ප්‍රංශ පාන් තරගයේ මුල්තැන දිනු ලාංකිකයා තර්ෂාන් සෙල්වරාජා | සිළුමිණ

ප්‍රංශ පාන් තරගයේ මුල්තැන දිනු ලාංකිකයා තර්ෂාන් සෙල්වරාජා

තෑග්ගට ලැබුණේ යුරෝ 4,000ක් හා වසරක් යනතුරු ප්‍රංශ ජනාධිපති නිල නිවෙසට බෑගෙට් පාන් සැපයීමට කොන්ත්‍රාත්තුවක්

මේ දිනවල ජනප්‍රියම පාන් වර්ගය වී ඇත්තේ ප්‍රංශයේ බෑගෙට් පාන්. බෑගෙට් යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයක්. ප්‍රංශ ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වන බෑගෙට් 5cm සිට 6cmක විෂ්කම්බයකින් යුත් 65cm ක් දිගු වනවා. තුනී පිටි ගුළියකින් නිශ්පාදනය කරන බෑගෙට් නමැති සාම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මඟින් එය වෙන්කර හඳුනාගත හැකි වනවා.

හොඳම පිටි සහ සාම්ප්‍රදායික වට්ටෝරුවක් උපයෝගී කර ගනිමින් මෙම රසවත් බෑගෙට් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික බෑගෙට් තරගාවලිය මෙවරත් පැවැත්වුණා. 

වාර්ෂිකව පවත්වන ලද ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගෙට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරගය ලෙසයි. මෙවර පවත්වන ලද්දේ 30 වැනි වරටයි.

මෙම තරගාවලිය ප්‍රංශයේ පැවැත්වෙන ගෞරවනීයම තරගාවලිය ලෙසයි සැලකෙන්නේ. මෙවර මෙම තරගයට ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂාන් සෙල්වරාජා ද එක්ව තිබුණා.

මෙම තරගාවලිය සඳහා ඉදිරිපත්වන සෑම බේකරිකරුවෙක්ම පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති බෑගෙට් දෙකක් ඉදිරිපත් කළ යුතුයි. එහි ජයග්‍රාහකයා තෝරා ගැනීම සිදු කර තිබුණේ එහි පෙනුම, පිසගත් ආකාරය, වයනය, සුවඳ සහ රසය අනුව ලකුණු ලබා දීමකින්.

15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් මෙහි විනිශ්චය ලබා දී තිබුණා. තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට විනිශ්චකරුවන්ට පැය පහකට අධික කාලයක් ගත වී තිබුණා.

අවසානයේ මෙම Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගෙට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ප්‍රංශය පුරා ගෞරවයට ලක් වීමට ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂාන් සෙල්වරාජාට හැකි වුණා. ඔහුගේ නිෂ්පාදනය නොදන්නා පුද්ගලයින් 175 දෙනෙකු විසින් සෙල්වරාජාගේ ප්‍රංශ පාන් රස බලා ඇගයීමට ලක් කරමිනුයි මෙම ජයග්‍රහණය හිමිව ඇත්තේ.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් තර්ෂාන් සෙල්වරාජා කියා සිටියේ “මම කවදාවත් හිතුවේ නැහැ ශ්‍රී ලාංකිකයකුට මෙම ජයග්‍රහණය හිමි වෙයි කියලා. මම තරගය දිනුවා කියන එක දැනගත්තම ඇහැට කඳුළු ආවා. මොකද අපි විදේශිකයින්, මම ප්‍රංශයට ආවේ සාම්ප්‍රදායික පාන් නිෂ්පාදනය ගැන ඉගෙන ගන්න. එහෙම ආපු මට මේ ලැබුණු ජයග්‍රහණය ගැන හරිම සතුටුයි.“ යන්නයි.

එමෙන්ම “තමන් ජයග්‍රහණය කළ බව සිය බිරිඳට කියූ විට ඇය එය විශ්වාස නොකළ බවත්, ඇය සිතා ඇත්තේ තමන් ඇයට විහිළුවක් කරන බවයි. නමුත් පසුව මෙය ඇත්තක් බව දැන ගත්තම සියලු දෙනාම පුදුමයෙන් වගේ බලා සිටි බවද ඔහු මාධ්‍යය හමුවේ කියා සිටියා.

ඒ එක්කම ඔහු කියා සිටියේ ඔහු මෙම බේකරි රැකියාව ඉතා ආසාවෙන් සහ ආදරෙන් කරන බවයි. ඔහුට පිටි වර්ග අසාත්මික වන නිසා වෛද්‍යවරුන් මෙම රැකියාව වෙනස් කරන්න පවා ඔහුට උපදෙස් දී තිබුණත්, එය එසේ කළ නොහැකි බවත් මේක තමයි මගේ ජීවිතය කියා ද ඔහු කියා තිබෙනවා.

“මගේ පාන් රසයි නම් ඒකට හේතුවක් ති‍ෙයනවා. මම මේ පාන් හදලා තියෙන්නේ ආදරයෙන්. සෑම විටම සිනහවෙන්, හැම විටම සතුටින් ගායනා කරමින්” යනුවෙන්ද සෙල්වරාජා සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙනවා.

තර්ෂාන් සෙල්වරාජා ප්‍රංශයට සංක්‍රමණය වී තිබුණේ 2009දී. නමුත් ඔහු ප්‍රංශයේ පැරිස් නුවරදී බේකරි නිෂ්පාදන අලෙවි සැලක් ආරම්භ කර ඇත්තේ මීට වසර දෙකකට පෙරයි.

Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ නම් ප්‍රංශයේ හොඳම බෑගෙට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරගයේ ජය හිමිකරගැනීමත් සමඟ තර්ෂාන් සෙල්වරාජාට යුරෝ 4000ක් ද හිමි වුණා. එමෙන්ම මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ප්‍රංශයේ ජනාධිපති මන්දිරයට වසරක කාලයක් බෑගෙට් සැපයීමේ වෙනුවෙන් ලැබෙන කොන්ත්‍රාත්තුවයි.

වත්මනයේ ප්‍රංශයේ ජනාධිපති ධුරය දරන්නේ Emmanuel Macron (එමැනුවෙල් මැක්රොන්). ප්‍රංශයේ නිල නාමය ප්‍රංශ ජනරජය යන්නයි. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර අධි සංවර්ධිත රටවලින් එකකි. ඉතා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන ලොව එකම රට වන්නේද ප්‍රංශයයි.

Comments