
දෑතේ කරගැට නැඟෙන තෙක් කුඹුරේ ඔට්ටු වුණු ඔහු පසුදා පාසල් යන්නේ මහන්සියේ සේයාවකුදු නැතිව ය. අම්මා මන්තරයක් මෙන් ඔහුට කීවේ මහන්සි වුණොත් ඉහළට යා හැකි බව ය. හේ එය තරයේ ඇදහුවේ ය. කුඹුර අස්වද්දන්නට කුලියට වැඩ කරවා ගන්නට වුවහොත් ඉඩමේ ආදායම ජීවත් වෙන්නට ප්‍රමාණවත් නොවන බව ඔහු මෙන්ම වැඩිමල් සහෝදරියත්, බාල සොහොයුරන් දෙදෙනාත් දැන සිටියහ. එනිසා කුඹුරු වැඩ ඔහුට ආගන්තුක වූයේ නැත. ඉගෙනීම දේවකාරියක් සේ කළත් පාසලේ මලල ක්‍රීඩා කටයුතුත් ඔහුගෙන් මඟ හැරුණේ නැත. ගමේ පාසලෙන් බිහි වුණු පළමු වරලත් ගණකාධිකාරීවරයා බවට පත්වන්නට ඔහුට හැකි වෙන්නේ අසීමිත විඳ දරා ගැනීම්වලින් ඉනික්බිති ව ය. සිය වෘත්තීය ජීවිතයේ සහ අධ්‍යාපනික ජීවිතයේ ඉහළම හිනිපෙත්තට ගිය ද ඔහු තම අතීතය ගැන සිහිපත් කරන්නේ කිසිදු සංශෝධනයකින් හෝ සැඟවීමකින් තොරව ය.
දියුණු වෙන්නට නම් අසීමිත ව කැප විය යුතු බවත්, මුලින් තමා කරන කාර්යය නිවැරැදිව කිරීම මිස ලැබෙන ප්රතිලාභ ගැන නොසිතිය යුතු බවත් ඔහු සිය ජීවන අන්දරය දිග හරිද්දී වරින් වර සිහිපත් කළේ ය. නමින් සාගර ගමගේ වන ඔහු මේ වන විට Abela & Co Group- UAE, Egypt and Qatar හි මූල්‍ය උප සභාපතිවරයා ය. තමා එකල කළමනාකරණ පුහුණුවීම් කටයුතු කරමින් සිටි Deloitte ආයතනයෙන් ඩුබායි ශාඛාවේ වැඩ කටයුතු සඳහා විශ්වවිද්‍යාලයෙන් පිටමං වෙද්දී ම සාගර යොමු කරන්නේ ඔහුගේ අනාගතය දකිමිනි. එය තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බැව් ඔහු සඳහන් කරන්නේ කෘතඥතාපූර්වක ලෙසය. මේ සාගර රංග ගමගේ නම් වෘත්තියවේදියාගේ දිවි මං සලකුණු සොයා ගිය ගමනක සංක්ෂිප්තයකි.
සම්පූර්ණ නම
මැදගම ගමගේ සාගර රංග
භාවිත නාමය
සාගර රංග ගමගේ
උපන් දිනය
1977 දෙසැම්බර් 03 වැනිදා
ගම් පළාත
මම ඉපදුණේ අම්බන්තොට වලව කියන ලස්සන ගමේ. ගොඩක් අයගෙ ජීවන වෘත්තිය වුණේ ගොවිතැන.
අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්
තාත්තා මැදගම ගමගේ සෝමපාල. අම්මා හේවා විරපුලිගේ නන්දාවතී. තාත්තා ගොවිතැන් කළේ. අම්මා ඒවට උදව් කළා. මට බාල සහෝදරයො දෙන්නෙක් සහ එක වැඩිමල් සහෝදරියක් ඉන්නවා.
පාසල් යන්නේ?
අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසලට. ගෙදර ඉඳන් කිලෝමීටර් එකහාමාරක් වෙල මැදින් ලස්සන පාරකින් අපි ඉස්කෝලෙට යනකම් පයින් යන්නෙ. අපේ පාසල එහා පැත්තේ වලවේ ගඟ තිබුණෙ. හරිම සුන්දර පරිසරයක්. අපේ පාසලෙන් බිහිවෙන පළමු වරලත් ගණකාධිකාරීවරයා මම. ඒ 2004 දි. ඒ උත්තේජනය නිසාම වෙන්න ඇති, ඊළඟ අවුරුදු පහ ඇතුළත අපේ ගමෙන් වරලත් ගණකාධිකාරීවරු තුන්දෙනෙක් බිහි වෙනවා. මට ඒක ලොකු සතුටක්.
