගලයන් සහ කිමිදුම් කණ්ඩායමේ නාවික පුද්ගලයන් නවදෙනා (09) වෙත චීන රජයේ උපහාරය පිරිනමා ඔවුන්ව ඇගයීමේ උත්සවයක්, ශ්‍රී ලංකාවේ චීන තනාපති කී ෂෙන්හොං ගේ (Qi Zhenhong) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 06 වැනිදා කොළඹ ෂ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

තානාපති Qi Zhenhong සභාව අමතමින් පැවසුවේ මේ අපදා අවස්ථාවේ ගලවා ගැනීමේ මෙහෙයුමට මැදිහත් වී ඊට පූර්ණ සහාය ලබා දීමට ගත් තීරණාත්මක සහ කාලෝචිත තීරණය සම්බන්ධයෙන් ආරක්ෂක ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහට ස්තුතිය පුද කරන බවය. ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාවේ සියලුම නිලධාරීන් සහ නාවිකයින් මෙම නියෝගයට වහා ප්‍රතිචාර දැක්වීම සහ දිගු දුරක් තිබියදීත් ඔවුන්ගේ සහායට පැමිණීම තානාපතිවරයාගේ විශේෂ පැසසුමට ලක් විය. නිර්භීත කිමිදුම්කරුවන් නවදෙනාට මෙන්ම ඔවුන්ගේ කාලෝචිත උපකාරය මෙන්ම සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ සියලුම රටවල් සහ නියෝජිතායතනවලට චීනය විසින් අවංක උපහාරය පුදකරන බව ඔහු පැවසුවේය.

අවසානයේදී චීන තානපතිවරයා කීවේ අපූරු කතාවකි. "මෙය ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් පමණක් නොවේ. ජාත්‍යන්තර මානුෂීයවාදයේ ආත්මය විදහා දැක්වීමේ කීර්තිමත් මෙහෙවරක්. අනුකම්පා විරහිත මුහුදෙන් ඉස්මතු වුණේ මනුෂ්‍යත්වයේ දයාව පමණයි. සෑම රටක්ම සෑම ජාතියක්ම අයිති වන්නේ දුක සැප බෙදා ගන්නා ගෝලීය ගම්මානයට බව අපට ගැඹුරින් දැනෙනවා. ගෝලීය අවදානම් සහ අභියෝග මතුවෙමින් පවතින මොහොතක, සහයෝගීතාව සහ අවබෝධය එකම නිවැරදි මාර්ගයයි.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රජයේ මැති ඇමැතීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අණදෙන නිලධාරි සහ එම නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් 300කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

මහා පණිවිඩයක් ලෝකයට ප්‍රකාශ වී ඇත. නොසලකා හැර පෙළා දමන දුබලයන්ගේ මහා බලය ජ්වලිත වන්නේ මහා යෝධයන්ට තමනුත් යම් අවස්ථාවලදී දුබල වන බව වැටහෙන විටය. චීන තානාපතිවරයා කී ලෙසම අනුකම්පා විරහිත මුහුදෙන් ඉස්මතු වී තිබුණේ මනුෂ්‍යත්වයේ දයාවය. ඒ දයාවේ බලය ලෝකයේ සෑම බලයකටම වඩා ප්‍රබලය.

Comments