
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටය මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන සිනමා නිර්මාණයක් බව නොරහසක්. සයිමන් නවගත්තේගම සූරීන්ගේ “ක්ෂීර සාගරය කැලඹිණ” නවකතාව පදනම් කරගත් මෙම සිනමාපටය තුළ අධිරාජ්‍යයා ලෙස ජැක්සන් ඇන්තනීත්, කැරලි නායකයා ලෙස හේමාල් රණසිංහත්, පුරම්භිකාව ලෙස උදාරි වර්ණකුලසූරියත්, හිරිමලා ලෙස රවීන් කනිෂ්කත් දැරිය ලෙස හරිනි කාව්‍යංජනී ඇතුළු තවත් බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වනවා. සිළුමිණ මේ කතාබහ දැරිය ලෙස රංගනයෙන් දායක වන හරිනි කාව්‍යංජනී සමඟ ය.
ඔබට කොහොමද ක්ෂිර සාගරය කැලඹිණ චිත්‍රපටයට අවස්ථාව ලැබුණේ
මහාචාර්ය සුනිල් ආරියරත්න සර් ඇතුළු එහි කණ්ඩායමම තමයි මාව තෝරා ගත්තේ. සුනිල් සර් මාව මේ චිත්‍රපටයට සම්බන්ධ කර ගන්න විශේෂම හේතුව වන්නෙ ඉදිරියට එන්න නියමිත කදිර දිව්‍ය රාජ චිත්‍රපටයට මම දායක වුණා. එහිදී කළ රංගනය සහ මගේ පෙනුම එක්ක මේ චිත්‍රපටයේ දැරියගේ චරිතයට මාව සුදුසුයි කියලා තමයි සර් මට ඇරයුම් කළේ. මේ චිත්‍රපටයේ දැරිය ඉතා ළාබාල කෙනෙක් සහ ඇයගේ තරුණ අවදිය දක්වා මේ චරිතය නිරූපණය වෙනවා. සර් කිව්වා මේ චරිතයට ගොඩක් අයව බලලා තිබුණා. නමුත් අවසානයේ ඒ චරිතයට මාව තමයි සර් තෝරා ගත්තේ කියලා.
ඔබ රඟපෑ චරිතය ගැන කෙටියෙන් කිව්වොත්?
මහා වන මැද අම්බලමක මහාමාරිය රෝගය වැලඳුණ දැරියක් විදිහට තමයි මට රඟපාන්න ලැබුණේ. ඇයගේ දෙමාපියන් විසින් දැරියව මහ වනයේ අතහැර දාලා යනවා. එතැන් පටන් දැරියට මුහුණපාන්න සිදු වෙන අනුවේදනීය සිදු වීම් මේ චිත්‍රපටයේ මගේ චරිතය තුළින් නිරූපණය වෙනවා.
මේ ඔබේ කී වෙනි සිනමා අත්දැකීම ද?
මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටයේ වැඩ කටයුතු තවම අවසන් නැහැ. ඉන් පසුව කදිර දිව්‍ය රාජ චිත්‍රපටයේ රඟපෑවා. මේ මගේ තෙවැනි චිත්‍රපටය. නමුත් තිරගත වන පළමු චිත්‍රපටය වෙන්නෙ ක්ෂිර සාගරය කැලඹිණ.
ප්‍රවීණයන් රැසක් එක්ක ලැබුණු අත්දැකීම කොහොමද?
මෙරට සිනමා කලා කෙත සුපෝෂණය කරමින් සිටින අති විශිෂ්ට රංගධරයින් සමඟ මට රඟපාන්න ලැබීම රංගන පාසලක අධ්‍යාපනය ලැබුවා හා සමානයි මට. ඒක නවක නිළියකට කලාතුරකින් ලැබෙන මිල කළ නොහැකි ඉතා වටිනා අවස්ථාවක්. මේ අවස්ථාව මගේ ජීවිතේ දෙවැනි උපත විදියට මම සලකනවා.
අමතක නොවන අත්දැකීම් ගැන කිව්වොත්?
මේ චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම හරිම ත්‍රාසජනක සහ විනෝදජනකයි. රූගත කරන ලොකේෂන් වල අපිම තමයි පාරවල් හදාගෙන යන්නෙ. ඒ ස්ථානවලට යද්දී අලි ඉන්නවා. ඒ නිසා අලින්ව මගහැරලා බොහොම පරිස්සමෙන් අපි යන්නෙ. ඒ එක්කම කොරෝනා කාලය නිසා දවස් 5ක් විතර රූගත කිරිම් වලින් වැළකී නේවාසිකව ඉන්න වුණා. තවත් අවස්ථාවක එක දර්ශනයක මමයි ජැක්සන් සර් සහ හේමාල් අයියා පැල උඩ ඉන්න වෙලාවක නොසිතූ විදියට පැලේ තුන්වෙනි තට්ටුව ගිනි ගන්නවා. අපි දැක්ක විදියට හුළඟට එතැන තිබ්බ පහනකින් තමයි ගින්න ඇතිවෙලා තිබ්බෙ. ඔක්කොම ෂූටින් නතර කරලා අපිව පහළට ගත්තා. ජැක්සන් සර් එදා කිව්වෙ කෙල්ල කෝ, මුලින්ම හරිනිව පහළට ගන්න කියලා. හේමාල් අයියාත් ඒ මොහොතේ වගකීම් සහිතව මාව සහ ජැක්සන් සර්ව පහළට යවලා තමයි එයා පහළට ආවේ. ඒ වගේ සඳහටම අමතක නොවන අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ අවස්ථාවේ අපිව ආරක්ෂිතව පහළට ගත්ත සියලුම දෙනාට මේ මොහොතේ මගේ ආදරණීය ගෞරවය පුදකරනවා.