කොහොමද පාසල් වැඩ කටයුතු? බාහිර වැඩ එහෙම කළා ද?
මම මලල ක්‍රීඩා කළා. කෙටි දුර හා මධ්‍ය දුර ධාවන තමයි මගේ ප්‍රධාන ඉසව්ව. තවත් මලල ක්‍රීඩා ආශ්රිත ක්‍රීඩා කටයුතු කළා. ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රහණ මලල ක්‍රීඩාවෙන් මම ලබාගෙන තියෙනවා.
උසස් පෙළට කළ විෂය ධාරාව?
උසස් පෙළට කළේ වාණිජ විෂයයන්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හතර වැනියා විදියට මම උසස් පෙළ සමත් වුණා. දිස්ත්‍රික් අංකයක් සහිතව සමත් වුණු නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාව තේරුණා.
මූල්‍ය හා ගණකාධිකරණ අංශයෙන් උපාධිය හදාරන්න මට අවස්ථාව ලැබුණා.
ඉගෙන ගත්තොත් තමයි ඉදිරියට යන්න පුළුවන් කියන මානසික උත්තේජනය ඔබට ලැබෙන්නෙ කොතනින්ද?
අපේ අම්මා තාත්තා නිතරම කියපු දෙයක් තමයි මහන්සි වෙලා වැඩ කළොත් විතරයි දියුණුවක් තියෙන්නෙ කියන එක. ජීවන අරගලය ලේසි වුණේ නෑ. මහන්සි වෙලා වැඩ කළේ පුංචි කාලෙ ඉඳන්. අපිට කුඹුරු වැඩ ආගන්තුක නෑ. මම අනන්තවත් පාසල් යන කාලෙ ඉඳන් අපේ කුඹුරුවල වැඩ කරනවා. කුඹුරු කරන කාලෙට පාසල් ඇරිලා ආව ගමන් කුඹුරට තමයි බහින්නෙ. දෑතෙ වැඩ අපිට හොඳට හුරුයි. සමහර දවසට දවස් දෙක තුන පාසල් යන්න වෙන්නෙත් නෑ. අපිට කුඹුරු වැඩ නොකළොත් ජීවත් වෙන්න අමාරුයි. කුලියට කළොත් අපිට ජීවත් වෙන්න තරම් ආදායමක් ගන්න අමාරුයි. ඉතින් අපි පවුලෙ හැමෝම එකතු වෙලා තමයි කුඹුරු වැඩ ටික කර ගන්නෙ.
උපාධියට අමතරව ඔබ වරලත් ගණකාධිකාරී විභාගත් කරනවා නේද?
ඔව්. උපාධිය කරද්දිම මම වරලත් ගණකාධිකාරී විභාග කරන්න පටන් ගත්තා.
තාත්තා ගොවිතැන් කරද්දි ගෙදර ආර්ථික ප්‍රශ්නත් තියෙන්න ඇති? කොහොමද මේ විභාග සඳහා මුදල් සොයා ගත්තෙ?
මට ශිෂ්‍යත්වයක් ලැබුණා. මට ටියුෂන් පන්තිවලට සල්ලි ගෙවන්න ඕන වුණේ නෑ ඒ නිසා. මට ඒක විශාල පහසුවක් සහ උදව්වක් වුණා. ගෙදරට කරදරයක් වෙන්න වුණේ නෑ ඒ නිසා. ඒ වගේම මහපොළ ශිෂ්‍යත්වයත් ලැබුණා. යාළුවො ගොඩක් උදව් කළා. මම ඇත්තට ම ගෙදරට කිසිම බරක් වුණේ නෑ.
ඒ දේවල් ප්‍රමාණවත් වුණා ද ඉගෙනීම් වැඩවලට?
ඒ අතරෙ මම අමතර පන්ති කළා. ගෙවල්වලට ගිහින් කළේ. ඒ ආදායම මට මගේ වැඩවලට හොඳටම ප්‍රමාණවත් වුණා. මම මහන්සියෙන් ඉගෙනීමේ කටයුතු කළා. තුන්වැනි අවුරුද්දට විතර යද්දි මට හිතුණා, මට පළමු පෙළ පන්ති සාමාර්ථයක් ගන්න පුළුවන් කියලා. අපි නව දෙනකුට පළමු පන්ති සාමාර්ථය ලැබුණා. අපිත් එක්ක තමයි ලංකාවේ හොඳම රෑන්ක් අරන් පාස් වුණු අය හිටියෙ. අම්බලන්තොට වගේ පැත්තක ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලෙකට ඇවිත් පළමු පන්තියේ සාමාර්ථයක් එක්ක පාස් අවුට් වෙන්න ලැබීම ගැන ඇත්තටම තියෙන්නේ ආඩම්බරයක් සහ සතුටක්. අපි කුඹුරු එක්ක හැප්පිච්ච මිනිස්සු. මහපොෙළාව තමයි අපිට ආශීර්වාද කළේ. මහන්සියෙන් තමයි මේ හැමදේම ලබා ගත්තේ. තාත්තයි අම්මයි කිව්වෙත් මහන්සි වුණොත් තමයි අනාගතේ හැදෙන්නෙ කියලා. ඒක ඇත්ත. හැමදේම පුළුවන් උපරිමෙන් කරන්න ඕන කියන හැඟීම මට තිබුණා. ඒ හැඟීම තමයි මාව මේ තරම් දුරට අරන් ආවේ.
ඔබට පුහුණුව සඳහා ආයතනයකට අනුයුක්ත වීම අවශ්‍ය වෙන්න ඇති. කොහේටද මුලින්ම යන්නෙ
අන්තිම අවුරුදු දෙකේ අපි විගණන කටයුතු සඳහා ආයතනවලට යොමු කරනවා. ඒ කාලේ මම ඩිලොයිට් (Deloitte) එකට තමයි අනුයුක්ත වෙලා හිටියෙ. ඒකෙ පළවැනි අවුරුද්ද ඉවර වෙලා දෙවැනි අවුරුද්ද වෙනකොට මට බහරේන්වල ඩිලොයිට් ඔෆිස් එකේ මාස තුනක් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. අන්න ඒ ලැබුණු අවස්ථාව තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මොකද විශ්වවිද්‍යාලෙන් ඉවත් වුණ ගමන් මට පිටරටක රැකියාව කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙ මට රුපියල් 2500ක් විතර ලැබුණෙ. මට මේ අවස්ථාව ලැබෙන්නෙ ගොඩක් ජ්‍යෙෂ්ඨ අය ඉද්දි. ඒකට එකම හේතුව මම මහන්සි වෙලා වැඩ කරපු එක. මගේ ඒ කැපවීම ඉහළ කළමනාකාරීත්වය දැක්කා.
ඒ අවස්ථාව ලැබීම නිසා මොනවද ඔබේ ජීවිතේ වෙනස් වුණේ?
බහරේන් වැඩ කරද්දි පුළුල් විදියට ලෝකෙ දකින්න මට අවස්ථාව ලැබුණා. ධනාත්මක විදියට වැඩ කරන බහුජාතික විගණන සමාගමක පිටරටක සේවය කරන්න ලැබීම මගේ ජීවිතේ ඇත්තට ම වෙනස් කළා. ඒ ලැබුණු අත්දැකීම් ගොඩක් මට වටිනාකමක් එක් කළා. ඒ වගේම ඒ වැඩ කළ මාස තුනට අමතර ඩොලර් 1500ක් විතර ලැබුණා. ඒක ඇත්තටම ලොකු මුදලක්. 2001 දි ඒවගේ මුදලක් ලැබීම මට මගේ ඉදිරි වැඩවලට ගොඩක් ලොකු ශක්තියක් වුණා. බහරේන් කාර්යාලයට යෑම ඒම නිසා ලෝකෙ ගැන, ව්‍යාපාර සංස්කෘතිය ගැන මට හොඳ අවබෝධයක් ලැබෙනවා.
එතැනින් පස්සෙ කොහොමද වෘත්තීය ජීවිතයට එකතු වෙන්නේ?
වරලත් ගණකාධිකාරී විභාග පාස් වුණාට පස්සෙ මට වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබුණා. එ්ත් එක්කම ඩිලොයිට් ආයතනයේම ඩුබායි කාර්යාලයේ වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. මම ලංකාවෙන් අයින් වෙලා 2005 තමයි ඩුබායි ඔෆිස් එකට වැඩ කරන්න එන්නේ. ඊට පස්සෙ මගේ ජීවිතය ගෙවෙන්නෙ ඩුබායිවල. ඊට පස්සෙ මම ඩුබායිවල තියෙන ලොකුම දේපළ සංවර්ධන සමාගමක් වෙන Sama Dubai LLC, a subsidiary of Dubai Properties Group හි ව්‍යාපෘති මූල්‍ය කළමනාකාර තනතුර ලැබෙනවා. එතැන අවුරුදු දෙකක් වැඩ කළාට පස්සෙ මම Abela & Co Group- UAE, Egypt and Qatar හි මූල්‍ය උප සභාපති ලෙස වැඩ බාර ගත්තා. දැන් අවුරුදු 13ක කාලය ඇතුළත මම වැඩ කරන්නේ ඒ ආයතනයේ. දැනට මේ ආයතනයේ 2500ක් වැඩ කරනවා. මම මූල්‍ය පැත්තට අමතර ව අනෙක් සියලු දේටත් මූලිකත්වය දෙනවා.