මහාචාර්ය සුනිල් ආරියරත්න නම් අධ්‍යක්ෂවරයා ගැන ඔබට දැනෙන දේ කිව්වොත්?
සිංහල සිනමාවේ විශිෂ්ට සලකුණක් වෙන දේශීය සිනමා කලාවට අසමසම දායකත්වයක් ලබා දෙන විශිෂ්ටම කෙනෙක් එතුමා. ඔහු වැනි පුද්ගලයෙකුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම සහ ඔහුගේ ගුරුහරුකම් ලැබීම මා ලද භාග්‍යයක්.
කලාවට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම නිරූපණ ක්ෂේත්‍රයට එන්න කලින් රූ රැජින තරග ජයග්‍රහණය කළා. ඒ හරහා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. Miss Sri Lanka for miss best model of the World -2014 2nd runner up and best catwalk සහ Miss Sri Lanka for Miss Scuba sri Lanka -2015 ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ Miss Super Model World Wide -2018 Top 5 අතරට එනවා ඉන්දියාවේදී. ඒ එක්කම Best in national Costiume, Best Catwalk, සහ Best in talent කියන ටයිටල් ජයග්‍රහණය කරනවා. ජාත්‍යන්තර වශයෙන් මම ජයග්‍රහණ ලබලා තියෙනවා. ඒ හරහා මම කලාවට පිවිස නිරූපණ ක්ෂේත්‍රයෙන් පසුව තමයි මම රංගනයට එන්නේ.
මේ වෙද්දී ඔබේ වෘත්තීය මොකක්ද?
මම වසර අටක කාලයක පටන් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. නිරූපණය සමඟ රංගනය සහ මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.
ආදරේ දකින්නෙ කොහොමද?
ඇත්තටම ලෝකයේ ප්‍රථම ආදරණීය යුවළ වෙන්නෙ මව සහ දරුවා කියලා මම අහල තියෙනවා. මේක මගේ අම්මා හැමතිස්සෙම කියන දෙයක්. අම්මගෙන් තමා ඒ දේ හරියටම ඉගෙන ගත්තේ. ඒ ආදරණීය පටන් ගැන්ම එක්කම මිනිසා මේ ලෝකයට එන්නෙ ආදරේ කරන්න සහ ආදරේ ලබන්න. ආදරය සියල්ල විශ්වාස කරනවා. සියල්ලටම සමාව දෙමින් සියල්ල විඳ දරා ගන්නවා. ඒ නිසා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්ම විතරයි.
මේ වෙද්දී ආදරවන්තියක් ද?
මම අපේ පවුලේ සියලුදෙනාගේම ආදරේ ලබන ආදරවන්තියක්. ඒ හැර විශේෂ ආදරයක් දැනට මට නැහැ. නමුත් මේ දිනවල රටේ හුඟදෙනෙක් මට ආදරේ කරනවා. ඒ නිසා මම ඒ ආදරේ සතුටින් ලබන ආදරවන්තියක්.
ඔබේ ප්‍රේක්ෂකයන්ට මොන වගේ ඇරයුමක් ද කරන්නෙ?
ක්ෂිර සාගරය කැලඹිණ කියන චිත්‍රපටය මායා යථාර්ථවාදි රීතියකින් ලියවුණු දේශපාලන ශානරයකට අයත්වුණු සයිමන් නවගත්තේගමයන්ගේ ක්ෂිර සාගරය කැලඹිණ නවකතාවේම සිනමා අනුවර්තනයක්. හරවත් රසවත් විචිත්‍රවත් සිනමා සිත්තම් නිර්මාණ නැරඹීමෙ පිපාසෙන් ඉන්න ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම උසස් රසවින්දනයක් ගෙන දෙන පවුලේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ කලාවට ලෝකය වෙනස් කරන්න බැහැ. නමුත් කලාව පරිශීලනය කරන මිනිසා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන පුද්ගලයින් වෙනස් කිරීමට අසීරු වෙන ලෝකය වෙනස් කරනවා. එවැනි අති විශිෂ්ට දැවැන්ත සිනමා නිර්මාණයක් නිසා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා “ක්ෂිර සාගරය“ නරඹන්න කියලා.