ලංකාවෙන් පිට මේ වැනි විශාල ආයතනයක ප්‍රධාන තනතුරක් දැරීම ඔබේ ජීවිතයට වෙනසක් එකතු කළා ද?
මේ වගේ ආයතනයක ප්‍රධාන තනතුරක් දැරීම ගැන ඇත්තටම මට ආඩම්බරයක් තියෙනවා. මට ලැබිලා තියෙන්නේ ඉතාම සුළු පිරිසකට ලැබෙන අවස්ථාවක්. ඒ තැනට එන්න මට ලැබුණෙ මගේ අසීමිත කැපවීම නිසා. ප්‍රතිලාභවලට වඩා මම හැමතිස්සෙම හිතුවෙ මම මේ වැඩේ හරියට කරන්නෙ කොහොමද කියලා. මම දැකපු, විඳපු දෙයක් තමයි කරන වැඩේ හරියටම කරද්දි ප්රතිලාභ සහ කීර්තිය ඒ පස්සෙන් එනවා කියන දේ. අපි වපුරන දේ අපට අස්වැන්න විදියට ලැබෙනවා.
අධ්‍යාපන කටයුතුවලට මොකද වෙන්නේ? එතැනින් නතර වෙනවාද?
නැහැ. ඇත්තටම මට ඕන වෙලා තිබුණා ලෝකෙ පිළිගත් විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ගන්න. ඒ හින්දා මම මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ගත්තා විශේෂ සම්මානයක් එක්කම. ඒ විශ්වවිද්‍යාලය ලෝකේ ව්‍යාපාර සම්බන්ධව තියෙන හොඳම විශ්වවිද්‍යාල 25න් එකක්. ඒවගේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධිය කරන්න ලැබීමත් මගේ ජීවිතේ ජයග්‍රහණයක්. පස්සෙ 2023 දී පළමුවැනි වතාවට වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයෙන් හඳුන්වා දෙනවා, වඩාත්ම කැපී පෙනෙන සාමාජිකයා කියන සම්මානය. පළමු සම්මානය මට ලැබුණෙ. මම ව්‍යාපාර සමාජයට සහ මගේ වෘත්තීයත්වයට, සමාජයට කළ මෙහෙවර නිසයි මට ඒක ලැබුණෙ. ඒ වගේම මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් 2017 ඉඳන් මාව ගෝලීය ආදි විද්‍යාර්ථී නියෝජිතයෙක් බවට පත් කරනවා.
තමන්ගෙ කියලා ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිතුණෙ නැද්ද?
මගේ රැකියාව සහ සමාජ කටයුතුවල තියෙන බැඳීම සහ වගකීම නිසා මම මුළුමනින්ම කියලා ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා නෑ. මගේ සහෝදරයෝ දෙන්නම ව්‍යාපාරවලට යොමු කළේ මම. කෙළින්ම නැතත් ඒ දෙන්නගෙ ව්‍යාපාරවල බිහිවීමට සහ වර්ධනයට මම ගොඩක් සම්බන්ධ වුණා. මගේම නොවුණට වැඩ කරන ආයතනය මගේම ආයතනයක් විදියට දියුණු කරන්න තමයි මම උත්සාහ කරන්නෙ. මම හිතන්නෙ ඒකත් මගේ දියුණුවේ එක් රහසක්.
කොහොමද ඔබ, ඔබේ සේවකයන් එක්ක ගනුදෙනු කරන්නෙ?
මම හිතන්නෙ මම ඒ අයත් එක්ක බොහොම සමීපව කටයුතු කරන්නෙ. මගේ කාර්යාලයේ වැඩ කරන හැමෝගෙම ප්‍රශ්නවලට මම හොඳ සවන් දෙන්නෙක් සහ අදාළ උපදෙස් හා කාර්යයන් සම්පාදනය කරන කෙනෙක්. මගේ අත්දැකීම් වගේම මගේ දැනුමත් ඒ අය එක්ක මම බෙදා ගන්නවා. එයාලා මගේ කාර්යාලයෙන් යද්දි මොනවා හරි ඉගෙන ගෙන තමයි ඇත්තටම එළියට යන්නෙ. ඒක මට සතුටක්.
කවුද ඔබේ ජීවන සහකාරිය?
ඇය හංසා ගමගේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඉස්සර ඇය අන්තර්ජාතික සමාගමක වැඩ කළා. දැන්නම් දරුවන්ගේ වැඩ කටයුතුවලට තමයි ඇය මූලිකත්වය දෙන්නෙ. එයා මගේ ගමනට ලොකු හයියක් සහ ශක්තියක්.
දරුවන්?
මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුව තෙනුලි. ඇයට අවුරුදු 15යි. පුතා තෙහාන්ට දැන් අවුරුදු 10යි. දෙන්නම ඉපදුණේ ඩුබායිවල.
ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නෙ?
මම හිතන්නෙ තමන්ගේ දේ උපරිමයෙන් කළාම පසුතැවෙන්න තියෙන අවස්ථා අඩුයි. ආපස්සට හැරිලා බැලුවහම හැකියාව සහ කැපවීම තමයි මාව මේ තැනට ඔසවා තැබුවෙ. පසුතැවීම කියන දේ මගේ ජීවිතේ නෑ. එදා ගන්න තිබුණු හොඳම තීරණය තමයි මම ඒ වෙලාවෙ ගත්තෙ කියන විශ්වාසය මට තියෙනවා. මොකද දැන් මම ඉන්න තත්ත්වය නෙවෙයි එදා තිබුණෙ. දැන් තත්ත්වයත් එක්ක බලලා එදා ගත්ත තීරණ ගැන හිතන්න හොඳ නෑ. මගේ ජීවිතේ සාර්ථකත්වයට හේතුව මම කවදාවත් පසුතැවෙන්නෙ නැති එක. අපි වගේ සාමාන්‍ය පවුලක ඉපදිලා මේ තරම් දුර එන්න ලැබුණු එකම මට ඇති.
තාමත් දුවන්න කැමැතිද?
ගොඩක් වෙලාවට මම අභියෝගාත්මක ධාවන ඉසව්වලට සහභාගී වෙන්න කැමැතියි. දැනට වුණත් ඉඩ ලැබෙන හැමවෙලාවෙම තරගවලට සහභාගී වෙනවා. පසුගිය අවුරුදු 14ක කාලයේ මම ඒක විනෝදාංශයකට වගේම මානසික යෝග්‍යතාව වෙනුවෙනුත් කළා. ඇත්තටම ඒ පොඩි කාලෙ කළ ක්‍රීඩා ඉසව්වලින් මම තාමත් ඉවත් වෙලා නෑ. මම තාමත් ගොඩක් සතුටු වෙනවා ඒ දේවල්වල නිරත වීමෙන්.
නිදහස් වෙලාවට මොකද කරන්නෙ?
මම කැමැතියි ගොඩක් දුර පේන තැන්වලට යන්න. පරිසරයත් එක්ක කරන ගනුදෙනු හරි ආත්මීයයි. මුහුද, කාන්තාර එහෙමත් නැත්නම් ලංකාවෙ නම් කන්දක් මුදුනට ගිහින් දුර ගොඩක් පේන තැනකට වෙලා ඒ දිහා බලන් ඉන්න මම හරි ආසයි. ඒකෙන් මට ගොඩක් මානසික සුවයක් ලැබෙනවා. ඊට අමතරව මම මිනිසුන්ට උදව් කරනවා. දරුවන් 15 දෙනකුට විතර මම අධ්‍යාපන කටයුතු සඳහා උදව් කරනවා. අපි මේ තරම් දුර ආවෙ නිදහස් අධ්‍යාපනය නිසා. මමත් ඒකයි ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්නෙ. පවුලක එක ළමයෙක් ඉස්සරහට ආවොත් මුළු පවුලක් දිනනවා. මම කරන්නෙ ඒකට උදව් කරන එක. උදව් කිරීමෙන් පිරමීඩ් එකක් හදන්න මම උපරිම උත්සාහ කරනවා.
බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ?
මම හිතන්නේ මම කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්. අපි හැමෝම එක්තරා අන්දමක බ්‍රෑන්ඩ්. තමන් පාවිච්චි කරන දේවල් අනුව තමන්ගෙ ඡායාවක් අනෙක් අයට පේනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මම බ්‍රෑන්ඩඩ් පාවිච්චි කරන්නෙ. ඒකෙ පාවිච්චිය හොඳයි, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගුණාත්මක බවත් හොඳයි. ඒ වගේම ඒවා භාවිතයත් පහසුයි. මම හිතන්නෙ මම බ්‍රෑන්ඩඩ් පාවිච්චි කිරීමෙන් සතුටු වෙනවා.